උද්ධමනය

සිංහල විශ්වකෝෂය වෙතින්
15:52, 26 නොවැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Inflation). සාමාන්‍ය මිල මට්ටම අධික වශයෙන් හා නොනැවත...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Inflation). සාමාන්‍ය මිල මට්ටම අධික වශයෙන් හා නොනැවතී ම ඉහළ නැඟීම උද්ධමනය නමින් හැඳින්වේ. උද්ධමනය වූකලි අනේක ප්‍රකාර හේතුඵල ගණනාවක් පිළිබිඹු කරන බොහෝ දිගැස්සුණු සිද්ධියකි. එබැවින් එය ආර්ථික ගති විද්‍යා ක්ෂේත්‍රයට අයත් විෂයයක් ලෙස සැලකීම වඩාත් උචිතය. සාමාන්‍ය යයි පිළිගැනී ඇති එක්තරා මිල මට්ටමකින් භාණ්ඩවල හා සේවාවන්ගේ මිල තදින් ඈත් වී යෑම උද්ධමනයේ හා අවධමනයේ විශේෂ ලක්ෂණයයි. උද්ධමනය සහ අවධමනය යන මේ ආර්ථික සිදුවීම් දෙක ම ආර්ථික ක්‍රමයේ අසමතුලිතතා තත්වයන් ලෙස විග්‍රහ කළ විට මෙම සංකල්ප දෙකේ ස්වභාවය වඩාත් මැනවින් පැහැදිලි වනු ඇත.

උද්ධමනය හැදෑරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුත්තේ භාණ්ඩ මිල ඉහළ නඟින වේගය ගැන මිස ඒවායේ අධිකත්වය ගැන නොවේ. ත්‍රෛමාසික වශයෙන් මිල මට්ටමේ 1%ක වැඩිවීමක්, එනම් වාර්ෂිකව මිල මට්ටමේ 4%ක නැඟීමක්, ඇති වූ විට එය උද්ධමනයක් වශයෙන් ද වාර්ෂික වශයෙන් මිල මට්ටමේ 50%ක නැඟීමක් ඇති වූ විට එය අත්‍යුද්ධමනයක් (hyperinflation) වශයෙන් ද හඳුන්වනු ලැබේ.

උද්ධමනය යන පදයේ අර්ථකථනය පිළිබඳව අර්ථශාස්ත්‍රඥයන් අතර ඒකමතික අදහසක් නැත. මෙම පදය නොයෙකුත් සමාන සිද්ධීන් රාශියක් හැඳින්වීමට යොදනු ලැබේ. අධික ලෙස මිල ඉහළ යෑමට මිල උද්ධමනය යයි ද සමාජයේ ඇතැම් හෝ සියලු ම ආදායම් ඉහළ යෑමට ආදායම් උද්ධමනය යයි ද නිෂ්පාදන සාධකවල මිල ඉහළ යෑමට වියදම් උද්ධමනය යයි ද වියදම්, ආදායම් සහ මිල යන තුන ම හෝ ඉන් එකක් හෝ අධිකව තිබියදී ම ඒ අධිකවීමේ වේගය අඩු කිරීම පිණිස විශේෂ නියන්ත්‍රණ විධි සලසා ඇති තත්වයට නිලීන උද්ධමනය යයි ද යනාදි වශයෙන් නොයෙකුත් තත්වයන්ට උද්ධමනය යන පදය ව්‍යවහාර කෙරේ. ඒ කෙසේ වෙතත් උද්ධමනය යන්නට පුළුල් ලෙස අර්ථ දැක්වෙනුයේ අධික මිල ඉහළ යෑමක් වශයෙනි.

වර්ෂ 1930 ගණන් වන තෙක් උද්ධමනය විග්‍රහ කරනු ලැබුවේ ජනයාට මිල දී ගත හැකි භාණ්ඩ ප්‍රමාණයට වඩා බෙහෙවින් අධික වූ මුදල් ප්‍රමාණයක් ජනතාව අතට පත්වීමෙන් මිල මට්ටම වේගවත්ව වැඩි මුදල් ඒකකයේ වටිනාකම නැති වී එහි ක්‍රය ශක්තියේ තදබල පසුබැස්මක් ඇතිවීම සැටියටය.

උද්ධමනය යන්න ප්‍රථම වරට යොදන ලද්දේ දෙවැනි ලෝක සංග්‍රාමයට අනතුරුව ඕස්ට්‍රියාව, රුසියාව, ජර්මනිය වැනි මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවල ඇති වූ මුදල් වැඩිවීම් සහ මිල ඉහළ නැඟීම් සම්බන්ධයෙනි. යුද්ධය නිසා අතිශයින් වැඩි වුණු රජයේ වියදම් සඳහා අයබදු මාර්ගයෙන් ලත් මුදල් ප්‍රමාණය මදි වූ බැවින් අතිරේක මුදල් ප්‍රමාණයක් සැපයීම අවශ්‍ය විය. මෙසේ අධික ලෙසින් මුදල් වැඩි කරනු ලැබීම මුදල් ඒකකයේ වටිනාකම පහත වැටීමට හේතු වූ බැව් විශ්වාස කරන ලදි.

භාණ්ඩ මිල වෙනස්වීම මෙන් ම රටේ මුළු වියපැහැදමේ වෙනස්වීම ද රටක මුදල් ප්‍රමාණය අනුව ම සිදු නොවන බැව් ජේ.එම්. කේන්ස්ගේ ආර්ථික විශ්ලේෂණ ක්‍රමවලින් දැක්විණ. රටක වර්තමාන පාරිභෝගික හා ව්‍යාපාරික වියපැහැදම් එරටෙහි ජනයාගේ ආදායම්වල ශ්‍රිතයකැයි පිළිගැනිණ. රටක මුළු වැය මුදලත් එලෙස ම රටේ භාණ්ඩ මිල තත්ත්වයත් රඳා පවත්නේ පරිභෝජනය හා ආයෝජනය සම්බන්ධයෙන් ජනතාව ගන්නා තීරණයන් උඩය. මුදල් වැඩිවීම පමණක් මිල අධිකත්වයට හේතු වන වග තව දුරටත් විශ්වාස කළ නොහැකි විය.

කලින් පැවති මතය නම් සාමාන්‍ය මිල තන්ත්‍රය ඉහළ නඟිනුයේ මුදල් ප්‍රමාණයේ වැඩිවීමක් නිසා නැතහොත් ඒ වැඩි වුණු මුදලට සරිලන පමණින් භාණ්ඩ සැපයුම නැති නිසාය යනුයි. මෙහි එක්තරා අඩුපාඩුවක් තිබෙන බව පැහැදිලිය. එක් අතකින් මිල තන්ත්‍රයත් අනික් අතින් භාණ්ඩ හා මුදල් ප්‍රමාණයත් අතර ඇති සම්බන්ධතාව ස්ථායී වූවක් නොවේ. මිල ඉහළ ගිය විට, පාරිභෝගිකයෝ ඊට කලින් ඔවුන් ගත් භාණ්ඩ සේවා ප්‍රමාණය ම නොගනිත්. නුදුරු අනාගතයෙහි භාණ්ඩ හා සේවා මිල හැසිරෙන අන්දම පිළිබඳව ඔවුහු අනුමාන වශයෙන් සිතා බලති. භාණ්ඩ මිල අනාගතයේ දී ඉහළ යෑමට පිළිවනැයි අපේක්ෂා කෙරේ නම්, ඇත්තා වූ භාණ්ඩ තොගයෙන් වඩ වඩාත් බඩු ගැනීමට අදහස් කරති. මේ නිසා නියම භාණ්ඩ ඉල්ලුම වැඩි වී භාණ්ඩ මිල නියම වශයෙන් ම අධික වේ. පාරිභෝගිකයන්ගේ මෙවැනි අපේක්ෂා කිරීම් හේතුකොටගෙන මිල ඉහළ යෑමක් ඇතිවීමට පුළුවන. එහෙයින් මුදල් ප්‍රමාණය වැඩි නුවුව ද මිල තන්ත්‍රය ඉහළයෑමට අවකාශ තිබේ. රටක පවත්නා භාණ්ඩ හා සේවා මිලවල අනම්‍ය, දැඩි ගතියක් නොමැති නම්, මිල නැඟීම් කෙරෙහි බලපාන සාධක තුනකි. පළමුවැන්න, රටේ තිබෙන භාණ්ඩ සේවා ප්‍රමාණයයි. දෙවැන්න, මුදල් ප්‍රමාණයයි. තුන්වැන්න, මුදල් තබාගැනීම වෙනුවට භාණ්ඩ ගැනීමට මිනිසුන් නැඹුරු වීමයි.අස්වැන්න විනාශ වී යෑම වැනි දෙයකින් රටක භාණ්ඩ ප්‍රමාණය අඩු වන්නට පුළුවන. අය වැය ලේඛන ඌනතාවක් පිරිමසාගනු වස් ආණ්ඩුව විසින් බැංකුවලින් ණය ගැනීමෙන් හෝ කෙළින් ම අලුත් මුදල් අච්චු ගැසීමෙන් හෝ රටේ මුදල් ප්‍රමාණය වැඩි කරනු ලබයි. බඩු භාණ්ඩ ශුද්ධ විකිණීමක් (net sale of goods) හේතුකොටගෙන, පිටරටවලින් ලැබෙන අතිරේක අය ප්‍රමාණයකින් රටේ මුදල් ප්‍රමාණය වැඩි වීමට මඟ සැලසෙයි. යම් අවස්ථාවක දී පවත්නා ඉල්ලුම පවත්නා භාණ්ඩ සැපයුමට වැඩි විය හැකිය යන අදහසක් පාරිභෝගිකයන් තුළ ඇති වීමෙන් භාණ්ඩ මිල ඉහළ යා හැකිය යන අදහස ඔවුන් අතර ඇති විය හැකිය. එවිට මිල තන්ත්‍රය නියම වශයෙන් ඉහළ යෑමට පුළුවන.

මෑතක සිට, නිර්මිත හා අර්ධනිර්මිත භාණ්ඩවල මිල පහසුවෙන් නොනැමෙන මිල බව ප්‍රකට වී ඇත. අල්පාධිකාර වෙළෙඳ තත්ත්වය පවත්නා විශාල කාර්මික සමාජවල මෙවැනි තත්ත්වයක් ඇත්තේය. අල්පාධිකාර ව්‍යාපාරයන්හි භාණ්ඩ මිල නිශ්චය කෙරෙනුයේ භාණ්ඩය තැනීමට යන සාමාන්‍ය වියදම සලකා බලාගෙනය. භාණ්ඩය සෑදීමේ දී එයට අඩංගු වන නිෂ්පාදන සාධකයන් ලබාගැනීම සඳහා වැය කරන මුදල විශේෂයෙන් සලකා බැලෙන සාධකයකි. භාණ්ඩ ඉල්ලුම් තත්ත්වය සලකා බලා භාණ්ඩ මිල වෙනස් කෙරෙනුයේ කලාතුරකිනි (කතිපයාධිකාරය බ.) විශාල කාර්මික සමාජයන්හි භාණ්ඩ මිල තන්ත්‍රය අධික ලෙස ඉහළ නැඟීමට හේතු වන ප්‍රධානතම සාධකයක් නම් නිෂ්පාදනයට අවශ්‍ය අමු ද්‍රව්‍යවල මිල අධික වීමයි. ශ්‍රමයේ මිල, එනම් වැටුප්, නිතර නිතර වෙනස් නොවේ. බෙහෙවින් ම කාර්මික වූ ප්‍රදේශයක භාණ්ඩ මිල වැඩි වීමට තවත් හේතුවක් නම් ආහාර ද්‍රව්‍යයන්හි මිල අධික වීමයි. මේ කරුණු හේතුකොටගෙන උද්ධමනයක් හටගන්නේ කාර්මික රටවල් ආහාර ද්‍රව්‍ය සහ අමුද්‍රව්‍ය පිටරටවලින් ලබාගන්නා හෙයිනි. ශ්‍රම මිල ඉහළ යෑම ද මෙවැනි අර්ථ ක්‍රමයක භාණ්ඩ සේවා මිල අධිකතරව නැඟීමට තවත් ප්‍රධාන හේතුවකි. ලෝක වෙළෙඳපොළෙහි බලවේග අනුව අමු ද්‍රව්‍යයන්ගේත් ආහාර ද්‍රව්‍යයන්ගේත් මිල නිශ්චය කෙරේ. මූලික භාණ්ඩ (primary commodities) පිළිබඳ වෙළෙඳ පොළවල් කෙරෙහි බලපෑමක් ඇති කරලීමට ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය වැනි විශාල වූ ද ආර්ථික අතින් බලසම්පන්න වූ ද අවශ්‍ය සියලු ම දේ ඇත්තා වූ ද රටකට නම් පුළුවන. දෙවැනි ලෝක යුද්ධයට පසුව එක්සත් රාජධානියෙහි ඇති වූ උද්ධමන කාලයේ දී මිල ඉහළ නැඟීමට හේතු වූයේ වැටුප් ඉහළ යෑම සහ අමු ද්‍රව්‍යයන්ගේත් ආහාර ද්‍රව්‍යයන්ගේත් මිල ඉහළ යෑමයි. ඌනසංවර්ධිත රටවල ඇතැම් නිෂ්පාදන සාධක නැත. මිනිස් ශ්‍රමය සුලභව තිබුණත් නිෂ්පාදනයට අත්‍යවශ්‍යක අමු ද්‍රව්‍ය සහ, විශේෂයෙන් ම, ප්‍රාග්ධනය මේ රටවල සොයා ගන්නට නැත. එම නිසා පාරිභෝගික ඉල්ලුම වැඩි වුණු අවස්ථාවල දී ඒ ඉල්ලුමට සරිලන පමණින් භාණ්ඩ සේවා සැපයුමක් ඇති නොවන හෙයින් තිබෙන භාණ්ඩ සේවා තොගයෙහි මිල ඉහළ නඟී. ලංකාව වැනි රටවල උද්ධමනය ඇති වනුයේ මේ කරුණු හේතුකොටගෙනය. ලෝක මහා යුද්ධය පටන්ගත් 1939 වර්ෂයේ සිට අවුරුදු 10ක් පමණ කල් මුළු ලෝකයේ ම වාගේ පැවති උද්ධමනය වූකලි ලෝක ප්‍රකට නූතන උද්ධමන කාලපරිච්ඡේද සතරින් එකකි.

පළමුවෙන් ම යුරෝපීය රටවල හටගත් උද්ධමනය සියක් අවුරුදු කලක් තරම් ම පැවතිණි. බටහිර යුරෝපීය රටවලට ස්පාඤ්ඤ ඉන්දියානු දුපත්වලින් ධනසම්පත් ගලා ඒම මුළු බටහිර යුරෝපයේ ම මිල අධික ලෙස ඉහළ නැඟීමට හේතු විය. ස්පාඤ්ඤයෙහි පස් ගුණයකිනුත් එංගලන්තයේ තුන් ගුණයකිනුත් ප්‍රංසයේ දෙගුණයකිනුත් මිල ඉහළ නැංගේය. අනෙක් උද්ධමන තුන ඇති වූයේ යුද්ධ තුනක් පසුබිම් කොටගෙනය. පළමු උද්ධමනය බොහෝ කල් පැවති එකක් වූ අතර ඉන් පසු ඇති වූ උද්ධමන එයට වඩා බෙහෙවින් ම තියුණු වූ ද කෙටි කාලයකට සීමා වූ ද සිද්ධි විය. 1913ත් 1920ත් අතර කාලයේ දී තොග මිල ඉතා අධික ලෙස ඉහළ නැංගේය.

දෙවැනි ලෝක සංග්‍රාමයට පසුව හටගත් උද්ධමන කාලයේ දී ඇතැම් රටවල මිල ඉතා ම තදින් ඉහළ නැංගේය. ඕස්ට්‍රෙලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, නෝර්වේ යන රටවල මිල ඉහළ යෑම බෙහෙවින් ම සුළු විය. එනම් සියයට 70-80 දක්වා පමණකි. බටහිර ජර්මනියේ ද මිල ඉහළ නැඟීම ඉතා සුළු විය. ස්විට්සර්ලන්තය, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය, එක්සත් රාජධානිය, කැනඩාව හා ඒර යන රටවල සියයට 116-130 දක්වා වූ මිල නැඟීම් ඇති විය. සියයට 150-200 දක්වා මිල නැඟ ගියේ පෘතුගාල, මෙක්සිකෝ, ආජන්ටිනා, පීරු, නෙදර්ලන්ත, ක්‍යුබා යන රටවලය. මේ රටවල මෙතරම් අධික මිල ඉහළ යෑම් ඇති වීමට එක් හේතුවක් වූයේ ඒවායේ ප්‍රධාන නිර්යාතයන් වූ අමු ද්‍රව්‍යවල (මූලික නිෂ්පාදනයන්ගේ) මිල ලෝක වෙළෙඳ පොළෙහි ශීඝ්‍රව ඉහළ නැඟීමයි. තවත් හේතුවක් වූයේ යථෝක්ත රටවල මූල්‍ය පාලනය දුර්වලව පැවතීමයි.

මිසරය, ස්පාඤ්ඤය, චෙකොස්ලොවේකියාව, තුර්කිය, ඉරානය, චිලී, පලස්තීනය, බෙල්ජියම හා ඉන්දියාව යන රටවල මිල අධිකවීම් සියයට 220ත් 400ත් අතර විය. මධ්‍ය පෙරදිග රටවල නවතා තිබුණු මිත්‍ර රටවල හමුදාවන් උදෙසා විශාල ධනයක් වැය කිරීමත් උද්ධමනාත්මක තත්ත්වය මැඩපවත්වාලීමට සෑහෙන පාලන ක්‍රම ඇති නොකිරීමත් කරණකොටගෙන ඒ රටවල උද්ධමනය වඩාත් ශීඝ්‍රව වැඩිණි. අත්‍යුද්ධමනයට ළඟා වූ තත්වයක් ජපානය, පෝලන්තය, බල්ගේරියාව, ප්‍රංසය, ඉතාලිය යන රටවල ඇති විය. නියම අත්‍යුද්ධමනය ඇති වූයේ චීනයේ, ග්‍රීසියේ, හංගේරියාවේ සහ රුමේනියාවේය.

දෙවැනි ලෝක සංග්‍රාමයේ ආරම්භයේ දී සාමාන්‍යයෙන් ලෝක අර්ථ ක්‍රමයෙහි නිෂ්පාදන කටයුතු මෙන් ම භාණ්ඩ හා සේවා මිල ද පහත් අඩියක පැවැත්තේය. ජාතීන්ගේ සංගමය මගින් තක්සේරු කළ අන්දමට ලෝක කාර්මික නිෂ්පාදන අංකය (world index of industrial production) අනුව මාස නවයක කාලය තුළ දී නිෂ්පාදනය සියයට 20කින් අඩු වුණු බව පෙනිණ. 1939 සැප්තැම්බර් මස උදා වන විට නියම වශයෙන් ම මිල අධික වී තිබිණ. චීනයේ සහ ජපානයේ මීටත් කලින් මිල අධික වීමට පටන් ගෙන 1942 වන විට තුන් ගුණයකින් ඉහළ නැඟ තිබිණ. එංගලන්තයේ රන් පවුම සියයට 14කින් අගය අඩු කිරීමෙන් අමු ද්‍රව්‍ය පිටරටින් ගෙන්වීම වැඩි විය. එම නිසා මිල වැඩිවීම් ඇති විය. යුද්ධ කටයුතු කෙරෙහි වියදම් වැඩිවීම නිසාත්, ඒ අතර මිල පාලනය ශක්තිසම්පන්න නුවූ නිසාත් එක්සත් ජනපද රාජ්‍යයෙහි තොග භාණ්ඩ මිල අංකය (wholesale price index) 1941 දී සියයට 17කින් ඉහළ නැංගේය. බ්‍රිතාන්‍යයේත් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේත් ආණ්ඩු මඟින් මේ ආකාරයට අධික ලෙස නැඟුණු මිල පාලනය කිරීමෙහි ලා ශක්තිමත් මිල පාලන ක්‍රමයක් උපයෝගී කරගනු ලැබීය. සෙසු රටවල් අතුරෙන් එක්සත් ජනපද රාජ්‍යයේ සහ බ්‍රිතාන්‍යයේ තරමට ම මිල ඉහළ නොගියේ ජර්මනියේත් මෙක්සිකෝ, වෙනිසුවෙලා වැනි ලතින් ඇමෙරිකානු රටවලත්ය. අන් සෑම රටක ම බ්‍රිතාන්‍යයේ සහ එක්සත් ජනපද රාජ්‍යයේ මිලට වඩා ශීඝ්‍රව මිල තරාතිරම ඉහළ නැංගේය. මේ කාලයේ දී ඒ රටවල මිල අධිකවීම් සියයට 70ත් සියයට 100ත් අතර විය. මේ ආකාරයේ මිල ඉහළ නැඟීම් ඇති වූයේ යුරෝපීයයන් අත් කරගත් ප්‍රදේශවලත් මධ්‍යස්ථ ප්‍රදේශවලත්ය. මධ්‍ය පෙරදිග රටවලට තමන්ගේ කුඩා නොදියුණු අර්ථ ක්‍රම මඟින් මිත්‍ර ජාතීන්ගේ යුද්ධ කටයුතු සඳහා අවශ්‍ය දෑ සැපයීමට සිදු වී තිබිණි. ලෙබනන්හි මිල සත් ගුණයකින් ම වැඩි වූයේ මේ කරුණ හේතුකොට ගෙනය. ජර්මනුන්ට අත්පත් වූ ග්‍රීසියෙහි මිල 80 ගුණයකින් ම වැඩි වී අත්‍යුද්ධමනයක් ඇති විය. වැඩි වශයෙන් මිල උද්ධමනය ඇති වූයේ ප්‍රධාන සංග්‍රාමාවතීර්ණ රටවල නොව අත්පත් කරගනු ලැබූ රටවල හා මධ්‍යස්ථ රටවලත්ය. විශේෂයෙන් යුද්ධයේ අන්තිම කාලයේ දී ප්‍රධාන සංග්‍රාමාවතීර්ණ රටවලට බඩු සැපයූ ස්පාඤ්ඤයේ, පෘතුගාලයේ හා ලතින් ඇමරිකානු රටවල මිල ඉහළ යෑම් අධික විය. පරාජය වීම ද පාලන සංවිධානය කඩා කප්පල් වීම ද කරණකොටගෙන හංගේරියාව, ඉතාලිය වැනි රටවල අත්‍යුද්ධමන අවස්ථාවක් ඇති විය. මෙරටවල සාර්ථක පාලන ක්‍රමයක් නොමැති වීම උද්ධමනය ඇති වීමට බලවත් රුකුලක් විය.

යුද්ධයට පසුව ද ඇති වූ මිල අධිකවීම් විශාල විය. මෙතෙක් කල් යටපත් කරගෙන තුබුණු අභිමතාර්ථයන් සපුරාලීමට ද මෙතෙක් එකතු වුණු ගැනුම් බලය නැවත යෙදීමට ද රටවැසියන් පටන් ගත් හෙයින් පාරිභෝගික ඉල්ලුම ඉබේ ම වැඩි විය. එමෙන් ම, යුද්ධ කාලයේ දී කර්මාන්තවලට සිදු වූ අලාභ හානි මකා දැමීමටත් ව්‍යාපාරයන් යුද්ධ කටයුතු කෙරෙන් නිෂ්පාදන කටයුතු කෙරෙහි යොමු කිරීමටත් මූලික භාණ්ඩ (capital goods) මහත් රාශි ගණනින් අවශ්‍ය විය. ප්‍රධාන සංග්‍රාමාවතීර්ණ රටවල යුද්ධ කාලයෙහි මිල ඉහළ යෑම් මැඩපැවැත්වූ මිල පාලනය යුද්ධයෙන් පසුව බොහෝ කොට ම අත්හැර දමන ලදින්, විශේෂයෙන් ම අවශ්‍ය භාණ්ඩවල මිල අධිකතරව ඉහළ නැංගේය. මෙරටවල මිල-වැටුප් ආවර්තය (price-wage spiral) නමැති සිද්ධියක් ඇති විය. මේ අවධියේ උද්ධමනාත්මක තත්වය වඩාත් ම තදබල වූයේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහිය. ඒ හා සසඳා බලන කල්හි යුරෝපයේ මිල සහ ආදායම් උද්ධමනය සුළු විය. ලෝක වෙළෙඳ පොළෙහි ඉතා ම වැදගත් වූ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි නිර්යාතවල මිල 31%කින් ඉහළ නැංගේය. ඇමෙරිකානු භාණ්ඩ යුරෝපයට ආනයනය කරනු ලැබූ විට ඒවායේ ඩොලර් මිල 40%කින් පමණ වැඩි විය. යුරෝපයේ පූර්ණ සේවා නියුක්තිය තිබුණෙන් අභ්‍යන්තර මිල ඉහළ නැඟීමට මේ කරුණු රුකුල් දුන්නේය. මේ කාලයේ මිල අධික වූයේ වෙළෙඳාම අධික ලෙස නැඟිම සහ කාර්මික දියුණුව නැවත සැලසීම කරණකොටගෙනය. කාර්මික අමුද්‍රව්‍ය පිළිබඳ ඉල්ලුම විශාල ලෙස නැංග විට, ඒවා‍යේ සැපයුම හදිසියේ වැඩි කිරීමට නොහැකි වූයෙන් අමු ද්‍රව්‍ය මිල ඉබේ ම අධික විය. බ්‍රිතාන්‍යයේ අමු ද්‍රව්‍ය ආයාත මිල අංකය ආහාර ද්‍රව්‍යයන්ගේත් දුම්කොළ වැනි බඩුවලත් මිල ‍මෙන් තුන් ගුණයකින් අධික විය. පෙට්රෝලියම්වලත් ලීවලත් මිල වැඩියෙන් ම අධික වූයේ එක්සත් ජනපද රාජ්‍යයේය.

කොරියාවේ යුද්ධය ලෝක අර්ථ ක්‍රමය කෙරෙහි විශාල බලපෑමක් ඇති කෙළේය. එම යුද්ධය කරණකොටගෙන භාණ්ඩ මිල තදින් ඉහළ නැංගේය. තොග භාණ්ඩ මිල සෑම තැන ම ඉහළ නැංගේය. නිෂ්පාදනය සඳහා අමු ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ආනයනය නොකළ මැද පෙරදිග රටවල මිල ඉහළ ගියේ සුළු වශයෙනි. අමු ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පිටරටින් ගෙන්වූ කාර්මික රටවල, එනම් උතුරු යුරෝපයේ කඩදාසි සහ ලී බඩු තනන රටවල, තදින් මිල අධික විය. අන්තර්ජාතික වෙළෙඳාම කෙරෙහි බලාපොරොත්තු රඳවන එක්සත් රාජධානිය, බටහිර ජර්මනිය, නෙදර්ලන්තය, නෝර්වේ ආදි රටවල මිල ඉහළ යෑම් ලේඛනගත කොට තිබේ. ස්වීඩනයේ හා ප්‍රංසයේ මිල අධිකවීම් ලේඛනගත නුවුව ද ඒ මිල වැඩිවීම් ඉතා ම විශාල විය. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ නම් 1951 ජනවාරි මස මිල පාලන ක්‍රමයක් පිහිටුවීමෙන් මිල ඉහළ යෑම් මඳක් අඩු විය. භාණ්ඩ මිල කෙරෙහි එකල බලපෑ තවත් කරුණක් නම් ආණ්ඩු මගින් බඩු ගොඩගසා තැබීම (stock-piling) ය. කොරියානු යුද්ධය පටන් ගෙන 8 මසක් යන තුරු ඇමෙරිකානු ආණ්ඩුව මඟින් රුකුල් දෙන ලද ලොම් ගොඩගසා තැබීම් කරණකොටගෙන ලොම් මිල 170% කින් ඉහළ නැඟ තිබිණි. රබර් සහ ටින් මිල ද මේ කාලයේ ම ඉහළ නැංගේ ඇමෙරිකානු ආණ්ඩුවේ ඉහත කී ක්‍රියාමාර්ගය නිසායි. 1951 මැද හරියේ දී යට කී භාණ්ඩ මිල පහළ බැසීමට මූලික හේතුව වූයේ ඇමෙරිකානු ආණ්ඩුවේ භාණ්ඩ ගොඩගැසීම් ප්‍රතිපත්තිය නැවැත්වීමයි. චීනය හා සමහර යුරෝපීය රටවල් ගොඩගසා තැබීමේ කටයුතුවල යෙදීම ද ලෝක මිල උද්ධමනය ඇති වීමට හේතු විය.

උද්ධමනයක් අත්‍යද්ධමනාත්මක තත්වයකට හැරීම අද ලෝකයේ ආණ්ඩු මඟින් වළක්වනු ලැබේ. විශේෂ මුදල් ප්‍රතිපත්ති මඟින් බැංකුවල හා අනිකුත් මුදල් ආයතනවල ණය දීම් සීමා කිරීම අත්‍යුද්ධමනයක් වළකාලන එක් විධියකි. අය වැය ඌනත්වය (deficit budget) මඟහරවාගැනීම සඳහා අලුත් මුදල් අච්චු ගැසීමටත් මුදල් ආයතනවලින් මුදල් ණයට ගැනීමටත් ආණ්ඩුවකට සිදු වන බව ප්‍රකටය. එවිට ආණ්ඩුවට කළ හැකි එක ම කාර්යය නම් මිල පාලන ක්‍රමයක් ඉදි කිරීමයි. දෙවැනි ලෝක සංග්‍රාම කාලයේ දී ඇති වූ උද්ධමනය බ්‍රිතාන්‍යයේත් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේත් වෙන නොයෙකුත් රටවලත් මැඩපවත්වාගන්නා ලද්දේ මිල පාලන ක්‍රමයේ මාර්ගයෙනි. මෑතක් වන තුරු බ්‍රිතාන්‍යයේ ඇති වුණු උද්ධමනාත්මක තත්ත්වය එක්තරා සීමාවන් තුළ තබනු පිණිස, කුලී පිට භාණ්ඩ ගැනුම් පිළිබඳව ද ප්‍රාග්ධන භාණ්ඩ ගැනුම් පිළිබඳව ද නොයෙකුත් සීමා ඇති කරන ලදි. උද්ධමනාත්මක තත්වයක් මැඩපවත්වාලීමට ඇති ක්‍රම බොහෝය. එහෙත් උද්ධමනාත්මක තත්වයෙහි නියම ස්වභාවය, එනම් එම තත්වය ඇති වීමට නියම හේතු මොනවා ද යන්න, සොයා බලා විනා කිසි ම උද්ධමනයක් සීමා කිරීමට නුපුළුවන. තව ද එක රටකට යෝග්‍ය වූ ක්‍රම තවත් රටකට කොහෙත් ම යෝග්‍ය නොවීමට ද පුළුවන. ඊට හේතුව සෑම රටක ම අර්ථක්‍රම එක සමාන නොවීමයි. මෑතක් වන තුරු මුදල් ප්‍රතිපත්ති යෙදීමෙන් පමණක් උද්ධමනයක් මැඩ පවත්වාගත හැකැයි යන මතය පිළිගැනී තිබිණ. උද්ධමනයක් මැඩපවත්වාලීමට මහා බැංකුවේ බැංකු පොළී ප්‍රමාණය (bank rate) වැඩි කිරීම ප්‍රමාණවත් වේය යනු කාගේත් මතය විය. මහා බැංකුවේ බැංකු පොළී ප්‍රමාණය වැඩි කළ විටත් මහා බැංකුව විසින් විවෘත වෙළෙඳ පොළෙහි කටයුතු කළ විටත් ව්‍යාපාර බැංකුවල ණය දීම අඩු වනු සැබෑය. එවිට පරිභෝජනය සහ ආයෝජනය කෙරෙහි වියදම අඩු වී, මිල වැඩිවීම් සීමා කෙරේ. එසේ වුව ද, කුලී සින්නක්කර (hire-purchase) ක්‍රමයක් ඇති අද බැංකු ණය නොගෙන ම, විශේෂයෙන් ම කල් පවත්නා පරිභෝජන භාණ්ඩ ගැනීමට අවකාශ සැලසී ඇත. ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවල මේ ආකාරයේ භාණ්ඩ ගැනීම සුලභව පවත්නා අතර ලංකාව වැනි රටවල ද එම ක්‍රමය පැතිරෙන්නට පටන් ගෙන තිබේ. මෙසේ මේ රටවල උද්ධමනයක් මැඩපවත්වාගැනීමට නම් මේ ආකාරයේ කුලී සින්නක්කර ගැනුම් සීමා කිරීම අවශ්‍ය වේ. මුදල් ප්‍රතිපත්ති මඟින් මුදල් ප්‍රමාණය පමණක් පාලනය කිරීම නොසෑහේ. එහෙයින් මුදල් ප්‍රමාණය පමණක් සීමා කරන මුදල් ප්‍රතිපත්ති සමඟ ම වරණාත්මක ණය මුදල් පාලන (selective credit control) ප්‍රතිපත්ති ද එංගලන්තයේ සහ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ දැන් දැන් යොදනු ලැබේ. මේවා නම් බැංකු ක්‍රමයෙන් මුදල් නොගෙන භාණ්ඩ සේවා ගන්නා ක්‍රම සීමා කිරීමේ ප්‍රතිපත්තියි.

උද්ධමනාත්මක තත්වයක් දිගින් දිගට ම යෑමට ඉඩ තැබුව හොත් අත්‍යුද්ධමනයක් ඉබේ ම ඇති වේ. වර්තමානයේ අධික මිල පවත්නා විට නුදුරු අනාගතයේ මිල වඩාත් අධික වේ යයි ජනයා අපේක්ෂා කරත්. මිල තවත් අධික වේය යන බියට පාත්‍රව පවත්නා භාණ්ඩ මිල දී ගෙන රැස් කිරීමට කවුරුත් පාහේ වෑයම් කරත්. එවිට පවත්නා භාණ්ඩ කෙරෙහි ඉල්ලුම වැඩි වීමෙන් ඒවායේ මිල අධික වෙයි. මිල අධික වීම නිසා කම්කරුවන්ගේ මූර්ත ආදායම් පහළ බසී. ඔවුන් සිය වැටුප් වැඩි කරගැනීමෙන් නිෂ්පාදකයන්ගේ වියදම් ඉහළ නඟී. එපමණක් නොව, අමු ද්‍රව්‍ය යනාදියේ ද මිල වැඩි වීමෙන් තවත් විධියකින් වියදම් ඉහළ නඟී. නිෂ්පාදකයා සිය භාණ්ඩ මිල වැඩි කරයි. මේ අනුව මිල අධික වීම් නොනැවතී දිගින් දිගට යයි. මිල තදින් උද්ධමනය වන විට විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වේ. අලුත් මුදල් ආර්ථීක ක්‍රමයට ඇතුළු වූ විට උද්ධමනය වැඩි වේ. මුදල්වල අගය අඩු වේ. අතේ ඇති මුදල් හැකි පමණ ඉක්මනින් වියදම් කොට එවෙලෙට වඩා වටිනා භාණ්ඩ හා සේවා ලබා ගැනීම ජනතාවගේ සිරිතයි. මිල පුදුමාකාරයෙන් අධික වූ විට විනිමය මාධ්‍යයක් වශයෙන් මුදල්වල අගය නැති වේ. ජර්මනියේ අත්‍යුද්ධමනය පැවතුණු කාලයේ දී, 1914 දී මාක්ස් දෙකෝටි එක් ලක්ෂයක් වූ මුදල් ප්‍රමාණය 1923 වන විට මාක්ස් 500,000,000,000,000,000,000 දක්වා වැඩුණේය. අත්‍යුද්ධමනයේ දී මාක්ස් 100,000,000,000ක වටිනාකම ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ශත 24ක වටිනාකමට සමාන විය. 1923 වන විට මිල කොතරම් අධික වූයේ ද යත හොත් මුදල්වල වටිනාකම පැයෙන් පැයට අඩු විය.

අධිකතර නුවූ ස්වල්ප මිල උද්ධමනයක් වූකලි පූර්ණ සේවා නියුක්තිය ළඟා නොවූ අවස්ථාවල දී ද්‍රවශීල වත්කම් නිෂ්පාදන කටයුතුවල යෙදීමටත් රක්ෂාවල නොයෙදුණු ශ්‍රමය රක්ෂාවල යෙදීමටත් එහෙයින් නිෂ්පාදනය වැඩි කිරීමටත් ඉවහල් වන්නකි. අර්ථශාස්ත්‍රඥයන් මෙන් ම ව්‍යාපාරිකයෝ ද මෙවැනි ස්වල්ප උද්ධමනයකට කැමැත්තෝය. එහෙත් පූර්ණ සේවා නියුක්තිය පවත්නා අවස්ථාවක මිල උද්ධමනය අනභිමතය. උද්ධමනය පවත්නා කල යම් මුදල් ප්‍රමාණයකින් ගත හැකි භාණ්ඩ ප්‍රමාණය කුඩා වේ. ජනතාවගේ මූර්ත ආදායම (real income) පහළ බසී. ස්ථාවර ආදායම් ලබන්නන්ට උද්ධමනය අහිතකරය. ඉඩම්හිමියන්, ගුරුවරුන්, ලිපිකරුවන් වැනි අයගේ මූර්ත ආදායම උද්ධමනයේ දී ශීඝ්‍රව පහළ බසී. ව්‍යාපාරිකයන්ට විශාල ලාභ අත් වේ. භාණ්ඩ මිල ඉහළ යන විගසට ම වැටුප් නඟින්නේ නැතිහෙයින් - එනම්, නිෂ්පාදන වියදම් ඉහළ නොයන හෙයින් - ව්‍යවසායකයන්ට ලැබෙනුයේ විශාල ලාභය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උද්ධමනය&oldid=9168" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි