උත්තෝලකය

සිංහල විශ්වකෝෂය වෙතින්
10:43, 17 නොවැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Lift/Elevator). මහල් කීපයකින් යුත් ගොඩනැඟිල්ලක එක් තට්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Lift/Elevator). මහල් කීපයකින් යුත් ගොඩනැඟිල්ලක එක් තට්ටුවක සිට තවත් තට්ටුවකට මගීන් ගෙනයෑමට ද කර්මාන්තශාලාවන්හි එක් තට්ටුවක සිට අනික් තට්ටුවකට බඩුබාහිරාදිය ගෙන යෑමට ද පතල්වලින් ද්‍රව්‍යයන් ඉහළ පහළ ගෙනයෑමට ද උපයෝගී කරගනු ලබන, පීලි මත සිරස් ලෙස චලනය විය හැකි අයුරු තනා ඇති, කුටිය හෝ වේදිකාව මෙනමින් හැඳින්වේ. ක්‍රි.පූ. 236 පමණ කාලයේ පවා රෝම අධිරාජ්‍යයේ උත්තෝලක භාවිතා කර ඇත. මිනිසුන් හෝ සතුන් හෝ යොදා බෙරකඳක් භ්‍රමණය කිරීමේ දී ඒ වටා එතෙන කඹයක මාර්ගයෙන් කුටිය සිරස් ලෙස නැඟෙන ලෙසට ඒවා නිපදවා තිබිණි. එහෙත් දැනට භාවිත වන උත්තෝලක සියල්ල 1853 දී ඉලයිෂා ජී. ඕටිස් නමැති අමෙරිකානු නිෂ්පාදකයකු විසින් ප්‍රදර්ශනය කරන ලද යන්ත්‍රයක විකාසනයෝයි. 1871 දී සාර්ථක ද්‍රාව-උත්තෝලකයක් (hydraulic elevator) වෙළෙඳපොළට ඉදිරිපත් කෙරිණි. මෙම උත්තෝලකය ක්‍රියා කරවන ලද්දේ ජල පීඩනයෙනි. සිලින්ඩරයක් තුළට ඇතුළු වන අධි පීඩනයකින් යුතු ජලයෙන් පිස්ටනයක් ක්‍රියා කරවීමෙන් ද පිස්ටනයට කෙළින් ම කුටිය සම්බන්ධ කිරීමෙන් හෝ කප්පි හා තන්තු යොදා පිස්ටනයේ චලනය කුටියට සම්ප්‍රේෂණය කිරීමෙන් ද කුටිය චලනය කැරැවිය හැකිය. කුටියට ම පිස්ටනය සම්බන්ධ කොට ඇති විට, සිලින්ඩරය සිරස්ව සවි කළ යුතු හෙයින් උත්තෝලකය ගමන් කැරැවිය හැකි දුර අඩි කීපයකට පමණක් සීමා වේ. උත්තෝලකය තුළ ඇති තන්තුවකින් කපාටයක් ක්‍රියා කරවීමෙන් උත්තෝලකය ගමන් කැරැවිණි. වාෂ්ප එන්ජිම උපයෝගී කොට ගැනීමෙන් ද උත්තෝලක ක්‍රියා කරවා ඇත. මෙහි දී බෙරකඳක් භ්‍රමණය කිරීමට වාෂ්ප එන්ජිම යොදාගනිත්. ගියර (බ.) යෙදීමෙන් අවශ්‍ය ආකාරයට බෙරකඳේ භ්‍රමණය පාලනය කරගත හැකිය. පළමුවරට 1889 දී විදුලි උත්තෝලකයක් සාර්ථක ලෙස ක්‍රියාත්මක කෙරිණි. මෙය සරල ධාරාවකින් ක්‍රියා කරනු ලබන මෝටරයකින් බෙරයක් ක්‍රියා කරවීමෙන් සකසන ලද්දකි. බෙරයේ දැවටිය හැකි කඹයේ දිග බෙරයේ විශාලත්වයෙන් සීමා වන හෙයින් උත්තෝලකය ක්‍රියා කර විය හැකි දුර ප්‍රමාණය ද අඩි 150කට පමණ සීමා විය.

උත්තෝලකයක් ප්‍රධාන වශයෙන් කුටියකින් හෝ වේදිකාවකින් ද ප්‍රතිභාරයකින් (counter weight) ද බලය සැපයීමට යෙදෙන යන්ත්‍රයකින් ද ආරක්ෂාව සඳහා යොදා ඇති විශේෂ අවයවයන්ගෙන් හා උත්තෝලකයේ චලනය පාලනය කිරීම සඳහා යෙදෙන උපක්‍රමවලින් ද සමන්විත වේ. උත්තෝලකයට බලය සැපයීම සඳහා යෙදෙන යන්ත්‍රය එලවුම් යන්ත්‍රය යනුවෙන් හැඳින්වෙයි. මේ සඳහා බහුලව යෙදෙන්නේ විදුලි මෝටරයයි. එහෙත් වාෂ්ප එන්ජිමක්, ද්‍රාව පීඩකයක් හෝ අන් යන්ත්‍රයක් මේ සඳහා යොදාගත හැකිය.

නියාමක පීලි මත ගමන් කරන කුටිය හෝ වේදිකාව එලවුම් යන්ත්‍රය මගින් පමණක් ක්‍රියා කරවීමේ අපහසුව මඟහැරවීම සඳහා කප්පියක් මතින් ගමන් කරන තන්තුවක් මගින් කුටිය හෝ වේදිකාව ප්‍රතිභාරයක් සමග සම්බන්ධ කොට තිබේ. වැඩි ආරක්ෂාව සඳහා බොහෝ විට තනි තන්තුවක් වෙනුවට වානේ තන්තු කීපයකින් යුතු පටියක් යොදා ගනිත්. එලවුම් යන්ත්‍රයේ උපකාරයෙන් කප්පිය චලනය කිරීමෙන් කුටිය ගමන් කිරීමට සැලසේ. ප්‍රතිභාරය සාමාන්‍යයෙන් උත්තෝලකයේ ගෙනයාමට අනුමත බරින් 40%ක පමණ බරකින් යුක්ත වේ.

එලවුම් යන්ත්‍රය වශයෙන් යෙදෙන විදුලි මෝටරය සරල ධාරාවකින් හෝ ප්‍රත්‍යාවර්තක ධාරාවකින් හෝ ක්‍රියා කරවිය හැකිය. අධිවේග උත්තෝලකයන්හි කුටිය ක්‍රියා කරවන කප්පියට එලවුම් මෝටරය කෙළින් ම සම්බන්ධ කෙරේ. අඩු වේගයකින් ක්‍රියා කරන උත්තෝලක සඳහා කප්පිය හා මෝටරය අතර ගියර පද්ධතියක් යෙදේ. සරල ධාරාවකින් ක්‍රියා කරන විදුලි මෝටරය සහිත උත්තෝලකයක ගමන් වේගය හා දිසාව පාලනය කිරීම සඳහා ධාරානියාමකයක් හා දිසාමාරු යතුරක් යෙදිය හැකිය. මෙහි දී මෝටරය තුළින් ගලා යන ධාරාව පාලනය කිරීමෙන් උත්තෝලකයේ වේගය ද ධාරාවේ දිසාව වෙනස් කිරීමෙන් උත්තෝලකය ගමන් කරන දිසාව ද වෙනස් කළ හැකිය. එහෙත් මෙහි දී අපතේ යන ශක්තිය විශාලය. එහෙයින් එලවුම් මෝටරය ක්‍රියා කරවීම සඳහා විද්‍යුත් විභවජනක මෝටරයක් යොදාගනු ලැබේ. අවශ්‍යතාව අනුව එලවුම් මෝටරයට යෙදෙන විද්‍යුත් විභවය අඩු වැඩි කිරීමට ජනක මෝටරයට පිළිවන. ප්‍රත්‍යාවර්තක ධාරාවකින් ක්‍රියා කරන විදුලි මෝටර ක්‍රියා කරවීම සඳහා ද ජනක මෝටරයක් යෙදීමේ ක්‍රමය ම උපයෝගී වෙයි.

කුටිය එල්ලා ඇති වානේ පටිය කැඩීයාමෙන් හෝ විදුලි බලය ඇනහිටීමෙන් හෝ වෙනත් යම්කිසි යාන්ත්‍රික දෝෂයකින් හෝ කුටියේ ක්‍රියාකාරිත්වය ඇනහිටි කල්හි කුටිය පහළට ඇදවැටීම වළක්වනු පිණිස නිරාපද උපක්‍රම යොදනු ලැබේ. මෙය උත්තෝලකයක තිබිය යුතු වැදගත් අංගයකි. නිරාපද උපක්‍රමය ක්‍රියාකාරී විය යුතු අවස්ථාව අඟවනු ලබන්නේ පාලකයක් (බ.) මගිනි. කුටිය හා සම්බන්ධ කළ කප්පි හා තන්තු පද්ධතියක් මගින් පාලකය ක්‍රියා කරයි. ප්‍රායෝගිකව යෙදිය හැකි නිරාපද උපක්‍රමයක් පළමුවෙන් ම නිපදවන ලද්දේ 1852 දී ඉලයිෂා ජී. ඕටිස් විසිනි. දැනට බහුලව යෙදෙන නිරාපද උපක්‍රම දෙකක් 1 හා 2 රූ සටහන්වලින් දැක්වෙයි. 1 රූ සටහනෙහි දැක්වෙන්නේ අධිවේග උත්තෝලක සඳහා යෙදෙන නිරාපද උපක්‍රමයකි. කලින් සනිටුහන් කරන ලද නිශ්චිත අගයකට වඩා උත්තෝලකයේ වේගය වැඩි වන විට පාලකය මගින් තන්තුවක් ඇදීමෙන් නිරාපද උපක්‍රමය ක්‍රියාකාරී කෙරෙයි. මෙම තන්තුව බෙරකඳක් (A) වටා ඔතා ඇත. තන්තුවේ ඇදුම නිසා බෙරකඳ භ්‍රමණය වීමෙන් ඉස්කුරුප්පුවක් ඇඹරී B හා C ඇණ දෙක දෙපසට තල්ලු වෙයි. එවිට කූඤ්ඤය (D) හක්ක (F) තුළට හිරවීම නිසා හක්කේ අනෙක් කෙළවර තද වේ. මේ නිසා කුටියේ චලනයෙන් හක්ක තුළ භ්‍රමණය වන ඉද්දක් තදවීම හේතු කොටගෙන වේගය පාලනය වේ. 2 රූ සටහනේ දැක්වෙන්නේ අඩුවේග උත්තෝලක සඳහා යෙදෙන නිරාපද උපක්‍රමයකි. මෙහි දී ද, කලින් සනිටුහන් කරන ලද නිශ්චිත අගයකට වඩා වැඩි වේගයකින් උත්තෝලකය ගමන් කරන කල්හි පාලකය මගින් ඇති කරන ඇදුම නිසා දණ්ඩ (A) ඉහළට ඇදෙයි. එවිට තොටිල්ලක නංවා ඇති රෝල (B) ආනත තහඩුව (C) දිගේ ඉහළට ඇදීයාම නිසා නියාමක පීල්ල මත රෝල හිරවීමෙන් උත්තෝලකයෙහි වේගය පාලනය වේ.

1892 දී ඕටිස් සමාගම මගින් ප්‍රථමයෙන් ම ස්වයංක්‍රිය උත්තෝලකයක් නිපදවන ලදි. 1925 දී ඕටිස් සමාගම මගින් ස්වයංක්‍රිය සමූහ පාලක ක්‍රමය (collective control method) ද නිපදවන ලදි. ගමනේ යෙදෙන උත්තෝලකය එක් එක් මගියාගේ අවශ්‍යතාව අනුව ඒ ඒ ස්ථානවල ස්වයංක්‍රියාකාරීව නැවතීමට ද උත්තෝලකය ගමන් කරමින් සිටින අතරතුරෙහි අන් මගියකු එම උත්තෝලකයෙන් ගමන් කිරීමට මග සිටින බව බොත්තමක් තද කිරීමෙන් ඇඟ වූ විට එම අවශ්‍යතාව ද ඉටුකිරීම සඳහා නියමිත ස්ථානයෙහි නතර වී මගියා නංවා ගැනීමට ද හැකියාවක් මෙම උත්තෝලකවලට තිබේ. විශාල ගොඩනැඟිලිවල ඇති උත්තෝලකයන්හි වර්ණ සංඥා ද යොදනු ලැබේ. කිසියම් මොහොතක උත්තෝලකය ගමන් කරන ස්ථානය දැන ගැනීමට මගීන්ට මෙයින් හැකි වේ.

උත්තෝලකය ගමන් කරන අතර දොර ඇරීමත් මගීන් නංවා අවසාන වූ විට දොර වැසීයෑමත් මගින් බැසීමට අවශ්‍ය ස්ථානයෙහි දී දොර ඇරීමත් පාලනය කිරීම සඳහා ද ස්වයංක්‍රිය ක්‍රම යොදාගනු ලැබේ. මේ සඳහා විශේෂ පාලන උපකරණ යෙදෙයි. උත්තෝලකයක දොර වැසී ගෙන යන විට මගියෙක් ඇතුළු වීමට එන්නේ නම් නැවත දොර ස්වයංක්‍රියාකාරීව ඇරීම සඳහා යොදා ඇති ප්‍රකාශ විද්‍යුත් ඇස මීට නිදසුන් වශයෙන් දැක්විය හැකිය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උත්තෝලකය&oldid=9094" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි