උත්තර ප්‍රදේශය

සිංහල විශ්වකෝෂය වෙතින්
11:14, 13 නොවැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඉන්දියානු සමූහාණ්ඩු රාජ්‍යයෙහි උතුරු දිග දේශ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉන්දියානු සමූහාණ්ඩු රාජ්‍යයෙහි උතුරු දිග දේශසීමා බද්ධව හිමාචල් ප්‍රදේශය, මධ්‍ය ප්‍රදේශය හා බිහාරය යන ඉන්දියානු ප්‍රදේශ රාජ්‍යයන්ට ද නැගෙනහිර පකිස්ථානය, භූතාන් හා නේපාලය යන රටවලට ද මැදිව පිහිටි ඉන්දියානු ප්‍රදේශ රාජ්‍යයයි. ව.සැ. 113,654ක් විශාල මෙම රාජ්‍යය පාලන කටයුතු සඳහා කොට්ඨාස 11කට බෙදා ඇත. මෙහි දිස්ත්‍රික්ක 54ක් ද තහ්සීල් 231ක් ද නගර සභා ප්‍රදේශ 137ක් ද ජිලා පරිෂද් 51ක් ද අන්තරිම් ජිලා පරිෂද් 3ක් ද ඇත. උත්තර ප්‍රදේශයෙහි ජනගහනය (1961) 73,746,401කි. මෙහි අගනුවර ලක්නව්ය (595,440:1961). 1961 දී ලක්ෂයකට අධික ජනගහනයෙන් යුත් නගර මෙසේය: අග්‍රා (462,029); අලිගාර් (185,020); අලහබාද් (411,955); බර්ලි (254,000); ඩේහ්රා ඩූන් (126,918); ගෝරඛ්පූර් (180,255) ඣාන්සි (140,217); කාන්පූර් (895,106); මථුර (176,959); මීරට් (200,470); මිර්සාපූර් (100,970); මොරාදාබාද් (180,100); රාම්පූර් (135,407); ෂාජහාන්පූර් (110,432); සහාරන්පූර් (165,213); බරණැස (471,258);

භූවිෂමතානුකූලව උත්තර ප්‍රදේශය දළ වශයෙන් බටහිර දිග සිට නැගෙනහිර දිගට විහිදි සමාන්තර කොටස් තුනකට බෙදිය හැකිය. ඩේහ්රා ඩූන්, ගාර්වාල්, අල්මෝරා හා නයිනී තාල් දිස්ත්‍රික්ක ඔස්සේ විහිදි හිමාලය හා උපහිමාලය ප්‍රදේශය ද ඊට දකුණින්, යමුනා-ගංගා, ගංගා-ගෝග්රා, ගෝග්රා-ගන්ඩුක් ආදියෙහි දෝආබ් හෙවත් දෙගංමැදි පෙදෙස් හා එම ගංගාවන් හා ඒවාහි අතු ගංගා ආශ්‍රිත නිම්නයන්ගෙන් සැදි මහා දියළු තැනිතලාව ද ඊටත් දකුණින්, විශේෂයෙන් ම ඣාන්සි හා මිර්සාපූර් දිස්ත්‍රික්ක ආශ්‍රිතව දක්නට ලැබෙන, අර්ධද්වීපික සානු පෙදෙස් ද යන වශයෙන් මෙම භූගෝලීය කොට්ඨාස තුන වෙන් කර දැක්විය හැකිය. නයිස් හා වැලිගල් ආදියෙන් සැදි රළු භූමි ලක්ෂණයෙන් යුත් වියළි ඣාන්සි හා මිර්සාපූර් පෙදෙස් උත්තර ප්‍රදේශයෙහි සෙසු පෙදෙස් හා සසඳන විට එතරම් වැදගත් නොවේ. ගංගා නදිය හා එහි ප්‍රධාන අතු ගංගා වන යමුනා, රාම් ගංගා, ගෝග්රා, කාලිනදී, හින්දාන්, චාම්බාල්, රප්ති යන නදීන් ද මඟින් තැන්පත් වන දියළු පසින් නිරන්තරයෙන් ම ගොඩනැඟෙන ගංගානදී නිම්නාශ්‍රිත තැනිතලාව, බටහිර දිග දිල්ලියේ සිට නැගෙනහිර දිග පැට්නා දක්වා සැතපුම් 500ක් පමණ ඔස්සෙහි අඩි 600කට වඩා බැස්මක් නොමැති, විශාල සාරවත් ප්‍රදේශයකි. මෙම තැනිතලාවේ සිට ඊට උතුරින් වූ සිවාලික් කඳු දක්වා භූමිය අඩි 3,000ක් පමණ දක්වා ක්‍රමයෙන් උස් වේ. මහා තැනිතලාවේ සිට උතුරු දිගට මෙසේ උස් වන භූමිය ඔස්සේ දර්ශනපථය මහා හිමාලය වැටියෙහි මනස්කාන්ත කඳු කුළු පෙළින් කෙළවර වේ. කමෙට්, නන්දා දේවී ආදි මෙම කඳු කුළු සමහරක් උසින් අඩි 25,000 ඉක්මවයි.

උත්තර ප්‍රදේශයෙහි ස්වාභාවික වෘක්ෂලතාදිය වැඩි වශයෙන් ශේෂ වී ඇත්තේ සිවාලික් හා හිමාලය කඳු ප්‍රදේශයෙහි පමණි. උපහිමාලය පාවුල් කඳුබිම්වල සිට ඉහළට යත් ම ඝර්මකලාපීය පතනශීල, සමශීතෝෂ්ණ සදාහරිත හා කේතුධර වෘක්ෂලතා පිළිවෙළින් දක්නට ලැබේ. සිවාලික් කඳු හා ගංගානදී තැන්න අතර තාරායි නමින් හඳුන්වනු ලබන වගුරු ආශ්‍රිත ලඳු කැළෑ හා තණබිම් ඇත. මහා තැනිතලාව වැඩි වශයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ඇති හෙයින් ස්වාභාවික ලඳු කැළෑ ආදිය එහි දුර්ලභය.

උත්තර ප්‍රදේශය සාමාන්‍යයෙන් මහාද්වීපික දේශගුණ ලක්ෂණ දක්වයි. සාගරික බලපෑම මඳ හෙයින් උෂ්ණ ඍතුව ඉතා උෂ්ණාධිකය. ශීත ඍතුව ඉතා ශීතය. දේශගුණ සංඛ්‍යා විස්තර අනුව උත්තර ප්‍රදේශයට සාමාන්‍යයෙන් අඟල් 40ක පමණ වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙතැයි සඳහන් වන නමුදු නියම වශයෙන් මෙහි බටහිර පෙදෙස් නැගෙනහිර පෙදෙස්වලට වඩා බෙහෙවින් වියළිය. බරණැස අවට සා.වා.ව. අඟල් 40ක් වන අතර දිල්ලිය අවට පෙදෙස්වලට ලැබෙනුයේ අඟල් 26ක් පමණි. ගංගා නදී නිම්නයෙහි ඉහළට යත් ම විශේෂයෙන් ම මෝසම් සුළංවලින් ලැබෙන වර්ෂාපතනය අඩු වේ. එහෙත් හිමාලය බෑවුම්වලට ඉන් ලැබෙන වර්ෂාව වැඩිය. බෙංගාලේ බොක්කෙහි මෙන් ම අරාබි මුහුදේ හටගන්නා වාසුළිවලින් ද උත්තර ප්‍රදේශයට වර්ෂාව ලැබේ. උෂ්ණ ඍතුවේ දී උෂ්ණත්වය පැ. 86°-115° පමණ දක්වා වේ. ශීත ඍතුවේ සාමාන්‍ය උෂ්ණත්වය පැ. 50°-60° පමණ වන නමුදු උපහිමාලය හා හිමාලය පෙදෙස් සෙසු පෙදෙස්වලට වඩා ශීතය.

ආර්ථික කටයුතු

සෙසු ඉන්දියානු රාජ්‍ය මෙන් උත්තර ප්‍රදේශය ද ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික ආර්ථික ක්‍රමයකින් යැපෙයි. මෙහි ජනගහනයෙන් සියයට 75ක් පමණ කෘෂිකර්මය සිය ජීවනෝපාය කරගත්තාහු වෙති. ශරත් ඍතුවේ දී කාරි‍ෆ් හා වසන්ත ඍතුවේ දී රාබි යන ප්‍රධාන අස්වනු දෙකක් රැස් කරගනු ලැබේ. උත්තර ප්‍රදේශයෙහි වගා කළ හැකි සෑම බිම් පෙදෙසක් ම පාහේ ගොවිතැනට යොදා ඇත. 1960 දී උත්තර ප්‍රදේශයෙහි වගා කර තුබුණු බිම් ප්‍රමාණය අක්කර 42,340,909ක් විය. මෙයින් අක්කර 12,733,616ක් මඩ ගොවිතැන් සඳහා ද අක්කර 29,607,293ක් ගොඩ ගොවිතැන් සඳහා ද යොදා ඇත. මහා තැනිතලා ප්‍රදේශයෙහි තව බිම් අක්කර 7,309,373ක් පමණ ගොවිතැනට සකස් කරගත හැකි බව ගණන් බලා තිබේ. විශේෂයෙන් ම ගංගානදී තැනිතලාවෙහි පස කෘෂිකර්මාන්තයට ඉතා යහපත් නමුදු වැසිදිය පමණක් එම පෙදෙස් අස්වැද්දීමට ප්‍රමාණවත් නොවේ. එසේ හෙයින් විවිධ වූ ජලසම්පාදන ක්‍රම උත්තර ප්‍රදේශයෙහි දියුණු කර තිබේ.

උත්තර ප්‍රදේශයෙහි දෝආබ් ප්‍රදේශයට විශල ඇළ මාර්ග රාශියකින් ජල සම්පාදනය කෙරේ. පහළ ගංගා ඇළ (1874), ඉහළ ගංගා ඇළ (1884), බෙත්වා ඇළ (1886), සාගර් ඇළ (1917), සාර්දා ඇළ (1917), මාතා කිලා ව්‍යාපාරය (1957-58), පිර්ගෝ ජලාශය (1960), සාර්දා සාගර ව්‍යාපාරය (1960), බෙලන් හා තෝන් ඇළ මාර්ග (1959), අග්‍රා ඇළ (1960) හා බාන් ගංගා ඇළ (1957) මෙහි ප්‍රධාන ජලසම්පාදන සංවිධානයන්ගෙන් සමහරකි. මෙමඟින් වාරිමාර්ග පහසුකම් සැලසෙන බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 2,084,000ක් පමණ වේ. මේ හැර ලලිත්පූර්, රංග්වාන්, සප්රාර්, නග්වා, චන්ද්‍රප්‍රභා, නෞගාර් හා අර්ජුන් ආදි වේලි ආශ්‍රිතව ද අක්කර දහස් ගණනකට ජල සැපයෙන ව්‍යාපාර ඇත. මෙම විශාල ජලසම්පාදන ව්‍යාපාර බොහොමයක් රජය මගින් නිම වූ ඒවාය. කුඩා ගොවිපළවලට නළ ළිං මගින් ජල සැපයීම ද දියුණු කර ඇත. 1963 දී උත්තර ප්‍රදේශයෙහි ගොවිබිම් අක්කර 2,003,759කට නළ ළිං මඟින් ජලසම්පාදනය කරනු ලැබීය. උත්තර ප්‍රදේශයෙහි කෘෂිකර්මාන්තය සඳහා ජලසම්පාදනය අත්‍යවශ්‍ය හෙයින් ඒ කෙරෙහි පෞද්ගලික සංවිධානයන්ගේ උනන්දුව වැඩි දියුණු කිරීමට රජය ද වෙහෙසෙයි. තම තමන්ගේ ගොවිපළවල් සඳහා ගොවීන් විසින් පිහිටුවා ගන්නා ලද ළිං ජලරෝද ද ඩීසල් හා විදුලි බල පොම්ප ද රාශියක් ම ඇත. මේ සඳහා රජයේ ආධාර ද දෙනු ලැබේ.

උත්තර ප්‍රදේශයෙහි වගා කරන බෝග අතුරෙහි වී, තිරිඟු, බාර්ලි, කඩල, බජ්රා හා ඉරිඟු ප්‍රධාන වේ. 1959-60 වර්ෂයේ දී උත්තර ප්‍රදේශයෙහි ධාන්‍ය අස්වැන්න ටොන් 13,222,667ක් විය. වෙළෙඳ බෝග වශයෙන් උක්, ලින්සීඩ්, අබ, රටකජු, කපු හා ජූට් වැදගත්ය. මේ හැර අර්තාපල්, කුළු ද්‍රව්‍ය, වෙනත් ධාන්‍ය වර්ග, දුම් හා තෙල් සිඳීමට ඇට ගැනීම පිණිස වූ බෝග වර්ග ද බොහොමයක් වගා කරනු ලැබේ. වැඩි වශයෙන් වී වගාව නැගෙනහිර හා සිවාලික් ප්‍රදේශයන්ට ද තිරිඟු වර්ෂාව අඩු බටහිර පෙදෙසට ද මිලට් හා කපු වඩා උෂ්ණ වූ බුංදේල ඛංඩ ප්‍රදේශයට ද සීමා වී ඇත. මෙහි අල්මෝරා, ගර්වාල් හා ඩේහ්රා ඩූන් දිස්ත්‍රික්කයන්හි තේ ද බොහෝ පෙදෙස්වල අඹ, නාරං, පේර, මිදි, ඇපල් ආදි නොයෙකුත් පලතුරු ද වගා කෙරෙන විශාල වතු ඇත.

සත්වපාලනය වැඩි දියුණු කිරීම කෙරෙහි උත්තර ප්‍රදේශ රජයේ සැලකිල්ල විශේෂයෙන් යොමු වී ඇත. රජයේ ගවපළවල් 14ක් ඇත. ගම්වල ගවපාලනයට රුකුල් දීමට විශේෂ සංවිධානයක් ද ඇත. දඩාවතේ යන ගව සංඛ්‍යාව අධික වීම මෙහි ක්‍රමානුකූල ගවපාලනයට මහත් බාධකයක් වී තිබේ. ගව රෝග පැතිරීයාම වැළැක්වීමට මෙන් ම ශුද්ධ ගව පරපුරක් ඇති කිරීම උදෙසා ද මෙම දඩාවතේ යන ගවයන් අල්ලා වෙන් කර තැබීම අත්‍යවශ්‍ය වී ඇත. රින්ඩර්පෙස්ට් රෝග මර්දන බෙහෙත් විදීම ද මෙහි සත්වපාලන දෙපාර්තමේන්තුවෙන් ඉටු වන සේවයකි. වැඩි වශයෙන් ගවයන් උදෙසා වූ පශුවෛද්‍යශාලා 717ක් උත්තර ප්‍රදේශයෙහි ඇත. අලිගාර්හි මහා කිරිපට්ටි මධ්‍යස්ථානය වැනි ස්ථානයන්හි කිරි රැස් කර විකිණීම පමණක් නොව වෙඬරු, කේජු ආදි ද්‍රව්‍ය නිපදවීම ද කරනු ලැබේ. මෙහි ඌරුමස්වලින් නොයෙකුත් ආහාරවර්ග සකස් කරන කම්හලක් ද ඇත.

ලොම් පිණිස බැටළුවන් ඇති කිරීම ද කුකුළන් ඇති කිරීම ද ගොවිජනයා අතර ව්‍යාප්ත කිරීමේ ව්‍යාපාර මෙහි ඇත.

මිරිදිය මසුන් ඇති කිරීම උත්තර ප්‍රදේශයෙහි දියුණුය. රජයේ සහයෝගය ඇතිව වැව් 125ක මසුන් බෝ කර ඇත. තෝරාගත් ස්ථාන 14කින් මාළු පිටපළාත්වලට ද යවනු ලැබේ.

ඛනිජ

උත්තර ප්‍රදේශයෙහි වැඩි කොටස දියළු පසින් ගොඩනැඟී ඇති හෙයින් එහි ඛනිජ ධනය අඩුය. ඛනිජ වශයෙන් ගිණිය හැකි කන්කාර් නම් වූ හුනුගල් විශේෂය මංමාවත් සෑදීම සඳහා යොදාගනු ලැබේ. බුංදේල ඛංඩ පෙදෙසෙහි හිමාලය පාවුල් කඳුවල යකඩ නිධි තිබෙන නමුත් විශාල ආකර කර්මාන්තයක් දියුණු කරගැනීමට තරම් ඒ නිධි ප්‍රමාණවත් නොවේ.

කර්මාන්ත

උත්තර ප්‍රදේශයේ දියුණු වී ඇති විශාල කර්මාන්ත බොහොමයක් එහි කෘෂිකර්මයෙන් ලැබෙන අමුද්‍රව්‍ය හා ස්වාභාවිකව පවත්නා අමුද්‍රව්‍ය අනුව නිශ්චිත වූ ඒවාය. සීනි, ආහාර පිණිස වූ තෙල් වර්ග හා දුම්කොළ ආදිය සෑදීම ද පේශකර්මාන්තය ද සාමාන්‍ය කඩදාසි සහ පිදුරු කඩදාසි, රේයොන්, සම් බඩු, මත්පැන් හා මද්‍යසාර, ගිනිකූරු, පෝර, සිමෙන්ති හා ජූට් හණ ද්‍රව්‍ය නිපදවීම ද එසේ වර්ධනය වී ඇති කර්මාන්තයෝය. අමුද්‍රව්‍ය පිටින් ගෙන්වා ගත යුතු නමුදු විවිධ වූ යකඩ හා වානේ බඩු, විදුලි භාණ්ඩ, රසායන ද්‍රව්‍ය හා වීදුරු ආදිය නිපදවන කර්මාන්ත රාශියක් ද උත්තර ප්‍රදේශයෙහි ඇත. කාන්පූර්හි හා අග්‍රාහි ඉතා විශාල කාර්මික ජනපද පිහිටුවා ඇත. මේවාහි විවිධ කර්මාන්ත ස්ථානගත වී තිබේ. දියෝරියා, මීරට්, ගෝරඛ්පූර්, සහාරන්පූර්, බස්ති, ගොන්ඩා හා මුසාෆර්නගර් උක්සීනි කර්මාන්තය ඉතා ම දියුණු ස්ථානය. කාන්පූර් කපුපිළී කර්මාන්තයේ ප්‍රධාන මධ්‍යස්ථානයයි. සම්භාණ්ඩ සහ යකඩ හා වානේ බඩු නිපදවන කම්හල් රැසක් ද කාන්පූර්හි ඇත. ජූට් හා ලෝම පිළී නිෂ්පාදන කර්මාන්ත ද උත්තර ප්‍රදේශයෙහි දියුණුය. මොරාදාබාද් හා අලහබාද් වීදුරු කර්මාන්තය දියුණු ස්ථානයෝය. පිත්තල, ඇලුමිනියම්, යකඩ හා වානේ ආදි ලෝහයන්ගෙන් කුඩා යන්ත්‍රසූත්‍ර කොටස්, ගෘහෝපකරණ ආදි ද්‍රව්‍ය නිපදවීම ද සම් පදම් කිරීම, වීදුරු වළලු නිපදවීම ආදිය ද සුළු කර්මාන්ත වශයෙන් උත්තර ප්‍රදේශයෙහි දියුණු වී ඇත. තවද මෙම රාජ්‍යයෙහි පරම්පරානුගතව පැවත එන ගෘහකර්මාන්ත රැසක් ද ඇත. ඉතා සියුම් ලෙස නිම වූ පට හා කපු පිළී විවීම ද කළුවර ලී කැටයම්, ඇත්දත් කැටයම් හා අං කැටයම් ද ලී සෙල්ලම් බඩු, මැටි භාණ්ඩ ආදිය නිපැයීම ද ඉන් සමහරකි.

බලය

උත්තර ප්‍රදේශයට අවශ්‍ය විදුලිබලය නිපදවා ගැනීමට ජලවිදුලි, තාපබල හා ඩීසල්බල ජෙනරේටර භාවිත වේ. 1963 වර්ෂයේ දී කි.වො. 677,880ක් උපදවාගැන්ම සඳහා විදුලිබල මධ්‍යස්ථාන 11ක් ද තාපබල මධ්‍යස්ථාන 7ක් ද ඩීසල්බල මධ්‍යස්ථාන 25ක් ද යොදවනු ලැබීය. මේ හැර තුන්වැනි පස් අවුරුදු සැලැස්ම අනුව බල නිෂ්පාදනය වර්ධනය කිරීම පිණිස කඳු ප්‍රදේශයෙහි කුඩා දිය ඇලි හා ජලාශයන් ආශ්‍රිතව ජලවිදුලි බල ජනනය දියුණු කිරීමට විධිවිධාන යොදා ඇත.

ප්‍රවාහණය

1964 දී උත්තර ප්‍රදේශයෙහි මාර්ග සැතැපුම් 38,062ක් විය. මෙයින් අඩක් පමණ ගල්දමා සකසා ඇත. ගෝරඛ්පූර් මෙහි දුම්රිය සේවයෙහි ප්‍රධාන පාලනස්ථානයයි.

අධ්‍යාපනය

උත්තර ප්‍රදේශයෙහි (1961-62) ශිෂ්‍යයන් 4,213,036 දෙනකු සහිත ප්‍රාථමික පාඨශාලා 46,533ක් ද සිසුන් 579,100ක් සහිත ජ්‍යෙෂ්ඨ උසස් පාඨශාලා 4, 439ක් ද සිසුන් 979,978 දෙනකුගෙන් යුත් උසස් ද්විතීයික පාඨශාලා 1,858ක් ද වෙයි. මෙහි ඇති විශ්වවිද්‍යාලයන්ගේ ගණන 9කි. ඒවා නම් අග්‍රා විශ්වවිද්‍යාලය (අනුබද්ධ විද්‍යාල 129ක් හා සිසුහු 48,576ක් වෙති.), අලහබාද් විශ්වවිද්‍යාලය (සිසුන් 6,783), බරණැස් හින්දු විශ්වවිද්‍යාලය (සිසුන් 6,905), ලක්නව් විශ්වවිද්‍යාලය (14,468), අලිගාර් මුස්ලිම් විශ්වවිද්‍යාලය (5,751), රූර්කී විශ්වවිද්‍යාලය (1,823), ගෝරඛ්පූර් විශ්වවිද්‍යාලය (15,771), වාරාණසිය සංස්කෘත විශ්වවිද්‍යාලය (1,000), ඵුල්බාග්හි උත්තර ප්‍රදේශ කෘෂිකර්ම විශ්වවිද්‍යාලය (700) ද වේ. උත්තර ප්‍රදේශයෙහි ශිෂ්‍යයන් 41,000ක් පමණ උගන්නා සංස්කෘත පාඨශාලා 1,059ක් ද ඇත.

ඉතිහාසය

අග්‍රා හා අවුද් එක්සත් ප්‍රාන්ත, වයඹ දිග ප්‍රාන්ත හා එක්සත් ප්‍රාන්ත යන නම්වලින් හඳුන්වනු ලැබූ මෙම පෙදෙස උත්තර ප්‍රදේශය ලෙස හැඳින්වීම ඇරඹුණේ ක්‍රි.ව. 1937 දී සිටය. 1950 ජනවාරි මාසයෙහි දී ඉන්දියානු සමූහාණ්ඩු ව්‍යවස්ථාව සම්පාදනය කිරීමෙන් පසු උත්තර ප්‍රදේශය යන නාමය ව්‍යවස්ථානුකූලව භාවිත වීම ඇරඹිණි.

බුදුරදුන් උපන්නේත් දහම් දෙසුවේත් පිරිනිවන් පෑවේත් උත්තර ප්‍රදේශයෙහිය. උන්වහන්සේ බොහෝ කාලයක් වැඩ සිටි සුප්‍රසිද්ධ ජේතවනාරාමය පිහිටි සැවැත් නුවර ද පිහිටියේ මෙහිය. බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ අනුව බුදුන් දවස ශාක්‍ය, කෝලිය, මල්ල වැනි සමූහාණ්ඩු නැගෙනහිර උත්තර ප්‍රදේශයෙහි විය.

චන්ද්‍රගුප්ත හා අශෝක රාජයන් යටතේ මෞර්ය අධිරාජ්‍යයට ද කනිෂ්ක යටතේ කුෂාණ අධිරාජ්‍යයට ද ඉන් පසුව භාරසිව නාගයන්හට ද වත්මන් උත්තර ප්‍රදේශායත්ත භූමිය අයත් විය. භාරසිව නාග වංශික රජකු වූ වීරසේන පශ්චාත්කාලීන කුෂාණයන් පරාජය කොට මථුරාවෙන් ඔවුන් පලවා හැර මෙම පෙදෙස අල්ලාගත් බව ජයස්වාල් පඬිවරයා පවසා ඇත. එහෙත් ඇතැම් පඬිවරු එය නොපිළිගනිති.

ඉන් පසුව ගුප්ත අධිරාජ්‍යයෙහි සමුද්‍රගුප්ත, II වන චන්ද්‍රගුප්ත වික්‍රමාදිත්‍ය වැනි ගුප්ත අධිරාජයන්ගේ හා පශ්චාත්කාලීන ගුප්තයන්ගේ ද ආධිපත්‍යය යටතෙහි මෙපෙදෙස පැවති බවට නිසැක සාධක හමු වේ. ක්‍රි.ව. 5 වැනි සියවසෙහි දී මෞකරීන්ගේ හා 7 වැනි සියවසෙහි දී උතුරු ඉන්දියාවෙහි විශාල අධිරාජ්‍යයක් ගොඩනැංවූ ශ්‍රී හර්ෂවර්ධනගේ ද බලය යටතෙහි පැවැති පෙදෙස් ද අතර මෙය ද විය.

හර්ෂවර්ධනගේ ඇවෑමෙන් උතුරු ඉන්දියාවේ විශාල කොටසක් එක්සත් කළ ගුර්ජර ප්‍රතීහාරයන්ගේ රාජ්‍යයට ද උත්තර ප්‍රදේශය අයත්ව තිබිණ. ආචාර්ය ගංගුලි දක්වන පරිදි උත්තර ප්‍රදේශයෙහි බාංඩා දිස්ත්‍රික්කයෙහි කාලිංජර් ද ඣාන්සි දිස්ත්‍රික්කයෙහි දියෝගර් ද නිසැකව ම ඔවුන්ගේ ආධිපත්‍යය යටතෙහි පැවතිණි. මෙම පෙදෙසෙහි බලය ලබාගෙන සිටි වංශයක් ලෙස සරයුපාරයෙහි කලවුරින් දැක්විය හැකිය. මෙම වංශයෙහි ආරම්භකයා වූ රාජපුත්‍ර විසින් පාලවංශයේ ධර්මපාල රජු උත්තර ප්‍රදේශය අල්ලාගැනීමට දැරූ තැත ව්‍යර්ථ කරන ලදි. මෙහි බහරෛච්, ගොණ්ඩා, බස්ති හා ගෝරඛ්පූර් යන දිස්ත්‍රික්කවල මෙම වංශයෙහි අවසාන රජු වූ සෝඪදේවගේ බලය පැතිර තිබිණ.

විජයපුර අගනුවර කරගෙන රජ කළ මලයකේතු වංශයට අයත් සෙල්ලිපි දෙකක් උත්තර ප්‍රදේශයෙහි ගෝරඛ්පුරයෙන් සොයාගෙන ඇති හෙයින් කලචුරි පෙදෙස්වලින් නැගෙනහිර කොටසෙහි ඔවුන්ගේ අණසක පැතිර තිබිණැයි කල්පනා කළ හැකිය. ක්‍රි.ව. 9 වැනි සියවසෙහි සිට 12 වන සියවස දක්වා උත්තර ප්‍රදේශයේ ගෝරඛ්පූර් දිස්ත්‍රික්කයෙහි කසියා පෙදෙස කලචුරි වංශයෙහි සුළු ප්‍රධානීන් විසින් පාලනය කරන ලද බව පෙනේ.

නැගෙනහිර පංජාබය පාලනය කළ ශාහිවංශික ත්‍රිලෝචනපාලට පහරදීමට ක්‍රි.ව. 1018 දී පැමිණි ඝස්නිහි මුහම්මද් සුල්තාන්වරයා බරන් හෙවත් උත්තර ප්‍රදේශයේ බුලන්ඩ්ෂ‍ාර් කරා පැමිණියේය. එහි පාලකයා වූ හර්දන් එම සුල්තාන්හට යටත් විය. 11 වන සියවසෙහි අගභාගයෙහි දී ගාහඩවාල වංශයෙහි රාජයන් වූ මහීචන්ද්‍ර හා ගෝවින්දචන්ද්‍ර යන රජුන් උත්තර ප්‍රදේශයේ කොටසක පාලනය ගෙන ගිය බව පෙනේ. දිල්ලි සිවලික් සෙල් ටැම් ලිපිය අනුව ක්‍රි.ව. 1153 සිට 1163 දක්වා රජකළ සාකම්භරියෙහි චාහමාන වංශික විග්‍රහරාජ රජු මෙහි කොටසක හෝ බලය ලබා ගන්නට ඇතැයි සිතිය හැකිය.

දිල්ලියෙහි බලවත්ව සිටි වසල නම් පෙළපතෙහි (බ.) සුල්තාන්වරුන්ගේ ආධිපත්‍යයට යටත් වූ පෙදෙස් අතර උත්තර ප්‍රදේශය ද විය. එහෙත් දිල්ලියෙහි සුල්තාන්වරුන්ගේ ආධිපත්‍යයට මෙහි ජනයා දැක්වූයේ දැඩි විරුද්ධත්වයකි. 15 වන සියවසෙහි දී සෙයියදු වංශිකයන් ද උත්තර ප්‍රදේශයෙහි බටහිර කොටස් අල්ලාගැනීමට තැත් කළ අතර 1526 දී උතුරු ඉන්දියාව ආක්‍රමණය කළ බාබර් (බ.) හින්දුස්ථානයෙහි නැවතී සිටි කාලය තුළ අල්ලාගත් පෙදෙස් අතර උත්තර ප්‍රදේශය ද විය. පසු කල මෝගල් අධිරාජ්‍යයට ද එය අයත් විය.

මෙලෙස වරින් වර උතුරු ඉන්දියාවෙහි බලයට පත් වූ අධිරාජ්‍යයන් හා රාජ්‍යයන් යටතෙහි පැවති මෙම පෙදෙස අවසාන වශයෙන් අල්ලා ගන්නා ලද්දේ ඉංග්‍රීසින් විසිනි.

ක්‍රි.ව. 1765 දී අවුද්හි නවාබ්වරයා බක්සර් සටනින් තීරණාත්මක පරාජයක් ලැබුව ද එවක ආණ්ඩුකාරයා වූ රොබට් ක්ලයිව් එම පෙදෙස් ඈඳා ගැනීමට අදහස් නොකළ බව පෙනේ. අවුද් නවාබ්වරයාහට ම එය පවරා දුන් ඔහු පහළ දෝආබයෙහි කෝර් හා අලහබාද් යන දිස්ත්‍රික්ක ෂා අලම් නමැති මෝගල් අධිරාජයාහට පවරා දුන්නේය. 1801 දී වෙලස්ලි සාමි අවුද්හි නවාබ්ගෙන් ලබාගත් පෙදෙස් අතර රෝහිල්ඛංඩ, පහළ දෝආබය හා ගෝරඛ්පූර් ද විය. 1804 දී ලේක් සාමිවරයා මරාථ යුද්ධයෙන් ලත් ජයග්‍රහණයෙහි ප්‍රතිඵලයක් වශයෙන් දෝආබයෙහි සහ බුන්දේල ඛංඩයෙහි ඉතිරි කොටස් සහ අග්‍රාව ද අයත් කර ගත්තේය. 1815 දී කුමාඕන් පෙදෙස ද 1817 දී බුන්දේල ඛංඩයෙන් ඉතිරිව තිබුණු කොටස් ද අයත් කර ගැනීමෙන් පසුව එම පෙදෙස් බෙංගාලයෙහි ආණ්ඩුකාරයා විසින් පාලනය කරන ලදි. 1835 දී වයඹ දිග ප්‍රාන්ත නමින් හැඳින්වුණු මෙම පෙදෙස් පාලනය සඳහා ‘උපආණ්ඩුකාරයෙක්’ පත් කරන ලදි. 1861 දී මෙම පෙදෙස් මධ්‍යම ප්‍රාන්තයෙහි කොටසක් ලෙස ද 1856 තෙක් අවුද් නවාබ්වරයා යටතෙහි ද පැවතුණු අතර එතැන් සිට කොමසාරිස්වරයකු යටතට පත් විය. 1877 දී වයඹ දිග ප්‍රාන්තවල උපආණ්ඩුකාර තනතුරත්, අවුද්හි ප්‍රධාන කොමසාරිස් තනතුරත් එක් කොට එක් තනතුරක් කරන ලදි. 1902 දී අග්‍රා හා අවුද් එක්සත් ප්‍රාන්ත යන නම භාවිතයට ඒමත් සමඟ ම ප්‍රධාන කොමසාරිස් ධුරය ද අහෝසි විය. 1920 දී මෙම පෙදෙස් ආණ්ඩුකාරයකුගේ පාලනයට යටත් වූ පළාතක් බවට පත් කරන ලදි. 1935 දී මෙපෙදෙස එක්සත් ප්‍රාන්ත නමින් හඳුන්වන ලදි. පසුව ඉන්දියාවෙහි ව්‍යාප්තව ගිය ස්වරාජ්‍ය ව්‍යාපාරයේ දී උත්තර ප්‍රදේශය ද ප්‍රමුඛව ක්‍රියා කළ බව පෙනේ. 1947 දී ඉන්දියාව නිදහස ලැබීමෙන් පසුව එක්සත් ප්‍රාන්තයට රාම්පූර්, බරණැස් හා තේරී ගර්වාල් යන ප්‍රදේශ ද එකතු කරන ලදි. 1950 දී එක්සත් ප්‍රාන්ත යන නාමය ඉවත් කොට ඒ වෙනුවට උත්තර ප්‍රදේශය යන නාමය ප්‍රකාශයට පමුණුවන ලදි.

ආණ්ඩුව

1937 පටන් මෙපෙදෙසෙහි ස්වතන්ත්‍ර පාලන ක්‍රමයක් පැවැත්තේය. මෙහි ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ මැතිවරුන්ගේ සංඛ්‍යාව 108ක් වන අතර ව්‍යවස්ථාදායක මහා මණ්ඩලයේ අසුන් සංඛ්‍යාව 430කි. මහජන ඡන්දයෙන් තෝරා පත් කැරෙන මෙම 430 දෙනාට අමතරව ඇංග්ලෝ-ඉන්දියානු වර්ගයා වෙනුවෙන් තෝරා පත් කැරෙන මැතිවරයෙක් ද වේ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උත්තර_ප්‍රදේශය&oldid=9084" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි