ඇටය
ඩිම්බයකින් ඇටය විකසනය වේ. සංසේචනයට පෙර ඩිම්බය කලල කෝෂයකින් (embryo-sac) ද කුක්ෂියකින් (nucellus) ද ඩිම්බාවරණ එකකින් හෝ දෙකකින් ද යුක්ත වේ. සංසේචනයෙන් පසු විශාල වන ඩිම්බය තුළ භ්‍රෑණ පෝෂය ද ඊටත් පසුව කලලය ද ශීඝ්‍ර ලෙස විකසනය වේ. ඩිම්බාවරණය ද විශාල වේ. සාමාන්‍යයෙන් කුක්ෂිය විසංයුක්ත වී සම්පූර්ණයෙන් ම වාගේ නොපෙනී යයි. එහෙත් ඇතැමෙක අතිරේක හෝ ප්‍රධාන සංචිත පටකය වන පරිපෝෂය (perisperm) එයින් සෑදේ ( නි. පිපෙර්, මිරිස්ටිකා හා නිම්ෆෙයා). බොහෝ ශාකවල භ්‍රෑණපෝෂය පරිණත බීජයෙන් සැලකිය යුතු තරමේ කොටසක් වේ. එහෙත් බොහෝ විට නිර්භ්‍රෑණපෝෂ බීජවල මෙන් භ්‍රෑණපෝෂය ස්වල්ප වශයෙන් හෝ සම්පූර්ණයෙන් ම හෝ වැඩෙන කලලය මඟින් අවශෝෂණය කරනු ලැබේ. ඩිම්බාවරණ ඇටපොත්ත සාදයි. අරුද්වාරය (micropyle) ඡිද්‍රයක් ලෙස පවතියි. ඩිම්බවෘන්තය සේවනිය (raphe) සාදයි. එහි කැලල බීජ ලපය (hilum) වේ.
සමහර විට සංසේචනයෙන් පසු ඇටපොත්ත හෝ ඩිම්බවෘන්තය හෝ අනුද්වාරය හෝ වටේ අතිරේක ආවරණයක් වැඩේ. මෙය බීජකවචය (aril) නමින් හැඳින්වේ. බීජකවචය සාමාන්‍යයෙන් මාංසලය. එහෙත් ඊට වෙනස් ආකාර ද ඇති විය හැකිය. වසාවාසි වූකලි සාදික්කාවල ඩිම්බවෘන්තයෙන් හා අනුද්වාරයෙන් විකසනය වන බීජකවචයකි. මැංගුස්ටින් ඇටයේ බීජකවචය කෑමට රසවත් දෙයකි. රඹුටන් ගෙඩියේත් දුරියන් ගෙඩියේත් කෑමට ගන්නා කොටස බීජකවචයයි. ඇටපොත්තක තිබෙන මීට කුඩා මස් දලුවකට බීජචෝලය (caruncle) යයි කියනු ලැබේ. එරඬු ඇටයේ අනුද්වාරයෙහි බීජචෝලයක් තිබේ.
ආවෘතබීජකයන්හි (angiosperm) (බ.) බීජය සම්පූර්ණයෙන් ම ඩිම්බ බිත්තියෙන් ආවරණය වී තිබේ. විවෘතබීජකයන්හි (gymnosperm) (බ.) බීජය ආවරණයක් රහිතව කේතු වේ. මතුපිට ශල්කයක් (scale) තිබේ. කලලයේ බීජපත්‍ර සංඛ්‍යාව ද එකිනෙකට වෙනස් වේ. සාමාන්‍යයෙන් ආවෘතබීජකයන්ගේ ඇත්තේ තනි බීජපත්‍රයක් හෝ බීජපත්‍ර දෙකකි. විවෘතබීජකයන්ගේ නොයෙක් විට බීජ පත්‍ර රාශියකි.
අලුත් වාසභූමි සොයා ගැනීම සඳහා ශාක ඒවායේ ඇට අලුත් ප්‍රදේශවලට විසුරුවා හරියි. මේ ව්‍යාප්තියට සුළඟ, ජලය හා සතුන් වැනි කාරක කීපයක් උපකාරී වේ (ඵල හා බීජ ව්‍යාප්තිය බ.). ප්‍රරෝහණයට සුදුසු පරිසරයකට පැමිණි විට ඇට පැළ වේ (ප්‍රරෝහණය බ.)
ශාකයකින් ඇට වැටුණු වහා ම පසෙහි සිටවුවහොත් ඒවා පැළ නොවන බැව් සමහර විට අපට දක්නට ලැබේ. ඇතැම් ඇට මේරූ වහා ම පැළ කළ හැකි වුව ද මේරූ පසුත් බොහෝ ඇට පැළ වීමට පෙර, දින ස්වල්පයක සිට මාස කීපයක් දක්වා වූ සුප්ත අවස්ථාවක් ගත කළ යුතු වෙයි. මේ සුප්ත අවස්ථාව ප්‍රරෝහණය හෙවත් පැළවීම සඳහා අවශ්‍ය පූර්වලක්ෂණයකි.
මිනිසාගේ ප්‍රධාන ආහාර වර්ග ඇට ජාති වේ. හාල්, තිරිඟු, ඉරිඟු, බාර්ලි, ඕට් ආදිය නිදසුනි. ලින්සීඩ්තෙල්, තලතෙල් හා පොල්තෙල් ඇටවලින් ලබා ගන්නා ප්‍රයෝජනවත් තෙල් වර්ගවලින් කීපයකි. බොහෝ ඖෂධ ද්‍රව්‍ය ද ඇටවලින් ලැබේ. පබළු, බොත්තම් හා ආභරණ ද නොයෙක් විට ඇටවලින් සාදනු ලැබේ.
(සංස්කරණය: 1967)


