උඩරට සමයේ මූර්ති ශිල්පය

සිංහල විශ්වකෝෂය වෙතින්
08:40, 24 ඔක්තෝබර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('උඩරට සමයේ කැටයම් කලාව දියුණු තත්වයක පැවතුණ ද ප...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

උඩරට සමයේ කැටයම් කලාව දියුණු තත්වයක පැවතුණ ද ප්‍රතිමාකරණය පිළිබඳ විශේෂ නිපුණත්වයක් එකල ශිල්පීන් සතු වූ බවක් නොපෙනේ. බුදු පිළිම ද, දෙවිවරුන්ගේ, රජුන්ගේ සහ විහාරවලට ගම්බිම් පිදූ සැදැහැවතුන්ගේ පිළිරූ ද මෙකල ශිල්පීන් අතින් නිමැවුණ ද ඒ අතුරෙහි කලාත්මක වටිනාකමක් ඇති ප්‍රතිමා විරලය. ලෝකඩ, තඹ, රිදී, ඇත්දත්, ගල්, ගඩොල්, මැටි යන ද්‍රව්‍යවලින් මෙකල පිළිම සාදන ලදි. ඇතැම් කුඩා බුදුපිළිම රනින් ද නිමවන ලදි.

මෙසමයට අයත් බුදුපිළිම බොහොමයක් නිමැවී ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ රාජ්‍ය සමයේ දී යයි සිතිය හැකිය. මහනුවර ලේවැල්ලේ පිහිටි ගංගාරාමය, කුණ්ඩසාලේ විහාරය, කුරුණෑගල රිදී විහාරය ආදි ස්ථානයන්හි මේ රජතුමා විසින් බුදුපිළිම කරවන ලද බව චූලවංසයෙහි සඳහන් වෙයි. අස්ගිරියේ විජයසුන්දරාරාමය ද දඹුලු විහාරය සහ මාතලේ අළුවිහාරය ද මහනුවර සමයට අයත් විශාල බුදුපිළිම ඇති සිද්ධස්ථාන වේ.

අස්ගිරියේ විජයසුන්දරාරාමයෙහි ඇති ඔත්පිළිමය සම්පූර්ණයෙන් ම ගලින් නිමවන ලද්දකැයි ආනන්ද කුමාරස්වාමි මහතා පවසන නමුදු එහි උඩුකය පමණක් ගලින් ද සෙසු කොටස මැටියෙන් ද නිමවන ලද බව පෙනේ. පිළිමයේ දිග අඩි සතලිහකට නොඅඩුය. පිළිමය එතරම් විශාල වුව ද එය කලාත්මකව නිමවීමට ශිල්පියා සමත් වී ඇත. මෙම විහාරස්ථානයේ පැරණි පිළිමගෙය තුළ මනහර මකර තොරණක් යට ඇති වැඩහුන් පිළිමය කුරුවින්දපාෂාණයෙන් නෙළන ලද්දකැයි සැලකේ. මහනුවර සමයට අයත් ඇත්දත් පිළිමයක් ද මේ විහාරය සතුව තිබේ. මේ පිළිමය කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් සියම් දේශයට යවන ලද දූත පිරිස අත එරටට පඬුරු වශයෙන් යැවීම සඳහා නෙළවන ලද්දකැයි විශ්වාස කෙරේ. පිළිමය පීඨයක් සහිතව තනි දළකඩකින් නිමවන ලද්දකි. සිරස්පත මුදුනේ සිට පීඨයේ අඩිය දක්වා උස අඟල් 131/2කි. සිරස්පත මුදුනේ සිට පාද දක්වා වූ පිළිමයේ උස අගල් 12කි. උරහිස් දෙක අතර පළල අඟල් 4ක් ද පිඨයේ වටප්‍රමාණය අඟල් 101/2ක් ද වේ. පිළිමය පිඨයට සවිමත්ව බද්ධ කරනු සඳහා සිවුරු කොනත් පීඨයත් සීන මලකින් සම්බන්ධ කොට තිබේ. ඌර්ණරෝමය රිදී කෙන්දක් ගිල්ලීමෙන් දක්වා ඇතැයි කියති. පිළිමයේ දකුණු අතින් ව්‍යාඛ්‍යාන මුද්‍රාව දැක්වෙයි. දකුණු අල්ලෙහි මණ්ඩල සතරක් නිරූපිතය. ඍජුව පහතට වැටෙන සේ දක්වා ඇති වම් අතින් සිවුරු කොන ගත් බවක් දැක්වෙයි. පොරෝනා සිවුරට යටින් අඳනයේ වාටිය දක්වා ඇත. මහනුවර සමයට අයත් වෙනත් බුදුපිළිම හා සසඳා බලන විට මේ බුදුපිළිමය කලාත්මකව නිමවා ඇති බව කිව යුතුය. උඩරට සමයේ ලෝකඩ පිළිමයකට මනා නිදසුනක් වශයෙන් එච්.සී.පී. බෙල් මහතා කෑගලු වාර්තාවෙහි ලා සඳහන් කරන ගල්බොඩ කෝරළේ දනගිරිගල විහාරයේ වැඩහුන් පිළිමය දැක්විය හැකිය. මෙය ද විසිතුරු මකර තොරණක් යට තැන්පත් කරන ලද්දකි. බෙල් මහතා උපුටා දක්වන සන්නස් පත්‍රයකට අනුව මෙය රාජාධිරාජසිංහ රජු විසින් කරවන ලද්දකි. වජ්‍රාසනය මත වැඩ හිඳින අයුරින් නිර්මිත මේ පිළිමයෙහි දකුණු පතුල වම් පතුල මත ද දකුණු අත්ල වම් අත්ල පිට ද තබා ඇත. දැනට දක්නට නොමැති මේ පිළිමයේ රූපයක් බෙල් මහතාගේ කෑගලු වාර්තාවෙහි දැක්වෙයි.

උඩරට සමයට අයත් බුදු පිළිමවල විශේෂ ලක්ෂණ දෙකක් නම් සිරස්පත යෙදීම සහ සිවුරේ රැළි එකිනෙකට ළංව උඩට නෙරා සිටින සේ දැක්වීම ද වේ. සිරස්පත යොදන ලද්දේ බුදුරජාණන්වහන්සේගේ තේජස්කදම්බය දැක්වීමටය. වැඩහුන් බුදුපිළිම මකර තොරණක් සහිතව තැනීම සාමාන්‍ය සිරිත විය. මැටියෙන් හා දැවයෙන් තනන ලද පිළිමවල සායම් ආලේප කරන ලදි. ඇතැම් පිළිමවල සායම් වෙනුවට රන් ආලේප කරන ලදි. නේත්‍රප්‍රතිෂ්ඨාපනය චාරිත්‍රානුකූලව කරන ලද මංගල කාර්යයක් වූයේය.

ප්‍රතිමාකරණයෙහි දී උඩරට ශිල්පීන් විසින් ගුරු කොටගන්නා ලද්දේ ‘ශාරිපුත්‍ර’ නම් වූ ශිල්පශාස්ත්‍ර ග්‍රන්ථයයි.

උඩරට සමයේ පැවති කැටයම් ශිල්පයට නිදසුන් තනි තනිව නිමවුණු කෘති වශයෙන් මෙන් ම තත්කාලීන ගොඩනැඟිලිවල ගෘහනිර්මාණ අංග හැටියට ද දැක්ක හැකිය. දැවමුවා කැටයම් මෙන් ම සෙල්මුවා හා ඇත්දත්මුවා කැටයම් ද මේ අතර වේ. උළුවහුවල සහ ටැම්වල ඇති කැටයම් මෙහි ලා විශේෂයෙන් සඳහන් කළ යුතුය. (වෙනත් කැටයම් පිළිබඳව ‘උඩරට සමයේ සුළු කලා ශිල්ප’ යටතේ බලන්න).

මෙසමයට අයත් සඳකඩපහණවල විශේෂත්වයක් ඇත. අනුරාධපුර පොළොන්නරු යුගවලට අයත් සඳකඩපහණවල හැඩය අර්ධකවාකර වුව ද උඩරට සමයේ සඳකඩපහණ සාමාන්‍යයෙන් ත්‍රිකෝණාකාර හැඩයක් ගනී. පැරණි සඳකඩපහණවල දැක්වෙන රූඪීගත මෝස්තරය වෙනුවට මෙසමයට අයත් සඳකඩපහණවල සාමාන්‍යයෙන් දැක්වෙන්නේ මකර කටවල් දෙකකින් නික්මෙන ලියවැලකි. මේ මකර කටවල් දෙක කැටයම් කොට ඇත්තේ සඳකඩපහණේ තිරස් තීරුව දෙකෙළවරය. සඳකඩපහණ මැද පද්මයක සංකේතයක් සේ සැලකිය හැකි අල්පෝන්නත කවයකි. ඇතැම්විට මේ කවයෙහි ‍නෙලුම් ‍පෙති ද දැක්වෙයි. මේ විදියේ සඳකඩපහණ දළදා මාළිගයෙහි ද මඟුල් මඩුවෙහි හා මහදේවාලයෙහි ද දැක්ක හැකිය. කුණ්ඩසාලේ රජමාළිගාවෙන් ගෙනවුත් දැනට මහනුවර පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි තැන්පත් කොට ඇති සඳකඩපහණ මෙබඳු කෘතියකට කදිම නිදසුනක් වේ. මෙම රටාවට වෙනස්ව නිමවන ලද සඳකඩපහණ කිහිපයක් ද තන්හි තන්හි දක්නා ලැබේ. කුරුණෑගල රිදී විහාරයේ උඩමළුවේ පිළිමගෙය ඉදිරිපිට ඇති සඳකඩපහණ මෙයින් එකකි. මෙහි හැඩය අර්ධකවාකාරය. පිටතට ම ඇති තීරුවෙහි පලාපෙති මෝස්තරය වේ. දෙවැනි තීරුවෙහි ඇතා, සිංහයා, අශ්වයා, ගවයා යන සතුන් මාරුවෙන් මාරුවට කැටයම් කොට ඇත. අශ්වයාගේ රූපය දක්වා ඇත්තේ සෑදලයක් ද සහිතවය. ඇතාගේ බඳ ද සරසා ඇත. නේමියේ සිට තෙවැනි තීරුවෙහි මල්වැලක් ද සිවුවැන්නෙහි හංසපේළියක් ද පස්වැනි තීරුවෙහි ලියවැලක් ද වේ. මේ ලියවැල සහ හංසපේළිය ද දක්වා ඇත්තේ තත්කාලීන වෙනත් කැටයම්වල එම මෝස්තර රටා දැක්වෙන ආකාරයට වෙනස්වය. ලියවැලෙහි පත්‍ර ඝනව, බහුලව දක්වා ඇත. හංසපේළිය ද ලතාකර්මයකට හුරුය. සඳකඩපහණේ තිරස් තීරුව මධ්‍යයෙහි පෙති සහිත නෙළුම්මල් කැටයමක් වේ. බෙලිගල් කෝරළයේ බෙලිගල විහාරයට අයත් විශේෂ සඳකඩපහණක් එච්.සී.පී. බෙල් මහතා කෑගලු වාර්තාවෙහි ලා විස්තර කරයි. මෙහි හැඩය ද අර්ධකවාකාරය. නේමියේ සිට මුල් ම තීරුවෙහි පලාපෙති මෝස්තරය බඳු රටාවකි. මේ තීරුව මැද, සඳකඩපහණ මුදුනෙහි, කිබිහි මුහුණ දැක්වේ. සඳකඩපහණේ තිරස් තීරුව දෙපස දෙපයින් සිටගත් මකර රූ දෙකකි. නේමියේ සිට දෙවැනි තීරුවෙහි ඇති සිංහපෙළ මකරුන් දෙදෙනාගේ මුවින් නික්මෙන සේ නිරූපිතය. තෙවැනි තීරුවෙහි ඇත් පේළියක් ද සිව්වැනි තීරුවෙහි අශ්වපේළියක් ද තිරස් තීරුව මැද පද්ම ලාංජනයක් ද වේ. මෙහි එක් එක් සත්ව තීරුව දක්වා ඇත්තේ තීරස් තීරුවෙහි දෙකෙළවර සිට සඳකඩපහණ මධ්‍යයේ දී මුණගැසීමට එන සත්වපේළි දෙකක් වශයෙනි.

මහනුවර සමයේ කැටයම් ශිල්පීන්ගේ කෞශල්‍යය දැක්වෙන තවත් කෘති කිහිපයක් වෙයි. කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ මාළිගයට අයත් වූ පුන්කලස් සහිත කැටයම් පුවරු යුගලයක් ද ඇත්රුවක් සහිත කැටයම් පුවරුවක් ද මේ අතර වෙයි. මේ කැටයම් නෙළා ඇත්තේ අල්පෝන්නතවය. පුන්කලස දැක්වෙන කැටයම් පුවරුවෙහි බොරදම් සහිත ආසනයක් මත සීනමලක් ද ඊ මත රටාගත පුන්කලස ද වේ. පුන්කලස තුළ ශෛලිගත පොල්මලකි. ඒ අතරට ද සීනමල යොදා ඇත. පොල්මල මුදුනේ ගිරා ජෝඩුවකි. පුන්කලස දෙපසින් ද, කැටයම් පුවරුවෙහි හිස්තැන් මකාලීම සඳහා සිරස් අතට යොදන ලද රටා මෝස්තරයක් වේ. මේ කැටයමෙහි සෑම අංගයක් ම සියුම්ව නෙළා ඇත. මේ එක් කැටයම් පුවරුවක් උසින් අඟල් 78 1/2ක් ද පුළුලින් අඟල් 34ක් ද වන අතර අනිත් පුවරුවේ උස අඟල් 75 1/2ක් ද පුළුල අඟල් 33ක් ද වේ. දෙවනු කී ඇත් රූ කැටයම් අඟල් 56ක් උස් වූ ද අඟල් 68 1/2ක් පුළුල් වූ ද ගල්පුවරුවක නෙළා ඇත. ඇතා දක්වා ඇත්තේ ගමන් ගන්නා ඉරියව්වෙනි. සොඬ අගින් ඌ මලක් ගෙන ඇත. උගේ බඳ සරසන ලද බව දැක්වෙයි. ඇතු පිට සිටින ඇත්ගොව්වාගේ රූපයෙහි කොටසක් කැඩී ගොස් ඇත. මෙහි ඇත් රූපය දක්ෂ ලෙස කැටයමට නඟා ඇති බව පෙනේ. මෙකී කැටයම් පුවරු තුන ම දැනට දක්නා ලැබෙන්නේ මහනුවර පුරාවිද්‍යා කෞතුකාගාරයෙහිය.

මහනුවර දළදා මාළිගයේ ප්‍රධාන දොරටුව දෙපස ද මීට සමාන ඇත්රූ කැටයම් දෙකක් වේ. එහෙත් මේ කැටයම් පුවරු දෙක නරේන්ද්‍රසිංහ මාළිගයේ කැටයමට වඩා සියුම්බවක් හා විසිතුරුබවක් දක්වයි. මේවායේ ඇත්රුව දක්වා ඇත්තේ ප්‍රහාරයක යෙදෙන ආකාරයටය. ඇතුගේ බඳ සරසා ඇති අතර මිණිගෙඩි ද උගේ සිරුරේ චලනයට අනුව පැද්දෙන බව දැක්වේ. නරේන්ද්‍රසිංහ මාළිගයේ කැටයමෙහි මෙන් නොව මෙහි ඇතුගේ පාදවල ද ආභරණ වේ. ඇතුගේ සොඬ අග සීන මලකි. හෙණ්ඩුවක් අතින් ගත් ඇත්ගොව්වෙක් ඇතු අරා හිඳියි. ඇත්ගොව්වා හෙණ්ඩුව ගෙන සිටින විලාසයෙන් පෙනෙන්නේ ඔහු ඇතු ප්‍රහාරයට මෙහෙයවන බවයි. මෙකී කැටයමෙහි විද්‍යමාන විනීතබව ගැන සලකන විට පෙනීයනුයේ එය නරේන්ද්‍රසිංහ මාළිගයේ කැටයමට වඩා පසුකාලීන කෘතියක් බවයි.

දළදා මාළිගයේ දොරකොටුව දෙපස ඇති පංචනාරිඝටය දැක්වෙන කැටයම් පුවරු දෙක ද සියුම්ව නෙළන ලද්දේ වෙයි. කැටයම මුදුනෙහි ම ඇති නාරිරූපයේ හිස දෙපස පෙදෙස පිරී පවත්නේ පොල්මල් රටාවකිනි. නාරිරූපයන්හි අඟපසඟ මනාව කැටයමට නඟා ඇත.

මකර තොරණ (බ.) උඩරට සමයේ පොදු වශයෙන් දක්නා ලැබෙන නිර්මාණයකි. විහාර දේවාලයන්හි දොරටුවෙහි ද විශේෂයෙන් බුදුපිළිම සඳහා ආරුක්කුවක් වශයෙන් ද මෙය යොදා ඇත. මකර තොරණ මධ්‍යයෙහි වූ කිබිහි මුහුණ දෙපස දෙවිවරුන්ගේ හෝ මුරායුධ ගත් දොරටුපාලයන්ගේ රූප යෙදීම සාමාන්‍ය සිරිත විය. අස්ගිරිය විහාරයේ පෝයගෙයි මෙන් ඇතැම් තන්හි මකර තොරණේ සිරස්කණු දෙකට යාව ද දොරටුපාල රූප යොදා තිබේ. මකර තොරණ සාමාන්‍යයෙන් අඹන ලද්දේ මැටියෙනි. මහනුවර දළදා මාළිගයෙහි ප්‍රධාන දොරටුවේ ඇති මකර තොරණ වැනි ගලින් කළ මකර තොරන් ද දනගිරිගල විහාරයෙහි මෙන් දැවයෙන් කළ මකර තොරන් ද වේ. ඇඹීම් කටයුතු නිමවූ පසු කෙරෙන වර්ණාලේපය නිසා මේ මකර තොරන් බොහොමයක් දර්ශනීය වේ. රිදී විහාරය, කුණ්ඩසාලේ විහාරය, සූරියගොඩ විහාරය සහ අස්ගිරියේ විහාරය යන ස්ථානයන්හි කලාත්මක මකර තොරන් දක්නා ලැබේ.

(සංස්කරණය: 1970)