උමඟ
මතුපිට පස් ආදි ද්‍රව්‍ය පිහිටි සේ තිබිය දී පොළොව යටින් සාමාන්‍යයෙන් හරස් අතට කැණුණු මාර්ගය උමඟ නමින් හැඳින්වේ. උමඟ ස්වාභාවිකව පිහිටියක් හෝ මිනිසා විසින් ඉදි කරනු ලැබූවක් හෝ විය හැකිය. දියවනසුලු රසායන ද්‍රව්‍ය බහුල වූ හුනුගල් වැනි පාෂාණ ඔස්සේ භූගත ජලය සංසරණය වීමේ දී එම රසායන ද්‍රව්‍ය දියවීම හේතුකොටගෙන සිදු වන කුහරණය නිසා ඇති වී තිබෙන උමං ලෝකයේ නොයෙක් ප්‍රදේශවල දක්නට ලැබේ. වර්තමානයෙහි විවිධ වූ ප්‍රවාහණ අංශ සඳහා නොයෙකුත් ලක්ෂණයන්ගෙන් යුත් උමං කැණගනු ලැබේ.
ප්රාග්-ඓතිහාසික යුගයේ ගුහාවල විසූ මිනිසුන් පවා ආරක්ෂාව උදෙසා හෝ වාසස්ථාන උදෙසා උමං කැණූහයි සිතිය හැකිය. කල් යත් යත් දේවස්ථාන, වාසස්ථාන, සොහොන් ගැබ්, ජලසම්පාදන මාර්ග ආදි වෙනත් සමාජ අවශ්‍යතාවන් උදෙසා මිනිසා විසින් උමං කැණගත් බවට සාක්ෂි තිබේ. ක්‍රි.පූ. 2180 පමණේ දී බැබිලෝනියානු රජකු විසින් යූප්‍රටීස් ගඟ යටින් ඉදි කරවනු ලැබූ උමඟ ඉතිහාසයෙහි සඳහන් ඉතා ම පැරණි උමඟ යැයි ඇතැම්හු සිතති. ක්‍රි.පූ. 8 වැනි සියවස පමණේ දී ජෙරුසලමට ජලසම්පාදනය සඳහා යුදාහි හෙසෙකියා රජු විසින් උමඟක් තනවන ලදැයි වෘත්තාන්තයක් ද ඇත. ජලකර්මාන්ත සඳහාත් සොහොන් ගැබ් සඳහාත් ග්‍රීකයන් විසින් කණිනු ලැබූ උමං සොයාගෙන තිබේ. න්යුබියාව, ඉන්දියාව, ඇස්ටෙක් සංස්කෘතිය පැවති මෙක්සිකෝව ආදි පෙදෙස්වල ද නොයෙකුත් සමාජ අවශ්‍යතාවන් උදෙසා කණින ලද පැරණි උමං ඇත. ඉතා විද්‍යාත්මක විධි අනුව පැරණි මිසරයේ උමං කර්මාන්තය මෙහෙයවා ඇති බව පිරමිඩයන්හි ඉංජිනේරු කර්මාන්තය ගැන විමසා බැලූ සර් විලියම් ෆ්ලින්ඩර්ස් පෙට්රි විසින් සොයා ගෙන තිබේ. රෝමවරුන් ද උමං කර්මාන්තයන්හි විශිෂ්ට නිපුණත්වයක් දැරූ බව ඔවුන් විසින් මංමාවත්, ජලසම්පාදනය ආදි කටයුතු සඳහා කැණ ඇති උමංවලින් පැහැදිලි වේ. ගංගාවක් අන් අතකට හරවා යැවීම සඳහා 4 වැනි සියවස පමණේ දී කණිනු ලැබූ උමඟක් තුර්කියෙහි ඇත. වත්මන් මොස්කව් නගරය පිහිටි ප්‍රදේශයෙහි 16 වැනි සියවස මැද භාගයේ දී ඉවාන් රජු විසින් ඉදි කරවනු ලැබිණැයි සැලකිය හැකි උමං පද්ධතියක් ම සොයාගෙන තිබේ. ස්පාඤ්ඤයෙහි මුස්ලිම් බලය පැවති මධ්‍යතන යුගයේ දී එහි ද උමං කර්මාන්ත කෙරුණු බවට සාක්ෂි ඇත.
කාර්මික විප්ලවයත් සමඟ ඇති වූ කාර්මික හා විද්‍යාත්මක දියුණුව උමං කැණීම කෙරෙහි මෙන් ම උමං උපයෝගී කරගත්තා වූ කාර්ය්යයන් කෙරෙහි ද බලපෑවේය. ඇළමාර්ග, මංමාවත්, දුම්රිය මාර්ග ආදිය සඳහා ද විශාල නගරවල අන්තර්භූමික මාවත්, පීලි මං, කසළ කාණු ආදිය සඳහා ද උමං කණිනු ලැබේ. ආකර කර්මාන්තයෙහි මෙන් ම ජල විදුලිබල නිෂ්පාදන කර්මාන්තයෙහි ද උමං අත්‍යවශ්‍ය ලක්ෂණයන් වී ඇත. ප්රාවරයන්හි අසුරන ලද ද්‍රව්‍ය තරල මාධ්‍යයන් වූ සම්පීඩිත වායුව හෝ ජලය හෝ ඔස්සේ යැවීමට ද ඉතා මෑතක සිට උමං උපයෝගී කරගෙන ඇත. මේ වනාහි නල මාර්ග ඔස්සේ ද්‍රව යැවීමේ ප්‍රවාහණ ක්රමයේ නවතම විකාසයයි.
කාර්මික විප්ලවය කාලයේ දී ප්රවාහණය සඳහා සුළු අනුක්‍රමණයක් (gradient) සහිත ඇළ මාර්ග බෙහෙවින් ම භාවිත වූ හෙයින් මේවා ඉදි කිරීමේ දී ද බොහෝ විට උමං කැණීමට සිදු විය. එංගලන්තයේ ග්‍රෑන්ඩ් ට්‍රන්ක් ඇළමාර්ගය හා ප්‍රංසයේ ලෑංඩොක් ඇළමාර්ග සඳහා වූ උමං මෙන් ම වෙනත් උමං කිපයක් ද 18 වැනි සියවස තුළ දී එම දෙරටෙහි ම කණිනු ලැබීය. මෙම කාලයේ දී ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි, විශේෂයෙන් ම පෙන්සිල්වේනියාවේ, ඇළමාර්ග සඳහා උමං කණිනු ලැබිණි. දුම්රිය ගමනාගමනයේ ආරම්භයෙන් පසුව ඇළමාර්ගයන්ට වඩා ගැඹුරුතර අනුක්‍රමණ සහිතව දුම්රිය මාර්ග ඉදි කිරීමට හැකි වුව ද ඒ සඳහාත් උමං කැණීම බොහෝ විට අවශ්‍ය විය. දුම්රිය ගමනාගමනයේ දියුණුවත් සමඟ ම ඇළ මාර්ග තැනීම ද බොහෝ දුරට අඩු වූයෙන් ඒ සඳහා උමං කැණීම ද අවශ්‍යයෙන් ම අඩු විය. ප්‍රංසයේ මර්සෙයි-රෝන් ඇළ සඳහා වූ සැතපුම් 4 1/2ක් පමණ දිග රෝව් උමඟ කණින ලද්දේ ඇළමාර්ග සඳහා උමං කැණීම අඩු වී තුබූ කාලයකය. අඩි 72ක් පළල මෙම උමඟ තුළ වූ ඇළ අඩි 60ක් පමණ පළලය.
දුම්රිය මාර්ගයක් උදෙසා මුලින් ම ඉදි කරන ලද උමඟ ප්‍රංසයේ සැංතෙතියෙන් (Saint-Étienne) උමඟ යැයි සලකනු ලැබේ. ලෝකයේ සුප්‍රසිද්ධ උමංවලින් බොහොමයක් ම යුරෝපයේ දුම්රිය මාර්ග සඳහා ඉදි කරනු ලැබූ උමංය. මොංස්නී (Mont Cenis), සෙන්ට්ගොතඩ් (St. Gotthard), ආර්ල්බ’ග් (Arlberg), සිම්ප්ලොන් (Simplon) හා ල’ච්බෙර්ක් (Lōtsehberg) මෙම උමංවලින් සමහරකි. එංගලන්තයේ සමහර මුල් කාලීන දුම්රිය මාර්ග තෙම්ස්, සෙවන් හා ම’සි ගංගා යටින් උමං ඔස්සේ ඉදි කරනු ලැබිණි. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ දුම්රිය මාර්ග සඳහා වූ උමං අතුරෙහි මෝෆට්, කැස්කේඩ් හා හූසාක් උමං ද හඩ්සන් ගංගාව යට උමං ද ඉතා වැදගත් වේ. දුම්රිය මාර්ග ඉදි කර ඇති සෑම ප්‍රදේශයක ම පාහේ ඒ සඳහා උමං කැණීමට සිදු වී ඇත. දකුණු ඇමෙරිකාවේ ඇන්ඩීස් කඳු හරහා වූ දුම්රිය මාර්ග සඳහා ද මෙක්සිකෝව, ජපානය, ඉන්දියාව, ලංකාව ආදි රටවල දුම්රිය මාර්ග සඳහා ද කණින ලද උමං තිබේ.
ලොව ප්‍රථම යටිබිම් පීලි මං සේවාව 1863 ජනවාරි මාසයේ දී ලන්ඩන්හි ආරම්භ කරන ලදි. යටිබිම් මාර්ග සඳහා උමං පද්ධතියක් ම කැණීමට සිදු වේ. 1890න් පසුව මෙම පීලි මං සේවයෙහි රථධාවනය සඳහා විද්‍යුත් ප්රකර්ශනය යොදවනු ලැබීය. මෙකල යටිබිම් මාර්ග සියල්ලට ම පාහේ විදුලිබල කවනු ලැබේ. ලන්ඩන් හැරුණු විට ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහි ද පැරිස්, බර්ලින්, මොස්කව්, කෝපන්හේගන් ආදි යුරෝපීය නගරවල ද නිව් යෝක්, බොස්ටන්, ෆිලඩෙල්ෆියා හා චිකාගෝ ආදි ඇමෙරිකානු එක්සත් ජනපද රාජ්‍යයේ නගරවල ද තෝකියෝ, ඔසාකා ආදි ආසියාතික නගරවල ද යටි බිම් මාර්ග, වාහන නැවතුම්පොළවල් ආදිය සඳහා උමං කැණ ඇත. සාමාන්‍ය මංමාවත් පමණක් නොව අධිමහාමාර්ග ද උමං ඔස්සේ ඉදි කර ඇත.
ජලය සපයා ගැනීම සඳහා මෙන් ම අපිරිසිදු ජලය හා කැළිකසළ පිට කිරීම සඳහා ද ඈත අතීතයේ සිට ම උමං උපයෝගී කරගත් බව ඉතිහාසයෙන් පෙනේ. ලෝකයේ විශාල නගර සියල්ලක ම පාහේ මෙම සේවා සැපයීම සඳහා වූ නළ මාර්ගයන් සම්පූර්ණ කිරීමට උමං කැණීම ද අවශ්‍ය වී තිබේ.
විශාල ජලාශයන් හා වාරිකර්මාන්ත ඉදි කිරීමේදී විශේෂයෙන් ම ජලය හරවා යැවීම සඳහා උමං කැණීම අත්‍යවශ්‍ය වේ. මෙවැනි උමංවලින් සමහරක් එම කර්මාන්ත නිමවූවායින් පසුව වසා දමන නමුදු තවත් සමහරක් විදුලි බලය නිපදවීම ආදිය උදෙසා ප්‍රයෝජනයට ගනු ලැබේ. ජලවිදුලිබලය නිෂ්පාදනය උදෙසා ජලය හරවා යැවීමට ද උමං අත්‍යවශ්‍ය වේ. උමං කර්මාන්තයෙහි දියුණුව නිසා දැනට පොළොව යට බලනිෂ්පාදනාගාර පවා ඇත.
උමඟ පිහිටන පොළොවේ තත්වය අනුව ද උමං වර්ග කර හඳුන්වනු ලැබේ. එසේ කැරෙනුයේ මෘදු පසෙහි කණින ලද උමං හා තද පසෙහි කණින ලද උමං වශයෙනි. පසෙහි මෘදුබව හෝ තදබව අනුව උමං කණින ක්‍රම හා උපයෝගී කරගන්නා යන්ත්‍රෝපකරණ වෙනස් වේ. උමඟ පිහිටි පසේ ලක්ෂණ අනුව මෙන් ම උමඟින් ඉටු වන කාර්යය අනුව ද එහි අභ්‍යන්තරය ආස්තරණය කිරීමට සිදුවේ. එහෙයින් ආස්තරණය කරන ලද හා නොකරන ලද උමං යන වශයෙන් ද බෙදීමක් දැක්විය හැකිය.
උමං කැණීම නවීන විද්‍යානුකූලව උමඟක් කැණීමේදී පළමුවෙන් ම ඒ සඳහා වූ ස්ථානයෙහි භූ ලක්ෂණ, පාංශු ගුණ ආදිය සමීක්ෂණය කරනු ලැබේ. උමඟ කැණීමේ දී ඇති විය හැකි විශේෂ ගැටලු පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් මිහිවිදමන් (borings) ආදිය අනුව බොහෝ දුරට ලබාගත හැකි වේ. උමඟ කැණීම, එහි වහල, ඉවුරු හා සමහර විට පතුල පවා කඩා වැටෙන්නට ඉඩ නොතබා ආරක්ෂා කරගැන්ම , කැණ ඉවත ලන පස් ආදිය පිටතට ඇද දැමීම, බොහෝ විට උනන ජලය පිට කිරීම හා ආස්තරණ ආදිය යොද උමඟ නිම කිරීම උමං කර්මාන්තයෙහි ප්‍රධාන ක්රියාමාලාවට ඇතුළත් වේ. මේ අතර කර්මාන්තයෙහි යෙදෙන්නවුන් සඳහා වාතාශ්‍රය සැපයීම හා කර්මාන්තයට ප්‍රමාණවත් තරමින් උමඟ තුළ ප්‍රවාහණ සේවයක් ඇති කරලීම ද අවශ්‍ය වේ. ප්රවාහණය සඳහා වූ උමං තුළ මංමාවත්, පීලි මං ආදිය ඉදි කිරිමෙන් පසුව වැඩිදුරටත් ඒවා අංගසම්පූර්ණ වනුයේ නිසි පරිදි සංවාතනය, ආලෝකය, විදුලි බලය ආදි අවශ්‍ය පහසුකම් සැලසීමෙන් පසුය.
ඉතා ගැඹුරෙහි නොවේ නම් ඉවුරු කඩා නොහැළෙන තද පසෙහි උමඟක් කැණීමේ දී විශේෂ දුෂ්කරතා ඇති නොවේ. තද පසෙහි උමං කැණගෙන යාමේ දී වේගය රඳා පවත්නේ කැණිය යුතු මුහුණතෙහි වර්ග ප්‍රමාණය, උමඟෙහි දිග හා කණින ලද ද්‍රව්‍ය පිටතට ඇද දැමීම යන කරුණු මතය. මිනිස් ශ්‍රමය පමණක් යොදා උමං කණින ලද මුල් අවධියේ දී මෙම කාර්යයන් වඩාත් දුෂ්කර විය. මෘදු පසෙහි උමං කැණීමේ දී උමඟෙහි හාරාගෙන යන මුහුණත හා වහල ද පැති ඉවුරු මෙන් ම සමහර විටක දී පතුල ද මුක්කු හා ලෑලි ගසා ආරක්ෂා කරගත යුතු වේ. ප්‍රථමයෙන් ම මේ සඳහා යොදවන ලද්දේ දැවය. පිටරටවල මෙන් ම ලංකාවේ ද ආකරයන්හි තවමත් මෙම ක්‍රම උපයෝගි කරගනු ලැබේ. 19 වැනි සියවසෙහි දී ලන්ඩන්හි තෙම්ස් ගඟට යටින් උමඟක් කැණීමේ දී බ්රූනෙල් (බ.) විසින් උමං තරකසුවක් උපයෝගී කරගන්නා ලදි. මෘදු පසෙහි උමං කැණීමට මෙම තරකසු විශේෂය ඉතා ම යෝග්‍ය උපකරණයක් වී ඇත. බ්රූනෙල් භාවිතා කළ තරකසුව චීනච්චට්ටියෙන් සාදා තුබූ අතර එය කොටස් කීපයකින් යුක්ත විය. යන්ත්‍ර බලයෙන් ක්‍රියා කරවන ආම්පන්න සහිත නවීන උමං තරකසු ඉතා ‘සාටෝප’ උපකරණයෝය. ‘මෝල්’ නම් වූ යන්ත්‍රය උමං තරකසුවෙහි ඉතා ම නූතන විකාශනයයි. විශේෂයෙන් ම දිය සහිත ස්තර ඔස්සේ උමං කැණීමට සම්පීඩිත වායුව උපයෝගී කරගැන්ම 1830 දී කොක්රේන් සාමි විසින් ආරම්භ කරන ලදි. වායු හෝ විදුලි බලයෙන් ක්‍රියා කරන ගල් විදුම් යන්ත්‍ර, ප්‍රබල ස්ඵෝටක හා අධික බල සහිත එක්ස්කවේටර ද කැණීම සඳහා ප්‍රයෝජනයට ගනු ලබන නවීන විද්‍යාත්මක නිෂ්පාදනයෝය.
සාමාන්‍යයෙන් උමඟක දෙකෙළවරින් ම කැණ ගෙන එනු ලැබේ. උමඟ තුළ දී එල්ලය මැන ගැනීම සඳහා වූ උපකරණ දුර්ලභ වූ කාලයන්හි දී එක් කොනකින් කැණගෙන එන පිරිසට අනෙක් කෙළවරින් කැණගෙන එන පිරිස හමු නොවන තරම් වූ අවස්ථා ද විය. සූක්ෂ්ම මිනුම් උපකරණයන් සුලබ මෙකල උමඟක් දෙකෙළවරින් ම නිසි එල්ලය අනුව කැණීම දුෂ්කර නොවේ. කැණීමේ කාර්යය සඳහා බොහෝ විට තිරස් දෝනා මෙන් ම සිරස් දෝනා ද කැණගනු ලැබේ.
උමඟ කැණීමේ දී හෑරෙන පස් ආදි ද්‍රව්‍ය ඉන් පිටතට ඇද දැමීම සඳහා මිනිසුන් වෙනුවට සතුන් යෙදවීම ආදියෙහි දී පවා සිදුවන්නට ඇත. කණිනු ලබන පස් ආදිය පිටතට ඇද දැමීමට මෙන් ම කර්මාන්තයට අවශ්‍ය උපකරණ හා කම්කරුවන් එහා මෙහා ගෙනයාම ආදි ප්‍රවාහණ සේවා සඳහා ද මෙකල සම්පීඩිත වායු බලයෙන් හෝ විදුලි බලයෙන් ක්‍රියා කරන වාහන යොදා ගනු ලැබේ.
උමඟෙහි ඉවුරු දැඩි නොවේ නම් ඊට කිසියම් ආස්තරණයක් දැමීම අවශ්‍ය වේ. මුල් කාලවල දී උමං ඇතුළත ගඩොල් ආදියෙන් බඳිනු ලැබිණි. පසු කාලයේ දී චීනච්චට්ටි ද ඊටත් පසුව කොන්ක්‍රීට් හා බලවර්ධිත කොන්ක්‍රීට් ද මේ සඳහා යොදා ඇත. දැඩි පීඩනය සහිත නළ උමංවල ඇතුළු පැත්ත වානේ තහඩුවලින් නිමවනු ලැබේ. විශේෂයෙන් ම ජලවිදුලි බලය උදෙසා වේගයෙන් ජලය යවන උමංවල අභ්‍යන්තරය වානේ හෝ කොන්ක්‍රීට් යොදා සවීමත් කිරීම අත්‍යවශ්‍යය. උමං තරකසුවක් උපයෝගී කරගෙන උමං කැණීමේ දී ඒ පසු පසින් ම අඩු වශයෙන් මූලික ආස්තරණය වත් සවි කරනු ලැබේ.
භූගත ජලය උමං කර්මාන්තයට බාධාකාරීය. උමං කණින විට තෙතමනය සහිත හෝ දිය කාන්දු වන හෝ ස්ථාන පමණක් නොව මහා උල්පත් පවා හමුවේ. ඇල්ෆ්ස් කඳු හරහා සිම්ප්ලන් උමඟ කණින විට එක ස්ථානයක දී මිනිත්තුවකට ගැලුම් 10,500කටත් වඩා නිකුත් කළ ඇල්දිය උල්පතක් ද තවත් ස්ථානයක දී මිනිත්තුවකට ගැලුම් 2,000ක් පමණ නිකුත් කළ උණු දිය උල්පතක් ද මතු විය. දිය කාන්දු වීම වැළැක්වීම සඳහා දියර බදාම කැවීම, සම්පීඩිත වායුව උපයෝගී කරගැනීම ආදී උපක්‍රම යොදන අතර උමං කාර්ය්යයට බාධාකාරී ජලය පිට කිරීම සඳහා සම්පීඩිත වායු බලයෙන් හෝ විදුලි බලයෙන් ක්‍රියා කරන පොම්ප භාවිතා කරනු ලැබේ.
උමං කැණීමෙහි යෙදෙන්නවුන්හට නිසි සංවාතන පහසුකම් සැලසිය යුතු වේ. ස්ඵෝටක ද්‍රව්‍ය භාවිතය, සමහර විට පොළොවෙහි ගැබ් වී තිබී කැණීම නිසා පිට වන විෂවායු එක්වීම ආදියෙන් උමං තුළ වාතය අපිරිසිදු වන හෙයින් පිරිසිදු වාතය උමං තුළට සැපයෙන උපක්‍රම අත්‍යවශ්‍යය. අතීතයේ දී උමං මුව අසල වූ රුවල් වැනි පංකා විශේෂයකින් උමඟ තුළට පිරිසිදු වාතය සැපයිණැයි ද ඒ තුළ වාත සංසරණයක් ඇති කරන ලදැයි ද සිතිය හැකිය. සංවාතන පහසුකම් සැලසීම උදෙසා නවීන විද්‍යාත්මක නිෂ්පාදන බොහෝ ඇති හෙයින් කණිනු ලබන උමං තුළට මෙන් ම නිම කරන ලද උමං තුළට ද සංවාතන පහසුකම් සැපයීම එතරම් දුෂ්කර නොවේ.
උමං තුළට එළිය සැපයීම ද ආදියෙහි ගැටලුවක් විය. 18 වැනි ශතවර්ෂයේ දී එංගලන්තයෙහි ඩේවි පහන නිපදවන තුරු විශේෂයෙන් ම ආකර කර්මාන්තය සඳහා කණින ලද උමං තුළ පිපිරීම් බහුලව සිදු විය. විදුලි බලය භාවිතයට ඒමෙන් පසුව මෙම ප්‍රශ්න සම්පූර්ණයෙන් ම වාගේ නිරාකරණය වී ඇත.
මිථ්‍යා විශ්වාස උමං කර්මාන්තයන්ට ස්ත්‍රීන් සම්බන්ධ කරගැන්ම අශුභ යැයි විශ්වාසයක් පෙරඅපර දෙදිග ම ඇත. එහෙත් උමං කර්මාන්තයන්ට ආරක්ෂාව සලසනුයේ බාර්බරා නම් මුනිවරියක් යයි බටහිර රටවල විශ්වාසයක් ඇත. උමං කර්මාන්තයන්හි දී බහිරව පූජා පැවැත්වීමෙන් ශුභඵල ලබාගත හැකි යයි විශ්වාසයක් අප අතර තිබේ.
ලංකාවේ උමං කර්මාන්තය උමං ගැන සඳහන් වන ජනප්‍රවාද කොතෙකුත් අප අතර ඇත. උමං හා උමං කර්මාන්තය ගැන කියැවෙන ඉතා ම ප්‍රචලිත සාහිත්‍ය කෘතිය උම්මග්ග ජාතකයයි. ප්රාග්-ඓතිහාසික කාලයන්හි දී සිට ම ලංකාවේ තුබුණු උමං ගැන අසන්නට ලැබේ. මේ උමං අතුරෙහි කොළොන්නට නුදුරු වවුල්පාන ප්‍රසිද්ධය. මෙවැනි උමං අන්තර්භෞම ජල ප්රවාහයන් නිසා පාෂාණ දියවීමෙන් සෑදුණු ඒවා යයි සිතිය හැකිය. ගල්ඔය නිම්නයේ ගෝවින්ද හෙලේ සිට පැරණි රාජමාළිගා භූමියක් යැයි අනුමානයෙන් කියනු ලබන ස්ථානයක් කරා විහිදි උමඟක් ඇතැයි කියති. රාවණා ඇල්ල, බතලේගල, මහඔය ආදි ස්ථානයන්හි මෙවැනි උමං ඇතැයි කියති. වාරිකර්මාන්ත උදෙසා පැරුණියෝ උමං ඉදි කළ බව ඉතිහාසයෙහි සඳහන් වේ. ඌව පළාතේ මෙවැනි උමඟක් ආර්.ඇල්. බ්‍රෝහියර් විසින් සොයාගන්නා ලදි. වීදියේ බණ්ඩාර පෘතුගීසීන් විසින් කොළඹ කොටුවේ සිර කරන ලද අවස්ථාවෙහි ඔහුගේ සූරියදේවී නම් වූ බිසෝ අදහසින්ගේ උපායෙන් ගලිගමුවේ පල්ලරුන් ලවා කෝට්ටේ සිට උමඟක් කණවා ඔහු රහසේ සිරගෙයින් පිට කරගන්නා ලද බව රාජාවලියෙන් හා අලකේශ්වර යුද්ධය නම් කෘතියෙන් ද ක්වේරෝස් නම් පෘතුගීසි ඉතිහාසඥයාගේ වාර්තාවලින් ද හෙළි වෙයි. මෑත කාලයන්හි දී ලංකාවේ දුම්රිය මාර්ග උදෙසා බ්‍රිතාන්‍යයන් විසින් උමං (බිංගෙවල්) ඉදි කර ඇත.
උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටියට නුදුරුව වූ සැතැපුම් 3/4ක් පමණ දිග උමඟ ලංකාවේ දුම්රිය මාර්ගයන්හි පිහිටි උමං අතුරෙහි ඉතා ම දිග උමඟයි. ඉතා ම ගැඹුරේ හාරා ඇත්තේ අලගල්ලේ උමඟය (බිංගේය). උඩරට දුම්රිය මාර්ගයෙහි උමං (බිංගෙවල්) 42ක් තිබේ.
මහපාරවල් සඳහා වූ උමං අතුරෙන් වඩාත් ප්‍රසිද්ධ මහනුවර හල්ඔළුවේ උමඟය. කාපිරි කම්කරුවන් යොදවා බ්‍රිතාන්‍යයන් විසින් ඉදි කරනු ලැබූ මෙම උමඟ 1930 පමණේ දී ගරා වැටිණි. 1958 දී මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු නිම කරන ලදුව දැන් එය ප්‍රයෝජනයට ගනු ලැබේ. ලංකාවේ ජලවිදුලි කර්මාන්ත උදෙසා උමං කැණීම අත්‍යවශ්‍ය විය. 1950 දී නිම කරන ලද ලක්ෂපාන විදුලිබල නිෂ්පාදන කාර්යය උදෙසා අඩි 8,400ක් දිග උමඟක් ද 1958 දී නිම කරන ලද කාසල්රේහි විමලසුරේන්ද්‍ර විදුලි බලාගාරයට ජලය ගෙන ඒම සඳහා සැතැපුම් 4ක් දිග උමඟක් ද 1969 දී පොල්පිටියේ ජලවිදුලි බලාගාරය සඳහා සැතැපුම් 43/4ක උමඟක් ද තනා නිම කර ඇත.
මෙම උමං සියල්ලෙහි වැඩි කොටස දැඩි පස් සහිත පෙදෙස් ඔස්සේ හාරා ඇත. පොල්පිටියේ උමඟෙහි සමහර කොටස්වල හැර අනෙක් උමං සැමෙකක ම ඇතුළු පැත්ත වානේවලින් හෝ කොන්ක්‍රීට්වලින් සවිමත් කර ඇත.
මෙරට ජලවිදුලි බලය නිපදවීම වැඩි දියුණු කිරීමේ වැඩ පිළිවෙළ යටතේ ප්‍රධාන වශයෙන් මහවැලි, කැලණි හා ඉහළ වලවේ නිම්නයන්හි උමං කීපයක් ම කැණීමට සිදු වනු ඇත. මහවැලි ගඟ පොල්ගොල්ලෙන් හරවා සුදු ගඟට ජලය යැවීම සඳහා ඉදි කිරීමට නියමිත සැතැපුම් 5ක් දිග උමඟෙහි වැඩ කටයුතු දැනට මත් අරඹා ඇත.
උමං කැණීමේ ශිල්පක්රම අනුව ඉදි කරනු ලැබූ සොරොවු දෙකක් ද ඇත. ඒ කන්තලේ දකුණු ඇළ සොරොව්ව හා මින්නේරි වැවේ ජයන්ති සොරොව්වය. පැරණි ක්‍රම අනුව ඉදි කරන ලද කුඩා උමං කීපයක් ඇතත් තරකසුවක් උපයෝගී කරගෙන ඉදිකරනු ලැබූ එක ම උමඟ අඹේවෙල ජලාශ ක්‍රමය සඳහා වූ උමඟයි. මෙම තරකසුව බලවර්ධිත වානේවලින් සෑදු, අඩි 8ක් දිග අඩි 8ක විෂ්කම්භයෙන් යුත්, විවෘත සිලින්ඩරයකින් නිම කරගන්නා ලද්දක් විය. මෙම උමඟෙහි අභ්‍යන්තරය පෙරවාත්තු කොන්ක්‍රීට් කොටස් දමා සැකසුණු ආස්තරණයකින් සවිමත් කරනු ලැබීය. බොරගස් නිම්නයේ කුඹුරුවලට ජලය සැපයීම උදෙසා අඹේවෙල ජලාශයේ සිට අඹේවෙල ඔයට දිය හැරවීමට මෙම උමඟ සාදා ඇත. මෙය පිහිටා ඇත්තේ අඹේවෙල දුම්රියපොළට යටිනි.
විශේෂයෙන් ම ලංකාවේ මිනිරන් පතල් කර්මාන්තයේ දී දෝනා කණිනු ලබන්නේ උමං කණින ආකාරයට මය. ලම්බාකාර පතුවළවල් ඔස්සේ ගොස් හාරනු ලබන දෝනාවන්හි අභ්‍යන්තරය කිතුල්, හොර ආදි දැව කොටවලින් මුක්කු ගසා ආරක්ෂා කරගනු ලැබේ. ලංකාවේ පතල්වල ප්‍රධාන වශයෙන් උවදුරු ඇති වනුයේ ජලයෙනි.
(කර්තෘ: ඩී.ඇල්.ඕ. මැන්ඩිස්)
(සංස්කරණය: 1970)