උපසේන (3)

සිංහල විශ්වකෝෂය වෙතින්
14:41, 9 දෙසැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සද්ධම්මපජ්ජොතිකා නමැති නිද්දේස අටුවාව ලිවූ ම...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සද්ධම්මපජ්ජොතිකා නමැති නිද්දේස අටුවාව ලිවූ මහතෙරණුවෝය. උන්වහන්සේ අනුරාධපුර මහාවිහාරයෙහි රුවන්වැලි මහසෑයට බටහිර දෙසින් කීර්තිසේන නමැති ඇමැතියකු විසින් කරවන ලද පිරුවනක වැඩ වෙසෙමින් “සිරිනිවාසසිරිසංඝබෝධි” නමැති රජකුගේ සවිසිවන අවුරුද්දෙහි එය ලියා නිමවූ බව ග්‍රන්ථ නිගමනයෙහි දක්වා තිබේ. “සිරිනිවාස” යනු මහානාම රජුගේ (410-432) ම වෙනත් නමක් බවත් සිරිනිවාස සිරිසංඝබෝධි යන්නෙන් ද ඔහු ම අදහස් කරන ලද බවත් ආචාර්ය පරණවිතාන මහතා සලකයි. මහානාම රජුගේ රාජ්‍ය සමය අවුරුදු 22ක් බව වංසකථාවල සඳහන් වන හෙයින් ඔහුගේ අභාවයෙන් පසු ද කලක් ගත වන තෙක් වකවානු දැක්වීම පිණිස ඔහුගේ රාජ්‍යවර්ෂ සංඛ්‍යාව ම භාවිත වූයේ යයි ද ඔහුගෙන් පසු රටේ ඇති වූ ව්‍යාකූල තත්ත්වය ඊට හේතු වූයේ යයි ද සැලකිය හැකි බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.

මොග්ගල්ලාන (I) රජුගේ (495-512) ඇවෑමෙන් තුන්වන අවුරුද්දෙහි (515) මහානාම නම් තෙර කෙනකුන් විසින් ලියන ලද සද්ධම්මප්පකාසිනි නැමති පටිසම්භිදාමග්ග අටුවාවෙහි හා නිද්දේස අටුවාවෙහි දක්නට ලැබෙන සමාන තැන් සලකා බැලීමේ දී ඒ පොත් දෙක ම ගුරුශිෂ්‍ය වශයෙන් හෝ සමාන ආචාර්යයන් ඇති බැවින් හෝ බලවත් සම්බන්ධයක් පැවති තෙර දෙනමක් විසින් ලියන ලද බව පෙනී යයි. මීට ඉතා ආසන්න වකවානුවකට (518) අයත් සේ සලකනු ලබන ඉන්දියානු ශිලාලේඛනයක සඳහන් වන්නා වූ බුද්ධගයාවෙහි විහාරයක් කළ මහානාම (න්) නමැති ලාංකික තෙරුන් හා මේ මහානාම තෙරුන් එක් ම කෙනකුන් බවත් මහාවංසය කරන ලද්දේ උන්වහන්සේ විසින් බවත් සිතනු ලැබේ. එම ශිලාලේඛනයෙහි “... උපසේන (I), මහානාම (I), උපසේන (II), මහානාම (II)” ආදි වශයෙන් උන්වහන්සේගේ පරපුර දක්වා ඇත.

මහානාම (II) තෙරුන්ට ගුරු වූ උපසේන (II) තෙරුන් (බුරුම වාර්තාවලින් හෙළි වන පරිද්දෙන්) ධාතුසේන රජු (459-477) කාලවාපි විහාරයේ කැරවූ ප්‍රාසාදයක වෙසෙමින් සමන්තභද්දිකා නමැති අනාගත (බුද්ධ) වංස අටුවාව කළ එනම් තෙරුන් සේ සැලකීමට පිළිවන. නිද්දේස, පටිසම්භිදාමග්ග, අනාගත (බුද්ධ) වංස යන ග්‍රන්ථත්‍රයය ම අගසවු සැරියුත් මාහිමියන් හා සම්බන්ධ කෘතීන් හෙයින් එක් ආචාර්‍ය්‍ය පරම්පරාවක තෙරුන් ඊට අටුවා කළ සේ සලකනු සුදුසු මය. මහානාම (I) තෙරුන් ධාතුසේන රජුගේ මාමා කෙනකුන් ලෙස මහාවංසයෙහි (38.16) සඳහන් වන තෙරුන් විය හැකිය. වකවානු සසඳා බැලීමේ දී මේ ආචාර්‍ය්‍ය පරම්පරාවෙහි මුලින් සඳහන් වන උපසේන (I) තෙරුන් නිද්දේස අටුවාව කළ උපසේන මහ තෙරුන් වශයෙන් හඳුනා ගැනිමට ඉඩ ඇත.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උපසේන_(3)&oldid=9448" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි