උපාලි තීන්

සිංහල විශ්වකෝෂය වෙතින්
14:42, 12 දෙසැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('බුරුමයේ පගාත් රාජධානියෙහි ඉරාවඩි නදිය අසබඩ ප...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

බුරුමයේ පගාත් රාජධානියෙහි ඉරාවඩි නදිය අසබඩ පිහිටි පැරණි බෞද්ධ සීමා මාලකයකි. නන්දෝංම්‍යා (ක්‍රි.ව. 1210-34) සහ ක්‍යාස්වා (ක්‍රි.ව. 1234-50) යන රජුන්ගේ සමයෙහි බුරුමයේ සංඝරාජ පදවිය ඉසිලූ උපාලි මහතෙරුන්ගේ නමින් ගොඩනංවනු ලැබූ මෙය 13 වන සියවසේ මධ්‍යභාගය පමණට අයත් වේ. මෙහි සැලැස්ම ඍජුකෝණාස්‍රාකාරය. ගඩොල් බිත්තිවලින් ආවරණය වූ දිගිටි ශාලාවේ එක් කෙළවරක ආසනයක් මත බුදු පිළිමයක් ඇත. ශාලාවෙහි මැද කොටස බටහිර ඉන්දියාවේ චෛත්‍ය ශාලාවල ආකාරය ගනී. මුදුන් වහල නෙත්ති උළුවලින් ද පියයි කෙළවර සිදුරු සහිත මිටි තාප්පවලින් ද අලංකාර වෙයි. මුදුන් පියස්ස මැද සිහින් චෛත්‍යයකි. බෞද්ධ ගොඩනැඟිල්ලක් වුව ද උපාලි සීමා මාලකය දකුණු ඉන්දියාවේ මහබලිපුරම්, කාංචිපුරම් ආදි ස්ථානයන්හි පිහිටි ‘විෂ්ණුරථ’ මන්දිරයන්ගේ ආකෘතිය නිරූපණය කරයි. බිත්තිවල හා සිලිමෙහි දක්නා ලැබෙන දර්ශනීය සිතුවම් 17 වැනි සියවසේ දී හෝ 18 වැනි සියවසේ මුල් භාගයේ දී හෝ කරවන ලදි. පැරණි බුරුම චිත්‍රකලා ඉතිහාසයේ අවසාන අවධියට අයත් වූ මෙම සිතුවම් ස්වාධීන සම්ප්‍රදායයක් අනුගමනය කරන වැදගත් නිර්මාණයෝයි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උපාලි_තීන්&oldid=9455" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි