ජැමෙයිකාව (Jameica)

සිංහල විශ්වකෝෂය වෙතින්
23:58, 31 අගෝස්තු 2017 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

කැරිබියන් මුහුදේ පිහිටි දූපත් අතුරින් විශාලත්වයෙන් තුන්වන තැන ගන්නා මෙම දූපත හයිටියෙන් (Haiti) බටහිරටත් කියුබාවෙන් දකුණටත් නිකුරගුවාවේ ග‍්‍රාසියාස් තුඩුවෙන් ඊසාන දිගටත් වන ලෙස පිහිටියකි. යුරෝපය, උතුරු හා මධ්‍යම ඇමෙරිකා සම්බන්ධ කරමින් පැනමා ඇළ ඔස්සේ දිවෙන ප‍්‍රධාන මුහුදු මාර්ගය ජැමෙයිකාව ආශ‍්‍රිතව වැටී ඇත. දූපතේ භූමි ප‍්‍රමාණය ව.සැ. 4,244කි (ව.කිමී. 10,991). දිගින් මයිල 146ක් පමණ වන ජැමෙයිකාවේ පළල මයිල 22 සිට 51 දක්වා වෙනස්වේ.

 (සිතියම-කොඩිය-ලාංඡනය-ප‍්‍රධාන ස්ථානයක්)

භූ විෂමතා : වෙරළ තීරයේ පිහිටි තැනිතලා, රට අභ්‍යන්තරයේ ඇති යමහල් කඳුවැටි හා හුනුගල් සානු ප‍්‍රධාන භූ ලක්ෂණ වේ. භූමි ප‍්‍රමාණයෙන් අඩක් පමණ මී. 305ට වඩා උස් බිම් ය. ප‍්‍රධාන ක`දුවැටිය නැගෙනහිර දී බ්ලූ මවුන්ටන්ස් නමින් වැඩි ම උන්නතාංශයට නැඟ (මී.2,256) අනතුරුව බටහිරට බෑවුම් වේ. දිවයිනේ දකුණු දෙසින් තැනිතලා ද මධ්‍යම හා බටහිර ප‍්‍රදේශවල හුනුගල් කඳු හා සානු ද පිහිටා ඇත. හුනුගල් ප‍්‍රදේශ සමහරක වැටි හා ගුහා සෑදී ඇත. මෙහි භූචලන ඇති වේ. ජලවහනය හා පස : ප‍්‍රධාන හා කුඩා ගංගා 120ක් පමණ ජැමෙයිකාවේ ඇත. ඒවායේ අතු ගංගා බහුල ය. කඳුවලින් පහළට ශීඝ‍්‍රයෙන් ගලා යාමත් ගංවතුර කාලයේ දැඩි ජල ප‍්‍රවාහ බවට හැරීමත් නිසා ඒවායේ යාත‍්‍රා කිරීම අපහසු ය. විශාල ගංගා සමහරක මුව දොරවල පුළුල් දියළු තැනි සහිත ඩෙල්ටා නිර්මාණය වී ඇත.

භූතලයෙන් අඩකටත් වඩා කොටසක ඇත්තේ සුදු පැහැති හුනුගල් ය. ඊට යටින් පිළිවෙළින් කහ පැහැති හුනුගල් ද විපරීත හා ආග්නේය පාෂාණ ද ඇත. උස් බිම් වැසී ඇත්තේ ආවරණය නොවූ පාෂාණ හා එතරම් ගැඹුරට නොපිහිටි පස්වලින් නිසා එබිම් පහසුවෙන් ඛාදනයට භාජනය වේ. වෙරළබඩ දියළු තැනිවල වැඩිකොට ඇත්තේ ගැඹුරු ලොම් පස හා මැටි ය. නිම්න පතුල් වැසී ඇත්තේ ශේෂ මැටිවලිනි.

දේශගුණය : ජැමෙයිකාවේ පවතින්නේ නිවර්තනීය දේශගුණයකි. කඳුවැටිවල පිහිටීමේ බලපෑම අනුව ප‍්‍රදේශ අතර වෙනස්කම් ඇති වුව ද ඍතු අනුව උෂ්ණත්වයේ වෙනස සුළු ය. ඊසාන දිග වෙළෙඳ සුළංවල බලපෑම අවුරුද්ද පුරා ම පවතී. ශීත සමය දෙසැම්බර් සිට මාර්තු දක්වා ය. උතුරු ඇමෙරිකා තැනිවල පුළුල් ද්‍රෝණි හරහා හමන ශීත සුළෙ‍ඟේ බලපෑම මෙසමයේ දැකිය හැක. උෂ්ණත්වය වෙරළ තීරයේ දී ෆැ. 900 (සෙ. 320) සිට කඳු මුදුන්වල 400 (40) දක්වා වෙනස් වේ. වර්ෂාව අධික ව ලැබෙන්නේ මැයි සිට ඔක්තෝබර් දක්වා ය. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිමී. 1,995කි. කඳුවල පිහිටීම නිසා වෙළෙඳ සුළං මගින් උතුරු ප‍්‍රදේශවල වැඩි වර්ෂාපතනයකුත් දකුණු හා නිරිතදිග තැනිතලාවල සැවානා ප‍්‍රදේශවලට වර්ෂා ඌනතාවකුත් ඇතිවේ.

වෘක්ෂලතා හා සත්ත්ව ජීවිතය : අතීතයේ මෙරටේ වනාන්තර බහුල ව තිබූ බව පැවසේ. ඉනික්බිති මෙරටට පැමිණි යුරෝපීය ජාතිකයෝ ගොඩනැගිලි ඉදිකිරීම හා වගා කටයුතු සදහා පහත්බිම් හා කඳු බෑවුම් එළි කළහ. දැනට මෙහි භූමි ප‍්‍රමාණයෙන් වනාන්තර ඇත්තේ 10%ක පමණි. වත්මනෙහි රජය විසින් කැලෑ සංරක්ෂණය හා යළි රෝපණය අරඹා ඇත. දකුණු වෙරළ ප‍්‍රදේශයේ අර්ධ කාන්තාර කලාපයට අයත් වෘක්ෂලතා ද වෙරළබඩ කඩොලාන ද දේශිය තල් (Plam) වර්ග කිහිපයක් ද ජැමෙයිකාවේ ඇති බව පැවසේ.

ජැමෙයිකාවට විශේෂ වූ සිවුපා සතුන් ඇත්තේ සුළු සංඛ්‍යාවකි. කෘන්තක (Rodent) පවුලට අයත් කෝනියන් දැන් දුලබ ය. මුගටියන් හා වවුලන් එහි බහුල ය. කිඹුලන්, කැස්බෑවන්, උග‍්‍ර විෂ රහිත නයි වර්ග කිහිපයක් හා කටුස්සන් ජැමෙයිකාවේ ඇත. මිරිදිය මසුන් අතර ප‍්‍රධාන වන කඳුකර ගල්මාළු වර්ගයකි. පොකිරිස්සන් වර්ග කිහිපයක් ද ඇත. බටහිර ඉන්දීය දූපත් හා ඇමෙරිකාවේ දැකිය හැකි කුරුල්ලන්ට අමතරව නොයෙක් ඍතුවල දී ජැමෙයිකාවට සංක‍්‍රමණය වන කුරුල්ලන් ද ඇතුළු ව කුරුලූ වර්ග 200ක් පමණ මෙහි දැකිය හැකි ය.

ජනගහනය හා ජනාවාසය : මෙහි විසූ දේශීය ඉන්දියානුවන් සමූල ඝාතනය කළ ස්පාඤ්ඤ ජාතික ජනපදවාසීහු ද පසුකලෙක දී නැති වී ගියහ. බි‍්‍රතාන්‍ය ජාතිකයක් විසින් සිය වතුවල වැඩට ගෙන ආ අප‍්‍රිකානු ජාතික වහලූන්ගේ සංඛ්‍යාව කෙමෙන් වැඩි වුණි. අද ජන සංඛ්‍යාවෙන් බහුතරය අප‍්‍රිකානු සම්භවයක් ඇත්තෝ හා අප‍්‍රිකා, යුරෝපා ජාතීන්ගේ සම්මිශ‍්‍රණයෙන් පැවතෙන්නෝ වෙත්. මේ හැර චීන, සිරියන්, ඉන්දියන්, පෘතුගාල හා ජර්මන් වැනි විජාතික මූලජනනයෙන් පැවතෙන්නෝ සුළුතරයක් ද වෙති. මෙරටේ ජනගහනය 2012 දී 2,889,187කි. නාගරීකරණයට නතු ව තිබෙනුයේත් ප‍්‍රධාන වෙළෙඳ වැවිලි වගා කරනු ලබන්නේත් වෙරළබඩ තැනිතලාවල ය. අගනුවර වූ කිංස්ටන් පිහිටියේ ගිනිකොන දිග වෙරළබඩ ය. එය රටේ වෙළෙඳ, පරිපාලන, ගමනාගමන හා සංස්කෘතික මධ්‍යස්ථානය වේ. උතුරු වෙරළේ ද වැදගත් නගර කිහිපයක් පිහිටියේ ය. ස්වාභාවික දර්ශනීයත්වය නිසා ඒවා සංචාරක නිකේතන ලෙස ජනප‍්‍රිය වී ඇත.

වත්මන් ගැමි ජනාවාසවල පදනම වී ඇත්තේ අතීතයේ කඳුකරයේ විසූ ජැමෙයිකන් වහලූන් විසින් පිහිටුවා ගන්නා ලද ගම් ය.

විදේශවලට සංක‍්‍රමණය වීම සීමා කරනු වස් 1967 දී දැඩි සංක‍්‍රමණ නීති පනවා ඇත ද දැනුදු ජැමෙයිකන් පුරවැසියෝ ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය හා කැනඩාව යන රටවලට සංක‍්‍රමණය කරත්.

ආර්ථික කටයුතු : ජැමෙයිකාවේ ශ‍්‍රම හමුදාවෙන් 36%ක් පමණ නියැළී සිටිනුයේ, ආර්ථිකයේ පදනම වූ කෘෂිකාර්මික කටයුතුවල ය. ස්ථාවර වගා යටතේ ඇති භූමි ප‍්‍රමාණය 22%කි. ප‍්‍රධාන වැවිලි භෝග වනාහි උක් හා කෙසෙල් ය. ඉඟුරු, පැඟිරි කුලයේ පලතුරු, කෝපි හා කොකෝවා අනිකුත් වැදගත් භෝග වේ. අර්තාපල්, බතල, මඤ්ඤොක්කා හා පොල් වගා කෙරේ. අවට මුහුදින් මාළු ද වනාන්තරවලින් දැව ද ලබා ගැනේ. ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සහ අනිකුත් අවශ්‍යතා සඳහා සත්තු ඇති කරනු ලැබෙත්.

ඛනිජ සම්පත් අතර වැදගත් වන්නේ බෝක්සයිට්, ජිප්සම්, සිලිකා, පි`ගන් මැටි, හුනුගල් හා කිරිගරුඬයි. බෝක්සයිට් නිෂ්පාදනයෙන් මුල්තැන ගන්නේ ජැමෙයිකාවයි.

බෝක්සයිට් එහි අතුරු නිෂ්පාදනයක් වූ ඇලූමිනා (Alumina) ජිප්සම්, සීනි හා මේ මොලෑසස් වැනි අතුරු නිෂ්පාදන, කෙසෙල්, පැඟිරි කුලයේ පලතුරු වර්ග, කෝපි, කොකෝවා හා ඉඟුරු නිර්යාත කෙරේ. ආයාත අතර ප‍්‍රධාන තැනක් ගන්නේ ආහාර ද්‍රව්‍ය, බීම වර්ග, දුම්කොළ, යන්ත‍්‍ර සූත‍්‍ර, විදුලි උපකරණ, රසායනික ද්‍රව්‍ය, රථවාහන, ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණ, රෙදිපිළි, ඉන්ධන, තෙල්, පෝර ආදියයි. ඇ.එ.ජ., බි‍්‍රතාන්‍යය සහ කැනඩාව ජැමෙයිකාවේ ප‍්‍රධාන වෙළෙඳ සහකරුවෝ වෙති. යුරෝපා ආර්ථික ප‍්‍රජාව සමග ද වෙළෙඳ සබඳතා පවතී.

නිෂ්පාදනය හා රැකියා සැපයීම අරමුණු කරගත් කර්මාන්ත අතර වැදගත් වන්නේ ආහාර පිරිසැකසුම, ලෝහ නිස්සාරණය, සීනි, රම් හා මොලෑසස් වැනි අතුරු නිෂ්පාදන, රෙදිපිළි නිපැයුම, රසායනික ද්‍රව්‍ය, බොරතෙල්, සිමෙන්ති හා මැටි ආශ‍්‍රිත නිෂ්පාදන මෙන් ම සිගරැට් හා පොහොර නිෂ්පාදනයයි. ජැමෙයිකා කාර්මික සංවර්ධන සංස්ථාව මගින් මේ කටයුතුවල දී රජයේ අනුබලය හා පහසුකම් ලබාදෙනු ලැබේ.

ආර්ථික කටයුතුවල දී පෞද්ගලික ව්‍යවසාය ද වැදගත් වේ. ආහාර කර්මාන්ත, කාර්මික නිෂ්පාදන හා සංචාරක කටයුතුවල දී විදේශීය ආයෝජන යෙදවේ. මුදල් ප‍්‍රතිපත්ති මගින් ආර්ථික කටයුතු හසුරුවන රජය, ආර්ථික හා සමාජ සුබසාධන සඳහා ඉන් ලද හැකි උපරිම වාසි ලබා ගනී.

නිෂ්පාදන හා අනිකුත් අවශ්‍යතා සඳහා විදුලිබලය බෙදා හැරීමට රජයේ මෙන් ම පෞද්ගලික අංශය ද සතු විදුලිය බෙදා හැරීමේ මධ්‍යස්ථාන ඇත.

මුදල් කටයුතු : ජැමෙයිකාවේ භාවිත වන මුදල් ඒකකය ජැමෙයිකන් ඩොලරයයි. 1960 දී පිහිටුවන ලද ජැමෙයිකන් මහ බැංකුව මුදල් කටයුතු භාර ව සිටී. විදේශිකයින් සතු වෙළෙඳ බැංකු හැරුණ විට ජීවිත රක්ෂණ හා වෙනත් සමිති සමාගම් මගින් ද මුදල් තැන්පත් කිරීම් සිදු කළ හැකි අතර ණය පහසුකම් ද සපයනු ලැබේ. කර්මාන්ත, නිවාස ඉදිකිරීම් හා සංචාරක කටයුතු ස`දහා ‘සංවර්ධන මුදල් සංස්ථාව’ මගින් ණය සැපයේ. වෙළෙඳ ව්‍යාපාර සඳහා ණය දෙන මණ්ඩලයක් ද ඇත.

අයබදු, තීරුබදු හා සුරාබදු රජයේ ප‍්‍රධාන ආදායම් මාර්ග වේ. විදෙස්වලින් සංවර්ධන ණය ආධාර ද ලබා ගනී.

පරිපාලන කටයුතු : ජැමෙයිකාව ව්‍යවස්ථානුකූල පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් පවත්නා රටකි. ස්වාධීනත්වය ලද පසුව බි‍්‍රතාන්‍ය භූපතියා නාමමාත‍්‍ර රාජ්‍ය නායකයා ලෙස පිළිගන්නා ජැමෙයිකාව එරටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පාලනය වේ. අගමැතිවරයාගේ උපදෙස් අනුව අග‍්‍රාණ්ඩුකාරයා පත් කරනු ලබන්නේ බි‍්‍රතාන්‍යයේ රජු විසිනි. අගමැතිවරයා තෝරාගනු ලබන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණයකින් ජයග‍්‍රහණය කරන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතරිනි.

සාමාජිකයන් 45-60 දක්වා ගණනකින් සමන්විත වන ව්‍යවස්ථාදායක මණ්ඩලය සර්ව වැඩිහිටි ඡුන්ද බලයෙන් තේරී පත්වන්නකි. එහි සාමාජිකයන් අතරින් කථානායක හා උපකථානායක තෝරාගනු ලැබෙති. සෙනෙට් මඬුල්ලේ සාමාජිකයන් 21කි. ඔවුහු පත්කෙරෙනුවෝ අග‍්‍රාණ්ඩුකාරයා විසිනි. 13 දෙනෙක් අගමැතිවරයාගේත් 8 දෙනෙක් විරුද්ධ පක්ෂ නායකයාගේත් උපදෙස් අනුව පත් කරනු ලැබෙත්. සෙනෙට් සභිකයන් විසින් ඇමති හා පාර්ලිමේන්තු ලේකම් තනතුරු නොඋසුලන දෙදෙනෙක් සභාපතිවරයා හා උපසභාපතිවරයා ලෙස පත් කරනු ලැබෙත්. ප‍්‍රතිපත්ති සම්පාදනයේ මුල් තැන ගන්නා කැබිනට් මණ්ඩලය අගමැතිවරයා හා ඇමතිවරුන් 11 දෙනකුගෙන් පමණ සමන්විත වේ. එහි සෙනෙට් සභිකයෝ දෙතුන් දෙනෙක් ද වෙති.

ක්ෂමාව දීම පිළිබඳ පරමාධිකාරය ක‍්‍රියාත්මක කිරීම හා රාජ්‍ය නිලධරයන්ගේ විනය කටයුතු සම්බන්ධයෙන් අග‍්‍රාණ්ඩුකාරයාට උපදෙස් දීම ප‍්‍රිවි කවුන්සිලය සතු කාර්යයකි.

මුළු රට වසම් (Praishes) 14කට බෙදා ඇත. කිංස්ටන් හා සාන්ත ඇන්ඞ්රූ යන වසම් දෙක ඒකාබද්ධ කර ඇත. ප‍්‍රදේශීය කටයුතු භාර ව ඇති කවුන්සිලවල සාමාජිකයන් තේරී පත්වන්නේ සර්ව වැඩිහිටි ඡුන්දයෙනි. මහජන මන්ත‍්‍රී මණ්ඩලයේ නියෝජිතයෝ ද නිල බලයෙන් එම කවුන්සලවල සාමාජිකයෝ වෙති. වසම් අගනුවරවල වෙසෙන නගරාධිපතිවරු සිය වසමේ කවුන්සිලයේ සභාපතිත්වය දරන්නෝ ය.

සෑම පස් වසරකට ම වරක් ජැමෙයිකාවේ මැතිවරණ පැවැත්වේ. එහි ඇති ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක ජැමෙයිකන් කම්කරු පක්ෂය හා මහජන ජාතික පක්ෂයයි.

ජැමෙයිකාවේ නිල බස ඉංග‍්‍රීසියයි. විවිධ භාෂාවල සම්මිශ‍්‍රණයෙන් සැදුම් ලද භාෂාවක් වූ ක‍්‍රිඕල් (Creole) බස (බ.) පොදු ජනතාවගේ කථා ව්‍යවහාරය ය.

අධිකරණය : සුප‍්‍රිම් උසාවිය, ඇපැල් උසාවිය, රෙසිදන්ත මහේස්ත‍්‍රාත්, සුළුසැසි, කොර්නෙල් හා බල අපරාධ උසාවිය යන ආයතනයන්ගෙන් අධිකරණය සමන්විත වේ. ගමනාගමන කටයුතු සම්බන්ධ උසාවියක් ද ඇත. නීති හා අධිකරණ ක‍්‍රමය ඉංග‍්‍රීසි නීතිය මත පදනම් වී ඇත. රජයේ ප‍්‍රධාන නීති උපදේශකවරයා ඇටර්නි ජනරාල් ය. මහජන පැමිණිලි සම්බන්ධ අධ්‍යක්ෂවරයෙක් ද සිටී.

ගමනාගමන කටයුතු : දිවයිනේ වෙරළබඩ ප‍්‍රදේශ ඔස්සේ ප‍්‍රධාන මහාමාර්ග ඉදිවී ඇත. කඳුකරයේ ප‍්‍රධාන ස්ථාන තුනක දී උතුරේ සිට දකුණට මහාමාර්ග වැටී ඇත. කිමී. 21,000ක් ඉක්මවන මාර්ගයත් මෙරට සතු ව ඇත. පොදු ගමනා ගමන කටයුතු සඳහා බස් සේවාවට අමතරව කුලී රථ හා මෝටර් රථ සේවාව ද ඇත. මාර්ග පද්ධතියක් ද ඊට අමතරව කිමී. 272ක දුම්රිය මාර්ග පද්ධතියක් ද මෙහි වේ.

ප‍්‍රධාන දුම්රිය මාර්ගය වැටී ඇත්තේ කිංස්ටන් සිට මොන්ටිගෝ බොක්ක දක්වා ය. අතරමග වැදගත් නගරවලට අතුරු මාර්ග ඉදිවී ඇත. තව ද ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුනක් මගින් ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා සැලසේ. ජැමෙයිකාවේ අභ්‍යන්තර ගුවන් සේවයක් ද ඇත. රාජ්‍ය ගුවන් සේවාව එයාර් ජැමෙයිකා (Air Jamaica) නම් වේ.

කිංස්ටන්, මොන්ටිගෝ බොක්ක හා පෝට් ඇන්තොනියෝහි ප‍්‍රධාන වරායන් පිහිටා ඇත. බඩු හා මගී ප‍්‍රවාහනය සම්බන්ධ ව ඇ.එ.ජ., බි‍්‍රතාන්‍යය හා කැනඩාව සමග පවත්නා ක‍්‍රමික නැව් සේවාවට අමතරව යුරෝපයට, දකුණු ඇමෙරිකාවට, කැරිබියන් ප‍්‍රදේශයට, ඕස්ටේ‍්‍රලියාවට හා නවසීලන්තයට යාත‍්‍රා ගමන් කෙරේ.

අධ්‍යාපනය : ප‍්‍රාථමික, ද්විතීයික, වෘත්තීය හා උසස් වශයෙන් සැදි අධ්‍යාපන සැකැස්මක් එරටේ පවතී. රජයට අයත් රජයේ ආධාර ලබන හා පෞද්ගලික පාසැල් මගින් අධ්‍යාපන පහසුකම් සලසා ඇත. කෘෂිකර්ම, කලා හා ශිල්පීය විෂයයන් පිළිබඳ පාසැල් හා විශ්වවිද්‍යාල ද මෙහි ඇත. වෘත්තීය මධ්‍යස්ථාන කාර්මික ආයතන හා ගුරු විදුහල් ද රජය මගින් පවත්වාගෙන යනු ලැබේ. මෙහි බටහිර ඉන්දීය කොදෙව් විශ්වවිද්‍යාලයේ මෝනා මණ්ඩපය (University of West Indies Mona) ද ඇතුළුව විශ්වවිද්‍යාල පහක් ඇත.

සෞඛ්‍යය : විශ්වවිද්‍යාලයට අයත් ආරෝග්‍ය ශාලාව ඇතුළු රජයේ රෝහල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන හා ඩිස්පැන්සරි මගින් ජනතාවට සෞඛ්‍ය සේවා සැලසේ. බෝවන රෝග මර්ධනය හා සනීපාරක්ෂක කටයුතු පිළිබඳ අවබෝධයක් ලබාදීම ද මෙම සේවාවට ඇතුළත් ය. පෞද්ගලික ආරෝග්‍යශාලා කිහිපයක් ද ජැමෙයිකාවේ ඇත.

සුභසාධන කටයුතු : යෞවන හා ප‍්‍රජා සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය යටතේ සමාජ සුභසාධන කොමිසම හා විවිධ ස්වේච්ඡුා කණ්ඩායම් විසින් සමාජ සේවා සලසනු ලැබේ. රජය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන අනිවාර්ය ජාතික රක්ෂණ ක‍්‍රමයට අවු. 18 සිට විශ‍්‍රාම යන තෙක් වයසේ සේවා නියුක්ත වූවන් අයත් වේ. නගර හා ගම්වල ඉදිකෙරෙන නිවාස යෝජනා ක‍්‍රමවල දී වැඩි අවධානය යොමු කරනු ලබන්නේ අඩු ආදායම් ලබන්නන් කෙරෙහි ය.

විවිධ වාර්ගික හා සංස්කෘතික කොටස් අතර සාමකාමී සහජීවනය සමාජ සැකැස්මේ කැපී පෙනෙන ලක්ෂණයකි. මිශ‍්‍ර විවාහ බහුල ය.

ජැමෙයිකාවේ කලා කටයුතුවල දියුණුවක් 1930 ගණන්වල දී ඇරඹිණි. ජැමෙයිකන් ලේඛකයින්ගේ හා චිත‍්‍ර ශිල්පීන්ගේ නිර්මාණ විදේශවල ද ජනප‍්‍රිය වී ඇත. ‘ජැමෙයිකන් ආයතනය’ හැරුණු විට ජැමෙයිකන් පුස්තකාල සේවය, විශ්වවිද්‍යාල හා කලා සංගම් මගින් ද මෙම කලා කටයුතුවලට අනුබල ලැබේ. කලා විද්‍යාලයක් ද මෙහි ඇත. 1962 පිහිටුවන ලද ජාතික නැටුම් හා නෘත්‍ය කණ්ඩායම විදේශයන්හි ද පැසසුමට ලක් වී ඇත. මේ හැර තවත් නෘත්‍ය හා සංගීත කණ්ඩායම් ඇත. සාම්ප‍්‍රදායික ජන සංගීත, කථා හා නැටුම් නගා සිටුවීමටත් කටයුතු කරනු ලැබේ.

ආගම : ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ජැමෙයිකාවේ නිල ආගමික නිදහස තහවුරු කර ඇත. නිල ආගමක් නැති නමුදු බහුතරය එංගලන්ත සභා පල්ලියට අයත් කිතුනුවෝ වෙති. ඒ හැර රෝමානු කතෝලික, මෙතෝදිස්ත, ප්‍රෙස්බිටීරියන් ආදි නිකායවලට අයත් කිතුනුවෝ ද යුදෙව්, හින්දු, මුස්ලිම් හා ඉතියෝපියානු පල්ලියට අයත් බැතිමත්තු ද සිටිති. ගූඪ විද්‍යාත්මක ලබ්ධීන්හි එල්බ ගත්තෝ ද ජැමෙයිකාවේ සිටිති.

හමුදා කටයුතු : යුද, ගුවන්, පොලිස් හා වෙරළ ආරක්ෂක බලකාවලින් හමුදාව සමන්විත වේ.

ප‍්‍රචාරක සේවා : එදිනෙදා පළවෙන පුවත්පත් දෙකක් ජැමෙයිකාවේ ඇත . සතිඅන්ත පුවත්පත් පහක් පමණ ඇත. මේ හැර වාර ස`ගරා කිහිපයක් ද පළවේ. ගුවන් විදුලි මධ්‍යස්ථාන දෙකකි. ඉන් එකක් මගින් රූපවාහිනී සේවයක් ද පවත්වාගෙන යනු ලැබේ. අභ්‍යන්තර තැපැල් සේවයක් ද ඇත. විදුලි සංදේශ කටයුතු මගින් විදේශ රටවල් සමග ද සම්බන්ධතා පවත්වනු ලැබේ.

ඉතිහාසය : යුරෝපීයයන්ගේ ආගමනයට පෙර මෙහි අරවක් (Arawak) නම් රතු ඉන්දියානුවන්ගේ වාසභූමිය වූයේ ය. නව ලෝකය ගවේෂණයට ගිය සිය දෙවන චාරිකාවේ දී ජැමෙයිකාව සොයා ගත් (1494) ක‍්‍රිස්ටෝපර් කොළම්බස් එය සැන්තියාගෝ යයි නම් කෙළේ ය. ජැමෙයිකාව යන නාමය අරවක් ඉන්දියානුවන් විසින් වහරන ලද සේමෙකා (Xaymec = වනය හා ජලය සහිත දේශය) යන්න අනුව බි‍්‍රතාන්‍යයන් යොදා ගත් නාමය ය. එහි රත්රන් නොමැතිවීම නිසා ස්පාඤ්ඤ රජය ජැමෙයිකාව ගැන සැලකිලිමත් නොවූයෙන් එය කොලම්බස් පවුල සතු ව පැවතිණ. කොලම්බස්ගේ පුත‍්‍රයාගෙන් ලබාගන්නා ලද බලපත‍්‍රයක් යටතේ ප‍්‍රදේශය නතුකරගෙන 1509 දී ජනාවාස පිහිටුවන ලද්දේ හුවාන් දෙ එස්ක්විල් (Juan de Esquivel) විසිනි.

1509 සිට 1655 දක්වා මෙපෙදෙස ස්පාඤ්ඤයන්ට නතු ව තිබිණි. දේශීය ආරාවාක් ඉන්දියානුවන් වනසා දැමූ ස්පාඤ්ඤයෝ ශ‍්‍රමිකයන් සේ අපි‍්‍රකානු වහලූන් රටට ගෙන ආහ. ස්පාඤ්ඤය සතු ව පැවති බටහිර ඉන්දීය දූපත්වලට පහර දුන් බි‍්‍රතාන්‍ය ජාතිකයන් විසින් 1655 දී ජැමෙයිකාව අල්ලා ගන්නා ලදි. 1660 වන විට සියලූ ම ස්පාඤ්ඤ ජාතිකයෝ රටින් පිටමං කරන ලදහ. කඳුකරයට පලා ගිය වහල්ලූ පසුකලක දී මැරූන්ස් (Maroons) නමින් හඳුන්වනු ලැබූහ. ඔවුන් සතු ඉඩම්වල අයිතියත් නිදහසත් සහතික කළ 1739 ගිවිසුම ඇති කරගන්නා තෙක් මැරූන්වරු බි‍්‍රතාන්‍යයන්ට විරුද්ධ ව ගරිල්ලා සටන් කළහ. ඔවුනට අවශ්‍ය ආධාර හා අනුබල ලැබුණේ ස්පාඤ්ඤයෙනි.

1661 දක්වා ජැමෙයිකාවේ පැවතියේ හමුදා පාලනයකි. ඉනික්බිති පාලනය භාර ව කැප්ටන් ජනරාල් හා ආණ්ඩුකාර තනතුර හෙබවූවෙක් හා විධායක කවුන්සලයක් ද පත් කරන ලදහ. මෙසමයේ දූපත මුහුදු කොල්ලකරුවන්ගේ මධ්‍යස්ථානයක් ව පැවතිණි. 1670 මැඞ්රිඞ් ගිවිසුමෙන් දිවයිනට බි‍්‍රතාන්‍ය අයිතිය නීත්‍යනුකූලව පිළිගනු ලැබීමෙන් පසුව මුහුදු කොල්ලකරුවන්ගේ කටයුතු මැඬලන ලදි. අනතුරුව ජැමෙයිකාව ඉංග‍්‍රිසීන්ගේ වහල් වෙළෙඳ කටයුතුවල මධ්‍යස්ථානයක් වූ අතර, උක්, ඉන්ඩිගෝ, කොකෝ වගාව හා ඒවා නිෂ්පාදනය දියුණු කෙරිණ. 18 වන ශතවර්ෂය වන විට ජැමෙයිකාව සීනි නිෂ්පාදනය අතින් වැදගත් යටත් විජිතයක් වීම එහි ප‍්‍රතිඵලයකි. ජැමෙයිකාව අත්කර ගැනීමට යළි ප‍්‍රංස හා ස්පාඤ්ඤ ජාතිකයින් දැරූ ප‍්‍රයත්න ව්‍යර්ථ වුණි.ෙ

1807 දී පාර්ලිමේන්තු පනතක් මගින් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ වහල් වෙළෙඳාම තහනම් කිරීමත් 1883 දී වහලූන්ට පූර්ණ විමුක්තිය සැලසීමත් ජැමෙයිකාවේ වගා කටයුතුවල යෙදුණ වැවිලිකරුවන්ගේ සෞභාග්‍යයට හා සුරක්ෂිතතාවට පහරක් විය. විමුක්තිය ලද වහලූන්ගෙන් සමහරු කඳුකරයට ගොස් ගොවිතැනින් යැපුණාහ. මෙනයින් ශ‍්‍රමිකයින් පිළිබඳ ප‍්‍රශ්නයක් මතුවිණ. යටත් විජිත නිෂ්පාදනවලට තිබූ තීරුබදු ආරක්ෂණය ද 1846 දී ඉවත් කෙරුණි. මේ හේතු නිසා ඉඩම් හිමි පන්තිය නියෝජනය වූ පාලක මණ්ඩලයේ නොසන්සුන්තා ඇතිවිය. සේවා වියුක්ති ප‍්‍රශ්න, බදුබර, අධිකරණ ක‍්‍රමයේ අක‍්‍රමිකතා, ආර්ථික දුෂ්කරතා සහ නියඟ වැනි ස්වාභාවික උවදුරු අසහනය තීව‍්‍ර කෙළේ ය. 1865 දී මෙරැුන්ට් බොක්කේ ඇති වූ කැරැුල්ලක දී මහේස්ත‍්‍රාත්වරයෙක් හා සුදු ජාතිකයෝ 18 දෙනෙක් මරා දමන ලදහ. මාර්ෂල් නීති ක‍්‍රියාත්මක කරමින් අරගල මැඬලූව ද අප‍්‍රසාදයට ලක් වූ ආණ්ඩුකාරවරයා යළි බි‍්‍රතාන්‍යයට කැඳවන ලදි. 1866 දී බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ පනතක් මගින් ජැමෙයිකාව කිරීට විජිතයක් බවට පත්වූ අතර විධායක හා ව්‍යවස්ථාදායක බලතල මෙහෙයවූ නව ආණ්ඩුකාරවරුන් යටතේ පාලන, අධිකරණ හා පොදු ජන සේවා කටයුතු ප‍්‍රතිසංවිධානය කරන ලදි.

ලෝක සංග‍්‍රාමවල දී ජැමෙයිකන් ජාතිකයෝ බි‍්‍රතාන්‍ය හමුදාවල සේවය කළහ. යුද්ධ ජැමෙයිකාවට එතරම් බලනොපෑව ද දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇතිවූ යටත් විජිත සංවර්ධන හා සුභසාධන පනතින් හා අන්‍ය මාර්ගවලින් ලද ආධාර ජැමෙයිකාවේ සංවර්ධන කටයුතුවලට ඉවහල් වුණි.

ජැමෙයිකාවට නියෝජිත ආණ්ඩුක‍්‍රමයක් ලබාදීමේ පියවර ගන්නා ලද්දේ 1884 සිට ය. ඒ තෝරා ගත් සාමාජිකයන් 9ක් ව්‍යවස්ථාදායකයට පත් කිරීමෙනි. 1944 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ද්විමණ්ඩල (Bicameral) ව්‍යවස්ථාදායකයක් ඇතිකිරීම, ස්වදේශීය ඇමතිවරුන් පත් කිරීම හා සර්වජන වැඩිහිටි ඡුන්ද බලය ක‍්‍රියාත්මක විය. නිලධරයන් හා ඇමතිවරුන් ඇතුළත් විධායක කවුන්සලයේ නායකත්වය ගත්තේ ආණ්ඩුකාරවරයායි. තෝරාගත් ඇමතිවරුනට 1957 දී දෙපාර්තමේන්තු සම්බන්ධ වගකීම් පවරන ලදි. නිළලත් සාමාජිකයන් 1957 දී විධායක කවුන්සලයෙන් ඉවත් කරන ලද්දෙන් එය අගමැතිගේ සභාපතිත්වයෙන් යුත් කැබිනට් මඬුල්ලක් බවට පත්විණි. 1958 දී ජැමෙයිකාව පොදු රාජ්‍ය මණ්ඩලය තුළ කැරිබියන් දූපත්වල එකමුතුවක් වූ බටහිර ඉන්දීය කොදෙව් සන්ධීය රාජ්‍යයට ඇතුළත් වුව ද 1962 මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ කම්කරු පක්ෂය විසින් මෙම සන්ධීය රාජ්‍යයෙන් ඉවත් ව ස්වාධීන ජැමෙයිකා රාජ්‍යය පිහිටුවා ගන්නා ලදි.

1959 පූර්ණ අභ්‍යන්තර ස්වපාලනය ලද ජැමෙයිකාව 1962 අගෝස්තු 6 දින පූර්ණ ස්වාධීනත්වය ලද්දේ ය. නිදහස ලද පසුව පැවැත්වූ පළමුවන මැතිවරණයෙන් (1967) ජයග‍්‍රහණය ලද්දේ කම්කරු පක්ෂයයි.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයකු වූ ජැමෙයිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ඒ ආශ‍්‍රිත ආයතන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද සාමාජිකත්වය දරයි.


අජන්තා සී. දයාරත්න

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජැමෙයිකාව_(Jameica)&oldid=878" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි