උතුරු ඩැකෝටා

සිංහල විශ්වකෝෂය වෙතින්
16:53, 24 නොවැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජනපදයකි. මෙම ප්‍...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජනපදයකි. මෙම ප්‍රදේශයේ සුලභ ලේන් වර්ගයක් නිසා ෆ්ලිකර්ටේල් ජනපදය යනුවෙන් ද හඳුන්වනු ලැබේ. උතුරින් මැනිටෝබා සහ සස්කැචවන් යන කැනේඩියානු පළාත්වලින් ද නැගෙනහිරින් මිනසෝටා ජනපදයෙන් ද දකුණින් දකුණු ඩැකෝටා ජනපදයෙන් ද බටහිරින් මොන්ටානා ජනපදයෙන් ද සීමා වී තිබේ. මෙම ජනපදයේ ප්‍රමාණය ව.සැ. 70,665කි. ව.සැ. 611ක ජලයෙන් වැසුණු ප්‍රදේශ ද මීට ඇතුළති. මෙය එක්සත් ජනපද රාජ්‍යයේ ජනපද අතුරෙහි ප්‍රමාණය අතින් සොළොස්වැනි ස්ථානය ගනී. බිස්මාක් (1960-26,670) මෙහි අගනුවරය. මෙහි වූ සාරවත් තැනිතලාමය රෙඩ් රිවර් නිම්නය ලෝකයේ තිරිඟු වවන විශාල ප්‍රදේශවලින් එකක් ලෙස සලකනු ලැබේ. උතුරු ඩැකෝටාවට වඩා තිරිඟු නිෂ්පාදනයෙන් උසස් එක ම ඇමෙරිකානු ජනපදය කැන්සස්ය.

මෙම ජනපදය ප්‍රධාන ස්වාභාවික ප්‍රදේශ තුනකින් සමන්විත වෙයි. රෙඩ් රිවර් නිම්නය, ග්ලැසියර ප්ලාවිත තැන්න හා මහා තැන්න යනුවෙනි. රෙඩ් රිවර් නිම්නය වූකලි පුරාණ ඇගසි විල් පත්ලේ කොටසකි. අයිස් සමයෙහි මෙම විල ඩැකෝටා ජනපදවලත් මිනසෝටා, මැනිටෝබා යන ජනපදවලත් කැනඩාවේත් විශාල ප්‍රදේශයක් වසා සිටියේය. මෙම විලේ ජලය හිස් වූ පසු ඉතා සාරවත් රොන් මඩ ශේෂ විය. එහෙයින් ම මේ නිම්නය අද කෘෂිකර්මාන්තයට හිතකර ප්‍රදේශයක් වී තිබේ. මුලින් ම ජනාවාස වූ මේ ප්‍රදේශය ජනපදයේ ඉතා ඝන ජනගහනයෙන් යුත් ප්‍රදේශය ද වේ.

රෙඩ් රිවර් නිම්නයට බටහිරින් වූ ග්ලැසියර ප්ලාවිත තැනි ග්ලැසියර මගින් තැන්පත් වූ වැලි, බොරලු හා අකුරුමැටි මිශ්‍ර පසින් යුක්තය. මෙම ප්‍රදේශයෙහි පහත් කඳු, නොගැඹුරු ගංගා නිම්න හා විල් බෙහෙවි. සාරවත් ග්ලැසියර පසින් යුත් බැවින් මේ පෙදෙස ද ගොවිතැනට හිතකරය. ග්ලැසියර ප්ලාවිත තැන්නට බටහිර දිගින් මිසූරි ගඟට ඔබ්බෙහි මහාතැනිබිම්හි කොටසක් ලෙස ගැනෙන මිසූරි සානුව පිහිටියේය. ග්ලැසියර ප්ලාවිත තැන්න හා මිසූරි සානුව එකිනෙකින් වෙන් වනුයේ උසින් අඩි 300-400ක් පමණ වූ මොහොරකිනි. මුහුදු මට්ටමේ සිට අඩි 1,800-3,100ක් පමණ වූ මිසූරි සානුව ග්ලැසියර හා ජල ඛාදනයෙන් ශේෂ වූ උස් පහත් භූවිෂමතායෙන් යුත් භූමි ප්‍රදේශයකි. කුඩා මිසූරි, හාට්, නයිෆ්, කැනන්බෝල් ආදි ගංගා කීපයක් ම මේ පෙදෙස ඔස්සේ ගලයි. තෘණයෙන් වැසි මෙහි හෙල්බිම්හි ගවපාලනය ඉතා දියුණුය. මිසූරි සානුවෙහි ඉතා ම බටහිර කොටසෙහි බෑඩ් ලෑන්ඩ්ස් නම් වූ වියළි නිසරු බිම් ප්‍රදේශයක් ඇත. ශල්ක හා විවිධ වර්ණවත් වැලිගලින් සැදුණා වූ ද අධික ඛාදනය නිසා හෑරී ගිය ඇගිලි හා ශීඝ්‍ර බෑවුම් සහිත මොහොර, හෙල්, තලාකුළු ආදියෙන් යුත් වූ ද මෙම ප්‍රදේශය ආර්ථික වශයෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති නමුදු ලෝකයේ ඉතා මනස්කාන්ත ප්‍රදේශයන්ගෙන් එකක් සේ සලකනු ලැබේ. මෙහි ද තණ වැවෙන පහත් බෑවුම් හා නිම්න සත්ව පාලනයට ම වෙන් වී ඇත. ආවරණය වූ කඳුරුවල වැඩෙන කුරු සීඩර්, ජුනිපර් ආදිය හැර වෙනත් විශාල ශාක මෙහි නැත.

මිසූරි සහ රෙඩ් යන ගංගා මෙම ජනපදයේ ප්‍රධාන ගංගාවෝ වෙත්. මිසූරි ගංගාවත් එහි අතු ගංගාවන් වූ යෙලෝස්ටෝන්, ලිට්ල් මිසූරි, නයිෆ්, හාට් සහ කැනන්බෝල් යන ගංගාවනුත් මගින් ජනපදයේ බටහිර පෙදෙසට ජලය ලැබේ. රෙඩ් ගංගාවත් එහි අතු ගංගාවන් වූ ෂයේන්, ගූස්, පෙම්බිනා ආදි ගංගාවනුත් මගින් නැගෙනහිර පෙදෙසට ජලය ලැබේ. උතුරු ඩැකෝටාවේ උතුරු මැද ප්‍රදේශය සිය ගණන් වූ විල්වලින් යුක්ත වෙයි. එක් කලෙක ඉතා ම දර්ශනීය විල ලෙස සැලැකුණු ඩෙවල්ස් විල එක්සත් ජනපද රාජ්‍යයේ පිහිටි කරදිය විල් අතුරෙහි දෙවෙනි විශාල විලයි. ස්ටම්ප් විලේ කරදිය තුළ ප්‍රාග්ඓතිහාසික වනයක නෂ්ටාවශේෂ දක්නට ලැබේ.

දේශගුණය

උතුරු ඇමෙරිකාවේ අභ්‍යන්තර තැනිතලා ප්‍රදේශයේ පිහිටා ඇති බැවින් උතුරු ඩැකෝටාව මහාද්වීපික දේශගුණයෙන් යුක්තයි. මෙහි දේශගුණය කෙරෙහි ඉඳුරා ම බලපාන මහා කඳු, වනාන්තර හා විශාල ජලාශයන් නොමැති බැවින් ශීත සෘතුවේ දී නිරිතදිග ප්‍රදේශයෙහි හැරුණු විට ජනපදය මුළුල්ලෙහි දේශගුණයේ ඒකාකාර ස්වභාවයක් දක්නට ලැබේ. මෙහි සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය පැ. 36° සිට පැ. 44° දක්වා වෙයි. වර්ෂාපතනය නැගෙනහිර පෙදෙසේ 19.53"ක් ද මධ්‍ය ප්‍රදේශයේ 16.32"ක් ද බටහිර පෙදෙසේ 15.38"ක් ද වෙයි. මෙහි ශීත සෘතු දිග වන අතර උෂ්ණ සෘතු ඉතා ම කෙටිය.

උතුරු ඩැකෝටාවේ පස නයිට්‍රජන් අන්තර්ගත බැවින් බෙහෙවින් සාරවත්ය. නැගෙනහිර පෙදෙසේ වැඩි ප්‍රදේශයක ම පසෙහි සියයට 15 සිට 30 දක්වා නයිට්‍රජන් අන්තර්ගතය. රෙඩ් රිවර් නිම්න ප්‍රදේශයේ පස විශේෂයෙන් සඳහන් කළ හැකිය. මෙම ප්‍රදේශය එක්සත් ජනපදයේ ඉතා ම සාරවත් කෘෂිකාර්මික ප්‍රදේශයක් වශයෙන් සැලැකේ. උතුරු ඩැකෝටාව අන් ජනපද හා සසඳා බලන විට වනාන්තර බෙහෙවින් අඩු ප්‍රදේශයක් ලෙස සැලැකිය හැකිය. මෙහි වෘක්ෂලතාදියේ එතරම් විසදෘශභාවයක් දක්නට නොලැබේ. තරමක හෝ වෙනසක් ඇති නම් දක්නට ලැබෙන්නේ නැගෙනහිර අන්තයෙහි වෘක්ෂලතාදියත් බටහිර අන්තයෙහි වෘක්ෂලතාදියත් අතරය. උතුරු ඩැකෝටාවේ ප්‍රධාන ම ස්වාභාවික සම්පත වනුයේ එහි සාරවත් ගොඩබිම්ය. එහෙත් බටහිර පෙදෙසෙහි සෑහෙන තරම් ඛනිජ සම්පත් ද ඇත. වනාන්තර බෙහෙවින් අඩු වුව ද ටටල්, පෙම්බිනා යන කඳු ආශ්‍රිත වනාන්තරවල පවත්නා දැව වර්ග විවිධය.

නිෂ්පාදන හා කර්මාන්ත

උතුරු ඩැකෝටාව කෘෂිකර්මාන්තයෙන් නඩත්තු වන ජනපද අතුරෙහි ප්‍රධාන තැනක් ගනී. මෙහි වර්ගප්‍රමාණයෙන් 91%ක් ම, එනම් අක්කර 41,001,150ක් ම, ගොවිබිම් වශයෙන් සැලැකිය හැකිය. ධාන්‍ය වගාව ප්‍රධාන ගොවිතැනයි. ඉනුදු තිරිඟු මුල් තැන ගනී. බොනැන්සා ගොවිපළවල්" නමින් හැඳින්වෙන තිරිඟු ගොවිපළවල් ආරම්භ වූයේ එක් දහස් අටසිය හැත්තෑ ගණන්වල දීය. මේ ගොවිපළවල් විශාලත්වයෙන් අක්කර 3,000 සිට අක්කර 65,000 දක්වා වෙයි. බාර්ලි සහ රයි අනෙක් ප්‍රධාන ධාන්‍ය වර්ගය. මෙම ජනපදයේ බාර්ලි වගාව ඉතා සශ්‍රීක අන්දමින් කෙරේ. රෙඩ් රිවර් නිම්න ප්‍රදේශයෙහි වවනු ලබන අර්තාපල් රසය අතිනුත් ප්‍රමාණය අතිනුත් විශේෂයෙන් ප්‍රකටය. සීනි නිෂ්පාදනය සඳහා අවශ්‍ය බීට් බටහිර පෙදෙසෙහිත් රෙඩ් රිවර් නිම්න පෙදෙසෙහිත් වවනු ලැබේ. තෙල් නිෂ්පාදනය සඳහා සෝයා බෝංචි හා සූර්‍ය්‍යකාන්ත මල් වවනු ලැබේ. උතුරු ඩැකෝටාව අවුරුදු ගණනක සිට ම ගවපාලනය සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වයි. මධ්‍යම හා බටහිර තැනිතලා ද ඇල්පැල්පා වැනි තෘණ වර්ග සහිත නැගෙනහිර බිම් පෙදෙස ද ගවයන් ඇති කිරීම පිණිස ආධාරව පවතී. මස් සඳහා ගවයන් ඇති කෙරෙනුයේ බටහිර පෙදෙසෙහිය. උන් තර කරනු වස් නැගෙනහිර වෙළෙඳුනට විකුණති. මස් සඳහා මෙන් ම ලොම් සඳහා ද බැටළුවෝ ඇති කරනු ලැබෙත්.

මෙහි ප්‍රධාන කර්මාන්ත ලෙස සැලැකිය හැක්කේ ගොවිතැන හා සම්බන්ධ කර්මාන්තය. නිෂ්පාදන කර්මාන්ත විශාල ලෙස දියුණු වී ඇතැයි කිව නොහේ. වෙස්ට් ෆාගෝ සහ ග්රෑන්ඩ් ෆෝක්ස් යන නගරවල මස් අසුරන විශාල කර්මාන්තශාලා දෙකක් පිහිටුවා තිබේ. පිටි නිෂ්පාදනය හා සීනි නිෂ්පාදනය තරමක් ව්‍යාප්ත අන්දමින් කෙරේ. රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය දියුණු වෙමින් පවතී. ගල්අඟුරු හැරුණු විට උතුරු ඩැකෝටාවේ අනෙක් ඛනිජ සම්පත් විශාල වශයෙන් ප්‍රයෝජනයට ගෙන නොමැත. කාෂ්ඨික ගල්අඟුරු තට්ටු අන්තර්ගත ව.සැ. 28,000ක භූමි ප්‍රමාණයක් බටහිර කොටසේ වෙයි. මෙහි ටොන් 600,000,000,000ක කාෂ්ඨික ගල් අඟුරු අන්තර්ගත වෙතැයි ගණන් බලා තිබේ. මෙම කාෂ්ඨික ගල්අඟුරුවලින් ගැසොලින් නිපදවිය හැකි දැයි නිශ්චය කිරීමට පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ. එම පරීක්ෂණ සාර්ථක වුවහොත් අනාගතයේ දී එක්සත් ජනපද රාජ්‍යයේ ඉන්ධන ප්‍රශ්නය විසඳීමට එය විශාල රුකුලක් වනු ඇත. ගඩොල්, උළු හා බඳුන් නිපදවීම සඳහා ප්‍රයෝජනවත් උසස් තත්වයේ මැටි ද බටහිර කොටසේ ම දක්නට ලැබේ. සියයට අනූ හතරක් ම පිරිසිදු සෝඩියම් සල්පේට් වයඹ දිග පෙදෙසෙහි ඇත.

ආණ්ඩුව

මෙම ජනපදයේ ආණ්ඩුක්‍රමයට අනුව ව්‍යවස්ථාදායක මණ්ඩලය මන්ත්‍රීවරුන් 30 දෙනකුන්ට නොඅඩු 50 දෙනකුන්ට නොවැඩි ගණනකින් යුත් උත්තර මන්ත්‍රී මණ්ඩලයකින් ද මන්ත්‍රීවරුන් 60කට නොඅඩු, 140කට නොවැඩි ගණනකින් යුත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් ද සමන්විත වෙයි. ආණ්ඩුකාරතැන, උපආණ්ඩුකාරතැන, ජනපද ලේකම්, ඔඩිටර් ජනරාල්, භාණ්ඩාගාරික, මහජන අධ්‍යාපනය පිළිබඳ අධිකාරී, රක්ෂණ කොමසාරිස්, ඇටෝර්නි ජනරාල්, කෘෂිකර්ම හා කම්කරු කොමසාරිස්, ආදායම් බදු කොමසාරිස්, පොදු සේවා කොමසාරිස් යන නිලධාරි පිරිස විධායක බලය උසුලති. ජනපදයේ අධිකරණ දිස්ත්‍රික්ක භාර දිස්ත්‍රික් විනිශ්චයකාරවරු සදෙනෙක් ද කෝරළවල අධිකරණ කටයුතු භාර කෝරළ විනිශ්චයකාරවරු ද වෙති. ඇතැම් විට ඩෙමොක්රැටික් පාක්ෂික ආණ්ඩුකාරවරුන් තෝරා පත්කර ඇතත් මෙම ජනපදය සාමාන්‍යයෙන් රිපබ්ලිකන් පක්ෂයට බර ජනපදයක් ලෙස හැඳින්විය හැකිය.

අධ්‍යාපනය

අවුරුදු 7 සිට 15 දක්වා වයසේ හැමට අධ්‍යාපනය අනිවාර්යය. 1964 දී ප්‍රාථමික පාඨශාලාවල හා ද්විතීයික පාඨශාලාවල පිළිවෙළින් ශිෂ්‍යයෝ 97,000ක් හා 51,000ක් සිටියහ. ග්රෑන්ඩ් ෆෝක්ස්හි සිසුන් 4,724ක් සහිත විශ්වවිද්‍යාලයක් ද ෆාගෝහි ශිෂ්‍යයන් 3,810ක් සහිත කෘෂිකර්ම හා ප්‍රායෝගික විද්‍යා විශ්වවිද්‍යාලයක් ද වේ.

ජනගහනය

මෙම ජනපදයේ 1960 මුළු ජනගහනය වූ 632,446න් 11,736 දෙනෙක් රතු ඉන්දියානු ජාතිකයෝ ද 777 දෙනෙක් නීග්‍රෝ ජාතිකයෝ ද වූහ. මෙහි 50,000කට වැඩි ජනගහනයක් ඇති නගර එකකුදු නොමැත. විශාලතම නගරය වූ ෆාගෝහි ජනගහනය 46,662කි. ග්රෑන්ඩ් ෆෝක්ස් (34,450) හා මිනට් (30,604) අගනුවර වූ බිස්මාක් පුරයට වඩා විශාල අනිකුත් නගරය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උතුරු_ඩැකෝටා&oldid=9146" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි