ඇපෑල
යම් අධිකරණයකින් දෙන ලද අවසාන තීන්දුව ගැන නොසතුටට පත් පාර්ශ්වයක් විසින් ඒ තීන්දුවට විරුද්ධව කැරෙන ආයාචනය ‘ඇපෑල’ යනුවෙන් හැඳින්වේ. ලංකාවේ නඩු විසඳන පහළ ම අධිකරණය ගම්බද අධිකරණයයි. ගම්බද අධිකරණයකින් දෙන ලද අවසාන තීන්දුවකට විරුද්ධ ව, ඒ තීන්දුව දී දහහතර දිනක් ඇතුළත, ඒ ගම්බද අධිකරණය කෙරෙහි ආයාචනා අධිකරණ බලය සතු ප්‍රදේශ අධිකරණය (දිස්ත්‍රික් උසාවිය) වෙත ලිඛිත පෙත්සමක මාර්ගයෙන් ආයාචනය කළ හැකිය.
ආයාචනය විභාග කරන ප්‍රදේශ අධිකරණයට පහළ අධිකරණයේ තීන්දුව ස්ථිර කිරීමට, අවළංගු කිරීමට හෝ වෙනස් කිරීමට බලය ඇත. එසේ නැතහොත් වැඩිදුර විභාගයක් පැවැත්වීම හෝ අතිරේක සාක්ෂි ගැනීමට නියම කිරීම හෝ අලුතින් ම ඒ කරුණු පිළිබඳව නඩු විසඳීමට අණ කිරීම හෝ ප්‍රදේශ අධිකරණය විසින් කළ හැකිය. අවස්ථානුරූප පරිදි මීට වඩා වෙනස් සහනයක් දීමට ද ප්‍රදේශ අධිකරණයට බලය තිබේ. එහෙත් ගම්බද අධිකරණයකින් දෙන ලද දඬුවමක් වැඩි කිරීමට හෝ නිදහස් කිරීමක් අවළංගු කිරීමට ප්‍රදේශ අධිකරණයට බලයක් නැත. කෙසේ වෙතත් ආයාචනයක් විභාග කරමින් ප්‍රදේශ අධිකරණයකින් දෙන ලද තීරණයකට විරුද්ධව ඉන් ඉහළ අධිකරණයකට තවත් ආයාචනය කිරීමට කෙනකුට ඉඩක් නොලැබේ.
සුළු විවාද අධිකරණ (රික්වෙස්ට් උසාවි), සුළු අපරාධ අධිකරණ (මහේස්ත්‍රාත් උසාවි) හා ප්‍රදේශ අධිකරණ (දිස්ත්‍රික් උසාවි) මගින් දී ඇති අවසාන තීන්දුවලට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ආයාචනය කළ හැකිය. සුළු විවාද අධිකරණයකින් හෝ සුළු අපරාධ අධිකරණයකින් දෙන ලද තීන්දුවකට විරුද්ධව කැරෙන ආයාචනය ශ්‍රෙෂ්ඨාධිකරණයෙහි තනි විනිශ්චයකරුවකු විසින් විසඳා තීරණය කළ හැකිය. ප්‍රදේශ අධිකරණයකින් දෙන ලද සිවිල් හෝ අපරාධ නඩුවක තීන්දුවට විරුද්ධව කැරෙන ආයාචනයක් විසඳා තීරණය කළ හැක්කේ ශ්‍රෙෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවන් දෙදෙනකු හෝ ඊට වැඩි ගණනක් විසිනි. තීරණය සම්බන්ධයෙන් විනිශ්චයකරුවන් දෙදෙනකු එකඟ නොවන විට, ඒ ආයාචනය විනිශ්චයකරුවන් තිදෙනකු විසින් විසඳිය යුතුය. ඒ තිදෙනාගෙන් වැඩිදෙනාගේ තීරණය අවසාන තීරණයයි.
සිවිල් නඩු සම්බන්ධයෙන් ආයාචනය කළ යුතු පිළිවෙළ හා ඒ සම්බන්ධ නීතිය සිවිල් නඩු විධාන සංග්රහයෙහි viii වන කොටසෙහි 753 වන වගන්තියේ සිට 778 වන වගන්තිය දක්වාත් 833 (අ) වගන්තියෙහිත් විස්තර වේ. අපරාධ නඩු සම්බන්ධයෙන් ආයාචනය කළ යුතු පිළිවෙළ හා ඒ සම්බන්ධ නීතිය අපරාධ නඩු විධාන සංග්රහයෙහි xxx වන පරිච්ඡේදයෙහි 335 වන වගන්තියේ සිට 352 වන වගන්තිය දක්වා විස්තර වේ. මේ හැර නොයෙකුත් අණපනත් යටතේ යම් යම් විනිශ්චය මණ්ඩල මගින් කැරෙන තීරණවලට විරුද්ධව ඉහළ අධිකරණයකට ආයාචනය කිරීම පිළිබඳ විධිවිධාන ඒ ඒ අණපනත්වල සලස්වා ඇත.
ශ්‍රෙෂ්ඨාධිකරණයෙහි විසඳෙන අපරාධ නඩුවක් ගැන දෙනු ලබන තීන්දුවට විරුද්ධව ආයාචනය කළ හැක්කේ අපරාධ ආයාචනා අධිකරණය වෙතය. මේ අධිකරණය ශ්‍රෙෂ්ඨාධිකරණයෙහි අග්‍ර විනිශ්චයකරුවාණන් ඇතුළු කනිෂ්ඨ විනිශ්චයකරුවන්ගෙන් සමන්විත වන අතර ඒ ඒ ආයාචනය විසඳීම සඳහා තිදෙනකුට නොඅඩු විනිශ්චය මණ්ඩලයක් අග්‍ර විනිශ්චයකරුවාණන් විසින් පත් කැරේ. මේ අධිකරණයට අදාළ වන නීතිය අපරාධ ආයාචනා අධිකරණ ආඥාපනතෙහි සවිස්තරව දැක්වේ.
ආයාචනයක් විසඳමින් ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවකට විරුද්ධව රාජාධිකරණය වෙත ආයාචනය කළ හැකිය. ‘ප්‍රිවි කවුන්සිල්’ නමින් හැඳින්වෙන ඒ රාජාධිකරණය විසින් කැරෙන තීරණය මහ රැජින විසින් අවසාන වශයෙන් දෙනු ලබන තීරණයක් හෙයින් එයින් පසු තවදුරටත් ආයාචනය කිරීමට ඉඩක් නැත. රාජාධිකරණ ආයාචනා ආඥාපනතෙහි මේ ආයාචනා සම්බන්ධ ව්‍යවස්ථා දැක්වෙතත් ඊට වෙනස්ව පවා යමකු විසින් කැරෙන අයදුම් පතක් පිළිගෙන තීරණය දීමේ අයිතිය මහරැජින සතුව ඇත.
(කර්තෘ: කේ.ඩී.පී. වික්‍රමසිංහ)
(සංස්කරණය: 1967)