උත්තර මන්ත්‍රී මණ්ඩලය (ලංකාවේ)

සිංහල විශ්වකෝෂය වෙතින්
13:19, 13 නොවැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ව්‍යවස්ථාගත ආණ්ඩුක්‍රමය යටතේ ද්විමණ්ඩල ක්‍...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ව්‍යවස්ථාගත ආණ්ඩුක්‍රමය යටතේ ද්විමණ්ඩල ක්‍රමය (බ.) පවත්නා කල උත්තර මන්ත්‍රී මණ්ඩලය ව්‍යවස්ථාදායක මණ්ඩල දෙකින් එකකි. මෙය සෙනට් සභාව යනුවෙන් ද හඳුන්වනු ලැබේ. උත්තර මන්ත්‍රී මණ්ඩලයක් ප්‍රථම වරට ලංකාවට ඉදිරිපත් කරන ලද්දේ සෝල්බරි කොමිෂන් සභාවේ යෝජනා මගිනි. එහෙත් එවැන්නක අවශ්‍යතාව පිළිබඳ අදහස් 20 වන සියවසේ දෙවැනි දශකයේ සිට ම පැවතිණ. 1928 ඩොනමෝර් කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් සමහරු ද්විමණ්ඩලීය ව්‍යවස්ථාදායක සභාවක් තිබිය යුතු යයි යෝජනා කළහ. එහෙත් කොමිෂන් සභාව එම යෝජනා නොපිළිගත්තේය. යළි 1944 දී යටත් විජිත භාර ලේකම්තුමාගේ ප්‍රකාශනයක් අනුව ආණ්ඩුක්‍රම යෝජනා කෙටුම්පත සම්පාදනය කළ ඇමති මණ්ඩලය ද දෙවැනි මහජන මන්ත්‍රී මණ්ඩලයට අවශ්‍ය යයි හැඟී ගියහොත් උත්තර මන්ත්‍රී මණ්ඩලයක් පිහිටුවා ගැනීමට එයට ඉඩ තැබිය යුතු යයි යෝජනා කෙළේය.

1945 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කළ සෝල්බරි කොමිසමේ නිර්දේශය වූයේ උත්තර මන්ත්‍රී මණ්ඩලයක් පිහිටුවිය යුතු බවය. සෝල්බරි කොමිසම එවැන්නක් අවශ්‍යය යන්න නිගමනය කළේ විශේෂයෙන් පහත සඳහන් අරමුණු සලකා බලා බව පෙනේ.

එනම් (1) අපරීක්ෂ්‍යකාරීව, දුරදිග නොබල‍ා, කඩිමුඩියේ ඉදිරිපත් කෙරෙන කෙටුම්පත් නීතිගත කිරීම ප්‍රමාද කිරීම, (2) නොයෙකුත් හේතූන් නිසා, මැතිවරණයකින් ජය ලබා දේශපාලන කටයුතුවලට බැසීමට නොහැකි තත්වයක සිටිය ද මහජන ජීවිතයට අදාළ නොයෙකුත් වැදගත් ක්ෂේත්‍ර පිළිබඳ විශේෂ දැනුමක් හා පළපුරුද්දක් ඇති අයගේ සේවය පාලන කටයුතුවලට ලබාගැනීම, (3) සුළු ජාතීන්ට ප්‍රමාණවත් තරම් නියෝජනයක් ලබාදීම හා (4) බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල හා වෙනත් ප්‍රධාන රටවල ඇති ද්විමණ්ඩල ක්‍රමය ලංකාවේ ද අනුගමනය කිරීම යන මේ අරමුණුය.

උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සැකැස්ම ගොඩනැඟී ඇත්තේ ප්‍රධාන වශයෙන් සෝල්බරි කොමිෂන් සභා නිර්දේශ ද 1946 සහ 1947 ලංකා (ආණ්ඩු ක්‍රම) රාජාඥාව ද ලංකා ස්වාධීන පනත ද මුල් කොටගෙනය. ලංකාවේ උත්තර මන්ත්‍රී මණ්ඩලය සභිකයන් 30 දෙනකුගෙන් සමන්විත වෙයි. ඉන් අඩක්, එනම් සභිකයන් 15 දෙනකු, අග්‍රාණ්ඩුකාරතුමා විසින් පත් කරනු ලබන අතර ඉතිරි 15 දෙනා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් විසින් සමානුපාතික නියෝජන ක්‍රමයක් යටතේ පැවරිය හැකි තනි ඡන්ද ක්‍රමයක් (කේවල මාරු-ඡන්ද ක්‍රමයක්) මගින් තෝරනු ලබති. අග්‍රාණ්ඩුකාරතුමා විසින් කෙරෙන පත්වීම්වල දී සෝල්බරි කොමිසමේ නිර්දේශය වූයේ “මහජන සේවයෙහි යෙදුනවුන් සේ නැතහොත් අධ්‍යාපනය, නීතිය, වෛද්‍ය කර්මය, විද්‍යාව, ඉංජිනේරු වැඩ සහ බැංකු වැඩ ද ඇතුළත් වෘත්තීන් සම්බන්ධයෙන් හෝ වාණිජ, කර්මාන්ත හෝ කෘෂිකාර්මික කටයුතු විෂයෙහි හෝ විශිෂ්ටත්වයක් ලද්දවුන් සේ තමා විශ්වාස කරන පුද්ගලයන් පත් කිරීමට අග්‍රාණ්ඩුකාරතුමා වැර දැරිය යුතුය” යනුයි. මේ පත්කිරීම්වල දී එතුමාගේ අභිමතය පරිදි ක්‍රියා කිරීමට 1947 ලංකා ස්වාධීනතා පනත පනවන තුරු ඉඩ තිබුණ ද ඉන් පසු මේ පත්කිරීම් සම්බන්ධයෙන් අගමැතිගේ උපදෙස් හැම විට ම අග්‍රාණ්ඩුකාරතුමා විසින් අනුගමනය කළ යුතු විය.

උත්තර මන්ත්‍රීවරයකුගේ සේවා කාලය වර්ෂ 6කි. සභිකයන් 1/3ක් සැම වර්ෂ දෙකකට වරක් ම විශ්‍රාම ගත යුතුය. මේ මූලධර්මය ක්‍රියාත්මක කිරීමේ ප්‍රාරම්භක පියවර වශයෙන් මුලින් ම පිහිටු වූ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ පත් කරන ලද හා ඡන්දයෙන් පත් කරන ලද සාමාජිකයන් දෙකොටසින් ම පිළිවෙළින් පස්දෙනා බැගින් දෙවසකින් පසුව විශ්‍රාම ගැනීමටත් තවත් වර්ෂ දෙකක් ගිය පසු එලෙස ම දස දෙනකු විශ්‍රාම ගැනීමටත් ඉතිරි අය වර්ෂ 6කින් පසුව විශ්‍රාම ගැනීමටත් කටයුතු සලසන ලදි. මෙම ක්‍රියා පටිපාටිය නිසා මුලින් පිහිටු වූ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් අතුරෙන් දෙවසකින් පසුව හා සිව් වසකින් පසුව විශ්‍රාම ගත් 10 දෙනා බැගින් වූ සාමාජිකයන් දෙකොටසට 6 වසක සේවා කාලයක් හිමි නොවුව ද එතැන් සිට පත් වූ සාමාජිකයන්ට වර්ෂ 6ක සේවා කාලයක් අයත් විය. මෙලෙස සෑම දෙවර්ෂයකට ම වරක් 1/3 බැගින් විශ්‍රාම ගන්නා උත්තර මන්ත්‍රී මණ්ඩලය 6 වසක සේවා කාලයක් ඇති මන්ත්‍රීන්ගෙන් සැදි ස්ථාවර මණ්ඩලයක් වේ.

උත්තර මන්ත්‍රීවරයකුගේ සාමාන්‍ය සේවා කාලය වර්ෂ 6ක් වන අතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැරීම හේතුකොටගෙන උත්තර මන්ත්‍රීවරයකුගේ ආසනයට හානියක් සිදු නොවේ. උත්තර මන්ත්‍රීවරයකුගේ සේවා කාලය පිළිබඳ යම්කිසි වෙනසක් ඇතිවනුයේ තාවකාලිකව පත් වූ උත්තර මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් පුරප්පාඩුවක් සඳහා පමණි. එබඳු මන්ත්‍රීවරයකුට එම තනතුරේ රැඳී සිටිය හැක්කේ තම පූර්වගාමිකයාගේ සේවා නිල කාලයෙන් ඔහුට ඉතිරිව තිබුණු කාලසීමාව දක්වා පමණකි. වෙනත් අයුරකින් සුදුසුකම් අහිමි නොවෙතොත් විශ්‍රාම ගන්නා උත්තර මන්ත්‍රීවරයකුට නැවත පත් වීමට අවස්ථාව තිබේ.

උත්තර මන්ත්‍රීවරයකුගේ ආසනයක් ඇබෑර්තු වනුයේ කරුණු කීපයක දී පමණය. (1) මන්ත්‍රීවරයාගේ මරණයෙන්, (2) මන්ත්‍රීවරයා සිය අතින් ලියන ලද ඉල්ලා අස්වීමේ ලිපියක් උත්තර මන්ත්‍රී මණ්ඩලයේ ලිපිකරු වෙත ඉදිරිපත් කිරීමෙන්, (3) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 13 දරන කොන්දේසිය යටතේ ඇති වන නුසුදුසුකම් හේතුවෙන්, (4) උත්තර මන්ත්‍රී මණ්ඩලයට කල් තබා දැනුම් දී එහි අවසරය ලබා නොගෙන තුන්මසකට වැඩි කාලයක් නොකඩවා එහි අසුන් නොගෙන සිටීමෙන් හෝ (5) සේවා කාලය අවසන් වීමෙනි.

උත්තර මන්ත්‍රීන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම දීමනාවක් නියමිතය. ඔවුන්ට හිමි වන වරප්‍රසාද, වරණ හා බලතල පාර්ලිමේන්තු පාලන පනතක් මගින් නියමිතය.

දිවයිනේ සාමය හා මනා පාලනය සඳහා නීති සම්පාදනයට පාර්ලිමේන්තුවට පැවරෙන වගකීම එහි අංගයක් වූ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ කාර්ය හා බලතල පිරික්සීමෙහි දී සැලකිය යුතු වේ. එක්සත් රාජධානියේ සාමි මන්ත්‍රී මණ්ඩලයේ බලතලවලට බෙහෙවින් සමාන බලතල මෙයට ද ඇත. වර්ෂ 1911 පාර්ලිමේන්තු පනතින් හා වර්ෂ 1948 පාර්ලිමේන්තු පනතින් එක්සත් රාජධානියේ සාමි මන්ත්‍රී මණ්ඩලයේ බලතල බොහෝ දුරට සීමා කෙරිණි. එහි දී සාමි මන්ත්‍රී මණ්ඩලයට ශේෂ වූ ප්‍රධාන බලය නම් පනත් පමා කිරීමයි.

ලංකාවේ උත්තර මන්ත්‍රී මණ්ඩලයට ද මුදල් පනත් සම්බන්ධයෙන් ඇත්තේ පමා කිරීමේ බලය පමණි. යම්කිසි මුදල් පනතක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කිරීමෙන් පසු සැසිවාරය අවසන් වීමට යටත් පිරිසෙයින් එක මාසයකටවත් පෙර උත්තර මන්ත්‍රී මණ්ඩලයට යවා එසේ යැවීමෙන් පසු මාසයක් ඇතුළත දී එම මුදල් පනත උත්තර මන්ත්‍රී මණ්ඩලයෙන් සම්මත නුවුවහොත් එය උත්තර මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය නොමැතිව රාජ සම්මුතිය ලබාගැනීම් වස් අග්‍රාණ්ඩුකාරතුමා වෙත ඉදිරිපත් කිරීමට පුළුවන. මෙපරිදි උත්තර මන්ත්‍රී මණ්ඩලය විසින් මුදල් පනතක් පමා කළ හැකි වැඩි ම කාලය මාසයක් වේ. තවද මුදල් පනතක් ඉදිරිපත් කිරීමට, ප්‍රතික්ෂේප කිරීමට හෝ සංශෝධනය කිරීමට උත්තර මන්ත්‍රී මණ්ඩලයට බලයක් ඇත්තේ ද නැත. අනික් අතින් මුදල් පනතක් නොවන අන් ඕනෑ ම කෙටුම්පත් පනතක් ඉදිරිපත් කිරීමටත් සංශෝධනය කිරීමටත් පමා කිරීමටත් උත්තර මන්ත්‍රී මණ්ඩලයට බලය තිබේ. මුදල් පනතක් නොවන කෙටුම්පත් එක ම පාර්ලිමේන්තුවේ වුව ද නොවුව ද පිළිවෙළින් සැසිවාර දෙකක දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කරනු ලැබූ කල්හි සැසිවාරයන්ගෙන් (අ) පළමුවැන්නේ අවසානයට යටත් පිරිසෙයින් එක් මාසයකටවත් කලින් ඒ සැසිවාරයේ දී ම උත්තර මන්ත්‍රී මණ්ඩලය වෙත යවා ඒ සැසිවාරයේ දී උත්තර මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත නොකරන ලද කල්හිත් (ආ) ඒ සැසිවාරයන්ගෙන් දෙවැන්නේ දී උත්තර මන්ත්‍රී මණ්ඩලය වෙත යවා එසේ යැවීමෙන් පසු එක් මාසයක් ගතවීමය, ඒ සැසිවාරය ඇරඹීමෙන් පසු හය මාසයක් ගතවීමය යන දෙකින් වඩා දීර්ඝ වූ කාලපරිච්ඡේදය තුළ එම කෙටුම්පත උත්තර මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත නොකරන ලද කල්හිත් ඒ ව්‍යවස්ථා කෙටුම්පත් උත්තර මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත නොකරන ලද්දේ වී නමුත් අග්‍රාණ්ඩුකාරතුමා වෙත ඉදිරිපත් කළ හැකිය. ඊට රාජ සම්මුතිය ලැබුණු කල්හි කෙටුම්පත් පනත පාර්ලිමේන්තුවෙන් සම්මත පනතක් ලෙස වළංගු වේ. මෙයින් පැහැදිලි වන්නේ උත්තර මන්ත්‍රී මණ්ඩලයට පනත් පමා කිරීමේ බලය මිස පතත් ප්‍රතික්ෂේප කිරීමේ බලයක් නොමැති බවය.

ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කැබිනට් ඇමතිවරුන්ගෙන් දෙදෙනකුට නොඅඩු ගණනක් උත්තර මන්ත්‍රීන් විය යුතු අතර ඉන් එක් අයකු අධිකරණ ඇමතිවරයා විය යුතුය. පාර්ලිමේන්තු ලේකම්වරුන් පත් කිරීමේ දී ඔවුන් අතරින් දෙදෙනකුට නොවැඩි ගණනක් උත්තර මන්ත්‍රී මණ්ඩලයෙන් පත් කළ යුතු වේ. උත්තර මන්ත්‍රී මණ්ඩලයෙන් දෙතුන් දෙනකු මෙසේ කැබිනට් මණ්ඩලයට පත් කිරීම ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන නීතියක් නමුදු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමයේ නම් එය සම්ප්‍රදායක් පමණි. යටකී නීතිය පරිදි ඩී.ඇස්. සේනානායක මහතාගේත් ඩඩ්ලි සේනානායක මහතාගේත් බණ්ඩාරනායක මහතාගේත් දහනායක මහතාගේත් ආණ්ඩුවල ඇමතිවරු දෙදෙනෙක් බැගින් උත්තර මන්ත්‍රී මණ්ඩලයෙන් පත් කරනු ලැබ සිටියහ. සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රථම ආණ්ඩු කාලයේ දී අගමැතිනිය ඇතුළු ඇමතිවරු තිදෙනෙක් උත්තර මන්ත්‍රී මණ්ඩලයෙන් තේරී පත් වූ අය වූහ.

කාර්‍ය්‍ය

උත්තර මන්ත්‍රී මණ්ඩලය ප්‍රථම වරට රැස් වූ විට සභාපතිවරයකු හා නියෝජ්‍ය සභාපතිවරයකු ද තෝරාගත යුතුය. උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සැසි වාරයක කටයුතු පරික්ෂා කිරීමේ දී සැසි වාරය ආරම්භ වනුයේ සභාපතිවරයා විසින් රාජාසනයේ කථාව නැවත කියවීමෙනි. මෙරට උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සැසි වාර ආරම්භ කෙරෙනුයේ සාමාන්‍ය වශයෙන් ජූනි හා ජූලි මාසවල දී වන හෙයින් මුදල් වෙන් කිරීමේ කෙටුම්පත (Appropriation Bill) අගෝස්තු මාසයේ පමණ ඉදිරිපත් කෙරේ. අතරතුර කාලය ප්‍රත්‍යෙක උත්තර මන්ත්‍රීන්ගේ යෝජනා, සුළු පනත් හා රජය දීර්ඝ සාකච්ඡා බලාපොරොත්තු නොවන කෙටුම්පත් පනත් සම්බන්ධයෙන් යොදනු ලැබේ. මුදල් වැය කිරීමේ කෙටුම්පත සම්බන්ධයෙන් දින 4-6 අතර කාලයක් යොදනු ලැබේ. සැසි වාරයේ ඉතිරි දින ගණන වැදගත්කමක් ඇති සුළු කෙටුම්පත් සඳහා යෙදේ. උත්තර මන්ත්‍රී මණ්ඩලය සතු නිල කටයුතු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්බන්ධයෙන් මෙන් ම කලින් කලටත් දිනෙන් දිනටත් වෙනස් වෙයි. මහජන කටයුතු උත්තර මන්ත්‍රී මණ්ඩලයට පැවරෙන කටයුතු අතරින් වැදගත් කාර්යයක් වුව ද එය දවසක කෙරෙන කටයුතු අතරින් ‍කොටසක් පමණි. උත්තර මන්ත්‍රී මණ්ඩලයේ කාර්‍ය්‍යයන් සාමාන්‍යයෙන් පහසුව සඳහා මෙසේ වර්ග කළ හැකිය. (1) අලුත් උත්තර මන්ත්‍රීන් දිවුරුම් දීම, (2) අග්‍රාණ්ඩුකාරතුමාගේ පණිවිඩය කියවීම, (3) උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිගේ ප්‍රකාශ කියවීම, (4) වාර්තා ලිපි ලේඛනාදිය ඉදිරිපත් කිරීම, (5) කාරක සභාවල වාර්තා ඉදිරිපත් කිරීම, (6) පෙත්සම් ඉදිරිපත් කිරීම, (7) ප්‍රශ්න ඇසීම, (8) පාර්ලිමේන්තු කෙටුම්පත් පනත් ගැන සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර ඉදිරිපත් කරන ලද කල් දිය නොහැකි යෝජනා සලකා බැලීම, (9) පාර්ලිමේන්තු කෙටුම්පත් පනත් ගැන සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර ඉදිරිපත් කරන ලද කල් දිය යුතු යෝජනා සම්බන්ධයෙන් එසේ කල් දීම, (10) පාර්ලිමේන්තු කෙටුම්පත් පනත් සාකච්ඡාව, (11) රැස්වීම කල් දැමීමේ යෝජනාව යනුවෙනි.

ලංකාවට උත්තර මන්ත්‍රී මණ්ඩලයක් අවශ්‍ය ද යන්න මත භේදයට භාජනව ඇති ප්‍රශ්නයකි. දෙවැනි මන්ත්‍රී මණ්ඩලයකින් බලාපොරොත්තු වන ප්‍රධාන කාර්‍ය්‍යය වනුයේ පළමු මණ්ඩලය විසින් දුරදිග නොබලා ස්ථීර කරනු ලබන කෙටුම්පත් යෝජනා පමා කිරීමයි. ලංකාවේ උත්තර මන්ත්‍රී මණ්ඩලය මගින් මේ බලය ක්‍රියාවේ යෙදී ඇත්තේ එක ම අවස්ථාවක පමණි. 1956 බණ්ඩාරනායක ආණ්ඩුව මරණීය දණ්ඩනය නැති කිරීමට කෙටුම්පතක් ඉදිරිපත් කළ අවස්ථාවේ දී පමණය. මෙවැනි තත්වයක් උද්ගත වීම උත්තර මන්ත්‍රී මණ්ඩලය සකස් වී ඇති ආකාරය නිසා නොවැළැක්විය හැකි දෙයක් ලෙස පෙනේ. උත්තර මන්ත්‍රීන් තේරීමේ දී අග්‍රාණ්ඩුකාරතුමා විසින් පත් කරනු ලබන 15 දෙනා ද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්දයෙන් පත්වන බහුතරය ද ආණ්ඩු පක්ෂයේ අය වීම සාමාන්‍යයෙන් සිදු වන්නකි.

මන්ත්‍රී මණ්ඩල දෙකෙහි ම එක ම දේශපාලන පක්ෂයක අය බහුතරය වීම නිසා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කරනු ලබන පනතක් පමා කිරීමට විරුද්ධවීම උත්තර මන්ත්‍රී මණ්ඩලයෙන් අපේක්ෂා නොකට හැකිය. උත්තර මන්ත්‍රී මණ්ඩලය මගින් සාකච්ඡා කෙරෙන කරුණු ද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඉදිරියට ගෙනෙනු ලබන කරුණුවලට ම සමාන බැවින් උත්තර මන්ත්‍රී මණ්ඩලයෙන් විශේෂ කාර්යයක් නොවන්නේය යනු ද තවත් තර්කයකි. විශේෂයෙන් ම ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයන්, කැබිනට් ඇමතිවරුන් සහ විරුද්ධ පක්ෂයේ නායකයන් සිටිනුයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නිසා වාද විවාදවල දී මහජන අවධානය යොමු වනුයේ ද පළමු මණ්ඩලය කෙරෙහිය. සෙනට් සභාවෙන් සුළු ජාතික නියෝජිතයනට අවස්ථාව සැලැසෙතැයි අදහස් කරන ලද නමුත් ප්‍රමාණවත් නියෝජනයක් දීමේ අරමුණ ඉන් ඉටු වී නැති බව විවේචකයෝ දක්වති. දේශපාලන පොර පිටියේ දී පරාජය ලත් අයට නැවත මහජනයා වෙනුවෙන් ව්‍යවස්ථා සම්පාදනය කිරීමට මේ ආයතනය නිසා ඇතැම් අවස්ථාවල දී දූෂිත ලෙස අවස්ථාව සැලසෙන බවට ද විවේචන ඇත. ඒ හැර උත්තර මන්ත්‍රී මණ්ඩලය බොහෝ දුරට ධන හිමි සමාජ කොටස්වලින් සැදි ආයතනයක් ලෙස විවේචනය කරන්නෝ ඔවුන් තම නිහිත ස්වාර්ථයන් (vested interests) ඉටුකරගැන්මෙහි ලා ඒ ආයතනය මගින් අයුතු බලපාන බව ද කියත්. අනික් අතට දේශපාලන පොරපිටියට බැසීමට අකමැති වුව ද ඒ ඒ ක්ෂේත්‍රයන්හි කැපී පෙනෙන පුද්ගලයන්ගේ සහාය පාලන කටයුතුවල දී ලබාගැනීමට ඉඩකඩ සැලසීම සෙනට් සභාවෙන් කෙරෙන විශේෂ සේවයක් හැටියට පෙන්නා දෙන අය ද වෙති. මේ කරුණු මුල්කොටගෙන ඇතැමෙක් උත්තර මන්ත්‍රී මණ්ඩලය ප්‍රතිශෝධනය කළ යුතු යයි ද ඇතැමෙක් එය අහෝසි කොට දැමිය යුතු යයි ද කියත්.

(සංස්කරණය: 1970)