උපදංශය

සිංහල විශ්වකෝෂය වෙතින්
11:54, 18 දෙසැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(ඵිරංග—Syphilis). කාම රෝග අතුරින් දරුණුතම වූ මෙය වනා...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ඵිරංග—Syphilis). කාම රෝග අතුරින් දරුණුතම වූ මෙය වනාහි ඕනෑ ම වයසක දී කවර ම හෝ ශරීරාවයවයක පාහේ වැලඳිය හැකි රෝගයකි. එබැවින් එහි රෝග ලක්ෂණ නානා ප්‍රකාරය. එය අනාදිමත් කාලයක සිට සමාජයේ පවත්නා රෝගයකි. පැරණි චීන, මිසර හා භාරතීය ග්‍රන්ථයන්හි එය සඳහන් කෙරේ. පෙනිසිලින් ඖෂධය සොයාගත් පසු මෙම රෝගයේ පැතිරීම් ප්‍රමාණය බොහෝ දුරට අඩු වී ඇතත් ඌන සංවර්ධිත රටවල මෙය මැඩලීම තවමත් ප්‍රශ්නයක් වී පවතී.

උපදංශ රෝගයට හේතුව 1905 දී ෆ්‍රිට්ස් ෂෞඩීන් සහ එරික් හොෆ්මාන් නමැති විද්‍යාඥයන් දෙදෙනකු විසින් සොයාගන්නා ලද කස්කුරුප්පුවක හැඩයෙන් යුත් "ට්‍රෙපොනේමා පලිඩුම්" (Treponema pallidum) නමින් හඳුන්වනු ලබන සූක්ෂ්ම ජීවියෙකි. වානරයන්, හාවුන් වැනි සතුන්ගේ ශරීරයට ප්‍රචණ්ඩ මාදිලියක ට්‍රෙපොනේමා පලිඩුම් ජීවීන් විද්ද කල්හි උපදංශ රිෂ්ට පහළ වන නමුත් සාමාන්‍යයෙන් මෙම ජීවියා දක්නට ලැබෙන්නේ මනුෂ්‍ය ශරීරයේ පමණකි. ශරීරයෙන් පිටත දී ඌ උෂ්ණයෙන් ද විශේෂයෙන් ම වියළීමෙන් ද සබන් ද්‍රාවණ හෝ සැර නැති පූතිනාශක ගෑවීමෙන් ද ලෙහෙසියෙන් ම මියයයි.

මේ රෝගය සාමාන්‍යයෙන් බෝවී පැතිරයන්නේ මෛථුන සේවනය මගිනි. කෑම බීම සඳහා පාවිච්චි කරනු ලබන පිඟන් කෝප්ප ආදිය මගින් ද බෝවිය හැකි නමුත් එසේ වන්නේ ඉතා කලාතුරකිනි. රෝගග්‍රස්තයකුගේ ලෙය නීරෝගී අයකුට ප්‍රවේශනය කිරීමෙන් හෝ ආසාදිත දෑ උපකරණාදිය මගින් අහම්බෙන් ශරීරගත වීමෙන් හෝ මවගෙන් භ්‍රෑණයට වැදෑමහ මගින් ඇතුළු වීමෙන් හෝ රෝගය බෝවිය හැකිය.

මෙම රෝගයෙහි බීජෞෂ්ණ සමය (incubation period) සාමාන්‍යයෙන් සති තුනක් හෝ හතරක් වුව ද ඇතැම් විට තෙමසක් පමණ වන්නට ද පුළුවන.

රෝග ලක්ෂණ

ප්‍රාථමික, ද්විතීයක, තෘතීයක යයි උපදංශ රෝගයෙහි අවස්ථා තුනකි.

ප්‍රාථමික අවස්ථාව

සාමාන්‍යයෙන් ම ලිංගේන්ද්‍රියයෙහි වණයක් හටගැනීම මෙම අවස්ථාවේ විශේෂ ලක්ෂණයකි. ලාක්ෂණික වණය තනි එකකි; අතට තදට දැනේ; වේදනා විරහිතය. මීට වෙනස් වණ ද නැත්තේ නොවේ. එබැවින් ලිංගේන්ද්‍රියයෙහි හටගත් කවර ම හෝ වණයක් සම්බන්ධයෙන් වුවද අනුගමනය කළ යුතු ඉතා ම නුවණට හුරු ක්‍රියාමාර්ගය නම් ඒ හැමවිට ම උපදංශය සඳහා නියමිත පරීක්ෂණ පැවැත්වීමයි. උපදංශයෙහි දී වණය ඇති වනු පමණක් නොව එම ප්‍රදේශයේ ලසිකා ග්‍රන්ථි මහත්වීම ද බොහෝවිට සිදුවන්නකි. සියයට අනූපහක් පමණ රෝගීන්ගේ වණය ඇති වන්නේ ලිංගේන්ද්‍රියයෙහිය. ඉතිරි අයගේ එය ලිංගේන්ද්‍රියයෙන් බැහැරව සාමාන්‍යයෙන් ම මුඛය තුළ හෝ ඒ අවට ඇති වේ. ප්‍රතිකාරයක් නොකර ම වුව ද වණය සති කීපයකින් සුව විය හැකිය. එහෙත් ලසිකා ග්‍රන්ථිවල ඉදිමුම බැස යෑමට සාමාන්‍යයෙන් ඊට වඩා බොහෝ කලක් ගත වේ.

ද්විතීයක අවස්ථාව

ප්‍රාථමික වණය සෑදී සාමාන්‍යයෙන් සති හයක් පමණ ගත වූ විට රෝගය දෙවෙනි අවස්ථාවට පැමිණේ. මෙහි විශේෂ ලක්ෂණ නම් ශරීරයේ පලු නැඟීම, මුඛයෙහි හා ලිංගේන්ද්‍රියයෙහි වණ ඇති වීම සහ ලසිකා ග්‍රන්ථි මහත්වීමයි. මෙම පලු කසන්නේ නැති නිසා රෝගියාට ඒවා නොදැනෙන්නට පුළුවන. ඒවා ගුදය, භගය වැනි තෙත් ගතිය ඇති ස්ථාන අවට ඇති වූ විට උස් වූ ද සමතලා වූ ද පිඩු වශයෙන් වර්ධනය වන්නට පුළුවන. මෙම ලක්ෂණ සියල්ල එකවිට ම ඇති නොවන්නට ද හැකිය. ද්විතීයක අවස්ථාවේ උපදංශ රිෂ්ට ට්‍රෙපොනේමා ජීවීන්ගෙන් ගහනය; අතිශයින් ආසාදකය. ද්විතීයක උපදංශයේ ලකුණු, ප්‍රතිකාර නොමැතිව වුව ද, වෙනස් වන සුලු කාලසීමාවක දී ක්‍රමයෙන් පහ වී යයි. එහෙත් ඇතැම් විට අවුරුද්දක් හෝ ඊටත් වැඩි කලක් පවතී. ප්‍රාථමික හා ද්විතීයක උපදංශය ස්ථිර වශයෙන් හඳුනාගනු ලබන්නේ රිෂ්ටයන්ගෙන් ගන්නා ලද මස්තුවල ට්‍රෙපොනේමා ජීවියා ඇති බව අති අණ්වීක්ෂය (dark-field microscope) මගින් දැකීමෙන් හෝ “වාසමන්”, “කාන්”, “වී.ඩී.ආර්.ඇල්” වැනි රුධිර පරීක්ෂාවකින් ජීවියා ඇති බව පෙනීයාමෙන් හෝ ඒ පරීක්ෂණ දෙක ම හෝ මගිනි.

තෘතීයක අවස්ථාව

රෝගයට සුදුසු පරිදි ප්‍රතිකාර නොකළ විට හෝ එම ප්‍රතිකාර ප්‍රමාණවත් ලෙස නොකළ විට හෝ රෝගය ගුප්ත හෙවත් ප්‍රච්ඡන්න අවස්ථාවට පැමිණේ. මේ අවස්ථාවේ දෘශ්‍යමාන රෝග ලක්ෂණයක් නැත. ශරීරය රෝගයට පුරුදු වී තරමක් දුරට එය මර්දනය කිරීමේ ප්‍රතිශක්තියක් ද ඇති කර ගනී. එහෙත් මේ අවස්ථාවේ දී ශරීරයේ ප්‍රාණාධාර ඉන්ද්‍රියයන්ට මහත් හානි සිදුවන්නට පුළුවන. මෙම ගුප්ත උපදංශය උපද්‍රව සහිත වනුයේ එහි එවෙලට පවත්නා තත්වය නිසා ම නොව පසුව එය කුමකින් කුමකට පෙරළේ දැයි නොකිව හැකි නිසාය. ගුප්ත උපදංශය මාස කීපයක් හෝ ජීවිතාන්තය දක්වා හෝ පැවතිය හැකිය. එය පහත සඳහන් තුන් ප්‍රකාරයෙන් එකකින් කෙළවර වේ.

1. ලෙඩේ වැඩි නොවන්නට පිළිවන. රුධිර පරීක්ෂාව ක්‍රමයෙන් සෘණදර්ශක වී රෝගියා පෙනුමට ඉබේ ම සුවය ලබයි.

2. රෝගය ඇති බවට ශායනික සාක්ෂ්‍ය නැත ද රුධිර පරීක්ෂාව ධනදර්ශකව ම තබමින් රෝගය ගුප්තව ම පවතින්නට පිළිවන. රෝගියා අන්‍ය ආබාධයකින් මිය යයි. එහෙත් මෘතදේහ විභාගයේ දී පටකවල අණ්වීක්ෂීය කොටස් උපදංශ ආසාදනයට සාක්ෂ්‍ය දරයි.

3. රෝගයේ සායනික උපදංශයේ අපර ස්වරූපයන් වූ අහිංසක අපර උපදංශය (benign late syphilis), හෘද්වාහිනි (cardiovascular) උපදංශය හෝ ස්නසා උපදංශය (neuro-syphilis) කරා වැඩි වන්නට පිළිවන.

අහිංසක අපර උපදංශය

මෙම අවස්ථාවේ විශේෂ ලක්ෂණය නම් කණිකාකෘත පටක (granulomatous tissue) සහිත පෙදෙස් පහළ වීමයි. මේවායේ මැද කොටස් පරිහානියටත් විපන්‍යයටත් පත් වේ. මේ රිෂ්ට හම, උපත්වචීය පටක, ඇට, ස්නායු පද්ධතිය ආදි තන්හි - ඇත්තෙන් ම, බාගෙවිට ඩිම්බකෝෂයෙහි හැර, අන් කවර ම හෝ ශරීරාවයවයක - ඇති වන්නට පිළිවන. සාමාන්‍යයෙන් මේවා ගණනින් ස්වල්ප වුව ද, ඉතා සුළු වශයෙන් ප්‍රදාහ සහිත වුව ද, පටක බෙහෙවින් විනාශ කරමින් සුව වූ පසු බරපතළ කැලැල් ඇති කරයි. මේ රිෂ්ට හේතුකොටගෙන ශරීරයෙහි මහත් විරූපී බවක් ඇති විය හැකි නමුදු ඒවා ජීවිතයට හානිකර නොවේ. මීට අහිංසක උපදංශය යයි කියන්නේ එහෙයිනි. මෙම රිෂ්ට පරීක්ෂණයන්ගෙන් සාමාන්‍යයෙන් ට්‍රෙපොනේමා පලිඩුම් ජීවීන් දැක ගන්නට නුපුළුවන. ඒවා බෝවන්නේ ද නොවේ.

හෘද්වාහිනී උපදංශය

මෙය විශේෂයෙන් ම බලපාන්නේ මහාධමනිය කෙරෙහිය. මෙය සුව කිරීමට බලාපොරොත්තු විය හැක්කේ මහා ධමනි ප්‍රදාහයේ අනාකුල අවස්ථාවේ දී එය හැඳිනගෙන ප්‍රතිකාර කිරීමෙන් පමණකි. මේ අවස්ථාවේ දී රෝග ලක්ෂණ අන්‍ය හෘදයාබාධ ලක්ෂණවලට බෙහෙවින් අනුරූප විය හැකි බැවින් ඒ සැමවිට ම උපදංශය දෝයි සැක කොට රුධිර පරීක්ෂාවක් මගින් කරුණ නිරාකරණය කරගැනීම ප්‍රඥාගෝචරය.

ස්නසා උපදංශය

රෝගයේ ප්‍රාථමික අවස්ථාවේ දීම පවා එය ස්නායු පද්ධතිය කෙරෙහි බලපාන්නට පිළිවන. එහෙත් ඒ බවට මුල් ම ලක්ෂණ පහළ වන්නේ ආසාදනයෙන් අවුරුදු 3 සිට 7 දක්වා කාලයක් ගත වූ පසුව පමණකි. රිෂ්ට හටගත් ස්ථානයන් අනුව ශායනික රූප ලක්ෂණ විවිධාකාර වේ. රෝගාතුරයාට වලිප්පුව, හදිසි අංශභාගය, අනත්වය (ataxia), අන්ධභාවය හා උන්මාදය ආදි නානාවිධ ආබාධ ඇති විය හැකිය.

තෘතීයක උපදංශයෙහි රෝග විනිශ්චය කරනු ලබන්නේ රෝග ඉතිහාසය, ශායනික ලක්ෂණ සහ ධන රුධිර පරීක්ෂාව යන මේවා පදනම් කොටගෙනය; ස්නසා උපදංශයෙහි දී ධන කණ්ටකීය තරල (spinal fluid) පරීක්ෂා මුල්කොටගෙනය.

සහජ උපදංශය

ආසාදිත මවගෙන් භ්‍රෑණයට හෙවත් ගර්භගත ළදරුවාට වැදෑමහ මගින් රෝගය බෝවේ. මවට රෝගය වැලඳී කල් ගිය තරමට ළදරුවාට එය බෝවීමට ඇති ඉඩකඩ අඩු වී යන නමුත් ආසාදනයෙන් අවුරුදු පහළොහකට පසුවත් භ්‍රෑණයට එය බෝවිය හැකිය. ප්‍රතිකාර නොකළහොත් ගර්භයෙහි දී ආසාදිත වූ භ්‍රෑණ අතුරින් 25%ක් පමණ ආසාදනය හේතුවෙන් උත්පත්තියට පෙර මිය යයි. හැම ගර්භණියක ම රුධිර පරීක්ෂාවකට භාජන කොට උපදංශයෙන් පෙළෙන්නන් හට අවශ්‍ය ප්‍රතිකාර කළහොත් සහජ උපදංශය මුලිනුපුටා දැමිය හැකිය. සහජ උපදංශයේ මුල් අවස්ථාවෙහි ලක්ෂණ සාමාන්‍ය උපදංශ රෝගයේ ද්විතීයක අවස්ථාවේ ලක්ෂණයන්ට සමානය. කල්ගිය සහජ උපදංශයේ ලක්ෂණ සාමාන්‍ය උපදංශයේ අපර අවස්ථාවේ ලක්ෂණවලට සමානය.

ප්‍රතිකාර

1910 දී ඒර්ලික් (Ehrlich) නමැති පර්මන් ජාතික බැක්ටීරියා විද්‍යාඥයා ආසනික් සංයෝග පුරුදු කරවන තුරු හා ඉන් අවුරුදු කීපයකට පසු බිස්මත් සංයෝග පාවිච්චියට ගන්නා තුරු උපදංශයට අහන බෙහෙතක් නොතිබුණි. එහෙත් 1943 දී පෙනිසිලින් සොයාගත් පසු ඉහත කී විෂ සහිත සංයෝග පාවිච්චිය සම්පූර්ණයෙන් ම වාගේ අත්හිටවා තිබේ. ටෙට්‍රසයික්ලින් කාණ්ඩය ආදි ප්‍රතිජෛව ඖෂධ පෙනිසිලින් තරම් හොඳ නොවූවත් රෝගය සුවකරයි. මේ සඳහා දැනට ඇති නවීන ප්‍රතිකාර ක්‍රම ඉක්මනින් ම සුවය ගෙන දෙන්නාවූ ද ප්‍රත්‍යක්ෂ වූ ද විෂ සහිත නොවූ ද ඒවා වේ. එහෙත් කල් යෑමෙන් ඇති විය හැකි භෘද්වාහිනී හා ස්නසා උපදංශය වැනි රෝගයේ විපත්තිකර අතුරු ආබාධ වළකාලීමට නම් එම ප්‍රතිකාර අප්‍රමාදව ද ප්‍රමාණවත් ලෙස ද කිරීම අත්‍යවශ්‍යය.

(කර්තෘ: සී.ඇස්. රත්නතුංග)

ආයුර්වේද මතය

මෙකල උපදංශය නමින් දන්නා මේ රෝගය ආයුර්වේදයෙහි හඳුන්වා ඇත්තේ ඵිරංග රෝගය නමිනි.

‘ඵිරංග’ නාමය හා එම රෝග විවරණය පළමුකොට ම ආයුර්වේද සාහිත්‍යයට ඇතුළු කරන ලද්දේ සොළොස්වැනි සියවසේ මැද භාගයෙහි ජීවත්ව සිටි භාවමිශ්‍ර ආචාර්යවරයා විසිනි. අපරදිග රටවල කෙසේ වුව ද පෙරදිග රටවල මෙම රෝගය ප්‍රකට වූයේ ඵිරංග (පරංගි හෙවත් පෘතුගීසි) ජාතිකයන් පෙරදිගට සංක්‍රමණය වීමෙන් පසුවය. එනම් සොළොස්වැනි සියවසේ ආරම්භයත් සමඟය.

ලංකාවේ දේශීය වෙදකමෙහි ‘පරංගි’ නාමයෙන් මෙය හැඳින්වෙයි. පරංගි රෝගයෙහි යම් යම් වෙනස්කම් විද්‍යමාන වුව ද රෝගමූලය එකක්මය. ‘ගන්ධරෝග’ යනු ද පර්යාය නාමයකි. දුගඳ වහනය වන ව්‍රණ (තුවාළ) සහිත හෙයින් රෝගය මෙනමි.

ඵිරංග රෝගග්‍රස්ත වූවන්ගේ ශරීරස්පර්ශයෙන් හා රෝගග්‍රස්ත ස්ත්‍රීන් සමඟ මෙවුන්දම් සේවනයෙන් මෙම රෝගය හට ගැනේ. ආරම්භයෙහි මෙය ආගන්තුජ රෝගයකි. ඉන් පසු වාතාදි ත්‍රිදෝෂයාගේ අනුබන්ධයෙන් දෝෂලක්ෂණයන්ගෙන් යුක්ත වේ. ඵිරංග විෂ ශරීරගතව සති කීපයක් ඇවෑමෙන් ලිංග, යෝනි ආදියෙහි විෂ යුක්ත පිඩකා ඇති වෙයි. ඉන් පසුව වා පිත් සෙම් යන තිදොස ද රක්ත මාංසාදි සප්තධාතූන් ද දූෂණය වීමෙන් සම, මස, ඇට, සන්ධි ආදියෙහි රෝග ලක්ෂණ ප්‍රකාශ වෙයි.

බාහ්‍ය ඵිරංග, අභ්‍යන්තර ඵිරංග, බාහ්‍යාභ්‍යන්තර ඵිරංග යනුවෙන් ඵිරංග රෝගය තුන් වැදෑරුම් වෙයි. බාහ්‍ය ඵිරංගයෙහි දී අල්ප වේදනා සහිත, පෙනීමෙන් විස්ඵෝට වැනි බිබිලි මතු වෙයි. ඒවා පිපිරීමෙන් පසු ව්‍රණ හටගැනේ. අභ්‍යන්තර ඵිරංගය දනිස් ආදි සන්ධිස්ථානයන් ආක්‍රාන්ත කරයි. ආමවාත (රූමැටිසියා) රෝගයෙහි මෙන් සන්ධි ස්ථානයන්හි වේදනාව සහ ඉදිමුම හටගනී. බාහ්‍යාභ්‍යන්තර ඵිරංගය මෙකී දෙවැදෑරුම් ලක්ෂණයන්ගෙන් යුක්ත වේ.

අස්ථීන්ගේ ශෝථය හා ඇද වීම (අස්ථිවක්‍රතා), නාසය ගිලිහී යෑම, ජඨරාග්නිය අල්ප වීම, සිරුර දිරාපත් (කෘශ) වීම, බලය හීන වීම යන මොහු උපද්‍රවයෝ වෙති.

අලුත්, උපද්‍රව රහිත, බාහ්‍ය ඵිරංගය සාධ්‍යය. අභ්‍යන්තර ඵිරංගය මහත් ආයාසයෙන් සුව කළ හැකි වේ. උපද්‍රව සහිත, සර්වාංගයෙහි පැතුරුණු, පැරණි වූ බාහ්‍යාභ්‍යන්තර ඵිරංගය අසාධ්‍යය.

ප්‍රතිකාර රසකර්පූර ශ්‍රේෂ්ඨ ඖෂධය වේ. රසකර්පූර, රසදිය, පුස්කර, මීපැණි, කැප්පෙටිලාකඩ (ලාක්ෂා), දවාගත් බැටළු ලොම් හා ඔලිඳ ඇට යන මේ ද්‍රව්‍ය මිශ්‍රිතව අඹරා කෝවක ලා භස්ම කිරීමෙන් මෙම ඖෂධය සාදාගනු ලැබේ. උද්භිද ඖෂධ අතුරෙන් චීන අල (සීන අල) ශ්‍රෙෂ්ඨය. රසදිය හා ගෙන්දගම් මිශ්‍ර දුම් බෙහෙත් ද එම ආලේප ද බෙහෙවින් ම හිතකරය.

(කර්තෘ: ඩී.ඇම්. ජයසිංහ)

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උපදංශය&oldid=9514" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි