උද්‍යාන

සිංහල විශ්වකෝෂය වෙතින්
12:58, 27 නොවැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සින්ධු නදියට බටහිරින් පිහිටි ස්වාත් නිම්නයෙහ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සින්ධු නදියට බටහිරින් පිහිටි ස්වාත් නිම්නයෙහි වූ පැරණි රාජ්‍යයකි. එය පංජාබයටත් ශුභවස්තු රාජ්‍යයටත් යාබදව පංජාබයට උතුරෙන් පිහිටා තිබිණ. සරුසාර පෙදෙසක් වූ මෙහි මල් හා පලතුරු බහුල වූ හෙයින් උද්‍යාන යන නම ලැබිණැයි අයෙක් අදහස් කරති.

ඉන්දියාවට පැමිණි චීන සංචාරකයන් අතුරින් ෆාහියන්, සුංයුං හා හියුං සාං යන හිමිවරු උද්‍යානයට ද ගියහ. ඔවුන්ගේ වාර්තාවලින් එරට පිළිබඳව වැදගත් කරුණු හෙළි වේ. ‍ෆාහියන් ඌ-චංග් ලෙස ද සුං යුං උජ්ජාන ලෙස ද හියුං සාං ඌ-චාංග-න ලෙස ද හඳුන්වා ඇති උද්‍යාන දේශය සශ්‍රීකත්වයෙන් දෙවැනි වූයේ කාශ්මීරයට පමණකැයි කියා ඇත. එය පංජ්කෝරා, බිජාවර්, ස්වාත් හා බුනීර් යන වත්මන් දිස්ත්‍රික්ක සතරට අයත් ප්‍රදේශය වසා පැතිර පැවැත්තේය. හියුං සාං මෙහි අගනුවර ටුං-කි-ලී හෙවත් මංගල යයි කියයි. වත්මන්හි එය මංගෝරා (මොංග්ලෝරා) ලෙස හැඳින්වෙයි.

චීන සංචාරකයන් අතුරෙන් ප්‍රථමයෙන් ම උද්‍යාන දේශයට පැමිණි ‍‍ෆාහියන් මෙසේ දක්වා ඇත: “ඌ-චංග් (උද්‍යාන) ඉන්දියාවෙහි උතුරින් ම පිහිටි රටය. එහෙත් එහි වැසියන්ගේ භාෂාව, ආහාර හා වස්ත්‍ර ද මධ්‍ය ඉන්දියානු ජනයාගේ මෙනි. උද්‍යාන දේශයෙහි සංඝාරාම 500ක් තිබේ. ඒවා හීනයාන සම්ප්‍රදායට අයත්ය. බුදුරජාණන් වහන්සේ උතුරු ඉන්දියාවට වැඩම කළ අවස්ථාවක දී මෙම දේශයට ද වැඩියහ. බුදුන්ගේ ශ්‍රී පාදය පිහිටු වූ ගලක් මෙහි ඇත. සිවුරු වියළා ගැනීම සඳහා බුදුන් උපයෝගී කරගත් ගල් තලාවක් තවමත් දක්නා ලැබේ”.

“කඳු, තැනිතලා හා වගුරුබිම් සහිත මෙහි රන් හා යකඩ උපදී. මෙහි වැසියෝ මහායානයට ගරු කරති. ශුභවස්තු නදිය (ස්වාත් නදිය) දෙපස සංඝාරාම 1,400ක් පමණ වෙයි. පුරාණයෙහි දී අටළොස් දහසක් පමණ භික්ෂූන් විසූ මෙහි ඇතැම් සංසාරාම භික්ෂූන්ගෙන් තොරය. මෙහි සර්වාස්තිවාදී, ධර්මගුප්ත, මහීසාසක, කාශ්‍යපීය හා මහාසාංඝික යන නිකායයෝ පවතිත්. සිද්ධස්ථාන කිහිපයක් ද දක්නා ලැබේ” යනුවෙන් හියුං සාංගේ විස්තරයෙහි සඳහන් වෙයි. ‍ෆාහියන්ගේ කාලයත් හියුං සාංගේ කාලයත් අතර බුද්ධාගම උද්‍යාන දේශයෙහි දියුණු වී ගොස් පරිහානිය කරා පැමිණෙමින් තිබුණු බව මෙම වාර්තාවලින් පෙනේ. ෆාහියන් දක්වන බුදුන්ගේ ශ්‍රීපාද ලාංඡනය සහිත ගල් පව්වත් බුදුන් සිවුරු වියළා ගත් ගල් පව්වත් පිළිබඳව හියුං සාං ද සඳහන් කර තිබේ. අශෝක අධිරාජයා ඉදි කරවූ ස්තූපයක් ද හියුං සාං උද්‍යාන දේශයෙහි දී දුටුවේය. බුදුන්ගේ ඇතැම් පූර්ව ජන්මයන් හා උද්‍යාන දේශය සම්බන්ධ සිද්ධි කිහිපයක් ද මෙම චීන සංචාරකයන්ගේ වාර්තාවල දැක්වේ.

විඩූඪභ නමැති කෝසල රාජයා ශාක්‍ය ජනපදය වූ කපිලවස්තුව ආක්‍රමණය කළ අවස්ථාවෙහි සටන් නොකරම්හයි ශාක්‍යයන් ඇති කරගත් සම්මුතියට පටහැණි වූ කුමරුන් සතර දෙනකු පිටුවහල් කරනු ලැබූ බවත් ඔවුන් අතුරින් විමෝක්ෂසේන නමැත්තා උද්‍යාන දේශයට ගොස් එය රාජධානිය කරගත් බවත් හියුං සාං කියයි. ‍‍

සවන සියවසෙහි ඉන්දියාවට පැමිණි සුං යුං නමැති චීන සංචාරකයා ද උද්‍යාන දේශය බුදුන්ගේ ඇතැම් පූර්ව ජන්මයන්හි සිදුවීම් හා සම්බන්ධ කොට දක්වා ඇත. ෆාහියන් හා හියුං සාං නොදැක්වූ ඇතැම් කරුණු ඔහුගේ විස්තරයෙහි එයි. උද්‍යාන දේශයෙහි අගනුවර සිට ලී 500ක් ගිය තැන ෂෙන්-ෂි පර්වතය (වෙස්සන්තර රජුගේ පර්වතය) පිහිටි බවත් ඒ අසල වෙස්සන්තර රජු විසූ ආරාමය තිබුණු බවත් ඔහු කියයි.

උද්‍යාන දේශය හා සම්බන්ධ ක්‍රමවත් ඉතිහාසයක් මෙතෙක් ගොඩනඟා නැති සේය. චීන වාර්තා අනුව කරුණු දක්වන ආර්.සී. මජුම්දාර් උද්‍යාන (උද්දියාන) දේශය 8 වන සියවසෙහි දී කාශ්මීරය යටතේ තිබිණැයි සිතිය හැකි බව කියයි. උද්‍යානය හා චීනය අතර දේශපාලනමය සබඳතා පැවතුණු බව චීන රාජකීය වාර්තාවලින් පෙනේ. උද්‍යාන දේශය ගන්ධාර කලා සම්ප්‍රදායට අයත් කලාකෘති බහුලව ලැබුණු පෙදෙසක් ලෙස ද පුරාවිද්‍යාඥයෝ හඳුන්වති. එය තන්ත්‍රයානයෙහි සුප්‍රකට මධ්‍යස්ථානයක් වූ බව ආචාර්ය නලිනාක්ෂ දත්ගේ මතයයි. කුලාලිකාම්නායයෙහිත් සාධනමාලාවෙහිත් එය තන්ත්‍රයානය පිළිබඳ මධ්‍යස්ථානයක් ලෙස දක්වා ඇත.

දානපාල නම් ධර්මධරයකු ක්‍රි.ව. 980 දී උද්‍යාන දේශයෙන් චීනයට ගොස් සංස්කෘත ධර්ම ග්‍රන්ථ චීන බසට පරිවර්තනය කළ බව ද සඳහන් වේ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උද්‍යාන&oldid=9180" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි