උම්මග්ග ජාතකය

සිංහල විශ්වකෝෂය වෙතින්
08:32, 18 දෙසැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ජාතකපාළියෙහි සඞ්ගීති පරිපාටියෙහි මහ නිපාතයට...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජාතකපාළියෙහි සඞ්ගීති පරිපාටියෙහි මහ නිපාතයට අයත් දශජාතකයන් අතුරෙහි නවවැන්නයි. එය ගාථා තුන්සියයකට අධික දේශනාපාළියෙන් හා තත්කථා ප්‍රතිබද්ධ වූ අර්ථකථාපාළියෙන් සමන්විත වෙයි. පන්සියපනස් ජාතකකථාවන් අතුරෙහි විශාලතම වූයේ උම්මග්ග ජාතකයයි. වෙස්සන්තර ජාතකය පවා ප්‍රමාණයෙන් මීට වඩා මඳක් කුඩා වෙයි. ජනාදරය දිනාගත් ජාතකකථාවන් අතුරෙහි උම්මග්ග ජාතකය මුල්තැන් ගනී. මහෞෂධ පඬිව උපන් බෝසතුන්ගේ අතිවිශිෂ්ට වූ චරිතාපදානය උම්මග්ග ජාතකයෙහි සංග්‍රහ වෙයි. බෝසතුන්ගේ ප්‍රඥානුභාවයෙන් නිමවන ලද ගව්වක් පමණ වූ කුඩා උමඟ හා සතරගවු පමණ වූ මහඋමඟ යයි කියන ලද අනුපම ලක්ෂණයෙන් සමන්විත වූ භූගර්භ මාර්ග නිමිති කොටගෙන කථාවස්තුව ‘උම්මග්ග ජාතක’ නම් විය.

ජාතකකථාවස්තු සිංහල බෞද්ධ ජනතාවට අතිශයින් ප්‍රිය විය. විධුර, උම්මග්ග, වෙස්සන්තර ආදි ජාතක ගණනක් ම ගද්‍යපද්‍යාදි වශයෙන් වරින් වර සිංහලට නැඟී ආයේ මේ හේතුයෙනි. අර්ථකථාචාර්‍ය්‍ය බුද්ධඝෝෂ තෙරණුවන් විසින් පෙළබසට නගාලූ අටුවා සහිත ජාතකකථා කුරුණෑගලපුර රාජධානි කොට ලක්දිව රජ පැමිණි පණ්ඩිත පරාක්‍රමබාහු මහරජාණන්ගේ (1236-70) ඇමැති වූ පරාක්‍රම නම් අමාත්‍යයාණන්ගේ ආරාධනයෙන් ‘වීරසිංහ ප්‍රතිරාජ’ නම් ඇමැති සත්පුරුෂයා විසින් මිශ්‍ර සිංහල භාෂාවට නඟා ලියන ලදැයි දැක්වෙන උම්මග්ග ජාතකය සිංහල ජාතකපොතෙහි අන්තර්ගතව ඇත.

උම්මග්ග ජාතකයෙහි කථාවස්තුව පැතිරී ගියේ බෝසත් මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥාමහිමය විදහා දක්වන විවිධ ප්‍රශ්න විසඳුම්වලිනි. එහි මාංසප්‍රශ්නයෙහි පටන් රථප්‍රශ්නය දක්වා ඇති ප්‍රශ්න සත විසඳන ලද්දේ ළදරු බෝසතුන් විසිනි. එහෙයින් ජාතකට්ඨකථායෙහි ඒ හඳුන්වන ලද්දේ දාරක ප්‍රශ්න යන නමිනි. එතැන් සිට මණිප්‍රශ්නය දක්වා ඇති සියලු ම එකුන්විසි පැන විසඳුම් හේතුකොටගෙන බෝසතුන්ගේ ප්‍රඥාපාටවය මුළු දඹදිව පැතිර ගියේය. මෙණ්ඩකප්‍රශ්නය ශාස්ත්‍රඥානයට විෂය නොවන තැනකි. සහජ බුද්ධියෙන් උපායාන්තර යොදා එය විසඳූ බව පෙනේ. තර්කය ඇසුරු කොට වාදප්‍රතිවාදයෙන් සේනක පණ්ඩිතයන් පරාජය කළ සැටි දැක්වෙන සිරිමන්දප්‍රශ්නය උම්මග්ග ජාතකයෙහි ඉතා අගය කළ යුතු තැනකි. ජන්නපථප්‍රශ්නයෙහි පටන් පඤ්චපණ්ඩිතප්‍රශ්නය දක්වා ඇති කොටසින් බෝසතුන්ගේ ජීවිතය පිළිබඳ විවිධ අවස්ථා ප්‍රකාශ වෙයි.

කේවට්ටයා හා චූලනීබ්‍රහ්මදත්ත රජුගේ කුමන්ත්‍රණය බිඳපියා එක්සියයක් රජුන් මරණින් මුදාලීම, බෝසතුන් තම ස්වාමි වූ වේදේහ රජුට බඹදත් රජුගේ දූ කුමරිය සරණ පාවා දීම ආදි වශයෙන් උම්මග්ග ජාතකයෙහි එන විචිත්‍ර කථා ප්‍රවෘත්තිය බෞද්ධයන් අතර අතිශයින් ප්‍රකටය.

උම්මග්ග ජාතකය ජාතකට්ඨකථායෙන් පරිවර්තිත නමුදු ජාතකකථාවට හානි නොවන පරිදි උපමා ආදිය යෙදීමෙන් කථාව රස ගන්වමින් ස්වෛරීව රචනා කරන ලද්දේය. “මහාරාජ, මයි අජානන්තෙ කො ජානිස්සති” යන ජාතකට්ඨකථාපාඨය “දේවයන් වහන්ස, මා පැනය නොදක්නා කල අනික් කවරෙක් දකී දැයි වැදූවන් ඉදිරියේ කොළොම්බු ලන්නා සේ බෝධිසත්වයන් මධ්‍යයෙහි තමාගේ වියත්කම් අඟවා” යනුවෙන් පෙරළා තිබීම නිදසුනකි. මෙබඳු යෙදුම් බොහෝ තැන්හි දක්නට ලැබෙන හෙයින් වීරසිංහ ප්‍රතිරාජයන්ගේ සිංහල උම්මග්ග ජාතකය අතිශයින් සිත්ත්ගන්නාසුලුය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උම්මග්ග_ජාතකය&oldid=9494" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි