උමයියද්

සිංහල විශ්වකෝෂය වෙතින්
15:19, 16 දෙසැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මහමත්තුමාගේ ඇවෑමෙන් ක්‍රි.ව. 632 දී ඇරඹුණු කාලිප...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මහමත්තුමාගේ ඇවෑමෙන් ක්‍රි.ව. 632 දී ඇරඹුණු කාලිප්වංශය බලයෙන් පහ කොට 661 දී බලය ලබාගත් කාලිප්වංශයයි. උමයියද් යනු මක්කම පාලන බලය ලැබ සිටි බලවත් අරාබි වංශයකි. මෙම වංශයේ කාලිප්වරු ක්‍රි.ව. 661 සිට ක්‍රි.ව. 750 දක්වා අරාබි අධිරාජ්‍යය පාලනය කළහ.

ප්‍රථම උමයියද් කාලිප්වරයා වූ මු’ආවියාගේ විසිවසක් පමණ වූ පාලන කාලය අරාබි ඉතිහාසයෙහි වැදගත් යුගයකි. බලයෙහි සිටින කාලිප්වරයා ඇවෑමෙන් එම තනතුරට පත් විය යුතු තැනැත්තා තේරීම සඳහා නිශ්චිත ක්‍රමයක් නොවූ හෙයින් දේශපාලන වියවුල් නිරන්තරයෙන් ම හටගන්නා බව මු’ආවියාට පෙනී ගියේය. එසේ හෙයින් අනුප්‍රාප්තිකයකු පත් කිරීමේ සම්ප්‍රදායක් ආරම්භ කළ යුතු බව කල්පනා කළ හේ යෂීද් නමැති පුත්‍රයා තම අනුප්‍රාප්තිකයා ලෙස පත් කෙළේය. ප්‍රධාන නගරවලින් යෂීද්ට පක්ෂපාතිත්වය දක්වා නියෝජිත පිරිස් පැමිණියහ. මු’ආවියා යෂීද් හා සමඟ මෙදීනා, මක්කම ආදි නගරවල සංචාරය කරමින් ඒවායේ වැසියනට යෂීද්ගේ පත් කිරීම ඔවුන්ගේ අකමැත්ත මධ්‍යයේ ම පිළිගන්වන ලද බව ද කියැවේ. ඔහු ඇරඹූ අනුප්‍රාප්තිකයා තේරීමේ මෙම සම්ප්‍රදාය අබ්බසිද් යුගයේ දී ද දක්නට ලැබිණි.

කාලිප්වරයා ලෙස මු’ආවියා පත්වීමත් සමඟ ම ඔහුට දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු විය. අධිරාජ්‍ය පාලනය කේන්ද්‍රගත නොවී තිබීම නිසා එහි අස්ථාවර බවක් ද පැවැතිණි. මෙම දුෂ්කරතා මඟහැරවීම පිණිස ඔහු කෙළේ ඉස්ලාම් ආගමික බලපෑමෙන් බෙහෙවින් ම ඈත් වූ ලෞකික ආණ්ඩු ක්‍රමයක් බිහි කිරීමය. මේ නිසා ම පශ්චාත්කාලීන අරාබි ඉතිහාසඥයන් උමයියද් පරපුරේ පාලකයන් හැඳින්වීමේ දී කාලිප්වරයා යන්න යෙදීමට අකමැති වූ බවත් ඒ වෙනුවට රජු යන අර්ථවත් පදයක් යොදා ඇති බවත් පෙනේ යයි බර්නාඩ් ලුවිස් නම් ඉතිහාසඥයා දක්වා ඇත. මු’ආවියා හා ඔහුට පසුව ආ උමයියද් වංශික කාලිප්වරු ආගමික අංශයට වඩා දේශපාලන හා ආර්ථික අංශයන් වැදගත් කොට සැලකූහ. එහෙත් ඔවුන් විසින් ආගමික අංශය නොසලකා හරින ලද්දේ නොවේ. මු’ආවියා බයිසන්ටයින්වරුනට පහර දී ජය ගැනීම ඉස්ලාම් ආගමික නායකත්වය හා වැසියන්ගේ පක්ෂපාතිත්වය ලබා ගැනීමට ඔහුට උපකාරි විය.

අරාබි අධිරාජ්‍යයෙහි ස්ථාවරත්වය අපේක්ෂාවෙන් ඔහු අනුගමනය කළ තවත් ක්‍රියාමාර්ගයක් වූයේ එහි අගනුවර සිරියාවේ දමස්කස් නගරයට මාරු කිරීමයි. එය එතැන් සිට උමයියද් යුගය තුළ අධිරාජ්‍යයෙහි අගනුවර වශයෙන් පැවැත්තේය. ඔහු දවස අධිරාජ්‍යය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ගියේය. මධ්‍යම ආසියාවේ දී අරාබීහු හීරාත්‚ කාබුල්, බොඛාරා යන ප්‍රදේශ අල්ලා ගත්හ. උතුරු අප්‍රිකාවේ දී ඔව්හු අත්ලන්තික් සාගරය දක්වා බටහිර දෙසට ගමන් ගත්හ. බයිසන්ටයින්වරුනට විරුද්ධව කළ යුද්ධ නොනවත්වා ම කරගෙන යන ලදි. ඒ අතර නාවික හමුදාවක් ද ඇති කර ගැනීම එම යුද්ධ කාර්යයන් සාර්ථක කර ගැනීමට ඉවහල් විය. ක්‍රි.ව. 670 පමණේ දී හෙතෙම කොන්ස්තන්තිනෝපලයට පහර දුන් නමුත් එය අසාර්ථක වූ ප්‍රහාරයක් සේ සැලකේ. ඔහු ඉන්දියාවේ සින්ධ් පෙදෙස ආක්‍රමණය කිරීමට හමුදාවක් යැවුව ද එය ද නිෂ්ඵල විය. මු’ආවියා ක්‍රි.ව. 680 දී පමණ මිය ගියේය.

ඔහුගේ ඇවෑමෙන් කාලිප් තනතුරට යෂීද් පත් වූයේ දැඩි අරගළවලින් තොරවය. දක්ෂ පාලකයකු වූ ඔහුට පියාගේ ආභාසය ලැබී තිබිණ. ඉරාකයේ උද්ගතව ආ සිද්ධි ඔහුට කරදරකාරි විය. මෙදීනා‚ කූ‍ෆා වැනි පෙදෙස්වල කැරලි පැන නැඟිණි. උමයියද් වංශිකයනට පෙර සිටි කාලිප්වරයා වූ අලිගේ පුත් හුසේන්ගේ මූලිකත්වයෙන් ඇති වූ කැරැල්ලක් ක්‍රි.ව. 681 දී කර්බලා සටනින් මැඩලන ලදි. දේශපාලන වශයෙන් මෙම සටනින් ආසන්න කාලීන ප්‍රතිඵල ඇති නොවුව ද පසු කාලය වන විට එහි බලපෑම් දක්නට ලැබිණැයි යනු ඇතැම් පඬිවරුන්ගේ අදහසයි. අවුරුදු තුනකට සීමා වූ ඔහුගේ පාලන කාලය තුළ දී ශීයවාදයේ මධ්‍යස්ථානය වූයේ කූෆා ප්‍රදේශයයි. ශීයවාදීහු උමයියද් පාලකයන් කාලිප්වරුන් ලෙස පිළිගැනීමට මැළි වූහ. එහෙයින් මෙම පරපුරේ පාලන සමය තුළ දී කූ‍ෆා ප්‍රදේශය බොහෝ සෙයින් වියවුල් සහිත විය.

යෂීද්ගේ ඇවෑමෙන් කාලිප්වරයා ලෙස පත් වූයේ දෙවන මු’ආවියායි. හය මාසයකට සීමා වූ ඔහුගේ පාලන කාලයෙන් පසුව අඳුරු කාල පරිච්ඡේදයක් ආරම්භ වූ සේ සැලකේ. අරාබි ගෝත්‍රයන් අතර ද වියවුල් පැනනැඟිණි. ඉස්ලාම් භක්තිකයන් අතර දෙවැනි සිවිල් යුද්ධය ඇති වූයේ ද මේ කාලය තුළ දීය. සිරියාවේ එකිනෙකාට විරුද්ධ අරාබි ගෝත්‍ර අතර හටගත් ගැටුම් ක්‍රි.ව. 684 දී උමයියද්වරුනට වාසි වන අයුරින් අවසන් විය. උමයියද් වංශයෙහි අන්‍යතර ශාඛාවකට අයත් මර්වාන් නමැත්තා සිරියාවේ හා මිසරයේ කාලිප්වරයා වශයෙන් පත් විය (684-85). මිය යාමට පෙර හෙතෙම තම පුත් අබ්ද්-අල්-මලික් (685-705) අනුප්‍රාප්තිකයා ලෙස පත් කෙළේය. ඔහු කාලිප් තනතුරට පත් වන සමයෙහි දී අරාබි අධිරාජ්‍යයෙහි එක්සත්භාවය ලිහිල් වෙමින් පැවතිණි. මු’ආවියා විසින් ආරම්භ කරන ලද කාර්ය සංවිධානයන් යථාතත්වයට පත් කිරීමටත් අධිරාජ්‍යයෙහි එක්සත්භාවය ඇති කිරීමටත් ඔහුට සිදු විය.

ඔහුගේ පාලන කාලය ‍‍බෙහෙවින් ම ගත වූයේ උතුරු දේශසීමාවේ සාමය ඇති කිරීමට හා බයිසන්ටයින් අධිරාජ්‍යය හා ගිවිසුමක් ඇති කර ගැනීමටත්ය. ක්‍රි.ව. 690 පමණ වන විට ඔහු තම දුෂ්කරතා හා ගැටලු ආදියට මුහුණ දිය හැකි තත්වයකට පත්ව සිටියේය. නව සංවිධානයක් ඇති කරගැනීම ඔහුට මුහුණ පෑමට සිදු වූ එක් ගැටලුවක් විය. මේ සඳහා පාලනය හැකි තරම් දුරට මධ්‍යගත කිරීමටත් සිරියානු යුද හමුදාව කෙරෙහි බලය රැඳවීමටත් ඔහු අදහස් කෙළේය. එතෙක් ඇතැම් ප්‍රාන්තවල පැවති පැරණි බයිසන්ටයින් හා පර්සියානු පාලන ක්‍රමය වෙනුවට නව අරාබි අධිරාජ්‍ය පාලන ක්‍රමයක් ඔහු දවස අරඹන ලදි. අරාබි භාෂාව රාජ්‍ය භාෂාව වශයෙන් ඔහු යොදා ගත්තේය. ක්‍රි.ව. 696 දී එතෙක් පැවති බයිසන්ටයින් හා පර්සියානු කාසි වෙනුවට අරාබි කාසි නිකුත් කිරීම ද ඇරඹූ හෙතෙම සිය අනුප්‍රාප්තිකයා හට සාමකාමී වූත් විශාල වූත් අධිරාජ්‍යයක් ඉතුරු කොට තබා 705 දී මිය ගියේය.

ඉන් පසුව කාලිප්වරයා වූයේ වාලීද්ය (705-715). ඔහුගේ පාලන සමය කිහිප අතකින් ම උමයියද් බලයේ උසස් අවස්ථාවක් පෙන්නුම් කරන්නකි. එහි ලා වැදගත් ම සිද්ධි නම් එකල නැවත අරඹන ලද යුද්ධ ව්‍යාපාර හා ප්‍රදේශ ව්‍යාප්තියය. ඔහු දවස අරාබි අධිරාජ්‍යයේ බලය මධ්‍යම ආසියාවේ බොඛාරා හා සමර්ඛාන්ද් ද ඉන්දියාවේ පෙදෙසක් වූ සින්ධ් ද අයිබීරියානු අර්ධද්වීපයේ විශාල කොටසක් ද තුළ පතුරුවාගත හැකි විය. වාලීද් දක්ෂ කාලිප්වරයකු ලෙස සැලකේ.

ඔහු ඇවෑමෙන් සුලෙයිමාන් I (715-717) කාලිප් තනතුරට පත් විය. ඔහුගේ පාලන කාලයේ දී අරාබීන් කොන්ස්තන්තිනෝපලයට පහර දුන් නමුත් ඔවුන්ට සාර්ථක ප්‍රතිඵල ලබාගත නොහැකි විය. එයින් උමයියද් බලයට තර්ජනයක් එල්ල වූයේ සිරියානු නාවික හා පාබල හමුදාවන් මුළුමනින් ම වාගේ විනාශයට පත් වූ හෙයිනි. මෙබඳු තීරණාත්මක අවස්ථාවක සුලෙයිමාන් ඊළඟ කාලිප්වරයා ලෙස උමර්-ඉබ්න්-අබ්ද්-අල්-අසීස් (717-720) නම් කෙළේය.

උමයියද් පරපුරේ බලය විනාශය කරා ගමන් කරමින් තිබූ අවධියක බලයට පත් වූ උමර් අරාබිවරුන් අතර එක්සත්බවක් ඇති කොට අරාබි අධිරාජ්‍යය රැක ගැනීමට අදහස් කෙළේය. ආදායම් පිළිබඳව ඔහු විසින් කරන ලද සංශෝධන වැදගත් සේ සැලකේ. එම කාලිප්වරයාගේ ඇවෑමෙන් දෙවන යෂීද් (720-724) ද හිෂාමි (724-743) ද පිළිවෙළින් බලයට පත් වූහ. යෂීද්ගේ පාලන සමය කැරලිවලින් යුත් කාල පරිච්ඡේදයක් විය. අරාබි ගෝත්‍රයන් අතර ඇති වූ ගැටුම් නිසා තත්වය තවදුරටත් නරක් විය. ඔහුගේ ඇවෑමෙන් ඔහු සොහොවුරු හිෂාමි බලයට පත් වන විට අරාබි අධිරාජ්‍යය තව තවත් පරිහාණිය කරා ගමන් කරමින් තිබිණ. ඔහු දක්ෂ පාලකයකු සේ සැලකුණ ද අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීමට ඔහුට අවස්ථාවක් නොලැබිණ. විසි අවුරුද්දක පමණ පාලන කාලයකින් පසුව ඔහු මියගිය කල්හි දෙවන යෂීද්ගේ පුත් දෙවන වාලිද් කාලිප් තනතුරට පත් විය. මාස කිහිපයකට පසුව පළමුවන වාලීද්ගේ පුතා විසින් හෙතෙම ජීවිතක්ෂයට පමුණුවන ලදි. දෙවන වාලීද්ගේ මරණයත් සමඟ ම උමයියද් පරපුරේ කීර්තිය ද අවසාන වී යැයි රිචඩ් කෝක් නම් ඉතිහාසඥයා සඳහන් කරයි.

ඔහුගේ මරණය සඳහා කුමන්ත්‍රණය කළ පළමුවන වාලීද්ගේ පුත් තෙවන යෂීද් ඉන් පසු කාලිප් තනතුරට පත් විය. ඔහුගේ කාලය තුළ දී පාලනය දුර්වල වෙමින් පැවති අතර ඈත පෙදෙස් මධ්‍ය පාලනය කෙරෙහි තිබූ ගැතිබැවින් මිදීමට සැරසීමෙහි ලකුණු දක්නට ලැබිණ. ස්පාඤ්ඤයේ අමීර්වරු කප්පම් ගෙවීම නැවැත්වූහ. අප්‍රිකාවේ ආණ්ඩුකාරයා ස්වාධීනත්වය ප්‍රකාශ කොට රාජකීය උපාධි නාම ද යොදාගත්තේය. ඉන්දියානු පෙදෙස්වල කැරලි ද ඛුරාසානයේ වියවුල් ද පැනනැඟිණි. හමසක් පමණ වූ කෙටි පාලන කාලයකින් පසුව හෙතෙම මිය ගියේය. ඔහු විසින් තම අනුප්‍රාප්තිකයා ලෙස පත් කරන ලද්දේ ඔහුගේ සොහොවුරු ඊබ්‍රහිම් නමැත්තායි. කාලිප්වරයා වශයෙන් ඊබ්‍රහිම්ගේ බලය පිළිගැනුණේ සිරියාවේ පමණකැයි කියනු ලැබේ. දෙවන වාලීද් කාලිප්වරයා මරාදැමීම නිසා කෝපයට පත්ව සිටි ඔහුගේ ඥාතීන්ගේ මූලිකත්වය ඇතිව මර්වාන් නමැත්තකු විසින් ඊබ්‍රහිම්ගේ මරණයෙන් පසු එම තනතුර දෙවන වාලීද්ගේ පුත්‍රයන්ට හිමි විය යුතු යැයි ප්‍රකාශ කරන ලද නමුත් තෙවන යෂීද්ගේ අනුගාමිකයන් විසින් එම කුමරුවෝ මරන ලදහ. එහෙයින් කාලිප් තනතුරට සුදුස්සා තමා යයි අනතුරුව දෙවන මර්වාන් ප්‍රකාශ කොට සිටියේය.

උමයියද් පරපුරේ අවසාන කාලිප්වරයා වූයේ දෙවන මර්වාන්ය (744-750). දක්ෂ යුද්ධ නායකයකු මෙන් ම විවක්ෂණ පාලකයකු සේ ද සැලකෙන ඔහුගේ පාලන සමයෙහි හැම අතින් ම අවුල්වියවුල් පැන නැඟ එමත් පරපුරේ අවසානය ළඟා වීමත් දැක්ක හැකිය. හෙතෙම දමස්කස් නගරය හැරපියා උතුරු ඉරාකයේ හාරාන් නගරය අගනුවර කරගත්තේය. මින් සිදු වූයේ උමයියද්වරුන්ගේ බලයට මහත් රුකුලක්ව සිටි සිරියානුවන්ගේ සහාය ද අහිමි වී යාමයි. රුකුල් ලැබෙනු වෙනුවට ඉන් පසු සිරියාවේ ද කැරලි ඇති විය. නොබෝ කලකින් ම ඛුරාසානය, මධ්‍යම ආසියාතික ප්‍රදේශ හා පර්සියාව ද ස්වාධීන පෙදෙස් බවට පත්විය. මෙසේ අධිරාජ්‍යය ආරක්ෂා කරගැනීම දුෂ්කර වත් ම අබු මුස්ලිම් නමැත්තකුගේ නායකත්වය ඇතිව දේශීය මුස්ලිම්වරු එය තම වාසියට හරවා ගත්හ. අවසානයේ දී ඉරාකය කරා සේනා මෙහෙයවමින් සිටි දෙවන මර්වාන් අබු මුස්ලිම් අතින් පැරදී පළමුව සිරියාවටත් දෙවනුව මිසරයටත් පලාගියේ එහි දී මළේය. ඔහුගේ ඇවෑමත් සමඟ ම උමයියද් පරපුර අවසානය කරා පැමිණියේය. ඉන් පසුව අබ්බාසිද් (බ.) පරපුර බලයට පත්වීම ඉස්ලාම් ඉතිහාසයේ විප්ලවයක් සේ සැලකේ. උමයියද් වංශයට අයත් එක් කුමරෙක් ස්පාඤ්ඤයට පලා ගියේය. කොර්දෝවා කාලිප්වංශය ඇරඹු‍ණේ ඔහුගෙනි. අටවැනි සියවසේ මැද භාගයේ දී උමයියද්වරුන්ගේ බලය අබ්බාසිද්වරුන් අතට පත්වීමත් සමඟ ම ඉන්දියාවේ පැවති ඉස්ලාම් බලය ශීඝ්‍රයෙන් පිරිහී ගියේය. අරාබිවරුනට සින්ධ් පෙදෙසින් කොටසක් පමණක් වුව ද ලබාගත හැකි වූයේ බොහෝ දුෂ්කරතා මධ්‍යයේය.

මෙම ප්‍රථම අරාබි අධිරාජ්‍යයෙහි දේශපාලන හා සාමාජික තොරතුරුවලින් අප දන්නේ ස්වල්පයක් පමණි. එම පාලනය කාලිප්වරයා ප්‍රධාන කොට ගෙන කැරුණු එකකි. අබ්දුල් මලික් හා පළමුවන වාලීද් වැනි ඇතැම් කාලිප්වරු කාලිප් තනතුරේ ප්‍රෞඪත්වය වඩාත් උසස් කොට දැක්වීමට තැත් කළහ. විවිධ ක්‍රීඩා හා ලලිත කලා කාලිප්වරුන්ගේ විනෝද කාර්ය අතර විය. කාලිප්වරු පාලනයෙහි පමණක් නොව ආගමික ජීවිතයෙහි ද මූලිකත්වය ඉසුලූහ. ප්‍රධාන පල්ලියෙහි යාච්ඤාවන් මෙහෙයවීම ද කාලිප්වරයකු සතු කාර්යයක් විය. පාලන පහසුව සඳහා අධිරාජ්‍යය කොටස්වලට බෙදා තිබිණි. එය ඊට පූර්වයෙහි වූ බයිසන්ටයින් හා පර්සියානු අධිරාජ්‍යවල පාලන ක්‍රමයට සමාන විය. ප්‍රතිරාජවරුන් පස්දෙනකු පමණ සිටි බව කියැවේ. ප්‍රතිරාජයා තමා යටතෙහි පැවති ප්‍රදේශයෙහි දේශපාලන හා යුද්ධ කටයුතු භාරව ක්‍රියා කෙළේය. ආදායම් භාරව කටයුතු කළ වෙන ම නිලධාරියෙක් විය. බදු ගෙවීම්, ගනුදෙනු කිරීම් ආදි ආර්ථික කටයුතු මුදලින් මෙන් ම භාණ්ඩ හුවමාරුවෙන් ද සිදු කැරුණු බවට සාධක තිබේ. යුද හමුදා සංවිධානය ද බයිසන්ටයින් ක්‍රමයට සමාන විය. උමයියද්වරුන් යටතෙහි විශාල යුද හමුදාවක් සිටි බව නිසැකය. ඔවුන්ගේ නාවික හමුදාව යුද්ධ බලය වර්ධනය වීමට හේතු විය. මෙම පරපුරේ කාලිප්වරුන් සාහිත්‍යය, සංගීතය වැනි ලලිත කලාවන්ගේ දියුණුව සඳහා ආධාර දුන් බවට ද සාධක ඇත. රාජකීය කාන්තාවනට සෑහෙන තරම් නිදහසක් භුක්ති විඳීමට හැකි වූ බව පෙනේ. අන්තඃපුර ක්‍රමය දෙවන වාලීද් දවස සිට පැවති බව පැහැදිලිව ම පෙනේ.

අධිරාජ්‍යය පුරා විසිරී සිටි ජනගහනය සමාජ කොටස් වශයෙන් සතරකට බෙදිණ. පාලනය කරමින් සිටි කාලිප්වරයාගේ ඥාතීන් හා රදල පෙළැන්තිය පළමුවැනි කොටසට ද ඉස්ලාම් ධර්මය වැළඳගත් නව මුස්ලිම්වරු දෙවැනි කොටසට ද ආගමික සහනය ලැබ සිටි ක්‍රිස්තියානි, යුදෙව් වැනි පිරිස් තෙවැනි කොටසට ද සමාජයේ පහත් ම කොටස සේ සැලකුණු වහල්ලු සිව්වැනි කොටසට ද අයත් වූහ.

මු’ආවියා වැනි ඇතැම් කාලිප්වරුන් අතීත සිද්ධීන් ඇසීමට දැක්වූ රුචිය නිසා ඓතිහාසික පොතපත ලිවීම ද මෙකල ඇරඹිණැයි පී.කේ. හිට්ටී නම් ඉතිහාසඥයා දක්වා ඇත. කාව්‍යය, නාට්‍යය, සංගීතය වැනි කලාවන් කෙරෙහි පමණක් නොව ඉස්ලාම් පල්ලි ගොඩනැංවීම හා සම්බන්ධ වූ ගෘහ නිර්මාණ කලාව කෙරෙහි ද උමයියද් කාලිප්වරු සිය අවධානය යොමු කළහ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උමයියද්&oldid=9486" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි