උඩරට සිතුවම් කලාව

සිංහල විශ්වකෝෂය වෙතින්
14:33, 21 නොවැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('දහහත්වැනි දහඅටවැනි සියවස්වලට අයත් ලාංකේය චිත...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

දහහත්වැනි දහඅටවැනි සියවස්වලට අයත් ලාංකේය චිත්‍ර සම්ප්‍රදාය උඩරට සිතුවම් කලාව යනුවෙන් ගැනේ. ශෛලිය අතින් පැරණි සිංහල සිතුවම් කලාවට වෙනස් ස්වරූපයක් ගැනීමත් බහුල වශයෙන් උඩරට රාජධානි සමයට අයත් විහාර දේවාලයන්හි ඇඳ තිබීමත් එසේ ම උඩරට රජ කළ රජුන්ගේ අනුග්‍රහයෙන් එය වැඩීමත් හේතුකොටගෙන ඊට ‘උඩරට සිතුවම් කලාව’ යන නම ලැබිණ. එහෙත් උඩරට ප්‍රදේශයට ම විශේෂ වූ කලාවකැයි කිව නොහැකිය. මෙම චිත්‍ර සම්ප්‍රදායට ම අයත් සිතුවම් පහතරට විහාරයන්හි ද ඇති බැවිනි.

උඩරට ප්‍රදේශවල පිහිටි දළදා මාළිගාව, ලංකාතිලකය, දෙගල්දොරුව, ගංගාරාමය, මැදවෙල, බඹරගල, දඹුල්ල, රිදී විහාරය, දනගිරිගල, කැබැල්ල ලෙන, දොඩන්තලේ ආදි විහාරයන්හි මෙන් ම පහතරට කැලණිය, තොටගමුව, මූකිරිගල වැනි තන්හි විහාරයන්හි ද මෙම සම්ප්‍රදායට අයත් සිතුවම් දක්නට ඇත.

උඩරට සිතුවම් අතුරෙන් උසස් ම කෘතීන් ලෙස සැලකෙන කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ කරවන ලද සිතුවම් දැඩි සම්ප්‍රදායකින් හික්මවනු ලැබූ පරිණත කෘතීහුය. දහඅටවැනි සියවසට පෙර සිට ම මෙම සිතුවම් කලාව ප්‍රගුණ නොකරන ලද නම් එවැනි පරිණතභාවයක් ඊට ඇතුළත් විය නොහැකිය. එහෙයින් උඩරට සිතුවම් කලාව දහඅටවැනි සියවසට පෙර අඩු ම වශයෙන් සියවස් තුනහතරක් මුළුල්ලේ වැඩිණැයි සිතිය හැකිය.

උඩරට සිතුවම් කලාවෙහි විශේෂ ලක්ෂණ කිහිපයක් ඇත. මනුෂ්‍ය රූපය, ඇඳුම් පැලඳුම්, වෘක්ෂලතාදිය, ස්වාභාවික දර්ශන පසුබිම නිරූපණය කිරීම, වර්ණාලේපය, රූප වින්‍යාසය ආදි කරුණු අතින් පැරණි සිතුවම් කලාවෙහිත් උඩරට සිතුවම් කලාවෙහිත් ශෛලියෙහි වෙනසක් දක්නට ලැබේ. පැරණි සම්ප්‍රදාය අනුව සිතුවම් මුළු බිත්තිය ම වසා සිටියි. ඒ ඒ වස්තු හෝ දර්ශන එකිනෙකට මිශ්‍ර වී ඇත. එහෙත් එක බැල්මට මුළු දර්ශනය ම හසු වෙයි. උඩරට සිතුවම් ඇඳ ඇත්තේ බිත්තිය පුස්කොළ පත්ඉරු වැනි දිග තීරුවලට බෙදා එම තීරුවලය. සිත්තරා තමා ඇඳීමට අදහස් කරන පුවත එකිනෙකට සම්බන්ධ සිද්ධි වැලක් ලෙස රූප මාර්ගයෙන් නිරූපණය කර ඇත. එක ම කථාවේ සිද්ධීන් දෙකක් දැක්වීමේ දී ඒවා වෙන් වෙන් ඡේදවලට බෙදීමට උත්සාහ කර නොමැත. පසුබිම වශයෙන් දක්වෙන වෘක්ෂයක් හෝ මන්දිරයක ස්තම්භයක් ම ඊට තරම් විය. බොහෝ අවස්ථාවන්හි දී එවැනි උපක්‍රමයකුදු නොයොදා කථාවේ සිද්ධි වැල එකිනෙකට සම්බන්ධව ම තිබෙන ලෙස දක්වයි. තවත් සමහර ස්ථානයන්හි දී කථාවස්තුවේ එක් චරිතයක් ක්‍රියාවන් කීපයක් ම කරනු දැක්වීමට උවමනා වූ කල්හි එම ක්‍රියාවන් හෝ ක්‍රියාවන්ගේ විවිධ අවස්ථාවන් හෝ විස්තර කිරීමට අවශ්‍ය කරුණු පමණක් නැවත නැවත සිතුවම් කර ඇත. දෙගල්දොරුවේ වෙස්සන්තර ජාතකයෙහි අමිත්තතාපා බැමිණිය කළය පොළොවේ ගසන අයුරුත් සුමේධ තාපසයන් දීපංකර බුදුන්ගෙන් විවරණ ලබන අයුරුත් දැක්වෙන සිතුවම් මීට කදිම නිදසුනි. මේ හැර කථාව විස්තර කරනු වස් ඒ ඒ සිද්ධියට පහළින් ඇළි ඇතු දන් දුන් වගයි ආදි වශයෙන් විස්තර පාඨ ද ලියා ඇත.

තාත්වික බැවින් තොරවීම ද පර්යාලෝකය (perspective) දැක්වීමට යත්න නොදැරීම ද මෙම සිතුවම් සම්ප්‍රදායේ තවත් වැදගත් ලක්ෂණයකි. ගස්, වැල්, ගෙවල් ආදිය පාර්ශ්වදර්ශී හෝ සෘජුදර්ශී රීතියෙන් නිරූපණය කර ඇත. පොකුණු, ගංගා, කුඹුරු, වංකගිරිය ආදිය දක්වා ඇත්තේ ඒවායේ දර්ශනය ඉහළ සිට බලන විට දැක්වෙන ස්වරූපයෙනි. අහස්තලය දැක්වෙන්නේ වලාපටලවලිනි.

මිනිස්රුව නිරූපණය කිරීමේ දී ද සිත්තරා තම ශෛලියට ගැළපෙන අයුරින් ක්‍රම කීපයක් පමණක් යොදා ඇත. බුදුරදුන්ගේ, දෙවිවරුන්ගේ හා රජවරුන්ගේ ප්‍රතිරූප දැක්වීමේ දී පමණක් එම රූප ඍජුදර්ශී රීතිය අනුව නිරූපණය කර ඇත. සෙසු තන්හි මිනිස් රුව දක්වා ඇත්තේ අර්ධ ඍජු හෝ පාර්ශ්වදර්ශී හෝ රීතියට අනුවයි. කවර ඉරියවුවෙන් සිටිය ද පාද ඇඳීමේ දී පාර්ශ්වදර්ශී රීතිය ම අනුගමනය කර ඇත.

දේව රූප සහ විශේෂයෙන් බුදුරදුන්ගේ රූපය සිතුවම් කිරීමේ දී චිරාගත ප්‍රතිමා ලක්ෂණ විධි අනුගමනය කරනු ලැබීය. කුලවතුන්ගේ රූවල ඡවි වර්ණය කහපාටින් ද සෙස්සන්ගේ ඡවි වර්ණය ශ්‍යාම වර්ණයෙන් ද දක්වා ඇත.

වර්ණාලේපයේ දී ප්‍රධාන වශයෙන් යොදා ඇති පාට නම් සුදු, රතු, කහ, කළු සහ පලාවන් පැහැය යන පංච වර්ණයයි. පැරණි ම සිතුවම්වල කොළ පැහැය සහ නිල් පැහැය ගත යුතු තැන් පෙන්වා ඇත්තේ සුදු, කළු සහ කහ යන වර්ණ මිශ්‍ර කිරීමෙන් තනාගත් ළා කොළ පැහැයකිනි. නියම නිල් සහ කොළ පැහැයන් උඩරට සිතුවම්වලට යොදා ඇත්තේ මෑතක දීය.

සිතුවම් කිරීමේ දී පසුතලය වැඩි වශයෙන් නිමවා ඇත්තේ රතු පැහැයෙනි. කලාතුරකින් විවිධත්වය ගෙන දෙනු වස් කළු පැහැය පසුබිම වශයෙන් යොදා ඇත. එහි හිස් තැන් පුරවා ඇත්තේ විචිත්‍ර නෙළුම්, සපු, වැටකේ වැනි මල්වලින් හා කිනිතිවලිනි.

වර්ණ සංයෝනය සුළු වශයෙන් දක්නට ලැබුණ ද වර්තනාව (shading) උඩරට සිතුවම්වල දක්නට නොලැබේ.

සිතුවමක් ඇඳීමේ දී උඩරට සිත්තරා පරිසමාප්ත රූපයක් ම ඇඳීමට යත්න දරා ඇත. බෝධි වෘක්ෂය හෝ වෙනයම් වනස්පති වෘක්ෂයක් වැනීමේ දී එය පංච මහා ශාඛාවෙන් හෙබි බව ද වලුමල් එල්ලීමෙන් ඊට පූජාසත්කාර කළ බව ද පැරණි පොතපතෙහි සඳහන් වෙයි. උඩරට සිත්තරා වෙන කවර අවධියක වුව ද සිත්තරුන් නොකළ අයුරින් මෙම මනඃකල්පිත ස්වරූපය සිතුවමට නඟා ඇත. නෙළුම් මල, ඇළි ඇත් රුව, බුදුරුව ආදියෙහි ද මෙම පරිසමාප්ත ලක්ෂණය ඉස්මතු වී පෙනේ.

උඩරට සිතුවම් ඇඳි සිත්තරාගේ පරමාර්ථය වූයේ ලෞකික වශයෙන් ඇස පිනවන සුන්දර සිතුවම් ඇඳීම පමණක් නොව පොදු ජනයාගේ භක්තිය බුදුදහම කෙරෙහි දියුණු තියුණු කරවන, එසේ ම ඒ ගැන අවබෝධයක් ලබාදෙන අයුරින් සිතුවම් කථාවක් කීමය. සිතුවමට වස්තු කොට ගත් දැය ම ඊට දෙස් දෙයි.

සෑම විහාරයක ම පාහේ මාර විජය, සූවිසි විවරණය, සත්සතිය, ජාතක කථා සහ සොළොස්මස්ථානය ද දඹුල්ල වැනි සමහර විහාරයන්හි බෞද්ධාගම හා සම්බන්ධ ඓතිහාසික සිද්ධි හා බුදු සිරිතෙහි විවිධ අවස්ථා ද සිතුවම් කොට ඇත. විහාර බිත්තිය වූකලි විවරණ ලැබීම, දශපාරමිතාවන් පිරීම, බුදුවීම හා එයින් පසුව පරිනිර්වාණය තෙක් සකල ලෝක සත්වයාට ම හිත පිණිස ධර්මයෙන් සංග්‍රහ කිරීම ද ඉන් පසු ශාසනික ඉතිහාසය ද සිතුවමින් කියාපාන දහම් පොතක් වැන්න. පිළිමගෙවල දොරටු, කුලුනු ආදියෙහි සිතුවම් කොට ඇති ලතාකර්ම, මාලාකර්ම හා මනඃකල්පිත පුෂ්ප ආදියෙන් ද කින්නර ආදි අද්භුත සත්වයන්ගෙන් ද පැවිදි ජනයාගේ සිත්ගත් හිමවත නිරූපණය කර ඇත. ඒ සමඟ ම වාගේ දැක්වෙන්නේ සදෙව්ලොව හා බඹලොවය. මේ සියල්ලෙහි දැක්වෙන සත්වයෝ ද දෙව්බඹහු ද බුදුරදුන් නමදින අයුරින් හෝ බුදුන්ට රැකවල් ගත් අයුරින් හෝ දැක්වෙති. බුදුරදුන් දේවාතිදේව බව ද පූජාර්හ බව ද මෙයින් ව්‍යංගිතය. විහාරයන්හි පිට බිත්තිවල දළ අයුරින්, එහෙත් ප්‍රාණවත් ගතියෙන්, සිතුවම් කොට ඇත්තේ අපායවල නිරිසතුන් විඳිනා දුක්ගැහැටය. දැහැමි දිවිපෙවෙතින් සගමොක් සැපතත් පවිටු දිවිපෙවෙතින් අපාය දුකත් ඇති වන බව සැදැහැවතුන්ට මෙම සිතුවම් කියාපායි. එසේ ම ලෞකික වස්තූන් දැක්වෙන සිතුවම් හා කැටයම් පූජ්‍යස්ථානයක අවටින් ද ආධ්‍යාත්මික වශයෙන් උසස් ලෝකෝත්තර වස්තූන් නිරූපණය කරන සිතුවම් ආදිය මධ්‍ය වූ ස්ථානයන්හි ද දැක්වීමේ චිරාගත සිරිත උඩරට සිතුවම් කිරීමේ දී ද අනුගමනය කර තිබේ.

බිතුසිතුවම්ය, පෙතිකඩය, මැටිබඳුන්, ලී හා කඩදාසි යන මේවායෙහි කළ සිතුවම්ය, පුස්කොළ පොත් කම්බවල කළ සිතුවම්ය, බලිසිතුවම්ය යනාදි වශයෙන් උඩරට සිතුවම් විවිධ වෙයි. මැටියෙන් හෝ ලීයෙන් මෙන් ම ගලින් කළ ප්‍රතිමා ද කැටයම් ද සායම් කිරීම සිරිත විය. සිතුවම් අතුරින් වැඩිපුර ඇත්තේ බිතුසිතුවම්ය. ඇඳීමට බිත්තිය සකස් කරන අන්දම සහ අඳින ක්‍රමයත් මෙසේයි. ගලින් හෝ වරිච්චියෙන් කළ බිත්ති ද ලෙන් විහාරයන්හි ගල්වල මතුපිට ද කැඳ දියෙන් ඇනූ වැලි මැටි බදාමෙන් කපරාරු කරගත යුතුය. ඊටපසු අරළු, කුරුම්බා ගැට, කහට පොතු, දිවුල් ලාටු යන මේ දෑ කොටා වතුර භාජනයකට දමා සතියකට පසු පදම් වූ එම වතුරෙන් කිරිමැටි හා වැලි මිශ්‍ර කර අනා, ඉහත කී ලෙස සකස් කරගත් බිත්තියෙහි ගා තරමක් වියළුණාට පසු හක්ගෙඩියකින් හෝ සිල්ලුවකින් හෝ මැද ඔපකර හොඳට වියළුණු පසු මතුරට මකුළු දිවුල් ලාටු වතුරෙන් දියකර එහි ආලේප කළ යුතුය. සමහර ලෙන් විහාරයන්හි පියසි ගලෙහි බදාමය මතුපිට කපු රෙදි අලවා ඊ මත සිතුයම් ඇඳ ඇත. සිතුවම් සහිත බදාමය ගැලවී වැටෙනු වැළකීම පිණිස මෙම ක්‍රමය යෙදූ බව පෙනේ. මෙසේ සකස් කර ගත් මතුපිට සැලැස්ම මිනිරන් කූරකින් හෝ කළු (රතු පැහැය ද යොදනු ලැබේ.) සායම් පොඟවා ගත් තෙලි කූරකින් හෝ ලකුණු කොට සායම් ගෑම කරනු ලැබේ. සායම් මිශ්‍ර කරන්නේ බදාම වතුර නමින් දන්නා දිවුල් ලාටු මිශ්‍ර වතුරෙනි. පිට බිත්තිවල හා ලීවල සිතුවම් ඇඳ ඇත්තේ දියෙන් මිශ්‍ර කළ සායමෙනි. සායම් ගා නිම කළ සිතුවමෙහි මතුපිට වලිත්ති (varnish) ගා ඔප කරනු ලැබේ. සිතුවමේ කල් පැවැත්මට මෙය ආධාර වේ.

කපු පිළියෙන් වියූ රෙදිකඩවල සිතුවම් කළ පෙතිකඩ මහනුවර හා කොළඹ ජාතික කෞතුකාගාරයන්හි ඇත. බිතුසිතුවම්වල දී මෙන් මෙහි දී ද කිරිමැටි මිශ්‍රණය බදාම වතුරෙන් දිය කර තවරා වියළුණු පසු මකුළු ආලේප කොට සිතුවම් කරනු ලැබේ.

ලී හා මැටි බඳුන් ද සිතුවම් කිරීමට පෙර යට සඳහන් කළ පරිදි කිරිමැටි ගා ඔප කර මකුළු ආලේප කොට මතුපිට සකස් කරනු ලැබේ. ගෘහයන්හි ලී කුලුනු, ගොනැස් හා සීලිම් ද ගෘහ භාණ්ඩ, වෙස් මුහුණු, පුස්කොළ පොත් කම්බ ආදිය ද සිතුවම් කරනු ලබන දැව භාණ්ඩය, කොහොඹාකංකාරිය සඳහා ගනු ලබන පුන්කලස් ආදිය සායම් කරනු ලබන මැටිභාජනය.

සිංහල සිත්තරු සිතුවමින් විසිතුරු කළ ප්‍රදීප්ත (illuminated) ග්‍රන්ථ සම්පාදනයෙහි ද යෙදුණහ. මේ සඳහා බෙහෙවින් යොදාගන්නා ලද්දේ ඕලන්ද කඩදාසිය. මේ විදියේ ප්‍රදීප්ත පුස්තකයක් මහනුවර මල්වත්තේ විහාරයෙහි වැලිවිට පන්සලෙහි ප්‍රදර්ශනය සඳහා තබා ඇත.

උඩරට සිත්තරු පුස්කොළ පොත් ද ඉඳහිට රේඛා චිත්‍රයන්ගෙන් අලංකාර කළහ. වෙස්සන්තර වැනි ජනකාව්‍යයන් මේ අන්දමට සිතුවමින් සරසා ඇත.

බලි සිතුවම් තවමත් පැරණි ස්වරූපයෙන් ම කරනු ලැබේ. මෙහි ලා වැදගත් වන්නේ මැටියෙන් අඹා සිතුවම් කරන මැටිබලි හා රෙදි කඩවල අඳින කඩබලිය. නියමිත පරිමාණයට සකස් කර ගත් දැවමුවා මැස්සක ඇඹුම් කවිවල විස්තර කර ඇති අන්දමට හුඹස් මැටියෙන් ඇඹූ ප්‍රතිරූප, ග්‍රහරූප ආදියෙහි මතුපිට සුදුහුනු හෝ මකුළු ආලේප කොට සායම් ගා මැටිබලි සකස් කරනු ලැබේ. මෙවැනි සිතුවම් ම රෙදිකඩක ඇඳ ගැනීමෙන් කඩබලි පිළියෙල කෙරේ. බලි සිතුවම් තාවකාලික කෘතීන් බැවින් ඒවා සිතුවම් කිරීමට යොදන සායම් ද කල් නොපවතින, පහසුවෙන් සොයාගත හැකි ඒවාය.

සායම්

රතු, කළු, නිල් යන පැහැ සුදු හා මිශ්‍ර කිරීමෙන් ලා රත්පැහැය (ඉඹුල් සිවි), අළු පැහැය (සුදු කළු හෙවත් නිල් සිවි) සහ ලා නිල් (නිල් සිවි) පැහැය සාදාගනු ලැබීය. මේ හැර රත්රන් පැහැය ද සමහර ග්‍රන්ථයන් අලංකාර කිරීම පිණිස යොදන ලදි. සුදුපාට සඳහා මතුරටින් ලබාගත් මකුළු ද රතුපාට සඳහා සාදිලිංගම් ද කහපාට සඳහා බිතුසිතුවම් කිරීමේ දී ගොකටු ගසේ කිරි ද ලී හා මැටි භාජන සිතුවම් කිරීමේ දී හිරියල් හෝ මදහිරියල් ද පාවිච්චි කරන ලදි. කළුපාට සපයා ගන්නා ලද්දේ කොහොල්ලෑ, හල්දුම්මල සහ කැකුණ තෙල් එකට කොටා, කපුරෙදි වැරැලි සමඟ මිශ්‍ර කොට පිරිසිදු බඳුනකට දමා මඳගින්නේ තබා, ඊට උඩින් තව බඳුනක් නවනු ලැබ, එහි එක් වන දැලි රැස් කරගැනීමෙන්ය. නිල්පාට ලබා ගත්තේ ‘නිල් පැළ’ (ඇවරිය) තළා ඉස්ම උණුකර ගැනීමෙනි. මෙම නිල් පැළ මාතලේ අකුරම්බොඩ අවට ප්‍රදේශයේ ඇතැයි කියනු ලැබේ. සායම් ගලක දමා වතුර සමග මිශ්‍ර කර සියුම් ලෙස අඹරා ගෙන ගොකටු මැලියම් හා දිවුල් ලාටු සමඟ මිශ්‍ර කර පාවිච්චියට ගනු ලැබේ. සායම් මිශ්‍ර කිරීම පිණිස දොරණ තෙල් ද යොදනු ලැබුව ද එයින් කළ සිතුවම්වල නිමාව සිත්කලු නොවේ.

තෙලි කූරු සාදාගන්නා ලද්දේ වැටකෙයියා අරළු, තෙලි තණ, බළලුන්ගේ හා ලේනුන්ගේ ලෝම යන මේවායිනි. උඩරට සිතුවම්වල විශේෂ අංගයක් වන සියුම් රේඛා අඳින ලද්දේ තෙලි තණවලින් සෑදු තෙලිකූරුවලිනි.

සිත්තර පරම්පරා

උඩරට සිතුවම් කළ සිත්තරුන් කිහිප දෙනකුන්ගේ නම් ලේඛනාරූඪ වී ඇත. දෙගල්දොරුවෙහි සිතුවම් සිත්තරුන් සතර දෙනකුන් විසින් අඳින ලදැයි කියත්. නිලගම පටබැන්දා, දෙවරගම්පොළ සිල්වත් තැන හා කොස්වත්තේ සිත්තර නයිදේ ඔවුන්ගෙන් තිදෙනෙකි. කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ දී දෙවරගම්පොළ සිල්වත් තැන ඇතුළු සිත්තරු සදෙනෙක් ම ශ්‍රමණ භූමියෙහි සිටියෝය. දෙවරගම්පොළ සිල්වත්තැන ඔවුන් අතුරෙන් ප්‍රසිද්ධ ම තැනැන්තා ලෙස සැලකේ. දඹුල්ලෙහි සිතුවම් කළ නිලගම පටබැන්දාගේ පරම්පරාවට අයත් යැයි සැලකෙන සිත්තරු දැනුදු නිලගම වෙසෙති.

සෙසු ශිල්ප මෙන් ම සිතුවම් ඇඳීම ද කුල පරම්පරාවෙන් පවත්වාගෙන එන ලදි. දක්ෂ සිත්තරකු වීමට ක්‍රමානුකූලව ශිල්ප හැදෑරිය යුතු විය. සිත්තරකු වීමට අදහස් කරන තැනැත්තා අවුරුදු හයක් පමණ වයස් වූ විට ගුරු ඇසුරින් සිතුවම් ඇඳීම අරඹයි. පළමුවෙන් ම උගන්වනු ලබන්නේ වක දෙක ආදි කොටගත් සැරසිලි ලක්ෂණයි. පසුව විහාර සිතුවම් ආදි වැදගත් කෘතීන් කරන විට පසුබිම සායම් කිරීම වැනි දේ කිරීමෙන් වැඩිදුරට පුහුණුව ලබයි. සිතුවම් කිරීමට අභ්‍යාසය ලබන අතර ම ශිෂ්‍යයා විසින් තම කලාව විස්තර කෙරෙන රූපාවලිය, ශාරීපුත්‍රය, වෛජයන්තිය වැනි ග්‍රන්ථ ද වනපොත් කළ යුතුය.

සාංචි, භර්හුත් කැටයම්වලට සම්බන්ධ වූ, එහෙත් අජන්තා සම්ප්‍රදායේ ම ප්‍රභේදයක් යයි කිය හැකි, සීගිරි පොළොන්නරු සිතුවම්වලට වෙනස් වූ සිතුවම් කලාවක් ඈත අතීතයේ සිට ම සිංහලයන් අතර පැවති බවත් උඩරට සිතුවම් කලාවෙහි එම දේශජ ලක්ෂණ අන්තර්ගත වී ඇති බවත් ආනන්ද කුමාරස්වාමි මහතා පවසයි. උඩරට සිතුවම් ඉන්දියාවේ ඩෙකානයෙහි මුස්ලිම් රාජවංශිකයන්ගේ අනුග්‍රහය යටතේ වැඩුණු සිතුවම් කලාවට නෑකම් දක්වන බව සෙනරත් පරණවිතාන මහතා අදහස් කරයි. මහනුවර රාජධානියේ අවසාන භාගයේ දී රජ පැමිණි නායක්කර් වංශික රජුන්ගේ අනුග්‍රහයෙන් මෙහි පැමිණි ද්‍රවිඩ සිතුවම් කලාවේ ප්‍රභේදයක් ලෙස තවත් සමහරු එය හඳුන්වති. උඩරට සිතුවම් කලාව සියම් චිත්‍ර කලාවෙන් ආභාසය ලබා ඇති බව ආචාර්ය සිරි ගුණසිංහ පෙන්වා දී ඇත.

(කර්තෘ: ටී.බී. කරුණාරත්න)

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උඩරට_සිතුවම්_කලාව&oldid=9118" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි