උදරච්ඡද ප්‍රදාහය
පරිතාන ප්‍රදාහය (Peritonitis) නමින් ද හැඳින්වෙන රෝගයකි. අභ්‍යන්තර වශයෙන් උදර කුහරය ද බාහිර වශයෙන් අන්තරංගයන් (viscera) ද ආවරණය කරන මස්තුමය (serous) පටලයෙහි ඇති වන ප්‍රදාහය උදරච්ඡද ප්‍රදාහය නමින් හඳුන්වනු ලැබේ. එය මූලික රෝගයක් වශයෙන් පවතින්නේ කලාතුරකිනි.
නිදානය
ආසාදක ජීවීන් හෝ වෙනත් ආගන්තුක ද්‍රව්‍යයන් හෝ උදරච්ඡදය (peritoneum) කරා පැමිණීමෙන් මේ ප්‍රදාහය හටගනී. උදරච්ඡදයත් ප්‍රදාහය නිසා ඇති වන ද්‍රව්‍යයනුත් කදිම රෝපණ මාධ්‍යයන් (culture media) බැවින් උදරච්ඡදගත වූ ව්‍යාධිජනක ජීවීහු වහ වහා බෝවෙති. ආමාශයාන්තරික කාර්ශය තුළ සාමාන්‍යයෙන් ගැවසෙන පරපෝෂිත ජීවීහු මේ රෝගයට බොහෝ සෙයින් ම හේතු වන්නාහ. පහත දැක්වෙන්නේ එවැනි ක්ෂුද්‍ර ජීවීන් උදරච්ඡදගත වන ක්‍රම කිහිපයකි:-
1. අනුබද්ධප්‍රදාහය (appendicitis), පැලෝපියන් නාලවල ප්‍රදාහය, අග්න්‍යාශය ප්‍රදාහය වැනි උදර රෝගයකින් උදරච්ඡදයට දාහය පැතිර යාම,
2. ආමාශයාන්තරික ආළිය සිදුරු වී එහි අඩංගු විෂ ද්‍රව්‍යයන් උදරච්ඡදගත වීම් (මෙසේ වන්නේ වණ ආදිය සෑදී මහාප්‍රාවීරය තුනී වූ විටයි. උණ සන්නිපාතය, අතීසාරය, ක්ෂය රෝගය යනාදි රෝගයන්හි දී බඩවැලේ වණ සෑදේ.),
3. වෙඩි වැදීමෙන් හෝ පිහි, කිරිච්චි ආදි උල් ආයුධවලින් හෝ උදරභිත්තිය පසාරු වීම හේතුකොටගෙන බාහිර ජීවීන් උදරච්ඡදගත වීම,
4. රුධිර හෝ වසාවාහිනී මාර්ගයෙන් ක්ෂුද්‍ර ජීවීන් උදරච්ඡදගත වීම,
5. ඉන්ද්‍රිය භඤ්ජය හෙවත් පිත්තාශය, ඩිම්බාධාර කෝෂ්ඨ වැනි ඉන්ද්‍රියයන් බිඳී යාම.
ප්‍රදාහය පටන් ගන්නට පෙර උදරච්ඡද පටලයෙහි දිලිසෙනසුලුබව අඩු වී රතු පැහැයක් ඇති වෙයි. පසුව මස්තුමය ද්‍රවයක් ද ඉන් අනතුරුව සැරව ද්‍රවයක් ද සෑදෙයි. වැඩි කල් යන්නට පෙර උදරච්ඡද කුහරය විෂ ජීවීන් සහිත ද්‍රවයෙන් පිරේ. කල් යෑමෙන් සැරව උකු වී අතුනු හා අතුනුබහන් එකට ඇලේ. තවත් කල් යෑමෙන් අන්තක අතර තන්තුමය බන්ධන ඇති වන්නට ද පිළිවන.
රෝග ලක්ෂණ
රෝගියාගේ මුහුණ සුදුමැලි වෙයි; සෙවෙල් ගතිය ඇතිව සම ශීතල වෙයි. උදර භිත්තියෙහි නිතර පවතින, විටින්විට වැඩි වන, තද වේදනාවක් හටගනී. එහෙයින් රෝගියා කකුල් ඉහළට ඇදගෙන උඩුබැලියෙන් ශයනය කරයි. සෙලවීමෙන් හෝ ඇඳ රෙදි ආදි යමක් තැවරීමෙන් වේදනාව වැඩි වෙයි. හුස්ම ගැනීමේ දී පවා වේදනාව වැඩි වන හෙයින් උදර භිත්තියෙහි පේශි නිශ්චලව සිටී. රෝගය දියුණු වූ විට වේදනාව නැති විය හැකිය. නොනැවතී පවතින වමනයක් ද ඇති වෙයි. පැ. 100°-104° අතර උණ තිබෙන්නට පිළිවන. රෝගය උත්සන්න වූ විට උණ ප්‍රකෘති ප්‍රමාණයටත් අඩු වෙයි. බඩ වේළීම හා ඉක්කාව ද ඇති වෙයි. රුධිරයෙහි ශ්වේතාණු වැඩි වෙයි. රෝගය තවදුරටත් පැවතුණ හොත් ඇඟ ශීතල වී වේදනාව අඩු බවක් හැඟේ. මේ අවස්ථාවෙහි දී වත් නිසි ප්‍රතිකාර නොලැබුණේ නම් ධූලකරක්තියෙන් (toxaemia) රෝගියාගේ අවසානය ළඟා වෙයි. ස්ථානීය උදරච්ඡදප්‍රදාහය සාමාන්‍යයෙන් සුව කළ හැකි රෝගයකි. ස්ථානීය නොවේ නම් එය සුව කිරීම දුෂ්කරය.
(කර්තෘ: ඊ.ඇම්. විජේරාම)
(සංස්කරණය: 1970)