ඇනිලීන්

සිංහල විශ්වකෝෂය වෙතින්
16:11, 22 අගෝස්තු 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(ඇමයිනොබෙන්සීන්, පීනයිල් ඇමීන්) C6H5NH2 අලුතෙන් සා...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ඇමයිනොබෙන්සීන්, පීනයිල් ඇමීන්) C6H5NH2 අලුතෙන් සාදා ගත් ඇනිලීන් වූකලි අමිහිරි ගඳක් ඇති නිර්වර්ණ ද්‍රවයකි. එය විෂ සහිතය; වාතය හා ස්පර්ශ වූ විට ඔක්සිකරණය වීම නිසා ඉක්මනින් දුඹුරුපාට වේ. විශාල ද්‍රව්‍ය සංඛ්‍යාවක් නිපැදවීමේ දී මුල් ද්‍රව්‍යයක් වශයෙන් ඇනිලීන් යෙදෙන බැවින් එය ඉතා වැදගත් රසායනික සංයෝගයක් වේ. ඇනිලීන්වල ප්‍රධාන වැදගත්කම රඳා පවත්නේ නොයෙක් සායම් වර්ග, ඖෂධ හා රබර් කර්මාන්තයන්හි යෙදෙන රසායන ද්‍රව්‍ය යනාදිය නිෂ්පාදනයේ දී අන්තර සංයෝගයක් වශයෙන් එහි ඇති වටිනාකම මතය. ද්‍රාවකයක් වශයෙනුත් එය පාවිච්චි කරනු ලැබේ.

ඉන්ඩිගෝ (අවරිය) වියළි ආසවනයට භාජන කිරීමෙන් 1826 දී උන්ෆෙර්ඩෝර්බෙන් (Unverdorben) පළමුවෙන් ඇනිලීන් ලබා ගත්තේය. ඔහු එයට ක්‍රිස්ටලින් (crystalline) යන නම දුනි. රුංග (Runge) 1834 දී ගල් අඟුරු තාරවලින් එය ලබාගෙන ඊට කියනෝල් (kyanol) යන නම දුනි. 1841 දී ෆ්‍රිට්ෂ (Fritsche) මේ ද්‍රව්‍යය ඉන්ඩිගෝවලින් ලබාගෙන ඇනිලීන් යන නම දුනි. (සංස්කෘත භාෂාවේ ඉන්ඩිගෝ හඳුන්වනුයේ නීලී නමිනි.) පළමුවෙන් සංශ්ලේෂණ ක්‍රමයෙන් ඇනිලීන් නිපදවන ලද්දේ සිනින් (Zinin) විසින් 1842 දීය. අශුද්ධ ඇනිලීන් සල්පේට් ඔක්සිකරණයෙන් ප'කින් (Perkin) විසින් 1856 දී 'මෝව්' (mauve) නම් සායම් වර්ගය ලබාගන්නා ලදි. නිෂ්පාදනය කළ පළමු වැනි සායම් වර්ගය මෙයයි. වෙළෙඳාම පිණිස ඇනිලීන් පළමුවෙන් නිෂ්පාදනය කරන ලද්දේ 1857 දීය.

විද්‍යාගාරයේ ඇනිලීන් නිෂ්පාදනය කරනු ලබන්නේ ටින් වැනි ලෝහයක් ද හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වැනි අම්ලයක් ද මගින් නයිට්‍රොබෙන්සීන් ඔක්සිහරණය කිරීමෙනි. C6H5NO2+6(H)→C6H5 NH2+2H20

කාර්මික ලෙස ඇනිලීන් නිෂ්පාදනය කිරීමේ දී යකඩ, ජලය හා හයිඩ්‍රොක්ලෝරික් අම්ල මඳ ප්‍රමාණයක් සමඟ නයිට්‍රොබෙන්සීන් ඔක්සිහරණය කරනු ලැබේ. ක්ලෝරොබෙන්සීන් ඇමයිනීකරණයෙන් ද ඇනිලීන් නිෂ්පාදනය කළ හැකිය.

ඇනිලීන්වල තාපාංකය සෙ. 184.4°; හිමාංකය සෙ. 6.2°; සෙ. 20° දී ඝනත්වය 1.022; විශිෂ්ට තාපය 0.518. ඇනිලීන් දුර්වල භස්මයකි. සෙ. 25° දී එහි දෘශ්‍ය විඝටන නියතය K = 4.6 X 10–10ය. ඇනිලීන් සම්පූර්ණයෙන් ම වාගේ ජලයේ අද්‍රාව්‍යය. කාබනික ද්‍රාවකවල එය පහසුවෙන් ද්‍රාව්‍ය වේ.

ඉතාම සරල ඇරොමැටික ඇමයිනය ඇනිලීන්ය. ඇනිලීන්වල ලක්ෂණ සාමාන්‍යයෙන් ප්‍රාථමික ඇරොමැටික ඇමයිනවල ලක්ෂණ මය. ඇමයිනො කාණ්ඩයට සම්බන්ධ වන ප්‍රතික්‍රියාවලට ද ඇරෝමැටික න්‍යෂ්ටියට සම්බන්ධ වන ප්‍රතික්‍රියාවලට ද ඇනිලීන් භාජන වේ. ඇමයිනො කාණ්ඩයට පමණක් සම්බන්ධ වන ඇතැම් ප්‍රතික්‍රියා පහත සඳහන් වේ. අම්ල සමග ඇනිලීන් ප්‍රතික්‍රියා කරමින් ස්ඵටිකරූපී ලවණ සාදයි. මේවායින් බොහොමයක් ජලයේ අද්‍රාව්‍යය. ඒවා අතුරෙන් ඉතා වැදගත් ලවණය හයිඩ්‍රොක්ලෝරයිඩ්ය. අම්ලනයෙන් (acylation) ඇසිට්ඇනිලයිඩ් (C6H5NHCOCH3) සෑදේ.

ඇනිලීන් සහ එහි වළලු ආදේශ වූ ව්‍යුත්පන්නයන් (ring substituted derivatives) පහසුවෙන් ඩයැසොටීකරණය (diazotised) වේ. ඒවා ඇරොමැටික ඇසො සංයෝග සමඟ ප්‍රතික්‍රියා කරමින් ඇසො සංයෝග සාදයි. K, Na, Mg හා Ca වැනි ලෝහ ද්‍රවණය කරමින් ඇනලීන් ලෝහ ඇනලයිඩ (C6G5NHM, M = ඒකසංයුජ ලෝහයක්) සාදයි. ඇනිලීන් ඔක්සිකරණය කරන විට ඇමයිනො කාණ්ඩය හා ඇරොමැටික න්‍යෂ්ටිය යන දෙක ම කෙරෙහි ඔක්සිකරණය බල පෑ හැකිය. නොයෙක් තත්වයන් යටතේ ද නොයෙක් කාරකයන් මගින් ද ඇනිලීන් ඔක්සිකරණය කිරීමේ හේතුවෙන් විවිධ ඵල සංඛ්‍යාවක් ලැබේ. යොදනු ලබන ප්‍රතිකාරකයන් හෝ තත්වයන් හෝ අනුව ඇනිලීන්වල ආදේශ ප්‍රතික්‍රියාවන් බොහොමයක් ඇරොමැටික න්‍යෂ්ටිය කෙරෙහි හෝ ඇමයිනො කාණ්ඩය කෙරෙහි හෝ ඒ දෙකම කෙරෙහි හෝ බලපායි. ඇනිලීන් හා ප්‍රාථමික ඇලිපැටික ඇමයින අතර ඇති ඉතා ම වැදගත් වෙනස නම් ඒවා නයිට්‍රස් අම්ලයත් සමඟ ප්‍රතික්‍රියා කරන අන්දමය. නයිට්‍රස් අම්ලයත් සමඟ ප්‍රතික්‍රියා කරන විට ඇල්පැටික ඇමයින නයිට්‍රජන් මුදා හරියි. එහෙත් නයිට්‍රස් අම්ලයත් සමඟ ඇනිලීන් ප්‍රතික්‍රියා කොට ඩයැසෝනියම් ලවණ සාදයි. C6H5NH2+HN02+HCl->C6H5N2C1+2H20

ඇල්ඩිහයිඩ්, ක්ලොරොපෝම්, පීනෝල ආදිය සඳහා ප්‍රතිකාරකයක් වශයෙන් ඇනිලීන් යොදනු ලැබේ. නිර්වර්ණ ද්‍රාවණ පිළියෙල කිරීම සඳහා බැක්ටීරියාවේදයෙහි ඇනිලීන් පාවිච්චි කරනු ලැබේ. වෛද්‍ය විද්‍යාවේ එය පූතිනාශකයක් වශයෙන් යොදනු ලැබේ. ඇන්ටිෆෙබ්රින් හා ඇටොක්සිල් වැනි ඖෂධ ඇනිලීන්වලින් නිෂ්පාදනය කරනු ලැබේ. සායම් හා රබර් කර්මාන්තවල කාබනික සංශ්ලේෂණය සඳහා එය බෙහෙවින් පාවිච්චි කරනු ලැබේ. රොසනිලින්, මැජෙන්ටා, මෙතිලීන් බ්ලූ, ඇනිලීන් බ්ලූ යනාදිය ඇනිලීන්වලින් නිෂ්පාදනය කරනු ලබන ප්‍රකට සායම් වර්ග වේ. ටෙට්‍රනයිට්රොඇනිලීන් වනාහි ඇනිලීන්වලින් සාදා ගන්නා ඉතා බලවත් ස්ඵෝටක ද්‍රව්‍යයකි.

ඇනිලීන් පිළිබඳ කර්මාන්තවල යෙදී සිටින කම්කරුවන්ගේ ශරීර විෂ වන බව ද දැනගෙන තිබේ. එවැනි අය කෙරෙහි දක්නට ලැබෙන ලක්ෂණ නම් නීරක්තිය (anaemia), සමේ බිබිලි ආදිය හට ගැනීම, පෙනීම අඩු වීම ආදිය වේ. විෂ වීම උග්‍ර වුවහොත් ඉසරදය, කරකැවිල්ල, ඔක්කාරය, සන්‍යාසය (coma) යනාදි ලක්ෂණ ද ඇති වේ.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇනිලීන්&oldid=8943" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි