ඇටවල්ලා

සිංහල විශ්වකෝෂය වෙතින්
10:50, 3 දෙසැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න
3-49.jpg
(යුතිනුස් අෆිනිස් - Euthynnus affinis Cantor). නිවර්තන ප්‍රදේශවල දක්නට ලැබෙන මසින් පිරි දිගිටි ශරීරයක් ඇති මුහුදු මත්ස්‍යයෙකි. ලංකාවේ මන්නාරම් බොක්කෙහි ද වෙරළාසන්න මුහුදේ ද ඇටවල්ලෝ සුලභය. උන් සාමාන්‍යයෙන් සංචාරය කරන්නේ විශාල සමූහ වශයෙනි. ඇටවල්ලන් අයිනක් ඇතැම් විට සැතපුමක් පමණ දිග විය හැකිය. ඇටවල්ලාගේ මාංසය ඉතා රසවත්ය.

පරිණත ඇටවල්ලා අඩි 2ක් පමණ දිගය. උගේ ශරීරයේ උඩු කොටස තද නිල්පාටය. යටි කොටස සුදට හුරුය. වරල් නිල්පාටය. අංශ රේඛාවට උඩින් ළය වරල පිටුපස තදනිල් පාට වයිරම් කිහිපයක් තිබේ. ළය ප්‍රදේශයෙහි හැර වෙනත් ප්‍රදේශවල කොරපොතු නැති ලෙසක් පෙනේ. ළය ප්‍රදේශයේ කොරපොතු පටියකි. දත් කේතු ආකාරය; ස්වල්පයක් වක්‍රය. හනුවල දත් පෙළ බැගින් තිබේ.

ඇටවල්ලා අක්ටිනොප්ටෙරිගි (බ.) වර්ගයෙහි ටෙලෙයොස්ටෙයි ගෝත්‍රයෙහි තුනිඩෙ කුලයට අයත්ය. අලගොඩුවා (බ.) හා බලයා (බ.) ද මේ කුලයට අයත්ය.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇටවල්ලා&oldid=9271" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි