උපන්ලපය
සමෙහි දක්නට ලැබෙන කැලැල් කිහිප වර්ගයකට මේ පොදු නාමය භාවිතා කරනු ලැබේ. යමකු උපදින විට ම මේ කැලැල් තිබෙන්නට පිළිවන. සමහරක් පසුව ඇති වන්නට පිළිවන.
උපන්ලපයක ප්‍රමාණය මිලිමීටර ස්වල්පයක සිට සෙන්ටිමීටර කිහිපයක් දක්වා විය හැකිය. ඒවා සමෙන් ස්වල්පයක් මතු වී තිබිය හැකිය; සිනිඳු හෝ රළු හෝ විය හැකිය. සෑම කෙනකුගේ ම වාගේ උපන්ලප එකක් හෝ කීපයක් තිබේ.
සෛලීය (cellular) හා වාහිනික (vascular) යනුවෙන් උපන්ලප ප්‍රධාන වශයෙන් දෙවර්ගයකි. මේවා ශරීරයේ කිසියම් ප්‍රදේශයකට සහජ වූ පටක සංරචකයක සදොස් විකසනය හේතුකොට ගෙන ඇති වන බැවින් මේ උපන්ලප දෙවර්ගය ම අස්වාභාවික යයි කිව හැකිය. උපන්ලප වැඩි හරිය වර්ණක සහිතය (pigmented). වර්ණය තද රතු පැහැයෙහි සිට තද දුඹුරු පැහැය හෝ කළු පැහැය දක්වා වෙනස් වේ. උපන්ලපයක ඇති වර්ණකවල හා රුධිරයේ ප්‍රමාණයෙන් ද එය සමට යටින් තිබෙන ප්‍රමාණයෙන් ද උපන්ලපයක වර්ණය නිර්ණය කෙරේ.
වාහිනික උපන්ලපයක් සෑදෙන්නේ රුධිරවාහිනීන්ගේ අස්වාභාවික විකසනයෙනි. එය ඉඳුරා ම කුඩා ශිරාවල හා ශිරා කේශනාලිකාවල ලොකු වීමකි. මේවා විස්තාරණය වී ප්‍රාභිමුඛ කෙරේ (anastomose). නැත්නම් ඒවා එක් වී වාහිනික පැල්ලමක් සාදයි. සාමාන්‍යයෙන් එය තද රතු පාටය. මේ රිෂ්ටය සමේ ඉහළ ස්තරයට සීමා වේ. අවට ප්‍රදේශයෙහි රුධිර සංසරණයට යම් විධියකින් බාධා සිදු වෙයි නම් ශූනතාව (turgescence) ඇති වෙමින් උපන්ලපයේ පාට තද වේ. වාහිනික වර්ගයට අයත් ඇතැම් උපන්ලප අඛර නියොප්ලාස්ම විය හැකිය.
උපන් අවස්ථාවේ දී තිබුණු උපන්ලපයක් පසුව ක්‍රමයෙන් ලොකු වී එක්තරා ප්‍රමාණයකට පැමිණි පසු ස්ථිර රිෂ්ටයක් සේ පවතී. නැත්නම් එහි ප්‍රදාහයක් ඇති නොවී එය අවශෝෂණය වේ. කලාතුරකින් උපන්ලපයක මාත්සරික (malignant) විපර්යාසයක් ඇති විය හැකිය. එබැවින් තද වර්ණයක් ගනිමින් ප්‍රමාණයෙන් ලොකු වන උපන්ලප කල් නොයවා වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරවාගත යුතුය.
උපන්ලපවලට නොයෙක් විධියෙන් ප්‍රතිකාර කරනු ලැබේ. පිහියකින් කෘන්තනය (incision) කිරීම, බන්ධකය (ligature) හෝ ප්ලෝෂ හෙවත් දාහක (caustics) යෙදීම යන මේවා ඉන් සමහරකි. විද්‍යුත් වේධනයත් (electropuncture) භාවිතා කරන එක් ක්‍රමයකි. මෑත කාලය දක්වා ම වැඩි වශයෙන් භාවිත වූ ක්‍රමය බන්ධකය වේ. ඉතා හොඳ ක්‍රමය නම් කාබන්ඩයොක්සයිඩ් හිම යෙදීමය. කාබන්ඩයොක්සයිඩ් හිම කේතුවක් ගෙන උපන්ලපය මත විනාඩි ¼ක් හෝ ½ක් පමණ තබා තද කරනු ලැබේ. මෙයින් එතැන බිබිලක් ඇති කෙරේ. මේ බිබිල වේළී ගැළවී යයි. එවිට කැලලක් නොසෑදේ. අධශ්චර්මීය උපන්ලපවල රිෂ්ට ගැඹුරේ පිහිටා තිබේ. ඒවායින් ඉබේ ම රුධිරය ගලා යා හැකිය. එසේ වී නම් එවැනි ලපයක් ඉවත් නොකළ හොත් රෝගියා දුර්වල වන්නට පිළිවන.
(සංස්කරණය: 1970)