උන්මාදය

සිංහල විශ්වකෝෂය වෙතින්
09:53, 31 දෙසැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Insanity). මනස පිළිබඳ වූ කවර හෝ විකෘතියක් උන්මාදය යන...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Insanity). මනස පිළිබඳ වූ කවර හෝ විකෘතියක් උන්මාදය යනුවෙන් හැඳින්වේ. උන්මාදය වූකලි පුද්ගලයකු ස්වකීය සමාජයේ නෛතික හා සාම්ප්‍රදායික සම්මතයන්ට අනුකූල වන පරිදි ක්‍රියා කිරීමට අපොහොසත් කරවනසුලු වූ කවර හෝ ආකාරයක මානසික ආබාධයකි. මේ රෝගය හා ආශ්‍රිතව පවත්නා අපකීර්තිය හේතුකොටගෙන “උන්මාදය” යන පදය දැන් එතරම් රිසියෙන්නක් නොවේ. “උන්මාද”, “උමතු”, “පිස්සු” යන පද අවිචාරවත් ලෙස නොයෙදුව මනායි. මානසික වශයෙන් වික්ෂිප්ත වූ පුද්ගලයකුගේ මානසික තත්වය විස්තර කිරීමේ දී “සිහිමඳබව” (මානසික අස්වාස්ථ්‍යය) යන පදය භාවිතා කිරීම වඩා යෝග්‍යය. එහෙත් උසාවිවලත් නෛතික වාග්ව්‍යවහාරයෙහිත් “උමතු” යන වචනය තවමත් ව්‍යවහාර වේ.

ඒ කෙසේ වෙතත් මිනිසාගේ චිත්තාවේගය, නිර්ණය බුද්ධිය හා පුද්ගල විශේෂත්වය යන මේවා සම්බන්ධයෙන් හටගත් කැළඹිල්ල අස්වාභාවික යයි ප්‍රකටව ම පෙනී යන තරමට පවත්නා හැම විටෙක ම ඒ කැළඹිලි සමස්තය ම “උන්මාද” යන වචනයෙහි ලා ගැනේ. මෙසේ මේ තත්වය එක් අතකින් අධික උත්සුකභාවය, ආතතිය, දොම්නස්ගතිය, පෙනෙන්නට ඇති හේතුවක් නොමැතිව හටගන්නා භය හෝ ව්‍යාකුල ගතිය යන මේවායින් පටන් ගෙන අනෙක් අතින් මුළාව සහ භ්‍රාන්තිය (hallucination) දක්වා අඩු වැඩි වශයෙන් පවතින්නට පුළුවන. අමූර්ත පදාර්ථවාචී “මනස” යන්න විස්තර විභාග වශයෙන් කොටස් තුනකට බෙදා දක්වා තිබේ. ධී ශක්තිය හෙවත් සඤ්ජානනය, චිත්තාවේගය හෙවත් ආවේදනය, ක්‍රියාභිලාෂය හෙවත් යත්නය යනුවෙනි. ව්‍යූහවිද්‍යානුකූලව මනස යනු කුමක් දැයි ව්‍යවච්ඡේදානුසාරයෙන් දැක්වීමට කිසිවකුටත් පිළිවන් වී නැත. කිසිවකු එය දැක හෝ ස්පර්ශ කොට හෝ නොමැත. එහෙත් එය පවත්නා බව කවුරුත් දනිති. පැරැණි චිකිත්සකයෝ මනස හෘදය වස්තුවේ කාර්යයකැයි සිතූහ. එය වූකලි මොළයේ කාර්යයක් බව දැන් දනිත්. යම්සේ පෙණහැල්ල අපේ ආශ්වාස ප්‍රශ්වාසයට උපකාරී ඉන්ද්‍රියය වේ ද, යම්සේ උදරය ආහාර දිරවීමේ ඉන්ද්‍රියය වේ ද, එසේ ම මොළය මනස පිළිබඳ ඉන්ද්‍රියය වේ. “උණ” යන වචනය මෙන් ම “උන්මාදය” හෙවත් මනසේ අස්වාස්ථ්‍යය යන්න ද විශේෂඥයකුට එකිනෙකින් වෙසෙසා හැඳිනගත හැකි රෝග කීපයකට සාමූහික වශයෙන් ව්‍යවහාර කෙරෙන පදයකි. නිදසුන් වශයෙන් දක්වතොත්, “උණ” යන්නෙන් සන්නිපාත උණ, ඉන්ෆ්ලුවෙන්සා උණ, නියුමෝනියා උණ හෝ පැපොල හෝ සරම්ප නිසා හටගන්නා උණ කියැවෙන්නට පිළිවන. එපරිද්දෙන් ම ගර්භණී අවස්ථාවේ දී හෝ ප්‍රසූතියෙන් පසුව ඇති වන මානසික විකාරය හෙවත් වැදූගෙයි උන්මාදය, ධූලක හෝ ආසාදක තත්ව ආශ්‍රිතව ඇති වන විභ්‍රාන්තිය හෝ මානසික ව්‍යාකුලත්වය වැනි උන්මාදය හෝ පැහැදිලි හේතුවක් නොමැතිව ඇති වන අධික භය හෝ උග්‍රඖත්සුක්‍යය (ව්‍යග්‍රතාව) වැනි සාමාන්‍ය චිත්තාවේගයන්ගේ අධිකතාව පවා “උන්මාදය” යන්නෙහි අඩංගු වේ. කායික රෝගයන්හි දී නියත රෝග කාරක සාධකයක් තිබිය හැකි නමුදු මානසික විපරීතයට හේතු වන තනි සාධකයක් ඉඳුරා දැක්විය නොහැකිය. පොදු වශයෙන් පාරම්පරික ආවේණිය හා පුද්ගල විශේෂත්වය වැනි පරිපෝෂක සාධක මෙහි ලා සැලකිය යුතු වන නමුදු වෙඩිල්ලට කොකා ගැස්සූ කලක් මෙන් රෝගය ඇත්ත වශයෙන් ම පැනනංවන ආසන්න හේතුව පරිසරය හා සම්බන්ධ වූ යම්කිසි ව්‍යසනකාරී තත්වයක් හෝ දරාගත නොහෙන මානසික පීඩාවක් හෝ ආතතියක් විය හැකිය.

ආවේණිය කායික රෝගයන්ට වඩා මානසික රෝගයන්හි ලා සැලකිය යුතු වන නමුදු එය ඊට සරු පසක් පමණි. ඇතැම් මානසික රෝගයන්හි, විශේෂයෙන් මානසික ඌනතාව, භින්නෝන්මාදය (schizophrenia), ක්ෂිප්ත-අවපීඩක සයිකෝසියාව (manic-depressivepsychosis) යන රෝගයන්හි ලා මෙන්ඩලීය මූලධර්මවලට අනුව ආවේණික සම්ප්‍රේෂණය සිදු කරන ආවේණික ප්‍රවණතාවක් පවත්නා බව සැබවි. ඒ එසේ වුව ද යම්කිසි පුද්ගලයකුගේ මුතුන්මිත්තන් මානසික ආබාධයකින් පෙළුණු බැවින් ඔහු ද අවශ්‍යයෙන් ම මානසික ආබාධයකට ගොදුරු වන බවක් ඉන් නොකියැවේ. ළමාවියෙහි දී ම විශේෂ ළමා චිකිත්සාගාරවල දී කල් ඇතිව රෝග නිවාරණ ප්‍රතිකාර කිරීමත් පරිසරයෙන් ඇති වන හිංසා පීඩා හැකි තාක් දුරට ඉවත් කරලීමත් වෙනත් ආධ්‍යාපනික ක්‍රමත් මගින් මේ රෝග ප්‍රවණතාව තරමක් අඩු කළ හැකි බව අත්දුටු කරුණකි. උන්මාදය කවර විශේෂයකට හෙවත් වර්ගයකට අයත් ද යනුත් මෙහි ලා වැදගති. සෑම උමතු විශේෂයක් ම එක සේ ආවේණික හෝ සාම්ප්‍රේෂණික නොවේ. ආවේණික ප්‍රවණතා අධ්‍යාපනය හා පුහුණුව මගින් තරමක් දුරට වෙනස් කළ හැකිය. හදා වඩා පුරුදු පුහුණු කොටගැනීම මගින් ස්වභාවධර්මය තරමක් දුරට වෙනස් කළ හැකි වන නමුදු එය සහමුලින් මැඩපැවැත්විය නොහේ.

මානසික ආබාධ ලොව පුරා ම පෙරට වඩා වැඩි වී ඇති බව දැන් පිළිගෙන තිබේ. මේ වැඩි වීමට එක් හේතුවක් නම් පෙරට වඩා අද ජීවිතයේ ඇති තදබදය හා ආයාසකර ස්වභාවයත් ඒ එක්ව ම පුද්ගලයාට තම පරිසරයට ගැළපෙන පරිද්දෙන් හැඩගැසීමට ඇති දුෂ්කරතාත්ය. සියලු ම උන්මාද රෝග අතුරින් සියයට අසූවක් පමණ ඇතුළත්වන්නා වූ ඉතා ප්‍රධාන මානසික ආබාධ දෙකක් වූ භින්නෝන්මාදය සහ ක්ෂිප්ත-අවපීඩක උන්මාදය ප්‍රධාන වශයෙන් ම ඇති වනුයේ පුද්ගලයා පරිසරයට අනුව හැඩ ගැසීමට අසමර්ථ වීම හේතුකොට ගෙනය. භින්නෝන්මාදයේ දී හෙවත් භින්නමනස් රෝගයේ දී මේ බැරිකම නිසා පුද්ගලයා තමා තුළට ම රිංගාගෙන, පරිසරය හා සටන අත්හැර දමා තථ්‍ය ලෝකයෙන් ඈත් වෙයි. ප්‍රධාන මානසික ආබාධය හෙවත් සයිකෝසියාව සහ අප්‍රධාන මානසික ආබාධය හෙවත් සයිකො-නියුරෝසියාව යනුවෙන් මානසික ආබාධ දෙවර්ගයකි. පළමු කී ආබාධයේ දී රෝගියා තමා රෝගී බව නොදනී. ප්‍රතිකාර ගැනීමට නොකැමැති වෙයි. නොයෙක් විට ඔහු තමාටත් අන්‍යයනටත් අනතුරුකාරීය. පසුව කී ආබාධයේ දී රෝගියා තමා රෝගියකු බව දනී. බොහෝ විට තෙමේ ම ප්‍රතිකාර ගැනීමට ඉදිරිපත් වේ. ඔහු තමාට හෝ අන්‍යයනට අනතුරුකාරී නොවේ. මේ හැම උන්මාද වර්ගයක දී ම පුද්ගලයා රෝගය වැලඳෙන තාක් කල් අමුත්තක් නැතිව හුන් කෙනෙකි; බරින් හා ව්‍යූහයෙන් සාමාන්‍ය මොළයක් ඇතිව සිටියෙකි. උන්මාද ගණයෙහි ම ලා ගැනෙන මානසික ඌනත්වයෙන් පෙළෙන්නා ඌනත්වය ඇතිව ම උපන්නෙකි; මූඪතාව නැතහොත් මන්දබුද්ධිකතාව වශයෙන් පෙන්නුම් කරන මස්තිෂ්ක පදාර්ථ ඌනත්වයක් සහජයෙන් ම ඇත්තෙකි. වර්තමානයෙහි වෙනත් නොයෙක් රටවල මෙන් මේ රටෙහි ද භින්නෝන්මාද රෝග වැඩියෙන් බලපවත්වයි. ක්‍රමයෙන් ගම් නගර බවට පෙරළීම හේතුකොටගෙන ජීවිතය පිළිබඳ දුෂ්කරතාවනට අනුකූලනය වීම වඩ වඩා දුෂ්කර වෙමින් පවතී.

ගංජා හා කංසා විෂ වැනි ඓන්ද්‍රිය සාධකයන් මගින් ද ප්‍රතිවිරුද්ධ අදහස්වල සංඝට්ටනය හේතුවෙන් ද මානසික ආබාධ ඇති විය හැකිය. පළමුවැන්නෙහි දී ආබාධය ඓන්ද්‍රිය යයි කියනු ලැබේ. දෙවැන්නෙහි දී එය මනෝජනිත ලෙස සැලකේ. එක් එක් පුද්ගලයාගේ පුද්ගල විශේෂතාව හා ගැටෙන ඇතැම් සිතිවිලි, චිත්තාවේග හා අදහස් නිසා මානසික ආබාධ ඇති වනු පමණක් නොව, හෘත්ස්පන්දන වේගය නිරන්තරයෙන් වැඩි වී පැවැත්ම හෝ ආමාශයික රෝග වැනි කායික ආබාධ ද ඇති වන බව දැන් පිළිගනු ලැබේ. ඇත්තවශයෙන් කියතොත්, ආරෝග්‍යශාලාවක කායික ආබාධ සඳහා ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් යටත් පිරිසෙයින් සියයට තිහේ සිට හතලිහ දක්වා වූ රෝගීන් සංඛ්‍යාවක් කෙරෙහි ඔවුන්ගේ කායික රෝග ලක්ෂණ හා සම්බන්ධ වූ කිසියම් මානසික කැලඹිල්ලක් පවත්නා බව ඇතැම් විශේෂඥයෝ පවසති. මේ මානසික කැලඹිලි බොහෝ විට තදබල ව්‍යග්‍රතාවක හෝ මඳ දොම්නසක හෝ නින්ද නොයෑමක ස්වරූපයක් දරයි. ඒවා මානසික රෝග හැටියට කිසි සේත් නම් කළ නොහැකි වුව ද කායික රෝග හා අත්වැල් බැඳගත් මානසික සහගාමිකයෝයි. ඒවා සුලු මානසික ව්‍යාධි ගණයෙහි ලා ගැනේ; ප්‍රධාන මානසික ව්‍යාධීන් ලෙස ගැනෙන්නේ ප්‍රකට උන්මාද රෝග හෙවත් සයිකෝසියාවයි.

සැකෙවින් කියතොත්, උන්මාදය යනු මානසික රෝග ලක්ෂණ සමූහයක් හඳුන්වන පදයකි. මානසික වශයෙන් රෝගාතුර වූවෝ මූලික කෙ‍ාටස් දෙකකට බෙදනු ලබත්. සාමාන්‍ය පුද්ගලයනට ඇතිවාට වඩා අඩුවෙන් මස්තිෂ්ක පදාර්ථ ඇතිව උපන් අය ද රෝගයක් හෝ තුවාළවීමක් නිසා බාල කාලයේ දී ම මොළයේ වර්ධනය ඇන සිටි අය ද එක් කොටසකි. මානසික වශයෙන් අඩුපාඩු ඇත්තෝ මොව්හුය. මුග්ධයෝත් හීන හෝ මන්ද බුද්ධිකයෝත් මොවුනතුරෙහි ලා ගැනෙත්. මේ හැම දෙනාගේ ම පොදු ලක්ෂණය වනුයේ සාමන්‍ය බුද්ධිය පිළිබඳ අඩුපාඩුවකි. අනික් කොටසට අයත් වනුයේ සාමාන්‍ය ප්‍රමාණයට මොළයේ පදාර්ථය ඇතිව උපන ද පසුව එය ධූලක මඟින් ‍ඓන්ද්‍රිය වශයෙන් හෝ අදහස් සංඝට්ටනයක හේතුවෙන් මානසික වශයෙන් හෝ ජනිත රෝග පීඩාවකට ගොදුරු වූ තැනැත්තන්ය. මානසික ආබාධ නොවැල‍ඳෙන හෙවත් එම ආබාධවලින් මිදීමේ ප්‍රතිශක්තිය සහිත කිසි ම පන්තියක් හෝ ජාතියක් නොමැත. මානසික පීඩාව හා ආතතිය නොසෑහෙන තරම් වුවහොත් ඔරොත්තු දිය නොහෙන සීමාව සෑම පුද්ගලයකු කෙරෙහි ම එළඹේ. ඇතැම් අය කෙරෙහි මෙම සීමාව සුළු බාධකයක් නිසා එළ‍‍‍‍ඹෙන්නට පුළුවන. ඇතැමුන් කෙරෙහි එය එළඹිය හැක්කේ මහත් විපත්තිකර සිද්ධියක් හේතුවෙන් පමණකි.

ප්‍රතිකාර

ප්‍රතිකාරය එලදායී වීමට නම් එය රෝගය නිදානය කෙරෙහි එල්ල කළ යුතුය. නූතන ප්‍රතිකාර විධිවලට විද්‍යුත්-ප්‍රහාරය, ඉන්සියුලින් ප්‍රහාරය, මනෝවිග්‍රහය, විමෝහ විග්‍රහය (narcoanalysis) වැනි විශේෂ ක්‍රම ඇතුළත්ය. කවර ක්‍රමය අනුගමනය කළ ද කෙළවර දී සාර්ථක ප්‍රතිඵල දැකගැනීමේ හොඳ ම බලාපොරොත්තු ඇති කොටගත හැක්කේ කල් නොයවා වහා ම කරන ප්‍රතිකාරයෙනි.

විද්‍යුත්-ප්‍රහාරයේ දී ප්‍රමාණවත් වෝල්ටීයතාවකින් යුත් සෑහෙන කාලප්‍රමාණයක් පවත්නා විදුලිධාරාවක් නළලට අල්ලා එමඟින් මොළයේ සෛල උත්තේජනය කරනු ලැ‍බේ. මේ සඳහා විද්‍යුත්-ප්‍රහාර පහේ සිට දහය දක්වා අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් විද්‍යුත්-ප්‍රහාර දෙනු ලබන්නේ සතියකට ‍දෙවරකි. එක් එක් පුද්ගලයාගේ රෝගයට අනුව ඊට වැඩි හෝ අඩු වාර ගණනක් වන්නට ද පුළුවන. ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට වැඩි ඈතක නොවේ නම් ප්‍රතිකාර වාරයකින් පසු රෝගියා ගෙදර ගෙන ගියාට වරදක් නැත. අවපීඩක සයිකෝසියාවෙහි දී වඩාත් අභිප්‍රේත ප්‍රතිකාරය වනු‍යේ විද්‍යුත්-ප්‍රහාරයයි. යෝග්‍ය රෝගීන් විෂයෙහි එය විස්මයජනක අන්දමින් ගුණ පෙන්වයි.

ඉන්සියුලින් ප්‍රහාරයේ දී රෝගියාට මන්ද-මධුරක්තීය සහගතය (hypo-glycaemic coma) ඇති වන තුරු ක්‍රමයෙන් මාත්‍රාව වැඩි කරමින් ඉන්සියුලින් දෙනු ලැබේ. විවිධ කාල සීමාවන්ගෙන් පසු ග්ලූකෝස් විද සන්‍යාසය නවත්වනු ලැබේ. ඉන්සියුලින්වලින් කරන ප්‍රතිකාරයක් සම්පූර්ණ වීමට යටත්පිරිසෙයින් එවැනි සන්‍යාස තිහක් පමණ අවශ්‍ය වේ. මේ ප්‍රතිකාර විධිය අන්තරාය විරහිත නොවන හෙයින් එය ආරෝග්‍යශාලා පහසුකම් ඇතිව ම කළ යුතු වේ. චිකිත්සකයාගේ කැමැත්ත අනුව තෝරාගත හැකි කායික ප්‍රතිකාර විධි කීපයක් ද ඇත. ෆිනෝතයසීන් (phenothiazine) හෝ ඒකාවේරිය නිස්සාර වැනි අලුත් ඹෟෂධ වර්ග මෑතක දී ඉතා සාර්ථක ලෙස භාවිතයට පැමිණ තිබේ. කිනම් කායික ප්‍රතිකාර ක්‍රමයක් උපයෝගී කරගත්ත ද රෝගියාගේ සුවවීම තහවුරු කරනු වස් මනශ්චිකිත්සක කථාසල්ලාපයෙන් ඔහු තමාගේ පරිසරයට යළි ගළපාලිය යුතුයි.

ප්‍රතිකාර විධියක් වන මනෝවිග්‍රහය සඳහා බෙහෙවින් කාලය ගත වේ. මේ ප්‍රතිකාර ක්‍රමය සතියක‍ට දෙවරක් බැගින් අඩු ගණනේ අවුරුද්දක් පමණ දිග්ගැස්සෙයි.‍ මෙහි ලා රෝගියාගේ ‍රෝග ලක්ෂණ ඇතිවීමට හේතු වී යයි කල්පනා කරනු ලබන්නාවූත් යටපත්කරන ලද්දාවූත් සිතිවිලි හා අදහස් සිහියට එළවනු ලැබේ.

(කර්තෘ: ඒ.ඇල්. අබයවර්ධන)

ආයුර්වේද මතය

උන්මාදයට පිස්සුව යන චචනය ‍මෙරට පොදුවේ ව්‍යවහාර වේ. දෙමළ බසින් මෙයට කියනුයේ පෛත්තියම් යනුයි. පිතේ සම්බන්ධය ඒ නමින් පැවැසේ. උන්මාදය මානසින රෝගයකි.

වාතජ, පිත්තජ, කඵජ, සන්නිපාතජ, මානසික, විෂජ යයි එහි ප්‍රභේද සයකි.

පළමු තුන ඒ ඒ දෝෂ කෝප හේතුන්ගෙන් මනස අවුල්කොට හටගනී. හතරවැන්න සංකීර්ණ හේතූන්ගෙන් ඇති වේ.

භය, ශෝක, කෝප ආදි මනසට තියුණු පීඩා ‍ගෙනදෙන කරුණු නිසා ඇති වනුයේ මානසිකයයි. හිත පෙරළීම නිසා සිදු වූ දෙයකැයි පොදු ජනයා හඳුන්වනුයේ මේ වර්ගයයි.

විෂ වර්ග හෙවත් ඒ ඒ තැනැත්තාගේ ශරීරයට අහිත වන ආහාරපාන හෝ බේත් වර්ග නිසා ඇති වනුයේ විෂජය. අත්තන, කංසා වැනි දෙයින් සිහි මුළා වේ. මේවා අඩංගු බේත් මාත්‍රාව ඉක්ම‍වා ගැනීමෙන් සමහරුන්ට උමතුව වැල‍ඳේ. මේ විෂජ උන්මාදයයි.

මේ හැර ග්‍රහ දෝෂයන්ගෙන් ඇති වන උන්මාද වර්ගයක් ගැන ද සඳහන් වේ. සෑම රෝගයට ම ත්‍රිදෝෂ කෝපය හේතු වෙතැයි උගන්වන ආයුර්වේද මතයට අනුව මානසික, විෂජ, භූතජ උන්මාද වර්ග ද පෙර සඳහන් වාත, පිත්ත, කඵ යන තුනට අඩංගු කළ හැකිය. එහෙත් අදූර හේතු අනුව, විෂජ ආදි ලෙසින් නම් කර තිබේ.

මේ සඳහන් කළ ප්‍රධාන වර්ගයනට අතිරේකව, ඇතැම් රෝගවල උපද්‍රවයක් වශයෙන් ඇති වන උන්මාදයක් ද එක් කළ හැකිය. ඵිරංග (උපදංශය බ.) රෝගය වැලැඳි විට ක්‍රමානුකූලව නියම පිළියම් නොයෙදීමේ හේතුව නිසා මොළයට සිදු වන පීඩාවන්ගෙන් උමතුවක් හටගනී. එය ද විෂජ වර්ගයට එක් කළ හැකිය. එහෙත් මේ වර්ගය ඵිරංග රෝගයේ උපද්‍රවයක් වන නිසා මෙන් ම චිකිත්සා ක්‍රමය වෙනස් වන නිසා ද වෙනත් උමතු අවස්ථාවක් ලෙස නම් කිරීම මැනවි.

උමතු රෝගීන්ගේ ලක්ෂණ රෝගයට මුල් වූ හේතු අනුව වෙනස් වේ. ප්‍රතිකාර ද අවස්ථානුරූපව වෙනස් වේ.

(කර්තෘ: විලියම් අල්විස්)

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උන්මාදය&oldid=9774" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි