උමා

සිංහල විශ්වකෝෂය වෙතින්
15:41, 16 දෙසැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(පාර්වති; දුර්ගා). හින්දු දේවකථාවලට අනුව ඊශ්වර...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(පාර්වති; දුර්ගා). හින්දු දේවකථාවලට අනුව ඊශ්වර දෙවියන්ගේ භාර්යාවයි. ඇයගේ පියා හිමාලය කඳුකරයට අධිපති හිමවත් දෙව් රජය. මව මේනකා නම් අප්සරාවයි. ඇයගේ නම පළමු වරට සඳහන් වන්නේ කේන උපනිෂද් ග්‍රන්ථයෙහිය. එහි ඇය බ්‍රහ්මයා හා සෙසු දෙවියන් අතර නොයෙක් කටයුතුවල දී මැදහත් වන දෙවඟනක සේ හැඳින්වෙයි.

උමා යනු ‘ආලෝකය’ යන අර්ථය ගෙන දෙන ශබ්දයකි. ඇයට මේ නම ඇති වූ හැටි සම්බන්ධයෙන් නොයෙක් මත පවතී. ඊශ්වර වාචී උ යන්න ද මාන වාචී මා යන්න ද එකතු වීමෙන් එය සැදිණැයි ද ඊශ්වරයා ප්‍රමාණ කරන දිව්‍යාංගනාව යන අර්ථය එහි ඇතැයි ද යනු ඇතැමකුගේ අදහසයි. ඊශ්වර පතා තපසට වන් කල්හි ‘උ, මා’ (එම්බා දරුව, එපා) යි ඇගේ මව විසින් වළක්වන ලද හෙයින් එනම් වී යයි තවත් අයෙක් පවසති.

ඊශ්වර දෙවියන්ගේ ස්ත්‍රී ශක්තිය පිළිබිඹු කරන මේ දෙවඟනට ශාන්ත ස්වරූපයක් ද භීම ස්වරූපයක් ද ඇති බව දැක්වෙයි. ඒ ශාන්ත ස්වරූපය ප්‍රකාශ වන්නේ උමා (ආලෝකය), ගෞරී (දිමුතු හෝ සුදු දෙවඟන), පාර්වතී (ගිරි දුව), හෛමවතී (හිමවතුගේ දුව), ජගන්මාතා (ලොවේ මව), භවානී (පැවැත්ම) ආදි නම්වලිනි. ඇගේ ශාන්ත ස්වරූපය උදෙසා පැවැත්වෙන පූජා අතුරින් ජගන්මාතා උත්සවය ප්‍රධානයි. භීම ස්වරූපය ප්‍රකාශ වන්නේ දුර්ගා (නොළංවිය හැකි තැනැත්තිය), කාලී, ශ්‍යාමා (කාලවර්ණ තැනැත්තිය), චණ්ඩී හෙවත් චණ්ඩිකා (රෞද්‍ර ස්වභාව ඇත්තිය), භෛරවී (භීෂණ තැනැත්තිය) යනාදි නම්වලිනි. රහස්‍ය ලක්ෂණවලින් යුත් පූජෝත්සව ද දුර්ගා පූජා, චරක් පූජා වැනි උත්සව ද බිලි පූජා ද පවත්වනුයේ රෞද්‍ර ස්වභාවය ගත් මේ දෙවඟනගෙන් යස ඉසුරු ලබාගැනීම සඳහාය. ඒ ස්වරූපය ගත් ඇයට අත් දසයකි. දුර්ගාව සේ පෙනී සිටින කල්හි ඇයට ව්‍යාඝ්‍ර වාහනයක් වෙයි. කාලිය සේ පෙනී සිටින කල්හි ඕ අතිශයින් කාලවර්ණය; ඇයගේ මුහුණ භයානකය; මුවින් ලේ වැගිරේ; ගෙලෙහි මිනී හිස්කබලින් සැදුණු මාලයකි; නාගයෝ ඇගේ සිරුර වෙළා සිටිති.

අසුරයනට විරුද්ධව පෑ වික්‍රම හේතුකොටගෙන ඇයට හිමි වූ දුර්ගා, දශභුජා, සිංහවාහිනී, මහිෂමර්දිනී, ජගද්ධාත්‍රී, කාලී, මුක්තකේශී, තාරා, ඡින්නමස්තිකා, ජගද්ගෞරී යන නම් චණ්ඩීමාහාත්ම්‍යයේ දැක්වෙයි. ඇයගේ උත්පත්තිය, ශරීර ලක්ෂණ, ස්වභාවය ආදියත් ස්වාමි පුරුෂයාත් මුල් කොටගෙන ඇති වූ තවත් නම් පනසකට අධික සංඛ්‍යාවක් ද වෙයි.

ඇයගේ සැමියා වූ ඊශ්වරයා විසින් තාණ්ඩව නාට්‍යය ලොවට බිහි කරන ලදැයි ද ඇය විසින් ලාස්‍ය නාට්‍ය විලාසය බිහි කරන ලදයි ද කියනු ලැබේ. කෛලාස කූටයෙහි පතිපූජිකාවක ලෙස වෙසෙන ඕතොමෝ කාර්තිකේය, ගණේශ යන දෙවිවරුන්ගේ මවය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උමා&oldid=9488" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි