උදේනි-1

සිංහල විශ්වකෝෂය වෙතින්
11:53, 26 නොවැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(උදයන; උදේන). බුදුන් දවස උතුරු ඉන්දියාවෙහි පැවත...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(උදයන; උදේන). බුදුන් දවස උතුරු ඉන්දියාවෙහි පැවති සොළොස්මහජනපද (බ.) අතුරින් බලසම්පන්න ජනපදයක් වූ වත්සයෙහි එවක රාජයා මොහු විය. උදේනි රජුගේ අගනුවර වූයේ කොසඹෑ නුවරයි. ඔහුගේ පියා වූයේ පුරාණ ග්‍රන්ථවල ප්‍රතාපවත් රාජයකු ලෙස සඳහන් වන ශතානීක පරන්තපය. උදේනි රජු ගැන කරුණු සෙවීමේ දී අපට උපකාරී වනුයේ සාහිත්‍යමය ග්‍රන්ථ පමණකි. බලසම්පන්න රාජයකු වූ උදේනිගේ චරිතය වටා නොයෙක් ජනප්‍රවාද ගෙතී තිබේ. ඔහුගේ උපතත් ඔහු තරුණයකු වී රාජ්‍යය ලබාගත් ආකාරයත් බෞද්ධ ග්‍රන්ථවල සඳහන් කර තිබෙනුයේ සුරංගනා කථාවක් පරිද්දෙනි. උදේනි කුමරා වත්සාධිපති පරන්තප රජුගේ පුත්‍රයා වුව ද, අහඹු සිදුවීමකින්, කුස හෝනා අවධියේ සිට ම අනාරක්ෂිත තත්වයකට පත් වූයේ උපතින් පසු තමාටත් තම මවටත් ආරක්ෂාව සැලසූ අල්ලකප්ප තවුසා ඉගැන්වූ හස්තිකාන්ත මන්ත්‍ර බලයෙන් පියරජු ඇවෑමෙන් රජබව ලැබී යයි බෞද්ධ සාහිත්‍යයෙන් පෙනේ.

අවන්ති රාජ්‍යයෙහි චණ්ඩප්‍රද්‍යෝත මහාසේන (බ.) ඔහුගේ බලවත් ම සතුරා සේ ග්‍රන්ථාගතය. උපක්‍රමයෙන් උදේනි රජු තම වශයට ගැනීමට චණ්ඩප්‍රද්‍යෝත නිරිඳා සමත් වූ නමුදු යටකී හස්තිකාන්ත මන්ත්‍රය නිසා ම උදේනි රජුට තම සතුරු රජුගේ දියණියන් වූ වාසවදත්තා (වාසුලදත්තා) කුමරිය දිනාගෙන ඇය සමග සියරට බලා ඒමට පිළිවන් විය. ඕ උදේනි රජුට අගමෙහෙසිය වූවාය.

උදේනි රජු ද අන් බලවත් රජුන් කළා සේ ම විවාහ සබඳතා මගින් තම බලය පුළුල් කරගත් බව පෙනේ. ඔහු වාසවදත්තා ද මගධයෙහි දර්ශක රජුගේ සොහොයුරිය වූ පද්මාවතිය ද ප්‍රියදර්ශිකා නාට්‍ය ග්‍රන්ථයට අනුව අංගයෙහි දෘඪවර්මන් රජුගේ දූ වූ ආරණ්‍යකා ද පාවාගත් බව කියැවේ. මගධයෙහි දර්ශක හා වත්සයෙහි උදේනි සමකාලීන රජුන් ද යන්න සැකයට ලක් වූ කරුණකි. බෞද්ධ ග්‍රන්ථවලට අනුව නම් මේ දෙදෙනා සමකාලීනයන් නොවන අතර, ස්වප්නවාසවදත්තා නම් කෘතියට හා ජෛන ග්‍රන්ථවලට අනුව නම් සමකාලීනයෝ වෙති. මගධය හා ඇති කරගත් විවාහ සබඳතාව උදේනිට දේශපාලනමය අංශයෙන් ද දර්ශකට සාමාජික අංශයෙන් ද වාසිදායක විය යනු වේංකටේශ්වර අය්යර්ගේ අදහසයි.

මේ හැර උදේනි රජුහට මාගන්දියා හා සාමාවතී නමින් ද මිලින්දපඤ්හයට අනුව ගෝපාලමාතා නමින් ද රත්නාවලී නාට්‍ය ග්‍රන්ථයට අනුව සාගරිකා නමින් ද බිසවුන් වූ බව පෙනේ.

උදේනි රජුගේ එක් බිසවක වූ සාමාවතිය බුදුන් කෙරෙහි පැහැදී ගෙවූ ධර්මානුකූල ජීවිතයත්, රජුගේ අන් මෙහෙසියක වූ මාගන්දියා බුදුරජාණන්වහන්සේ කෙරෙහි හටගත් ද්වේෂයෙන් රජුට ගතු කියා රජු බිඳ වූ අයුරුත් පසුව මාගන්දියාගේ තැත වැරදී ගිය අයුරුත් බෞද්ධ ග්‍රන්ථවලින් දත හැකිය.

භාසගේ ස්වප්නවාසවදත්තා, හර්ෂවර්ධන රජුගේ ප්‍රියදර්ශිකා හා රත්නාවලී යන නාට්‍ය ග්‍රන්ථ තුනෙහි ම වීරයා ලෙස දක්වා ඇත්තේ උදේනි රජුය. මේඝදූත කාව්‍යය අනුව සලකා බැලීමේ දී, කාලිදාස දවස පවා වත්සයෙහි උදේනි රජු පිළිබඳ ජනකථා පැවතුණු බව පෙනේ.

උදේනි රජුගේ දිග්විජය ව්‍යාපාරය පිළිබඳව කථාසරිත්සාගරයෙහි සඳහන් වෙයි. ප්‍රියදර්ශිකා නාට්‍ය ග්‍රන්ථයෙහි සඳහන් වන පරිදි කාලිංගය ජය ගත් ඔහු අංග රාජ්‍යයෙහි පාලකයා ලෙස දෘඪවර්මන් නමැති සිය මයිලණුවන් පත් කෙළේය. මෙම සාහිත්‍යමය මූලාශ්‍රයවලින් හෙළි වන කරුණු තහවුරු කරන පුරාවිද්‍යාත්මක සාධක සොයා ගෙන නොමැති හෙයින් මෙම කරුණු කෙතෙක් දුරට සත්‍ය ද යන්න තීරණය කිරීම දුෂ්කරය. උදේනිට පසුව වත්ස රාජධානියෙහි ඉතිහාසය අඳුරට එක් වන්නා සේය. ඔහුට බෝධි නමැති පුතකු සිටි බව බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වුව ද ඒ කුමරා සිහසුනට පත් වී දැයි යන්න පවා අවිනිශ්චිතය.

උදේනි රජු බුද්ධාගමේ අභිවෘද්ධිය සඳහා ක්‍රියා කළහයි බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වේ. පළමුවෙන් බුදුන් හා බුද්ධ ධර්මය කෙරෙහි සැලකිලිමත් නොවුව ද පසුව පිණ්ඩෝල භාරද්වාජ තෙරුන්ගේ දේශනා අසා හේ බෞද්ධයෙක් විය. බෞද්ධ ග්‍රන්ථවල බුදුන් උපත ලද දින ම උපන් සත්දෙනා අතුරෙන් උදේනි ද කෙනකු සේ දක්වා ඇත. යෞගන්ධරායණ නමැති දක්ෂ ඇමතියකුගේ සහාය ලද උදේනි සාර්ථක රාජ්‍ය පාලකයෙක් විය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උදේනි-1&oldid=9155" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි