උපාලි (1)
ගෞතම බුද්ධ ශාසනයෙහි විනයධර භික්ෂූන් අතුරෙන් අගතැන් පත් වූවෝ මුන්වහන්සේය. එහෙයින් ප්‍රථම ධර්ම සංගීතියෙහි දී මහසුප් මහතෙරුන් විචාළ විනය පිටකය පිළිබඳ ප්‍රශ්න විසඳන ලද්දේ මේ මහතෙරුන් විසිනි.
කිඹුල්වත් නුවර කපු (කරනැවෑමි) කුලයක උපන් උපාලි තෙමේ භද්දිය, අනුරුද්ධ, ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත යන ශාක්‍ය කුමරුන් සදෙනාගේ සළුකැමිව සිටියේය. මේ කුමරුන් පැවිදි වන්නට යද්දී උපාලි ද ඔවුන් කැටුව ගියේය. කුමරුවෝ සිය අබරණ මුදා ඒ සියල්ල උපාලිට දී ඔහු ආපසු යවන්නට කැමැති වූහ. එහෙත් අබරණ පිළිගනු නොරිසි වූ උපාලි තෙමේ ද මහණ වන්නට කැමැති වූයේය.
ශාක්‍ය කුමරුවන්ගේ ඉල්ලීම පිට බුදුරජාණන්වහන්සේ පළමු කොට උපාලි පැවිදි කළ සේක. කුමරුවනට ඕනෑ කළේ කපුවකු වූ උපාලිට වැඳීමෙන් ශාක්‍යමානය තුනී කරගන්නටය. උපාලිට උපාධ්‍යාය වූවෝ කප්පිතක තෙරණුවෝය. උපාලි පැවිදි බිමට පැමිණියේ අනුපිය අඹ වෙනෙහි දීය.
උපසපන් බව ලැබූ උපාලි තෙරණුවෝ කමටහන් ලබාගෙන වනවාසයට යනු පිණිස බුදුරදුන්ගෙන් අවසර ඉල්ලා සිටියහ. බුදුහු “මහණ, වෙනෙහි වසන තට එක ම ධුරයක් වැඩෙයි. අප සමීපයෙහි වෙසෙයි නම් විදර්ශනා ධුර, ග්‍රන්ථ ධුර දෙක ම වැඩෙන්නේය”යි වදාළහ. තෙරණුවෝ බුදුන්ගේ අවවාදයෙහි පිහිටා නොබෝ කලකින් විදසුන් වඩා රහත් වූහ.
බුදුහු තමන් වහන්සේ ම උපාලි තෙරුන්ට විනය පිටකය ඉගැන්වූ සේක. පසු කලක භාරුකච්ඡක, අජ්ජුක, කුමාරකස්සප යන තුන්දෙනා පිළිබඳ විනය ප්‍රශ්න බුදු කෙනකුන් මෙන් විනිශ්චය කළ හෙයින් බුදුරජාණන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොට විනයධර භික්ෂූන් අතුරෙහි උපාලි අග්‍ර යයි අගතනතුරු දුන් සේක.
පරිවාර පාළියෙහි උපාලි පංචකයෙහි එන සියලු ම විනය නීතිරීතීන් උපාලි තෙරුන් ඇසූ ප්‍රශ්නවලට බුදුරජාණන්වහන්සේ දුන් පිළිතුරු බව පෙනේ.
පළමුවැනි ධර්ම සංගායනාවේ දී විනය පිටකය ප්‍රකාශ කරන ලද්දේ උපාලි තෙරුන් විසිනි. මහා කාශ්‍යප ස්ථවිරයන්වහන්සේ ඇසූ ප්‍රශ්නවලට සූත්‍ර පිටකයෙහි දී ආනන්ද ස්ථවිරයන් වහන්සේ මෙන්, විනය පිටකයෙහි දී උපාලි තෙරුන් වහන්සේ පිළිවදන් සැපැයූහ. විනයධරයෝ උන්වහන්සේගේ ශිෂ්‍යයෝය. දාසක ස්ථවිරයෝ ඉන් එක් නමකි. උපාලි තෙරුන් විසින් මුළු විනය පිටකය දාසක තෙරුන්ට උගන්වන ලදී.
බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ සිටිය දී ම අනාගතයෙහි පහළ වන විනයධරයන් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් උපාලි තෙරුන් සකස් කළ බව අටුවාචාරී බුද්ධඝෝෂ හිමියෝ කියති. මිහිඳු මාහිමියන්ගෙන් ආරම්භ වූ ලක්දිව මහාවිහාරිය භික්ෂුවංශය මේ විනයධර උපාලි තෙරණුවන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව වූයේය.
උදායිභද්ද රාජ්‍යයට පැමිණි සවැනි වස උපාලි තෙරණුවෝ පිරිනිවන් පෑහ.
පියුමතුරා බුදුන් දවස හංසවතී නුවර කුලපුත්‍රයකුව උපන් උපාලි තෙරණුවන් විනයධරයන් අතුරෙන් අගතැන්හි තැබූ තෙර කෙනකුන් දැක පින්කම් කොට ඒ තනතුර සඳහා ප්‍රාර්ථනා කළහයි සඳහන් වේ.
(සංස්කරණය: 1970)