ජීව
ජෛන දහමෙහි ඉගැන්වෙන මූලික සංකල්ප අතර ‘ජීව’ යන්නට ප‍්‍රධාන තැනක් හිමි වේ. එහි ඉගැන්වීම්වලට අනුව පුද්ගලයා නිර්මාණය වී ඇත්තේ ජීව-අජීව පදාර්ථයන්ගෙනි. ජීවයක් නැති අවිඥානික පදාර්ථ අජීව ලෙස හැඳින්වේ.
භාරතීය සෙසු ආගම්හි ඉගැන්වෙන ආත්මන් නැතහොත් පුරුෂ පදාර්ථය ජීව ලෙස ජෛන දහමෙහි දක්වා ඇත. ආරම්භයක් හෝ අවසානයක් දැකිය නොහැකි අවිනශ්වර පදාර්ථයක් ඇතැයි ජෛනයෝ විශ්වාස කරති. එය ජීවයයි. ක‍්‍රියාවන්ගේ කර්තෘ මෙන් ම කර්මය ද ජීව වේ. එය වනාහි විඳින්නා (හොක්තා) මෙන් ම කරන්නා (කර්තා) ද වේ. ජීවය විනාශ කළ නොහැක. එය සදාකාලික ය. ශරීරය පුරා පැතිර පවතී. කිසිවකුගේ නිර්මාණයක් ද නොවේ.
සත්ත්වයා තුළ ජීවයක් ඇති බව දැන ගත හැක්කේ ඥානයෙනි. ෂට් දර්ශනයෙහි පෙන්වා දෙන්නේ ජීවය ඥානයෙන් භින්න නොවන අතර අභින්න ද නොවන බවයි. එය බ‍්‍රහ්ම පදාර්ථයකින් පරිණාමය වූවක් ද නොවේ. එහි ඇති නෛසර්ගික ස්වභාවය නම් පරිපූර්ණත්වයයි. තව ද අපරිමිත බුද්ධිය, අපරිමිත ශාන්තභාවය සහ අප‍්‍රමාණ ශක්තිය යන ලක්ෂණයන්ගෙන් ජීවය හඳුනා ගනු ලබයි.
ජෛන ඉගැන්වීම්වලට අනුව සංසාරී සහ මුක්ත වශයෙන් ජීව මූලික ප‍්‍රභේද දෙකකට බෙදෙයි. සංසාරී නම් කෙළෙස් ප‍්‍රහීණ නොකිරීම නිසා සසරෙහි බැඳී පවත්නා ආත්ම ය. මුක්ත නම් සසරින් මිදුණු ආත්ම ය. සංසාරී ජීව අසීමාන්තික ය. එම ජීව සම්බන්ධ ව පවත්නා ශරීරයන්ට හිමි ඉන්ද්‍රිය සංඛ්‍යාව අනුව ජීව ගණ හයකට බෙදා දක්වා ඇත.
ජීව ගණය | ඉන්ද්‍රිය |
---|---|
1 සතර මහා භූතයන් සහ උද්භිද ගණය | ස්පර්ශ (-කාය*) |
2 පණු වර්ගය | ස්පර්ශ, රස (= ජිව්හා) |
3 කුහුඹු වර්ග | ස්පර්ශ, රස ගන්ධ (=ඝාණ) |
4 මැසි වර්ග | ස්පර්ශ, රස, ගන්ධ දර්ශන (=චක්ඛු) |
5 කොදු ඇට සහිත සත්ව වර්ග | ස්පර්ශ, රස, ගන්ධ දර්ශන,ශ‍්‍රවණ, (=කණ්ණ) |
6 මනුෂ්‍ය, දේව, අපායික සත්ව | ස්පර්ශ, රස, ගන්ධ, දර්ශන, ශ‍්‍රවණ, මනස (=චිත්ත) |
මෙසේ එක් එක් ජීවයට හිමි ඉන්ද්‍රිය ගණන අනුව ජීව ගණ හයකට බෙදා නැවත ඒවා ථාවර (ස්ථිර) සහ ත‍්‍රස (ජංගම) යනුවෙන් කොටස් දෙකකට බෙදා ඇත. ඒකේන්ද්‍රීය ගණයට වැටෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ අයත් වෘක්ෂලතාදිය ථාවර ජීව ලෙස සැලකේ. ජෛන විශ්වාස අනුව භූත කොටස් ද ක‍්‍රියාත්මක කරනුයේ ජීව විසිනි. තව ද එකී ඉගැන්වීම්වලට අනුව ගස්වැල්වලට ද ජීවයක් ඇත.
ඉන්ද්‍රිය දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඇති ජීව ත‍්‍රස නමින් හැඳින්වෙයි. ඔවුහු එක තැන රඳා නොපවතින අතර එහි මෙහි ගමන් කරති.
ජීව අරූපී සහ අලිංගික වන අතර ඉන්ද්‍රිය ගෝචර නොවේ. එය ව්‍යාප්ත නොවන නමුත් සංකෝචනය හා ප‍්‍රසාරණය මගින් කුඩා ශරීරයකට මෙන් ම විශාල ශරීරයකට ද ඇතුළු ව පැවතීමට පුළුවන. දැල්වෙන පහනක එළිය එය තබා ඇති කාමරය කුඩා එකක් වුව ද විශාල එකක් වුව ද එහි ඉඩ කඩ ප‍්‍රමාණය එක සේ ආලෝක කරන්නාක් මෙනි. මෙයින් පෙනෙනුයේ ද්‍රව්‍ය හා සම්බන්ධ වීමේ දී ජීවයෙහි ආකාශමය නොවන ස්වභාවය යටපත් වන බවයි. මේ අනුව ආත්මවාදී අනෙකුත් ආගම් විසින් පිළිගන්නා ලද ජීවයෙහි නොවෙනස් වන ලක්ෂණය ජෛන දහම තරමක් දුරට බැහැර කරන බව පෙනේ.
දැනුම ජීවයෙහි සාරයයි. එම නිසා ජීවයට කිසිවක පිහිටක් නොමැති ව හැම දෙයක් ම යථාභූත වශයෙන් දැනගත හැකි ය. ජීවය හා ශරීරය එකට බැඳ තබන පුරුක කර්මය වේ. ජීවය සතු ව පවත්නා ප‍්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධකර ගැනීමේ ශක්තියට පරිපූර්ණත්වයට පත්වීමට නොහැකි වී ඇත්තේ මෙම ශරීරය හා බැඳ තබන කර්ම නිසා ය. පුණ්‍ය සහ අපුණ්‍ය ජීවය වැළඳගෙන සිටින එක ම කර්ම වේ. ඒවා පරමාණු ස්වරූප ද්‍රව්‍යමය තත්ත්ව ය. සැපයට හා දුකට හේතුව එයයි. විමුක්තිය ලබා ගැනීමට නම් මෙම පුණ්‍ය අපුණ්‍ය තත්ත්වයන්ගෙන් අත්මිදිය යුතු ය. කර්ම ක්ෂය නොකරන තෙක් ජීවයට සසරින් ගැලවී මුක්තාත්මන් බවට පත් විය නොහැක.
කර්මක්ෂය කිරීමට නිර්ජර ප‍්‍රතිපදාව අනුගමනය කළ යුතු වේ. එහි දී සිල් රැුකීම, ධ්‍යාන භාවනා වැඞීම, ව‍්‍රත සමාදානය වැනි පිළිවෙත් අනුගමනය කිරීම කළ යුතු වේ. ප‍්‍රඥාලෝකය පහළ වන්නේ බාධක සියල්ල මුළුමනින් ම සිඳ බිඳ දැමූ විට ය. එම තත්ත්වයට පත් වූ විට පෞද්ගලික ජීවිතය එලෙස ම පවතින අතර සර්වඥ බවට පත් ව සියලූ දෙය තත්ත්වාකාරයෙන් දකින්නට පටන් ගනී. මෙය කේවල ඥානය හෙවත් පරම ඥානය ලෙස හැඳින්වේ. මෙසේ පරම ඥානය අවබෝධ කරගැනීමෙන් ජීව මුක්තාත්මන් හෙවත් පරමාත්මන් බවට පත්වේ. ඒ ජීවය ඊශ්වර වේත දෝෂ රහිත යත වීතරාගී යත සදානන්ද යත කර්මඵලදායක නොවේත සර්වඥ යත කාම, ක්‍රෝධ, ලෝභාදි පවිටු මලෙන් තොර ය. එම ජීවය ශරීරයෙන් වෙන් වී ගියේ අනන්ත ඥාන, අනන්ත දර්ශන, අනන්ත වීර්යය, අනන්ත සුඛ ස්වරූප වූ භාව ප‍්‍රාණයන් නිරුද්ධ නොවී ලෝකාන්තය (සිද්ධ ශිලාව) දක්වා ගමන් කොට එහි දී අමරණීයත්වයට පත් වෙයි. (ජෛනාගම බ.)
දුණුකේදෙණියේ කුසලධම්ම හිමි