ආල්ටාමීරා
ආල්ටාමීරා ගුහාවෙහි බයිසන් නම් කුළුහරකුන්ගේ චිත්‍ර මහත් සංඛ්‍යාවක් ද අශ්ව, මුව, වල් ඌරු යන සතුන්ගේ චිත්‍ර කිහිපයක් ද දක්නා ලැබේ. ගුහා පියස්සෙහි වූ ස්වාභාවික විෂමතාවන් උපයෝගී කොට ගෙන මේ චිත්රවලට අල්පෝන්නත ස්වරූපයක් දී ඇත්තේය. මේ හේතුවෙන් චිත්රවලින් නිරූපණය කරනු ලබන සත්තු ජීවමාන ආකාරයෙන් පෙනෙති. සැබැවින්ම ඒ ඒ සත්තු උන්ගේ නොයෙක් ඉරියව්වලින් අපගේ ඇස් ඉදිරියේ මවාපානා ලද්දවුන් වැන්නහ. මේ චිත්රවල ඒවාට ම විශේෂ වූ ශෛලියක්, රිත්මයක් හා නිර්මාණ ක්‍රමයක් ඇත. තමන් අඳින සතාගේ ඉරියව්වකින් ඒකදේශමාත්‍රයක් ගෙන හැර පෑම ආල්ටාමීරා චිත්රශිල්පීන්ට අභිමත විය. නිරූපිත සතුන්ගේ පරිමාණය දැක්වීමෙහි හා විස්තාර විභාගයෙහි විශේෂ නෛපුණ්‍යයක් ඔවුන් කෙරෙහි වූ බව පෙනේ. එහෙත් ඒ ඒ සතුන් තැනින් තැන පිළිවෙළක් නැතිව ඇඳ තිබීමෙන් පෙනී යන්නේ චිත්‍ර වින්‍යාසය පිළිබඳ අවබෝධයක් ඔවුන්ට නොවූ බවයි.
ආල්ටාමීරා චිත්‍ර ආලේපනය කොට ඇත්තේ තද කළු හා තද රතු යන පාට දෙකිනි. සායම ගනකමට යොදා ඇත්තේය. චිත්‍ර කළු පාටින් සලකුණු කොට රතු පාට සායමින් ඇතුළත පුරවා දක්ෂ ලෙස ශ්‍යාමෝජ්වල භේදය දක්වා තිබේ. මෙසේ කිරීමෙන් චිත්රවලට ත්‍රිමාන ස්වරූපයක් දීමට ප්‍රාථමික වශයෙන් තැත් කොට ඇති බව පෙනේ. රේඛාවට මුල් තැනක් නොදී පදාස ක්‍රමයකින් චිත්‍ර ඇඳ ඇති හෙයින් ආල්ටාමීරා චිත්‍ර ක්‍රමය පරිසමාප්තාර්ථයෙන් ම ආලේපන ක්රමයකි. ආකෘතිය, පාට හා සිතුවම් කොට ඇති ආකාරය හේතුකොට ගෙන මිනිසාගේ අතිශ්‍රෙෂ්ඨ වූත් මහාර්ඝ වූත් නිර්මාණයන් අතුරෙහි මේ චිත්රවලට ලැබෙන්නේ ඉතා උසස් ස්ථානයකි.
ප්රාග්-ඓතිහාසික ගුහා චිත්රවලින් දැක්වෙන්නේ ආගමික වූත් ආභිචාරික වූත් වත්පිළිවෙත් ක්රමයකැයි මානව විද්‍යාඥයෝ සලකති. එය සහානුභූතික අභිචාර විධිය (sympathetic magic) නමින් ගැනේ. ස්වභාව ධර්මයෙහි අන්‍යෝන්‍ය වශයෙන් සමානත්වයක් දක්වන දෑ අතර සමාකර්ෂණයක් ඇත යන විශ්වාසය ඉන් අදහස් කෙරේ. එසේ සමානත්වය වැඩි වූ තරමට අභිචාර ශක්තිය ද වැඩි වෙයි. ආලේපනය කරන ලද සත්තු සජීව සතුන් ආකර්ෂණය කරතැයි මේ අනුසාරයෙන් සලකනු ලැබේ. ආල්ටාමීරා වැනි ගුහා ශාලා ආගමික මන්දිර සෙයින් පැවැත්තේය. ඒ තුළ අභිචාර ඇදුරනුත් ගෝත්‍රික ජනයාත් නැටුම් ජප කිරීම් ආදියෙන් සතුන් මායම් කිරීමට තැත් කළහ.
(කර්තෘ: ඇස්.ඩබ්ලිව්. ඈපා සෙනෙවිරත්න)
(සංස්කරණය: 1965)
පොත්පත්
Kühn, Herbert. On the Track of Prehistoric Man
