ඇඳිරි නීතිය

සිංහල විශ්වකෝෂය වෙතින්
14:32, 1 සැප්තැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඇඳිරි නීතිය යන අදහස ඇති curfew යන ඉංග්‍රීසි වචනය “(...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇඳිරි නීතිය යන අදහස ඇති curfew යන ඉංග්‍රීසි වචනය “(ළිප්) ගිනි වසා (නිවා) දමනු” යන අර්ථය ඇති ප්‍රංස couvre-feu යන්නෙන් බිඳුණකි. අඳුරු වැටීගෙන එද්දී මෙසේ ගිනි නිවා දැමීමට ඝණ්ටා නාදයක් හෝ එබඳු කිසියම් සංඥාවක් මගින් නියෝග කිරීම මධ්‍යතන යුගයේ යුරෝපයේ පැවති සාමාන්‍ය සිරිතකි. නගර ගොඩනැඟිලි ආදිය බහුල වශයෙන් දැවවලින් නිර්මාණය කරනු ලැබූ සමයෙක ගිනි පැතිරී යෑම ගැන තිබුණු භීතිය නිසා මෙම සිරිත ඇති විය. එහෙත් අද ලෝකයේ රටවල, විශේෂයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී රටවල, ඇඳිරි නීතිය පනවනු ලබන්නේ හදිසි අවස්ථාවල දී පමණි.

රටේ අනතුරුදායක තත්වයක් පැන නැඟේ යයි වැටහුණු කල යුද්ධ නීතිය පැනවීමට මෙකල ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුවට බලය ඇත්තේය. සාමාන්‍යයෙන් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ විශේෂ පනත්වල මේ සඳහා ඉඩ සලසා තිබේ. ලංකාවේ මහජන ආරක්ෂක පනතෙහි (1947) 16 වැනි ඡේදයට අනුව අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ඇතිව, රටේ කැරලි කෝලාහල වැනි අනතුරුදායක සිද්ධීන් ඇති වූ කල්හි හදිසි අවස්ථාවක් පැන නැඟ ඇති බව ප්‍රකාශ කර යුද්ධ නීතිය පනවා පාලකයන් හා රට වැසියන් ආරක්ෂා කිරීම සඳහා ආයුධ සන්නද්ධ භට හමුදාවන් යෙදවීමට අග්‍රාණ්ඩුකාරවරයාට පුළුවන. යුද්ධ නීතිය ක්‍රියා කරවීමේ දී අනිවාර්යයෙන් ම ඇඳිරි නීතිය ද පනවනු ලැබේ. ඉර බසින වේලාවේ සිට ඉර පායන තෙක් - එනම් සවස හයේ සිට උදේ හය දක්වා - තමන්ගේ ගෙවල් ඇතුළට වී සිටීමට රට වැසියන්ට නියම කිරීම මෙකල ඇඳිරි නීතිය මඟින් සිදු වේ.

1915 දී ලංකාවේ හටගත් සිංහල-මරක්කල කෝලාහලය හේතු කොට පැනනැඟුණු හදිසි තත්වය මැඩ පැවැත්වීම සඳහා එකල ආණ්ඩුකාර පදවිය දැරූ සර් රොබට් චාමස් විසින් ජූනි 2 දා පැනවූ යුද්ධ නීතිය අගෝස්තු 30 වැනි දා දක්වා පැවැත්තේය. ඒ අවස්ථාවේ දී අඳුරු නීතිය වළංගුව පැවතිණ. මින් පසුව ලංකාවේ හදිසි අවස්ථා ප්‍රකාශ කොට ඇඳිරි නීතිය පැනවූ අවස්ථා කිහිපයක් විය. 1953 දී 'හර්තාලය' ඇති වූ කල්හි ඇඳිරි නීතිය පනවන ලදි. 1958 දී ඇති වූ සිංහල-දෙමළ කෝලාහලයේ දී ද ඇඳිරි නීතිය පනවනු ලැබීය. එම වර්ෂයෙහි මැයි මස 27 වැනි දින හදිසි අවස්ථාවක් පැන නැඟී ඇති බව අග්‍රාණ්ඩුකාරවරයා විසින් ප්‍රකාශයට පමුණුවන ලදි.

1959 දී සිදු වූ අග්‍රාමාත්‍ය (ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක) ඝාතනයෙන් පසුවත් 1953 අගෝස්තු මාසයේ හර්තාලය පැවති විටත් 1961 දී පෙඩරල් පක්ෂයේ සත්‍යග්‍රහ ව්‍යාපාර තිබුණු විටත් 1962 දී සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණයක් ඇති වී යයි සැක කරන ලද විටත් ඇඳිරි නීතිය පනවන ලදි.

ජාතික රජයේ රාජ්‍ය භාෂා විධි විධාන පනතට විරුද්ධව 1966 ජනවාරි 8 වැනි දින විරුද්ධ පක්ෂයන් එකතුව කොළඹ පැවැත්වූ පෙළපාලියෙන් අනතුරුව ද සුළු කලක් කොළඹ හා අවට නාගරික ප්‍රදේශ කීපයක ඇඳිරි නීතිය පනවා තිබිණි.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇඳිරි_නීතිය&oldid=9029" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි