උත්තරමේරුර්

සිංහල විශ්වකෝෂය වෙතින්
13:47, 13 නොවැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('උත්තරමේලුර්, උත්තරමල්ලුර්, උත්තිරමේලුර් සහ උ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

උත්තරමේලුර්, උත්තරමල්ලුර්, උත්තිරමේලුර් සහ උත්තිරමල්ලූර් යන නම්වලින් ද හැඳින්වෙන මෙය මදුරාසියේ සිට සැතපුම් 50ක් පමණ වයඹදිගින් විංගල්පුත් දිස්ත්‍රික්කයෙහි පිහිටි නගරයකි. මෙය මදුරාසි (තමිල්නාඩු) ව්‍යවස්ථාදායක මණ්ඩලයෙහි ඡන්දදායක කොට්ඨාසයක් ද වෙයි. නගරයෙහි සැලැස්ම හා ප්‍රධාන පූජනීය ස්ථානයන්ගේ පිහිටීම අනුව එම ප්‍රදේශය අවුරුදු 1200කට නොඅඩු කාලයක සිට ජනාවාසව පැවති බව කිව හැකිය.

මෙහි පැරණිතම නාමය වූයේ උත්තරමේරු චතුර්වේදී මංගලම් යන්නයි. ප්‍රභුමේරු, අභිමානමේරු යන නම් මෙන් උත්තරමේරු යන්න ද කිසියම් රජකුගේ රාජ නාමය විය හැකි යයි අයෙක් අදහස් කරති. විජයකම්ප වර්මන්ගේ ශිලාලිපියක හා වෙනත් චෝළ ශිලාලිපිවල උත්තරමේරු චතුර්වේදී මංගලම් යනුවෙන් සඳහන් කර ඇත්තේ මේ නගරයයි. පළමුවන රාජේන්ද්‍ර චෝළ රජුගේ කාලයෙහි සිට රාජේන්ද්‍ර චෝළ චතුර්වේදී මංගලම් යනුවෙන් ද එය හැඳින්විණි. මුල් ම නාමය සංක්ෂිප්ත වීමෙන් උත්තරමේරුර් යන්න හෝ උත්තරමේලුර් යන නාමය භාවිතයට පැමිණි බව ඇතැමුන්ගේ මතයයි. 13 වන සියවසේ මැද භාගයෙහි දී පමණ රාජරාජ III රජු දවස එකල විසූ රණකාමී තෙලඟු චෝඩ නායකයකුගෙන් පසුව කලක් මෙම නගරය ගණ්ඩගෝපාල චතුර්වේදී මංගලම් යන නමින් ද හැඳින්විණි. යමුනා නදිය අසබඩ විරාට නමැති නගරයක රජ කළ රජකුගේ පුත් වූ උත්තිර නමැති කුමරු විසින් මෙම නගරය ගොඩනඟන ලද බව ජනප්‍රවාදයෙහි දැක්වේ.

ප්‍රංස හා ඉංග්‍රීසි ජාතිකයන්ට විරුද්ධව හයිදර් අලි හා ටිපු සුල්තාන් කළ සටන් නිසා මෙම නගරයට හානි සිදු වුව ද පුරාවස්තු රැසක් තව ම සුරැකිව පවතී. මෙම නටබුන් උත්තරමේරුර්හි අතීත ශ්‍රී විභූතිය තවමත් ගෙනහැර දක්වයි. නගරයට බටහිරින් ඊට ආසන්නව පිහිටි විශාල වැව පල්ලව චෝළ ශිලාලේඛනවල සඳහන් වන වෛරමේඝ තටාකය බව නිසැකව ම හඳුනාගෙන ඇත.

උත්තරමේරුර් චෝළ අධිරාජ්‍යයට අයත් විශාල බමුණු ගමක් විය. අග්‍රහාර දීමනා සඳහන් වෝළ සෙල්ලිපි රැසකින් එකල එහි උසස් යැයි කිව හැකි ප්‍රාදේශීය පාලන ක්‍රමයක් පැවති බව පෙනේ. උත්තරමේරුර් සභාවෙන් එදා ප්‍රාදේශීය පාලනය පිළිබඳව පැහැදිලි අවබෝධයක් අපට ලබාගත හැකිය. අනුමණ්ඩල මගින් පාලන කටයුතු කරගෙන යාම මෙම සභාවෙහි විශේෂ ලක්ෂණයක් විය. පරන්තක I රජුගේ 12 වැනි හා 14 වැනි රාජ්‍යවර්ෂයන්හි දී නිකුත් කරන ලද සෙල්ලිපිවලින් එරජු විසින් මෙහි පාලන ක්‍රම සකස් කරන ලද බව හෙළි වෙයි.

උත්තරමේරුර්හි මධ්‍යම කාර්ය සංවිධානය සභාවක් මගින් සිදු වූ අතර එම සභාව එක් එක් කොට්ඨාසවලින් තෝරා පත් කරගන්නා ලද නියෝජිතයන්ගෙන් සමන්විත විය. නගරය ඡන්දදායක කොට්ඨාස 30කට බෙදා තිබිණ. වාර්ෂිකව කරන ලද කුසපත් ඇදීමේ ක්‍රමයෙන් උත්තරමේරුර් සභාවට නියෝජිතයෝ තෝරා ගනු ලැබූහ. මෙම ගම්සභාව අතුරු කාරක සභා පහකට බෙදා තිබිණ. උයන් හා පලතුරු වතු නඩත්තුව, වැව් හා ජල සම්පාදනය, ආරාවුල් සමථයකට පත් කිරීම පිළිවෙළින් මුල් අනුකාරක සභා තුනෙහි කාර්ය විය. ඉතිරි අනුකාරක සභා දෙකෙහි කාර්ය කවරේ දැයි කිව නොහේ. වේතනයක් නොලැබූ මෙම සභාවෙහි සාමාජිකයන්ගේ අක්‍රමිකතා හා දූෂණ අසු වූ විට ඔවුන් නිලයෙන් පහ කළ හැකි විය. මෙම සභාවෙහි සාමාජිකයකු වශයෙන් පත්වීම සඳහා වයස 35ත් 70ත් අතර වීම ද ස්වකීය ගෙයකට හා ඉඩම් කැබැල්ලකට හිමිකම් තිබීම ද අවශ්‍ය සුදුසුකම් විය. එක් අවුරුද්දක් මෙම සභාවෙහි පෙනී සිටි නියෝජිතයකුහට යළිත් ඉදිරිපත් විය හැකි වූයේ අවුරුදු තුනක් ගත වීමෙන් පසුවය. සොරකම් කළවුන්හට ද පරස්ත්‍රී හෝ පරපුරුෂ සේවනයෙහි යෙදුනවුන්හට ද වෙනත් එබඳු වැරදි කළවුන්හට ද උත්තරමේරුර්හි ගම්සභාවෙහි සේවය කිරීම තහනම් විය. බූරුවන් පිට යවනු ලැබීමේ දඬුවම විඳි අය ද නුසුදුස්සන් ලෙස සැලකුණහ.

මෙම සභාවෙහි කාර්යයන් අතර මහ ආණ්ඩුවෙන් පරිබාහිර වූ කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, වාරිමාර්ග හා මංමාවත් තැනීම ආදිය ද වැසියාගේ ශුභසිද්ධියට අදාළ වෙනත් කටයුතු ද විය. මෙහි පාලන කටයුතු සඳහා කිසියම් නීති සංග්‍රහයක් නොවුව ද පොදු අභිවෘද්ධියට අදාළ වන කරුණු සලකා බැලීම සඳහා එම සභාව එක්ව කටයුතු කළ බව පෙනේ. අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව වැඩ කටයුතු කරගෙන යාමට මෙනයින් උත්තරමේරුර් වැසියනට හැකි විය.

චෝළ අධිරාජවරුන්ගේ මාළිගා උත්තර තනවා තුබූ බවට සාධක ලැබී ඇත.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උත්තරමේරුර්&oldid=9087" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි