ඉන්දු-රෝම සම්බන්ධතා

සිංහල විශ්වකෝෂය වෙතින්
10:27, 26 දෙසැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඉන්දියාවත් බටහිර රටවලුත් අතර කිට්ටු සම්බන්ධත...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉන්දියාවත් බටහිර රටවලුත් අතර කිට්ටු සම්බන්ධතා ආරම්භ වූයේ ක්‍රි.පූ. 327 දී මහා ඇලෙක්සැන්ඩර් රජු ඉන්දියාවේ වයඹ දිග පෙදෙස් ආක්‍රමණය කළායින් පසුවය. ඇලෙක්සැන්ඩර්ගෙන් පසුව බටහිර ආසියාවේ බිහි වූ යාවනික රාජ්‍ය හා මෞර්ය අධිරාජ්‍යය අතර තානාපති සබඳකම් පැවැතුණු බවට අශෝක ශිලාලිපි සාක්ෂි දරයි. මිසරයේ බලයට පත් ටොලමි රජ පවුල තමන් හා සෙලුසිඩ් රාජ්‍යය අතර පැවැති ආරාවුල් නිසා ඉන්දියාව හා මිසරය අතර මුහුදු මාර්ග දියුණු කිරීමට උත්සාහ දැරීය. ඉන්දියාව හා බටහිර රටවල් අතර පැවැති වෙළඳාමේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත් වී තිබුණේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයයි. ටොලමි රාජවංශය යටතේ පැවැති ඉන්දියානු වෙළඳාම රෝම අධිරාජ්‍යය බිහි වීමෙන් පසුව රෝමවාසීන් යටතට පත් විය. ක්‍රිස්තුවර්ෂයේ ආරම්භයේ සිට සවන සියවස දක්වා රෝම අධිරාජ්‍යයත් ඉන්දියාවත් අතර වාණිජ හා දේශපාලන සම්බන්ධතා පැවැති බවට සාධක ඇත. ඉන්දු-රෝම සම්බන්ධතා හැදෑරීමේ දී පරිශීලනය කළ හැකි මූලාශ්‍රයයෝ බොහෝ වෙති. සම්භාව්‍ය කෘතීන් අතර ස්ට්‍රේබෝ, ප්ලිනි හා ටොලමි යන මොවුන්ගේ වාර්තාවලින් හා පෙරිප්ලස් ග්‍රන්ථයෙන් වැදගත් විස්තර ලැබී ඇත. ඉන්දියානු මූලාශ්‍රයන් අතර පට්ටිනප්පාලෙයි හා පදිට්ටුපත්තු වැනි සංගම් කෘතිවලිනුත් සිලප්පදිකාරම් නම් දෙමළ කාව්‍යයෙනුත් සාධක ලබාගත හැකිය. මේ හැරෙන්නට ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක සාධක (පකිස්ථානය ඇතුළු) ඉන්දියානු මහාඅර්ධද්වීපයේ නොයෙකුත් ප්‍රදේශවලින් ලැබී ඇත. මේ අතර නිදන් කොට තිබී හමු වී ඇති රෝම කාසි හා මධ්‍යධරණී ප්‍රදේශයේ ප්‍රභවය ලත් කලාකෘති විශේෂ ස්ථානයක් ගනී. අරිකමේඩු නම් ස්ථානයෙන් සොයාගෙන ඇති ඉන්දු-රෝම වෙළඳ මධ්‍යස්ථානය ද මේ අතරලා ගිණිය හැකිය (අරිකමේඩු බ).

රෝම දේශයත් ඉන්දියාවත් අතර සම්බන්ධතා ආරම්භ වූයේ ක්‍රි.පූ. 1 වන සියවසේ අවසාන කොටස පමණේ දීය. ඔගස්ටස් රෝම දේශයේ බලයට පත් වූ පසු එරටට සාමයෙන් යුත් වූ ද සෞභාග්‍ය සම්පන්න වූ ද කාලයක් උදා විය. මෙලෙසින් ඇති වූ දේශපාලන එක්සත්බව හා සාමය වාණිජ දියුණුවට විශාල රුකුලක් විය. එහෙත් පෙරදිග වෙළඳාම අරාබි හා ආක්සූම් ජාතිකයන් (Axumites) වැනි අතරමැදි පිරිස්වල ඒකාධිකාරයක් බවට පත්ව තිබිණි. ක්‍රි.පූ. 25 දී ඔගස්ටස් අරාබිය ආක්‍රමණය කෙළේ මෙම වෙළඳාම අතරමැදියන්ගෙන් රෝමවාසීන් අතට ලබා ගැනීමටය. ඉන්දු-රෝම වෙළඳාම ඉතා ශීඝ්‍රයෙන් දියුණු වූයේ ඔගස්ටස්ගේ සමයේ දීය. මෙසේ ඉන්දු-රෝම වෙළඳාම දියුණුවීම ආරම්භ වූයේ හිප්පලස් (Hippalus) නමැති යාත්‍රිකයා නිරිතදිග මෝසම් සුළං ආධාරයෙන් අප්‍රිකානු හා අරාබි වෙරළේ සිට කෙළින් ම ඉන්දියාවට පැමිණීමේ මුහුදු මාර්ගයක් සොයාගැනීමෙන් පසුවය. මෙය අලුත් සොයාගැනීමක් නොවේ. ඉතා දිගු කලක සිට ම මෝසම් සුළං පිළිබඳව අරාබි හා ඉන්දියානු යාත්‍රිකයන් දැනගෙන සිටින්නට ඇතැයි සිතිය හැකිය. හිප්පලස් විසූ කාලය පිළිබඳව මතභේදයක් ඇත. එහෙත් ප්ලිනිගේ කෘතියෙන් හා පෙරිප්ලස් ග්‍රන්ථයෙන් පැහැදිලි වන්නේ ඔහු ක්‍රිස්තු වර්ෂාරම්භය පමණේ දී ජීවත් වූවකු බවය. මේ කාලයේ දී ම ඉන්දියානු සුඛෝපභෝගී ද්‍රව්‍ය පිළිබඳව ඉල්ලුම රෝමයේ ඉතා ශීඝ්‍රයෙන් දියුණු විය. මෙම ඉල්ලුම දියුණුවීමත් මුහුදු මාර්ගයක් සොයා ගැනීමත් ඉන්දු-රෝම සම්බන්ධතා දියුණුවීමට ඉවහල් වූ ප්‍රධාන කරුණු ලෙස සැලකීමට පුළුවන.

දේශපාලන සම්බන්ධතා

රෝම අධිරාජයන් හා ඉන්දියානු රජවරුන් අතර දේශපාලන සම්බන්ධතා පැවැති බවට සාධක පූර්‍වසම්මත ග්‍රන්ථවලින් ලැබේ. ඔගස්ටස්ගේ සමයේ දී ඉන්දියාවෙන් දූත මෙහෙවර හතරක් රෝම රජවාසලට පැමිණි බැව් මෙම වාර්තාවන්හි සඳහන් වේ. මෙයින් එක් දූත මෙහෙවරක් පිළිබඳ විස්තරයක් ස්ට්‍රේබෝගේ වාර්තාවේ ඇතුළත් වේ. ඉන්දියානු දූතයන් සිරියාවේ ඇන්ටියොක් නගරයට පැමිණි බැව් එහි දැක්වේ. ඔවුන් පැමිණියේ පෝරස් නම් රජකුගෙන් සන්දේශයක්ද රැගෙනය. ග්‍රීක භාෂාවෙන් ලියන ලද මෙම සන්දේශයෙහි ඉන්දියානු රජතුමා සීසර් සමඟ සම්බන්ධකම් ඇති කරගැනීමට කැමැත්ත පළ කළ අතර තමාගේ රාජ්‍යයේ කැමති ස්ථානයකට ඊමට අවසර දීමට ද කැමැත්ත පළ කොට තිබිණි. මේ දූතයන් සමඟ ඉන්දියානු විතණ්ඩවාදියකු ද පැමිණි බවත් ඔහු ඇතන්ස් නගරයේ දී සිරුරට ගිනි තබාගෙන සිය දිවි නසාගත් බවත් ස්ට්‍රේබෝගේ ග්‍රන්ථයේ සඳහන් වෙයි. පෝරස් යන්න ඉන්දියානු රජුන් හැඳින්වීමට සම්භාව්‍ය ලේඛකයන් පොදුවේ යොදාගත් නාමයයි. සමහර විටක මෙය පාණ්ඩ්‍ය යන්න වන්නට ද පුළුවන. ට්‍රේජන්, හේඩ්‍රියන්, ඇන්ටොනයිනස් පයස්, ඕරීලියන්, කොන්ස්ටන්ටයින් (ක්‍රි.ව. 4 සියවස), ජූලියන් හා ජස්ටිනියන් (ක්‍රි.ව. 530, 552: දූතමෙහෙවර දෙකකි) යන අධිරාජයන්ගේ කාලයන්හි දී ඉන්දියාවෙන් දූතයන් පැමිණි බැව් සඳහන් වේ. මෙම තානාපති සබඳකම් වාණිජ සම්බන්ධතා දියුණු කිරීමේ පරමාර්ථයෙන් ඇති කරගන්නා ලද්දේ යයි සැලකීමට පුළුවන.

වාණිජ සම්බන්ධතා

මුල දී ඉන්දියාවත් බටහිර රටවලුත් අතර සම්බන්ධකම් පැවැත්වුණේ ගොඩබිම හරහා වූ මාර්ග ඔස්සේය. ඇලෙක්සැන්ඩර්ගේ ඉන්දියානු ආක්‍රමණයෙන් පසුව මෙවැනි මාර්ග කිහිපයක් ආරම්භ වූ බව දැක්වේ. ක්‍රි.ව. 1 වන හා 2 වන සියවස්වල දී රෝමවාසීන්ට මේ මාර්ග ඔස්සේ පෙරදිග හා සම්බන්ධකම් පැවැත්වීම අපහසු විය. පෙර අපර දෙදිග සම්බන්ධ කළ වෙළඳ මාර්ග වැටී තිබුණේ පාර්තියා රාජ්‍යය හරහාය. රෝමයත් පාර්තියාවත් අතර වූ විරුද්ධවාදිකම් නිසා රෝමවාසීන්ට පෙරදිග සමග සම්බන්ධතා පැවැත්වීමේ දී බොහෝ අවහිරකම් ඇති විය. මේ හේතුවෙන් ඉන්දු-රෝම සම්බන්ධතාවල දී වඩා වැදගත් වූයේ මුහුදු මාර්ගයන්ය. ඉන්දියාවේ සිට පර්සියානු බොක්ක හරහා පැල්මයිරා නගරයටත් රතුමුහුද හරහා ඇලෙක්සැන්ඩ්‍රියාවටත් ළඟා වීමට මුහුදු මාර්ගවලින් පුළුවන් විය.

ඉන්දියාව සමඟ රෝමවාසීන් පවත්වන ලද වාණිජ සම්බන්ධතා ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදා සලකා බැලිය හැකියි. දකුණු ඉන්දියාව සමඟ වූ සම්බන්ධතා හා උතුරු ඉන්දියාව සමඟ වූ සම්බන්ධතා යනුවෙනි. දකුණු ඉන්දියාව සමඟ වූයේ අන්ත්‍ය (terminal) වෙළඳාමක් යයි කිව හැකිය. දකුණු ඉන්දියාවෙන් යැවුණු වෙළඳ ද්‍රව්‍ය අතර කුළුබඩු, දුහුල් රෙදි, මුතු මැණික් ආදිය ඇතුළත් වේ. දකුණු ඉන්දියාවත් රෝමයත් අතර වූ වෙළඳාම පිළිබඳව පෙරිප්ලස්හිත් ටොලමිගේ ග්‍රන්ථයේත් විස්තර ඇතුළත් වේ. මෙම ග්‍රන්ථවල දකුණු ඉන්දියාවේ පිහිටි ප්‍රසිද්ධ වරාය කිහිපයක් සඳහන් වේ. මුසිරිස් හා නෙල්කිණ්ඩ මලබාර් වෙරළේ පිහිටි වැදගත් වරාය දෙකකි. මලබාර් වෙරළෙන් පිටරට යවන ලද ප්‍රධාන වෙළඳ ද්‍රව්‍යය වූයේ ගම්මිරිස්ය. ඉන්දියාවට ගෙනෙන ලද ද්‍රව්‍ය අතර රෝම කාසි, පබළු, මැටිභාණ්ඩ, අලංකාර පහන්, වීදුරු භාජන, ලෝහ හා මිදියුෂ ආදිය විය. යවනයන් ගෙනා මිදියුෂ රජවරුන් පානය කළ බව සංගම් සාහිත්‍යයේ සඳහන් වේ. නෙල්කිණ්ඩයට දකුණින් වූ ප්‍රදේශ පිළිබඳව වැඩි විස්තර ඇත්තේ ටොලමිගේ ග්‍රන්ථයේය. කොරමණ්ඩල් වෙරළේ වූ වෙළඳ මධ්‍යස්ථාන අතර පෝඩුකේ ඉතා වැදගත් ස්ථානයක් විය. මේ වෙළඳ මධ්‍යස්ථාන එම්පෝරියම් (emporium) යනුවෙන් හඳුන්වා ඇත. සංගම් සාහිත්‍යයේ එන යවනයන් රෝමවාසීන් බවට කිසිදු සැකයක් නැත. සංගම් කෘතිවලට අනුව, මනාව නිමවන ලද නැව්වලින් රත්රන් රැගෙන පැමිණි යවනයෝ ගම්මිරිස් රැගෙන ආපසු ගියහ. පුහාර් (කාවේරි පටුන) නම් ස්ථානයේ වූ යවනයන්ගේ ගෘහයන් ගැන ද විස්තර ඇත. යවන ආරක්ෂක භටයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සේවය රජවරුන් ලබාගත් බව ද සඳහන් වේ. දකුණු ඉන්දියාව සමඟ වූ රෝම වෙළඳාම කෙතෙක් දුරට දියුණු වී දැයි කිව හොත් යවනයන් ඉන්දියාවේ ජනපද පිහිටු වූ බවට ද සාධක ලැබී ඇත. අරිකමේඩු නම් ස්ථානයෙන් සොයාගන්නා ලද ගොඩනැගිලි මෙවැනි වෙළඳ මධ්‍යස්ථානයක නටබුන් විය හැකි යයි සිතීමට පුළුවන. සම්භාව්‍ය කෘතිවල සඳහන් පෝඩුකේ මෙම ස්ථානය වන්නට ඇතැයි මෝටිමර් වීලර් නම් පුරාවිද්‍යාඥයා කල්පනා කරයි.

උතුරු ඉන්දියාවෙහි දකුණු ඉන්දියාවේ තරම් රෝමවාසීන්ට අවශ්‍ය වූ වෙළඳ ද්‍රව්‍ය නොවීය. උතුරු ඉන්දියාව කෙරෙහි ඔවුන් අවධානය යොමු කෙළේ වෙනත් කරුණු සඳහාය. උතුරු ඉන්දියාව සමඟ වූ වෙළඳාම අතුරු වෙළඳාමක් ලෙස හැඳින්වීමට පුළුවන. උතුරු ඉන්දියාවේ ප්‍රදේශ ඔවුනට වැදගත් වූයේ වෙනත් රටවල් සමග සම්බන්ධකම් පවත්වාගැනීමේ මාර්ගයක් වශයෙනි. බටහිර රටවල් හා චීනය අතර අතීතයේ දී වෙළඳාම පැවතියේ මධ්‍යම ආසියාව හරහා වැටී තිබුණු “පට්ට මාර්ගය” (silk route) යනුවෙන් ප්‍රසිද්ධ වෙළඳ මාර්ගය ඔස්සේය. පාර්තියා රාජ්‍යයේ විරුද්ධවාදීකම් නිසා මෙම මාර්ගය ප්‍රයෝජනයට ගැනීම රෝමවාසීන්ට දුෂ්කර කාර්යයක් විය. මේ හේතුවෙන් චීනය වැනි රටවල් සමඟ වෙළඳ කටයුතු සඳහා වෙනත් මාර්ගයක් සොයාගැනීමට ඔවුනට සිදු විය. පෙරදිග වෙළඳාමේ මූලස්ථානය වූ ඇලෙක්සැන්ඩ්‍රියා නගරය පිහිටා තිබූ ආකාරයත් එමෙන් ම පෙරිප්ලස් ග්‍රන්ථයේ සඳහන් විස්තරත් සලකා බැලීමේ දී පැහැදිලි වන්නේ මෙම අලුත් මාර්ගය බටහිර පකිස්ථානය හා උතුරු ඉන්දියාව ඔස්සේ වැටී තිබුණු බවයි. මෙම වෙළඳ මාර්ගය පිළිබඳව තවත් වැදගත් කරුණු ඇෆ්ඝනිස්ථානයේ බේග්‍රම් නම් ස්ථානයේ කරන ලද කැණීම්වලින් හෙළි වී ඇත. එම ස්ථානය යථෝක්ත වෙළඳ මාර්ගය ඔස්සේ එහා මෙහා ගිය තවලම්වලින් අයබදු එකතු කළ ස්ථානයක් වන්නට ඇතැයි පුරාවිද්‍යාඥයෝ කල්පනා කරති. රෝම වෙළඳුන් වෙළඳ ද්‍රව්‍ය මුහුදු මාර්ගයකින් ඉන්දියාවට ගෙනැවිත් ඒවා ඉන්දියාවේ වයඹදිග දුර්ග මාර්ග ඔස්සේ මධ්‍යම ආසියාවට ගෙනයන්නට ඇතැයි කල්පනා කළ හැකිය. මෙවැනි වෙළඳ මාර්ගයක් දියුණු කිරීමේ දී උතුරු ඉන්දියාවේ වූ දේශපාලන තත්වය ද බෙහෙවින්ම උපකාරී වන්නට ඇතැයි සිතීමට පුළුවන. කුෂාණ වංශිකයන් යටතේ ඇති වූ දේශපාලන සාමග්‍රයයත් එමෙන් ම ඔවුනට වයඹදිග කොටස් හා මධ්‍යම ආසියාවේ සමහර ප්‍රදේශ අයත්ව තිබීමත් ඉතා වැදගත් කොට සැලකිය හැකියි. කුෂාණ රජවරුන් ද මෙම ජාත්‍යන්තර වෙළඳාමේ දී අතරමැදියන් ලෙස කටයුතු කරන්නට ඇතැයි සිතීමට ඉඩ ඇත. මෙම සම්බන්ධතා සංස්කෘතික දියුණුවේ දී ඉතා වැදගත් විය.

රෝම කාසි

ඉන්දු-රෝම සම්බන්ධතා ගැන කීමේ දී ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශවලින් සම්බ වී ඇති කාසි නිධානයන් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. 1775 වර්ෂයේ සිට ම ඉන්දියාවේ නොයෙකුත් ප්‍රදේශවලින් රෝම කාසි ලැබී ඇත. මෙතෙක් සොයාගෙන ඇති රෝම කාසි නිධානයන්ගේ සංඛ්‍යාව 68කි. මෙයින් වැඩිකොටස - එනම් නිධානයන් 57ක් - සම්බ වී ඇත්තේ වින්ධ්‍ය කඳුවැටියට දකුණින් පිහිටි ප්‍රදේශවලිනි. ඉනුත් වැඩි කොටස සම්බ වී ඇත්තේ කොයිම්බටූර් දිස්ත්‍රික්කයෙනි. දකුණු ඉන්දියාවෙන් රෝම කාසි නිධාන වැඩි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ දකුණු ඉන්දියාව සමඟ අන්ත්‍ය වෙළඳාමක් පැවැති හෙයිනි. රෝම වෙළඳුන් වඩාත් අගය කළ වෙළඳ ද්‍රව්‍යය වූ ගම්මිරිස් වැඩි වශයෙන් වචන ලද්දේ කොයිම්බටූර් ප්‍රදේශය ආශ්‍රිතවය. මෙම දිස්ත්‍රික්කයෙන් වැඩි සංඛ්‍යාවක් කාසි නිධානයන් ලැබී ඇත්තේ මේ හේතුවෙන් විය යුතුය. මෝටිමර් වීලර් මෙය පැහැදිලි කරදීමට තවත් මතයක් ඉදිරිපත් කරයි. මුල දී රෝම වෙළඳුන් ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ වූ වෙළඳ මධ්‍යස්ථාන සමඟ සම්බන්ධකම් පවත්වන ලද්දේ ඉන්දියාව වටා යාත්‍රා කිරීමෙන් නොවේ. මේ බව පෙරිප්ලස් ග්‍රන්ථය හා ටොලමිගේ වාර්තාව සංසන්දනය කිරීමෙන් පැහැදිලි වේ. ඔවුන් වෙළඳ සම්බන්ධකම් ඇති කරගන්නා ලද්දේ ඉන්දියානු අර්ධද්වීපය හරහා බටහිර වෙරළේ සිට නැගෙනහිර වෙරළට වැටී තිබුණු ගොඩබිම් මාර්ගයක් ඔස්සේය. මෙම මාර්ගය වැටී තිබෙන්නට ඇත්තේ කොයිම්බටූර් (පාල්ඝාට්) කපොල්ල හරහා විය යුතුය. උතුරු ඉන්දියාවේ කාසි නිධානයන් ඉතා අඩුවෙන් සම්බ වී ඇත්තේ එම ප්‍රදේශය සමඟ ඇති වූයේ අතුරු වෙළඳාමක් නිසා වන්නට පුළුවන. උතුරු ඉන්දියාවේ මේ වන විට රන්කාසි ක්‍රමයක් කුෂාණ වංශිකයන් යටතේ භාවිත වෙමින් පැවතිණි. කුෂාණ රන්කාසි බොහෝ දුරට රෝම කාසි අනුගමනයෙන් නිමවන ලද්දේය. රෝම කාසි කුෂාණ රාජ්‍යයට ඇතුළු වීමේ දී නැවතත් අලුතෙන් නිකුත් කරන්නට ඇතැයි සිතීමට පුළුවන.

ඉන්දියාවේ දී රෝම කාසි වැඩි වශයෙන් භාවිත වූයේ වෙළඳ මාධ්‍යයක් වශයෙන් නොව ගනරන් (bullion) ලෙසිනි. ඉන්දියානු ජාතිකයන් රෝම කාසි පිළිබඳව නියම වැටහීමක් නොමැතිව ගනුදෙනු කළ බව ඇතැම් පූර්වසම්මත කෘතිවල සඳහන් වේ. ඉන්දියාවෙන් සොයාගෙන ඇති රෝම කාසි අතුරෙන් වැඩි කොටසක් ඔගස්ටස්ගේ හා ටයිබීරියස්ගේ කාසිය. නීරෝගෙන් පසුව කාසි ක්‍රමයෙන් අඩු වේ. මෙයට හේතුව නීරෝ විසින් කාසිවල වටිනාකම අඩු කරනු ලැබීම විය යුතුය. තවත් කරුණක් ද මෙයට හේතු වන්නට ඇත. රෝම රන්කාසි විශාල වශයෙන් පිටරටවලට ඇදී යාම පිළිබඳව ටයිබීරියස්ගේ කාලයේ දී විරුද්ධත්වයක් පැනනැඟිණි. මෙයින් පසු රෝම රන්කාසි වෙන රටවලට ඇදී යාම අඩු වන්නට ඇත.

නීරෝගෙන් පසුව (ක්‍රි.ව. 63) ඉන්දු-රෝම වෙළඳාම පිරිහෙන්නට ඇතැයි ඉන්දියාවෙන් ලැබී ඇති රෝම කාසි අනුසාරයෙන් කලින් කරන ලද නිගමනය අනෙක් මූලාශ්‍රයන්ගෙන් සනාථ නොවේ. 3 වන සියවස වන විට ඉන්දියාව පිළිබඳව රෝම දේශවාසීන් අතර තිබූ දැනුම දියුණු වී යාම මෙවැනි මතයක් පිළිගැනීමට බාධාවකි. කරකල්ලාගේ සමයේ දී (ක්‍රි.ව. 217) ඇති වූ දේශපාලන ගැටලු නිසා ඉන්දු-රෝම වෙළඳාම දුර්වල වන්නට ඇත. එහෙත් කොන්ස්ටන්ටයින් යටතේ වෙළඳාම නැවතත් යථාතත්වයට පැමිණි බවට සාධක තිබේ. මෙයින් පසුව ඇලෙක්සැන්ඩ්‍රියාවේ වැදගත්කම අඩු වූ අතර බයිසැන්ටියම එම තැන ලබාගත් බව පෙනේ. කරකල්ලාගේ සමයෙන් පසුව වෙළඳාමේ ස්වභාවය බොහෝදුරට වෙනස් විය. එයින් පසු කපු පිළී වැනි කාර්මික ද්‍රව්‍ය කෙරෙහි වැඩි අවධානය යොමු වූ බව පෙනේ. ඉන්දු-රෝම වෙළඳාම ක්‍රි.ව. 6 වන සියවස දක්වා ම දියුණුව පැවැතුණු බවට සාධක ලැබී ඇත.

ප්‍රතිඵල

ක්‍රි.ව. 1 වන සියවසේ සිට 6 වන සියවස දක්වා රෝම දේශයත් ඉන්දියාවත් අතර වාණිජ හා දේශපාලන සම්බන්ධතා පැවැති බවට සාධක ඉහත දැක්විණ. මෙම සම්බන්ධතාවල ප්‍රතිඵලයක් වශයෙන් දෙරටවාසීන් අන්‍යෝන්‍ය වශයෙන් ඔවුනොවුන් කෙරෙහි බලපාන්නට ඇතැයි සිතිය හැකිය. රෝමවාසීන් ඉන්දියාවට පැමිණි බවටත් ඉන්දියානු ජාතිකයන් රෝම ප්‍රදේශවලට ගිය බවටත් සාධක ඇත. මේ ගමන්වල දී ඔවුනොවුන් අතර අදහස් සංකල්ප හුවමාරු වන්නට ඇතැයි සිතීමට ඉඩ තිබේ.

රෝම අධිරාජ්‍යයේ ඇලෙක්සැන්ඩ්‍රියා වැනි ස්ථානවල ඉන්දියානු ජනපද වූ බව සමහර වාර්තාවන්හි සඳහන් වේ. බෞද්ධ භික්ෂුනමක් ඇතන්ස් නගරය දක්වා ගිය බව ස්ට්‍රේබෝගේ වාර්තාව අනුව පෙනේ. මෙවැනි සම්බන්ධතා නිසා ඉන්දියානු අදහස් රෝමවාසීන් කෙරෙහි යන්තමින් වත් බලපාන්නට ඇත. එහෙත් අග්නිදිග ආසියාවේ පෙදෙස්වල මෙන් නොව බටහිර ඉන්දියානු බලපෑම් ශේෂ වී ඇත්තේ ඉතා සුළු වශයෙනි. එවැනි බලපෑම් ගැන නිගමනයන් කළ හැක්කේ අනුමානයෙනි.

රතුමුහුදේ සිට මිසරය දක්වා වූ මාර්ගයේ පිහිටා තිබෙන ආක්සූම් නම් ප්‍රදේශයෙන් මෙවැනි බලපෑම් පිළිබඳව සාධක ලැබී ඇත. ඉන්දියානු ජාතිකයෝත් මිසර වාසීහුත් මෙහි දී මුණගැසුණහ. සමහර පුරාවිද්‍යාඥයන්ගේ මතය අනුව ක්‍රි.ව. 3 වන සියවසෙහි ක්‍රිස්තු ධර්මය පැතිරෙන්නට ප්‍රථම ආක්සූම් කෙරෙහි වැඩියෙන් ම බලපෑවේ ඉන්දියානු අදහස්ය. මෙහි ඇති නටබුන් ගොඩනැඟිලි කෙරෙහි ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පය බලපා ඇතැයි ජේම්ස් ෆ’ගසන් කියයි. ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් සොයාගත් බෞද්ධ සොහොන් කොතත් පොම්පේ නගරයෙන් සොයාගත් ලක්ෂ්මී රූපයත් ඉන්දියානු අදහස් බටහිර කෙරෙහි බලපෑ බවට සාධක ලෙස සැලකිය හැකිය. මීරෝ නම් ප්‍රදේශයේ ඇති දේවාලයක හිස් තුනකින් හා අත් සතරකින් යුත් මිසර දෙවි කෙනකුන්ගේ සටහනක් ඇත. සමහර විට මෙය ඉන්දියානු බලපෑම්වල ප්‍රතිඵලයක් ලෙස සැලකීමට පුළුවන.

ඉන්දියානු දාර්ශනික අදහස් ද බටහිර රටවල් කෙරෙහි බලපාන්නට ඇත. ඉන්දියානු ආගම් පිළිබඳව රෝමවාසීන් තුළ පැහැදිලි අවබෝධයක් තුබුණු බවට සාධක ලැබී ඇත. ක්‍රි.ව. 3 වන සියවසෙහි ඇලෙක්සැන්ඩ්‍රියාවේ විසූ ක්ලෙමන්ට් නමැත්තා ශ්‍රමණ හා බ්‍රාහ්මණ යනුවෙන් ඉන්දියානු පූජකයන් කොටස් දෙකකට වෙන් කොට දක්වා ඇත. සමහර ක්‍රිස්තියානි ලේඛකයෝ බුදුරදුන් ගැන දැන සිටියහ. බුදුදහමත් ක්‍රිස්තියානි ධර්මයත් අතර සම්බන්ධයක් පැවැති බවට සමහරුන් නොයෙක් මත පළ කොට ඇත. මේ පිළිබඳව ස්ථිර වශයෙන් කිසිවක් කීම අපහසුය.

ඉන්දියාව කෙරෙහි වූ රෝම බලපෑම් පිළිබඳව වඩා ස්ථිර නිගමනයන්ට බැසගත හැකිය. කුෂාණ වංශිකයන් කාසි නිකුත් කිරීමේ දී රෝම කාසි ක්‍රමය අනුගමනය කළ බවට සැකයක් නැත. කුජුල කැඩ්පයිසස් රජතුමාගේ කාසි විශේෂයෙන් ම ඔගස්ටස්ගේ කාසි අනුකරණයෙන් නිකුත් කළ ඒවාය. කනිෂ්ක රජුගේ කාසිවල රෝම දෙවිවරුන්‍ගේ රූප සටහන් කොටා ඇත. කයිසර් වැනි රෝම විරුදාවලීන් ද කුෂාණ රජවරුන් භාවිතා කළ බැව් ශිලාලිපිවලින් හෙළි වී ඇත.

හැම අතින් ම වැදගත් කොට සැලකිය හැක්කා වූත් දිගු කලක් පැවැත්තා වූත් රෝම බලපෑම් දැක්ක හැක්කේ කලා ශිල්පයන්හිය. රෝමවාසීන් ඉන්දියාව සමඟ සම්බන්ධකම් ඇති කරගත් කාලයේ දී ම ඉන්දියාවේ වයඹදිග පෙදෙස්වල අලුත් කලා සම්ප්‍රදායයක් බිහි විය. මෙම කලා ක්‍රමය සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ගාන්ධාර සම්ප්‍රදාය යනුවෙනි. කලක් තිස්සේ කලා විචාරකයන්ගේ මතය වූයේ ගාන්ධාර කලා ක්‍රමය ඉන්දු-ග්‍රීක පාලනයෙන් ලත් උරුමයක් ලෙසය. අලුත් සොයාගැනීම් නිසා මෙය මතභේදයට භාජනව ඇත. ඇත්ත වශයෙන් ම ඉන්දු-ග්‍රීකයන් කෙරෙහි යාවනික (Hellenistic) අදහස් බලපෑවේ ඉතා සුළු වශයෙනි (ඉන්දු-ග්‍රීකයෝ බ.). ගාන්ධාර කලා ක්‍රමය බිහි වීමේ දී ග්‍රීක බලපෑම්වලට වඩා රෝම බලපෑම් උපකාරී වූ බැව් පුරාවිද්‍යාඥයන්ගේ අලුත් මතයයි. මෙම මතය සනාථ කරවන පුරාවිද්‍යාත්මක සාධක ළඟ දී කණින ලද බෙග්‍රම් නම් ස්ථානයෙන් ලැබී ඇත. මෙම ස්ථානයෙනුත් තක්ෂශිලා, ජූලියන් හා හඩ්ඩා යන ප්‍රදේශවලිනුත් ලැබී ඇති රෝම කලා කෘති මෙම ප්‍රශ්නය විසඳීමේ දී ආධාර වී ඇත. මෙම කලාකෘති අතර හිපෝක්‍රටීස් හා ඇපොලෝ වැනි දෙවිවරුන්ගේ ප්‍රතිමා ද වෙනත් මූර්ති ද වේ. ගාන්ධාර කලා ක්‍රමය බිහි වීමේ දී මෙම රෝම කලාකෘති මුල්වන්නට ඇතැයි සැලකීමට පුළුවන. අලුතෙන් පහළ වූ මහායාන බුද්ධාගමේ අවශ්‍යතාවන් සඳහා රෝම කලා ක්‍රමය උපයෝගී කරගන්නට ඇත. බෙන්ජමින් රෝලන්ඩ් නම් විචාරකයා විස්තර කරන අන්දමට ගාන්ධාර ක්‍රමය රෝම අධිරාජ්‍ය කලාවේ ප්‍රාච්‍යතම ස්වරූපය ලෙසින් හැඳින්විය යුතුය. ගාන්ධාර කලා ක්‍රමය ඉන්දු-රෝම වාණිජ සම්බන්ධතාවල අතුරු ප්‍රතිඵලයක් ලෙස නිගමනය කළ හැකිය (ගාන්ධාර කලාව බ.).

(සංස්කරණය: 1970)