උද්භට

සිංහල විශ්වකෝෂය වෙතින්
14:45, 1 දෙසැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(උද්භටභට්ට; භට්ටෝද්භට). අලංකාර ශාස්ත්‍රය නමින්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(උද්භටභට්ට; භට්ටෝද්භට). අලංකාර ශාස්ත්‍රය නමින් හැඳින්වෙන සංස්කෘත විචාර ශාස්ත්‍රය ලොවට බිහි කළ විද්වතුන් (ආලංකාරිකයන්) අතර වැදගත් තැනක් උසුලන පඬිවරයෙකි. මෙම විචාර චින්තනයේ ප්‍රචලිත අංශයක් වූ අලංකාරවාදය නම් විචාර සංකල්පය අතින් සුප්‍රසිද්ධ චිරන්තන විචාරකයෝ තිදෙනෙක් වූහ. භාමහ, උද්භට හා රුද්‍රට යනුවෙනි. කාල වශයෙන් සලකන විට මෙම පරපුරේ දෙවැන්නා වූයේ වී නමුත්, අලංකාරවාදියකු වශයෙන් අන් හැම දෙනට වඩා පශ්චාත්කාලීන විචාරකයන්ගේ ගෞරවයට පාත්‍ර වූයේ උද්භට යයි කිව හැකිය.

බොහෝ සංස්කෘත ආලංකාරිකයන් විසූ අවධිය නිශ්චය කිරීම මතභේදයනට තුඩු දෙන කර්තව්‍යයක් වී ඇතත්, උද්භටාචාර්යවරයා පිළිබඳ කාලනිර්ණය පහසුවෙන් මෙන් ම අවිවාදයෙන් ද කළ හැකි වී ඇත. කාශ්මීර දේශවාසිකයකු වූ මෙම පඬිවරයා කාශ්මීරයේ ජායාපීඩ (ක්‍රි.ව. 779-813) රජතුමාගේ රාජසභාවෙහි සභාපති (විද්වද් පරිෂදෙහි නායක) ධුරය ඉසුලූ බව රාජතරංගිනී නම් ග්‍රන්ථයෙන් අනාවරණය වේ. තව ද මෙතුමා ක්‍රිස්තු වර්ෂයෙන් 7 වන සියවසේ අවසාන භාගයෙහි නැතහොත් 8 වන සියවසේ ආරම්භයෙහි විසූ භාමහ නම් කතුවරයාගේ ග්‍රන්ථයට ටීකාවක් සපයා ඇති බැවින් ද, ක්‍රිස්තු වර්ෂයෙන් 9 වන සියවසේ විසූ ආනන්දවර්ධනාචාර්‍ය්‍යවරයා මෙතුමාගේ ඇතැම් මත ගැන සඳහන් කරන හෙයින් ද, උද්භටයන්ගේ ග්‍රන්ථරචනා කාලය 8 වන සියවසේ අවසාන වසර විසිපහ තුළට වැටෙන බව විද්වතුන්ගේ නිගමනයයි. මේ අනුව උද්භට, වාමන නම් තවත් ප්‍රකට ආලංකාරිකයකු හා සමකාලීන වේ.

උද්භටාචාර්යවරයා විසින් ග්‍රන්ථ සතරක් රචනා කරන ලද බව දැනගන්නට ඇත. එනම්:

(1) කාව්‍යාලංකාරසාරසංග්‍රහ (මෙය කාව්‍යාලංකාරසාර, කාව්‍යාලංකාරසංග්‍රහ යන නම්වලින් ද හඳුන්වනු ලැබේ.)

(2) භාමහවිවරණ (නියම නම අඥාතයි.)

(3) කුමාරසම්භව

(4) නාට්‍යශාස්ත්‍ර ග්‍රන්ථයට ටීකාවක් (නම අඥාතයි.)

මෙයින් දැනට සම්පූර්ණ ග්‍රන්ථයක් වශයෙන් ඉතිරිව ඇත්තේ මුලින් සඳහන් කෙරුණු කාව්‍යාලංකාරසාරසංග්‍රහ නම් ග්‍රන්ථය පමණි. භාමහවිවරණය නෂ්ටප්‍රාප්ත ග්‍රන්ථයක් වශයෙන් මෑතක් වන තුරු සලකන ලද්දේ වී නමුත්, මෙහි බෙහෙවින් දැවී ගිය අත් පිටපතක් 1960 දී පකිස්ථානයේ කාෆිර්කොට් සමීපයේ තිබී සොයා ගන්නා ලදි. මෙමගින් මේ ග්‍රන්ථයෙන් කොටස් කිහිපයක් පාඨකයන් අතට පත් වී ඇත. උද්භට විසින් රචිත කුමාරසම්භව නම් ග්‍රන්ථය හා නාට්‍යශාස්ත්‍රටීකාව දැනට අවිද්‍යමානයි. ඒවා ගැන දැනගන්නට ඇත්තේ අන්‍යතර ග්‍රන්ථවල ඒවායින් උපුටා දක්වා ඇති පාඨ හා අදහස් මගින් පමණි. මෙසේ මෙම පඬිවරයාගේ සාහිත්‍ය සේවය පෘථුල වූයේ වී නමුත් එයින් දැනට ශේෂ ව ඇත්තේ ඉතා සුළු කොටසක් පමණි.

කාව්‍යාලංකාරසාරසංග්‍රහ නම් ග්‍රන්ථයේ මුද්‍රිත සංස්කරණ කිහිපයක් දැනට පිට වී තිබේ [රාජකීය ආසියාතික සමිතියේ සඟරාව (JRAS) 1897, 829-847 පිටු; නිර්ණය සාගර මුද්‍රණාලය, 1915 සහ 1928; බොම්බාය සංස්කෘත ලේඛනමාලා, 1925]. මේ වූකලි ප්‍රමාණයෙන් කුඩා ග්‍රන්ථයෙකි; නමින් ද කියැවෙන පරිදි කාව්‍යාලංකාර පිළිබඳ සංක්ෂිප්ත විමර්ශනයකි. ශබ්දාලංකාර හා අර්ථාලංකාර යන දෙගණයේ ම අලංකාර අතුරින් හතලිස් එකක් තෝරාගෙන ඒවා පැහැදිලි කරන කාරිකා ශ්ලෝක හැත්තෑනවයක් හා නිදර්ශන අනූවක් පමණ සංඛ්‍යාවකි, මෙම සම්පූර්ණ ග්‍රන්ථයෙහි ම ඇත්තේ. මෙසේ මෙම ග්‍රන්ථය සම්පූර්ණයෙන් ම කාව්‍යාලංකාර පිළිබඳ විමර්ශනයක් සඳහා කැප වූවක් වන අතර, සැලැස්ම හා ක්‍රමය අතින් මේ විමර්ශනය පූර්වතර අලංකාරවාදියා වූ භාමහ ඇදුරන්ගේ අලංකාරප්‍රකරණය හා සමාන වෙයි. භාමහගෙන් ගත් අදහස් ද මෙහි ලා උපයෝගී කොට ගැනේ. කාව්‍යාලංකාර හැර, කාව්‍යවිචාරයට අදාළ අන් කිසිදු විෂයයක් මෙහි ලා සාකච්ඡාවට භාජන වී නොමැති හෙයින් කාව්‍යය පිළිබඳව උද්භට දැරූ ආකල්පය අරබයා පුළුල් විවරණයක් මේ ඇසුරින් කිරීම උගහට වේ. කාව්‍යාලංකාරසාරසංග්‍රහ ග්‍රන්ථයට පශ්චාත්කාලීන විද්වතුන් විසින් ටීකා ද සපයන ලදි. ඒ අතුරින්, 10වන සියවසේ දී පමණ ප්‍රතිහාරේන්දුරාජ විසින් රචිත ලඝුවෘත්ති නම් ටීකාව පූර්වෝක්ත මුද්‍රණවලට ඇතුළත් කොට ඇත. තව ද 12වන සියවසේ දී පමණ රාජානක තිලක විසින් මෙම ග්‍රන්ථයට උද්භටවිවේක නොහොත් උද්භටවිවරණ නම් ටීකාවක් ද ලියන ලද බව අසන්නට ලැබේ. කාව්‍යාලංකාරසාරසංග්‍රහ ග්‍රන්ථයට ලියන ලද්දා වූ ද කර්තෘ අඥාත වූ ද ටීකාවක් 1931 දී ගෛක්වාඩ් පෙරදිග පුස්තක මාලා යටතේ පළ කරන ලදි. මෙය නම් පූර්වෝක්ත රාජානක තිලකගේ ටීකාව යයි විද්වත්හු විශ්වාස කරත්.

භාමහවිවරණය වූකලි පූර්වොක්ත භාමහ නම් අලංකාරවාදිහුගේ කාව්‍යාලංකාර නම් ග්‍රන්ථයට සපයන ලද විවෘත්තියකි. බොහෝ කලක් අවිද්‍යමානව තිබුණු මෙම ග්‍රන්ථයේ අත් පිටපතක් මෑත දී පකිස්ථානයේ තිබී සොයා ගන්නා ලද බව ඉහත සඳහන් විය. බෙහෙවින් විනාශ වී තිබුණු මෙම පිටපතෙන් කියවා ගත හැකි වූ කැබලි, 1962 වර්ෂයේ දී, රෝමයේ ඉතාලියානු මැද පෙරදිග හා ඈත පෙරදිග ශාස්ත්‍රායතනය (Istituto Italiano per il Medio ed Extremo Oriente) විසින් පළ කරන ලදි. එසේ ද වුවත්, නටබුන් වූ මෙම කැබලි තුළ ග්‍රන්ථයෙන් ශේෂ වී ඇති ප්‍රමාණය ඉතා ම ස්වල්ප නිසා එයින් ලද හැකි ප්‍රයෝජන ද සීමා සහිත වේ. විවරණ ග්‍රන්ථයක් වූයේ වී නමුත්, භාමහවිවරණයෙහි කාව්‍යවිචාරය අරබයා බොහෝ වැදගත් අදහස් ගැබ් වූ බැවින් එම ග්‍රන්ථය පශ්චාත්කාලීන පඬුවන්ගේ මහත් සම්භාවනයට පාත්‍ර විය. අභිනවගුප්තාදි ශ්‍රෙෂ්ඨ විද්වතුන් විසින් මෙම ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද කොටස් හා අදහස් ස්වකීය ග්‍රන්ථයන්හි ඇතුළත් කොට තිබෙනු දක්නට ලැබේ. උද්භටගේ විචාර කල්පනා පිළිබඳව තොරතුරු ලබාගැන්මට මෙසේ දැක්වුණු තොරතුරු මහෝපකාරී වේ.

කුමාරසම්භව නමින් කාව්‍ය ග්‍රන්ථයක් උද්භටාචාරීන් විසින් රචනා කරන ලදි. මෙම ග්‍රන්ථය දැනට අවිද්‍යමානය. එහෙත් ස්වීය කාව්‍යාලංකාරසාරසංග්‍රහ ග්‍රන්ථයේ, කාව්‍යාලංකාරයනට නිසුන් වශයෙන් ගෙනහැර දක්වන ලද්දේ මෙම කාව්‍යයෙන් උපුටාගත් පද්‍යයි. කාලිදාස මහා කවියාගේ සුප්‍රසිද්ධ මහාකාව්‍යය සමග මෙම ග්‍රන්ථය නමින් පමණක් නොව අදහස් අතින් ද සැසඳෙන බව විද්වතුන් පෙන්වා දී ඇත. එසේ ම, උද්භටාචාරීන් විසින් භරත මුනිවරයාගේ නාට්‍යශාස්ත්‍ර ග්‍රන්ථයට ලියන ලද විවරණය ද දැනට අවිද්‍යමාන වන අතර, මෙය හඳුන්වනු ලැබුයේ කුමන නමකින් ද යන්න පවා දැනගත නොහැකිය. මේ ග්‍රන්ථය පිළිබඳව තොරතුරු දැනගන්නට ඇති එක ම මාර්ගය නම් පශ්චාත්කාලීන ග්‍රන්ථවල කිහිප තැනක මෙය සඳහන් කොට තිබීම පමණි. විශේෂයෙන් අභිනවගුප්ත ස්වකීය අභිනවභාරතී නම් නාට්‍යශාස්ත්‍ර ටීකාවෙහි උද්භටගේ විවෘත්තිය හා එහි ඇතුළත් මත ගැන කිහිප වරක් සඳහන් කරයි. මෙය සම්පූර්ණ නාට්‍ය ශාස්ත්‍රයට ම ලියැවුණු ටීකා ග්‍රන්ථයක් වශයෙන් සැලකීමට සාක්ෂි විද්‍යමානය.

උද්භටාචාරීන්ගෙන් සංස්කෘත සාහිත්‍ය විචාර කලාවට මහත් සේවයක් ඉටු වූ නමුත්, එතුමා විසින් රචිත ග්‍රන්ථයන්ගෙන් වැඩිතර ප්‍රමාණයක් කාලයාට ගොදුරු වීම නිසා, එතුමාගේ සේවය හරිහැටි ප්‍රමාණ කිරීම දුෂ්කර වී ඇත. විචාර චින්තකයකු වශයෙන් උද්භට විසින් දරන ලද්දේ අලංකාරවාදය නමැති විචාර දෘෂ්ටිය බව යට පවසන ලදි. එනම්, කාව්‍යය යනු අලංකාරෝක්තීන් මගින් සරසනු ලැබූ භාෂණයය යන මතය ප්‍රතිෂ්ඨා කොටගත් විචාරමතයයි. උද්භට විසින් කාව්‍යාලංකාර අරබයා සපයා ඇති ග්‍රන්ථයෙන් ද ප්‍රථම අලංකාරවාදියා වූ භාමහගේ ග්‍රන්ථයට විවෘත්තියක් සැපයීමෙන් ද මේ බව පැහැදිලි වේ. කාව්‍යාලංකාරසාර සංග්‍රහ ග්‍රන්ථයේ දක්නට ලැබෙනුයේ භාමහගේ කාව්‍යාලංකාර නම් ග්‍රන්ථයේ නිර්දිෂ්ට ඇතැම් අලංකාරෝක්තීන් තවදුරටත් විශද කිරීම හා විවරණය කිරීමත් එම මූලධර්ම ම ගුරු කොටගෙන අලුත් අලංකාර කිහිපයක් ඇතුළත් කිරීමත්ය. අලංකාරෝක්තීන් ඉදිරිපත් කිරීමේ දී භාමහගේ ග්‍රන්ථයේ අනුපිළිවෙළ උද්භට විසින් ද රැක ඇති අතර, ඇතැම් තැනක දී අලංකාරයන්ගේ නිර්වචන ද බෙහෙවින් සමානය.

එසේ ද වුවත්, කාව්‍යාලංකාරසාරසංග්‍රහ ග්‍රන්ථයෙහි එක් වැදගත් විශේෂතාවක් දක්නට ලැබේ. එනම්, රස සංකල්පය කෙරෙහි වැඩි අවධානයක් යොමු කොට තිබීමයි. භාමහ පරිද්දෙන් ම උද්භට ද විශ්වාස කෙළේ කාව්‍යයෙහි ලා රසයන්ගේ පැවැත්ම වනුයේ හුදෙක් කාව්‍යාලංකාර වශයෙනැයි කියායි. එනම්, රස ද උපමා, උත්ප්‍රේක්ෂා ආදිය පරිද්දෙන් ම කාව්‍යය හොබවන අලංකාර විශේෂයකැයි කියායි. උද්භට රස ගැන සාකච්ඡා කරන්නේ ප්‍රේයස්, රසවද්, ඌර්ජස්වී, සමාහිත ආදි අලංකාර යටතේය. එහෙත් මෙහි ලා එතුමා රස පිළිබඳව වඩා සවිස්තර වූත් ගැඹුරු වූත් විමර්ශනයක යෙදෙන අතර, රසනිෂ්පත්තියට හේතුසාධක වන්නා වූ ස්ථායී, සංචාරී, විභාවාදි කරුණු ගැන තමා තුළ අවබෝධයක් ඇති බව ද විදහා දක්වයි. ප්‍රේයස් ආදි අලංකාර එකිනෙකින් වෙන් කොට දක්වන්නේ ද රස නිෂ්පත්තියෙහි විවිධ අවස්ථා පාදක කොටගෙනයි. එසේ ම රස සංකල්පය පිළිබඳ ඉතිහාසයේ ප්‍රථමවරට ශාන්ත රසය ගැන සඳහන්ව ඇත්තේ උද්භටගේ ග්‍රන්ථයේ යයි පවසනු ලැබේ. මෙම නවවන රසය නාට්‍යයෙහි වුවත් දැනවිය හැකි බව එතුමාගේ විශ්වාසය විය.

භාමහ හා උද්භට යන දෙදෙනා එක ම විචාර දෘෂ්ටියක් අනුගමනය කරතත්, උද්භටගේ ග්‍රන්ථයෙහි දක්නට ඇත්තේ මෙහි වඩා පරිණත අවස්ථාවකි. අලංකාරෝක්තීන් සියුම් ලෙස විග්‍රහ කිරීමේ හා වර්ග කිරීමේ ප්‍රවණතාව මෙහි හොඳින් පෙනේ. පළමුවැනි අලංකාරවාදියා වීමේ ගෞරවය භාමහට හිමි වෙතත්, පශ්චාත්කාලීන විචාරකයන් විසින් සම්භාවනයෙන් පිළිගන්නා ලද අලංකාරවාදියා වනුයේ උද්භට බව යට දක්වන ලදි. ප්‍රතිවිරුද්ධ මතධාරීන් උපහාසයට ලක් කිරීම සංස්කෘත සාහිත්‍ය විචාර චින්තනයේ සුලබ වෙතත්, අපරකාලීන සුප්‍රකට පඬිවරුන් බොහෝ දෙනකු - ඇතැම් විට විරුද්ධ මත දරන්නවුන් පවා - උද්භට ගැන මහත් ගෞරවයෙන් සඳහන් කරන බව මෙහි ලා සැලකිය යුතුයි. මෙසේ ගෞරව කරන්නවුන් අතර ආනන්දවර්ධන හා අභිනවගුප්ත වැනි අද්විතීය බුද්ධිමත්තු ද වෙති. ඔවුන් බොහෝ විට මෙපරිදි සඳහන් කරන්නේ උද්භටයන්ගේ භාමහවිවරණ නම් ග්‍රන්ථයෙහි ඇතුළත් කරුණු අරබයා බව ද සැලකිය යුත්තකි.

උද්භටයන්ගෙන් සාහිත්‍ය විචාරයට නව කල්පනා කිහිපයක් එකතු වී ඇති බව මෙම පඬුවෝ පවසති. කව්බසෙහි වාච්‍යාර්ථයෙන් ඔබ්බෙහි වූ ද්විතීයික අරුත් ඇති බව එතුමා අවබෝධ කොටගෙන තිබුණි. කාව්‍යයෙහි ග්‍රාම්‍යා, පරුෂා හා උපනාගරිකා යනුවෙන් තිප්‍රකාර වෘත්ති භේදයක් පළමුවරට හඳුනාගන්නා ලද්දේ උද්භට විසිනැයි කියනු ලැබේ. ව්‍යාකරණමය භේද උඩ උපමාලංකාරය බෙදා දක්වන ලද්දේ ද උද්භට විසිනි. ශ්ලේෂාලංකාරය අරබයා ද හේ නව මතයක් පළ කෙළේය. කාව්‍යගුණ යනු සංඝටනාවන් (ශෛලීන්) සතු ලක්ෂණ බව ද උද්භටයන් විසින් ප්‍රකාශිත බව අභිනවගුප්තයෝ පවසති. ශෘංගාරාදී රස වාච්‍ය වශයෙන් ප්‍රකාශ කිරීමෙන් වුව ද ඉපදවිය හැකිය යන මතය ද උද්භට විසින් දරන ලදි.

උද්භට ප්‍රමුඛ කොටගත් විචාර ගුරුකුලයක් නැතහොත් විද්වතුන් පරම්පරාවක් ද විසූ බව පොතපතින් එළිදරව් වේ. ‘ඖද්භටයෝ’ යන නම දැරූ මේ පිරිස ගැන අපරකාලීන ග්‍රන්ථ කර්තෘන් කිහිප දෙනකුගෙන් ම අසන්නට ලැබේ. අභිනවගුප්ත ස්වකීය අභිනවභාරතී නම් ග්‍රන්ථයෙහි ද රාජශේඛර කාව්‍යමීමාංසාවෙහි ද ඖද්භටයන්ගේ අදහස් උපුටා දක්වති. එසේම ‘උද්භටවාදීන්’ යනුවෙන් හැඳින්වෙන පිරිසක් ගැන පූර්වෝක්ත ග්‍රන්ථවලත් මහිමභට්ටගේ ව්‍යක්තිවිවේකයෙහිත් සඳහන් වේ. උද්භටගේ නායකත්වයෙන් යුත්, නොඑසේ නම් තදීය මතධාරී වූ, විචාරගෝෂ්ඨියක් පැවති බව මෙයින් පැහැදිලිය. සංස්කෘත විචාර කලාවේ අග්‍රගණ්‍ය කුශාග්‍ර බුද්ධිමතුන් කිහිපදෙනකු පහළ වූ නමුත්, මෙබඳු විද්වත් ගෝෂ්ඨීන්හි ප්‍රධානීන් වශයෙන් සඳහන්ව ඇත්තේ දෙතුන් දෙනකු පමණක් බව ද මෙහිලා සැලකිය යුතු වේ.

(කර්තෘ: පී. විජයවර්ධන)

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උද්භට&oldid=9187" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි