උණ (2)

සිංහල විශ්වකෝෂය වෙතින්
16:00, 31 දෙසැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

උණ (ජ්වරය) යනු ශරීරයේ උෂ්ණත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිවීමයි. එසේ වැඩි වන්නේ කිසියම් රෝගයක් හෝ උපද්‍රවයක් හට ගැනීම නිසා හයිපොතැලමසයේ තාපපාලක කේන්ද්‍රයන්හි කිසියම් විපර්යාසයක් ඇතිවීම කරණකොටගෙනය. නිරෝගි තැනැත්තකුගේ උෂ්ණත්වය පැ. 97.5° සිට 99° දක්වා විය හැකිය. සාමාන්‍ය උෂ්ණත්වය පැ. 98.4° යයි කියනු ලබන්නේ නිරෝගි බොහෝ දෙනකුන්ගේ උෂ්ණත්වය එය නිසායි.

ඒකශෛලිකයන් නිසා ඇති වන මැලේරියාව, ඇතැම් අතීසාර රෝග, ඇමීබයසියාව වැනි රෝග ද බැක්ටීරියාවන් නිසා හටගන්නා නියුමෝනියාව, ක්ෂය රෝගය, ආන්ත්‍රික ජ්වරය, පිටගැස්ම, සමහර අතීසාර රෝග වැනි රෝග ද වෛරස් නිසා හටගන්නා ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා, සරම්ප, පැපොල, මසූරිකා, කහ උණ වැනි රෝග ද පණුවන් නිසා ඇති වන ෆයිලේරියාව (බරවා) බඳු වූ රෝග ද වැලඳෙන විට උණ ඇති වේ. එම උණ එකී රෝගයන්හි රෝග ලක්ෂණයක් පමණක් බව විශේෂයෙන් සැලකිය යුත්තකි.

උණ බැලීම

විශේෂ උෂ්ණත්වමානයක් වන උණකටුවෙන් උෂ්ණත්වය මැනගත හැකිය. උෂ්ණත්වය මැනීම පිණිස මුඛය, කිහිල්ල, ඉකිළිය, අධෝමාර්ගය යන ශරීරස්ථාන සතරින් එකක උණකටුව තබනු ලැබේ. ඒ සඳහා බෙහෙවින් උපයෝගී කරගනු ලබන්නේ මුඛයයි. කුඩා ළමයින්ගේත් මූර්ඡා වූවන්ගේත් උණ බලන්නේ කිහිල්ලේ උණකටුව තැබීමෙනි. ළදරුවන්ගේ උණ මැනීමට අධෝමාර්ගය යෝග්‍යයි. උණ මැනීමට උණකටුව විනාඩි භාගයක් යටකී ස්ථානයක තැබීම ප්‍රමාණවත්ය යනු සාමාන්‍ය විශ්වාසය වුව ද නිවැරැදි උෂ්ණත්වය උණකටුවේ සටහන් වන්නට විනාඩි දෙකක කාලයක් වත් අවශ්‍යය. උණකටුව පාවිච්චි කිරීමට පෙර එහි දැක්වෙන උෂ්ණත්ව ප්‍රමාණය පැ. 98.4°ට අඩුව තිබිය යුතුය.

නිදානය

නිරෝගි තැනැත්තකුට උණ නැත්තේ ඔහුගේ තාප නිෂ්පාදනයත් තාප හානියත් සම සමව තිබෙන හෙයිනි. තාප නිෂ්පාදනය වැඩි වුව හොත් හෝ තාප හානිය අඩු වුව හොත් ඔහුට උණ හටගනී. උණ හටගැනීමට වැඩි වශයෙන් බලපාන්නේ තාප හානියයි. ශරීරයේ තාප නිෂ්පාදනය සිදු වන්නේ මාංස පේශි ක්‍රියා කිරීමෙන් හා තෙල්, මස් යනාදි කෑම වර්ගවල පරිවෘත්තියෙනි. තාප හානිය සිදු වන්නේ ප්‍රධාන වශයෙන් සමෙන් සහ ස්වල්ප වශයෙන් පෙණහැලිවලිනි. සමෙන් උෂ්ණය අඩු වන්නේ සංනයනය, විකිරණය සහ ඩහදිය වාෂ්පීකරණය යන මේවායිනි. උණ සෑදුණු විට සමේ ලේ නළ පුළුල් වී ලේ අධික ප්‍රමාණයක් සංනයනයට සහ විකිරණයට භාජන වෙයි. මෙයින් උණ අඩු නොවී නම් ලේ නහර තව දුරටත් පුළුල් වී සමට ලේ අධික ප්‍රමාණයක් පැමිණ රෝගියාට ඩහදිය දමා, එය වාෂ්ප වීමෙන් උණ අඩු වේ. උෂ්ණතාව අඩුවැඩි වීමට හේතු වන සාධක දෙකක් නම් ආර්ද්‍රතාව සහ වාතයේ සංචලනතාවයි. ආර්ද්‍රතාව වැඩි වුව හොත් වාෂ්පීකරණය අඩු වෙයි. වාතය නිශ්චල වුව හොත් සංනයනය අඩු වී උෂ්ණතාව අඩු නොවෙයි. වාතය සංචලනය වී තිබුණොත් සංනයනය වැඩි වී උණ බසී. බැක්ටීරියාවන්ගෙන් සෑදෙන උණසන්නිපාතය, කාසරෝගය ආදි රෝගවල දී ද උෂ්ණ ජ්වරය (heat stroke), මාරක පිළිකා යනාදි රෝගවල දී ද උණ සෑදෙන්නේ තාප හානිය අඩු වීමෙනි. හොප්කින්ගේ රෝගය, ශ්වේතාණුරෝගය (ලියුකේමියාව) සහ මොළේ ගෙඩි ආදියෙහි දී උණට හේතු වන්නේ තාප නිෂ්පාදනය වැඩි වීමයි. ශරීරයේ උණ ඇති වන්නට පෙර බොහෝ දෙනකුන්ට හිසරදය සෑදේ. තවත් සමහරුන්ට වෙව්ලන තරමට සීතල ඇති වේ. කුඩා ළමයින්ට නම් ඇතැම් විට උණ සමග වළිප්පුව සෑදේ. සමහරුන්ගේ මුහුණ රතු වෙයි. සම රත් වී වියළි ගතියක් ඇති වෙයි. ඩහදිය දැමූ විට සම තෙත් වෙයි. දිව සහ තොල් වේළී යයි. කටේ කෙළත් අඩු වෙයි. දිවේ දුඹුරුපාට අක්කාරමක් බැඳේ. සමහරුන්ට වමනය, ඔක්කාරය හටගනී. කෑම අරුචි වෙයි. බඩගින්න අඩු වෙයි. සමහරුන්ට බඩ වේළීම ද ඇතැමකුට බඩ යාම ද සෑදේ. මූත්‍ර යෑම සාමාන්‍යයෙන් අඩුය. නාඩි වැටීම සහ හුස්ම ගැනීම ඉක්මන් වෙයි. දවස් ගණනක් උණ නොබැස තිබුණොත් සිහි විකල් ගතිය සෑදෙන්නට පිළිවන. සමහරුන්ට උණ විකල් ගතිය සෑදෙයි. කෑම ගැනීම අඩු නිසා ශරීරය කෘශ වෙයි. උණෙන් පෙළෙන විට සර්වාංගයෙහි ම වේදනා ඇති වෙයි.

ප්‍රතිකාර

උණට කළ යුතු ප්‍රතිකාරය නම් ඊට හේතු වූ රෝගය සුව කරගැනීමයි. උණට හේතු වූ රෝගය කවරක් වුවත් පහත දැක්වෙන උවදෙස් පිළිපැදීමෙන් රෝගියාට ලොකු සහනයක් ලැබේ. රෝගියා නිශ්චලව ඇඳක තබා වෙදකම් කළ යුතුය. නෑදෑ මිත්‍රයන්ගේ යෑම්ඊම් අඩු කළ යුතුය. ආහාර වශයෙන්, බොන දෑ මිස කන දෑ නොගත යුතුය. ඇඟේ කැක්කුම අඩු කරගන්නට ඇස්පිරින් පෙති එකක් හෝ දෙකක් ගත යුතුය. උණ පැ. 102°ට වැඩි නම් හිසේ අයිස් බෑගයක් තැබීමෙන් ලෙඩාට ලොකු පහසුවක් ලැබේ. රෝගියාට වතුර හුඟක් බීමට දිය යුතුය. මුහුණ, කට, ඇඟපත දිනපතා ම සෝදා පිරිසිදුව තැබිය යුතුයි. රෝගියා දිනපතා ම මල මූත්‍ර පහ කළ යුතුයි.

(ආන්ත්‍රික ජ්වරය; මැලේරියාව; වයිරස් රෝග; කහ උණ; ඉන්ෆ්ලුවෙන්සා යන ලිපි ද බලන්න.)

(කර්තෘ: ඊ.ඇම්. විජේරාම)

ආයුර්වේද මතය

රෝග අතුරෙන් උණ (ජ්වර රෝගය) ප්‍රධාන යයි ද රෝග රාජයා යයි ද වෛද්‍ය ශාස්ත්‍රයෙහි සඳහන්ය. සියලු ම නිදාන ග්‍රන්ථවල උණරෝගය පළමුවෙන් ප්‍රකාශ කොට තිබෙන්නේ ඒ නිසාය.

ශරීරයෙහි සහ සිතෙහි සන්තාපය (තැවීම) ප්‍රධාන ලක්ෂණය කොට ඇති නිසා උණ නාමය අන්වර්ථ වේ. ඩහදිය නැවතීම, ශරීරය (සහ සිත) තැවීම, මුළු ශරීරය ම වේදනාවෙන් පීඩා කිරීම යන ලක්ෂණ තුන ම එක වරට පහළ වන රෝගයට පොදු වශයෙන් උණ හෙවත් ජ්වර රෝගය යයි කියත්.

උණ (ජ්වර) ප්‍රභේද

නිජ, ආගන්තුජ යයි දෙකකි. නිජ නම් වාතාදි තුන්දොස් කිපී ශාරීරික වශයෙන් සෑදෙන උණය. ආගන්තුජ නම් විෂ ආදි බාහිර හේතු නිසා හටගන්නා උණය. නිජ උණෙහි ප්‍රභේද හතකි. එවිට නිජ, ආගන්තුජ වශයෙන් උණ අට වැදෑරුම්ය.

නිජ උණ ප්‍රභේද

1. වාතයෙන් සෑදෙන උණ

2. පිතෙන් සෑදෙන උණ

3. සෙමෙන් සෑදෙන උණ

4. වාතයෙන් සහ පිතෙන් සෑදෙන උණ

5. වාතයෙන් හා සෙමෙන් සෑදෙන උණ

6. පිතෙන් හා සෙමෙන් සෑදෙන උණ

7. වා පිත් සෙම් යන තිදොස ම කිපී සෑදෙන සන්නිපාත උණ යන මේයි.


සන්නිපාත උණ ප්‍රභේද

වාතාදි තිදොස ම එක්ව කිපීමෙන් සෑදෙන උණ රෝගය සන්නිපාත නමි. මේ තිදොස කිපීමේ දී එක් එක් දෝෂයක් අධික, මධ්‍යම, හීන වශයෙන් කිපෙන්නට පුළුවන. එනම් වාතය අධික පිත මධ්‍යම සෙම හීන යන ක්‍රමයට වේ. මේ ක්‍රමය අනුව උණ සන්නිපාතය තෙළෙස් වැදෑරුම්ය. ඒවා නම්: 1. විස්ඵාරක 2. ආශුකාරී 3. කම්පන 4. බහ්‍රැ 5. ශීඝ්‍රකාරී 6. භල්ලු 7. කූටපාලක (කූටපාකල) 8. සම්මෝහක 9. පාලක (පාකල) 10. යාම්‍ය 11. ක්‍රකව 12. කර්කටක 13. වෛදාරික යනුයි.

මේ ප්‍රභේද 13 ම වෙනත් ග්‍රන්ථවල නම් වශයෙන් ද ලක්ෂණ වශයෙන් ද වෙනස් ව සඳහන් කර තිබේ. එනම්: 1. ශීතාඞ්ග 2. තන්ද්‍රික 3. ප්‍රලාපක 4. රක්තෂ්ඨිවිනී 5. භුග්නනේත්‍ර 6. අභින්‍යාශ 7. ජිහ්වක 8. සන්ධිග 9. අන්තක 10. රුග්දාහ 11. චිත්තවිභ්‍රම 12. කර්ණික 13. කණ්ඨකුබ්ජ යනුවෙනි.


ආගන්තුජ උණෙහි ප්‍රභේද

1. අභිඝාතජ 2. අභිෂඞ්ගජ 3. අභිචාරජ 4. අභිශාපජ යයි සිව්වැදෑරුම්ය. මොවුනතුරෙන් අභිෂඞ්ගජ උණෙහි ප්‍රභේද දොළසක් වෙන් කර ගත හැකිය. ඒවා නම් (සිද්ධාන්ත නිදානයෙහි සඳහන් පරිදි): 1. ආන්ත්‍රික 2. ග්‍රන්ථික 3. ශ්ලේෂ්මක 4. සන්ධික 5. ශ්වසනක 6. ආක්ෂේපක 7. මසූරිකා 8. ලඝුමසූරිකා 9. රෝමාන්තිකා 10. දණ්ඩක 11. කර්ණමූලික 12. විෂම යන මේ දොළොසය.


විෂම ජ්වරයෙහි ප්‍රභේද

1. සන්තත 2. සතතක 3. අන්‍යෙද්‍යුෂ්ක 4. තෘතීයක 5. චාතුර්ථක 6. වාතබලාසක 7. ප්‍රලේපක 8. ශ්ලෛපදික 9. ඖපද්‍රවික 10. දුර්ජල ජනිත යන මේවායි. ජීර්ණ ජ්වරය හා ධාතුගත උණ ද විෂම ජ්වර සංඛ්‍යාවෙහි ලා සැලකීම යුක්ති සහගතය.

ජ්වර රෝගයෙහි තරුණ, මධ්‍යම, පුරාණ වශයෙන් ද ප්‍රභේද තුනකි. සත් දින දක්වා තරුණ ද දොළොස් දින දක්වා මධ්‍යම ද ඉන් ඉදිරියට ගිය කල්හි පුරාණ ද වේ. ප්‍රතිකාරයෙහි දී මේ ප්‍රභේදය ඉතා වැදගත්ය.

ජ්වර නිදාන

වැරදි අන්දමේ ආහාර විහරණ පැවැතුම් ආදිය උණ සෑදීමේ පොදු නිදානයෝ වෙත්.

වාතයෙන් සෑදෙන උණ

රළු, සැහැල්ලු (ලඝු), ශීතල ද්‍රව්‍ය වැඩි වශයෙන් වැළඳීම, වමන, විරේක, කෂාය, වස්ති, නස්‍ය ආදිය අතිශයින් යෙදීම, වැඩිපුර ව්‍යායාම කිරීම, මලමූත්‍ර වේග වළක්වාගෙන සිටීම, උපවාසය, අභිඝාතය (තැළීම), අතිශයින් මෙවුන්දම් සේවනය, කළකිරීම හෝ සිතෙහි කලබල ඇති වීම, ශෝකය, ලේ ඉවත් කිරීම, නිදි මැරීම, විෂම විධියට ශරීරය තබා ගෙන සිටීම යන මේ කරුණු වාතජ්වරය හටගැනීමට නිදානයෝ වෙත්.

පිතෙන් සෑදෙන උණ

උෂ්ණ (ගිනියම්), ඇඹුල්, ලුණු, ක්ෂාර (කාරම්), කටුක සහ නොපැසුණු (අමු) ද්‍රව්‍ය බහුල වශයෙන් වැළඳීම, තියුණු ද්‍රව්‍ය සේවනය, අව් ගිනි තැපීම, විඩාව, ක්‍රෝධය, විෂම ආහාර ගැනීම ආදිය පිත්තජ්වරය හටගැනීමට නිදානයෝ වෙත්.

සෙමෙන් සෑදෙන උණ (කඵජ්වර)

සිනිඳු, දිරවීමට බර (ගුරු), මිහිරි, බෙලසුල්, ශිතල, ඇඹුල් හා ලුණු රස ද්‍රව්‍ය වැඩිපුර වැළඳීම, දහවල් නිදාගැනීම, අධික සන්තෝෂය, නොවෙහෙසීම ආදිය කඵ ජ්වරය සෑදීමට නිදානයෝයි.

ජ්වර සම්ප්‍රාප්ති හෙවත් උණ රෝගය සෑදී ශරීරයෙහි පැතිරෙන අන්දම

ඉහතින් ප්‍රකාශ කරන ලද හේතූන් කරණකොටගෙන වාතය, පිත හෝ සෙම වෙන් වෙන් වශයෙන් හෝ වාපිත්, වාසෙම්, පිත්සෙම් යන පරිදි දෙකක් දෙකක් බැගින් හෝ වා පිත් සෙම් තුන ම එක්ව හෝ කුපිතව ආමාශය කරා පැමිණ ආහාර දිරවීමට උපකාර වන අග්නිය (ජඨරාග්නිය) ආමාශයෙන් පිට කර ශරීරයේ පිටතට පමුණුවයි. ඉන්පසු ඒ කිපුණු දෝෂයෝ ආහාර දිරවීමෙන් උපදින පළමුවැනි ධාතුව වන රසධාතුව සමඟ එක් වී ඒ අනුව ශරීරයෙහි පැතිරී රස, ඩහදිය ආදිය ගමන් කරන ස්‍රෝතස් (නළ) අවුරා ගනිත්. එවිට ආමාශය පක්වාශයයන්ගෙන් බැහැරව පිටතට පැමිණි ගින්න නිසා සකල ශරීරය ම උණුසුම් කොට උණ රෝගය ඇති කරයි.

උණ රෝගයෙහි පූර්වරූප

විඩාපත් ගතිය, නිදීම් හිඳීම් ආදියෙහි සැපයක් නැති බව හෙවත් නොරිසි බව (අරතිය), ශරීරය විවර්ණවත් බවක් හෙවත් අව්වෙන් තැවුණාක් වැනි පාටක් ගැනීම, මුඛයෙහි විරස හෙවත් අමිරහ බව, ඇස කඳුලු පිරීම, සීතල, සුළඟ සහ උණුසුම ආදියෙහි වරින් වර කැමැත්ත හා අකැමැත්ත, ඈනුම් යාම, ඇඟ පොඩි කිරීම, ඇඟේ බර ගතිය, ලොමු ඩැහැගැන්ම, අරුචිය, අඳුරෙහි සිටින්නාක් මෙන් දැනීම (තමස), අසන්තෝෂය, සීගතුව යන මේ ලක්ෂණ සියලු ම උණ රෝගයන්හි උණ ගැනීමට පෙර පහළ වන පොදු පූර්වරූප හෙවත් උණ ගැනීගෙන එන ලක්ෂණයෝයි. පූර්වරූපයෝ සාමාන්‍ය, විශේෂ යයි දෙවැදෑරුම් වෙත්. සාමාන්‍ය පූර්වරූපවලින්, සෑදීගෙන එන රෝගය මිස කවර දෝෂයක් කිපී තිබේ දැයි වෙසෙසා දැනගැනීමට නොහැකිය. විශේෂ පූර්වරූපවලින් සෑදීගෙන එන රෝගයත් කිපුණු දෝෂයත් වෙසෙසා අවබෝධ කරගත හැකිය. ඉහත දැක්වූ පූර්වරූප (ලක්ෂණ) අතර ඈනුම් යාම බහුලව ඇතොත් වාතයෙන් සෑදෙන උණ ද ඇස් දැවිල්ල බහුලව තිබේ නම් පිතෙන් සෑදෙන උණ ද ආහාර අරුචිය අධිකව තිබේ නම් සෙමෙන් සෑදෙන උණ ද බව වෙසෙසා ගත යුතුය. පූර්වරූප සහ රූප අතර ඉඳුරා පෙනෙන බලවත් වෙනසක් නැත. සෑදීගෙන එන රෝගයෙහි (භාවි ව්‍යාධි) ලක්ෂණ වන පූර්වරූප, රෝගය සම්පූර්ණ වූ විට වඩා ප්‍රකටභාවයට පත් වී රූප බවට පැමිණේ.

වාතයෙන් සෑදෙන උණෙහි (වාතජ්වර) රූප

වාතයෙන් හටගන්නා උණෙහි දී ඇඟ වෙව්ලීම, එක පිළිවෙළකට උණ වේගය නැතිකම, එනම් වරෙක උණ වැඩිකම, නැවත අඩුකම ආදි වශයෙන් විෂම වේගය, උගුර තොල් කට වේළීම, නින්ද නොයාම, කිඹිසුම් නොයාම, ශරීරාවයවයන්ගේ රළුවීම, ශරීරයෙහි - විශේෂයෙන් හිසෙහි ළයෙහි - වේදනාව, මුඛයෙහි විරස බව, මල බද්ධය, ඈනුම් යාම, බඩපුරවා දැමීම සහ රුජාව යන මේ රූපයෝ වාතයෙන් හටගත් උණෙහි වෙත්.

පිතෙන් සෑදෙන උණෙහි (පිත්තජ්වර) ලක්ෂණ

තියුණු වේගවත් උණ, අතීසාරය (දියාරු මල බහුලව පහවීම), නින්ද අඩුකම, වමනය වීම, උගුර, තොල්, කට, නාසය තුවාළ වී පැසවීම, ඩහදිය දැමීම, දෙඩවීම, මුඛයෙහි තික්ත බව, සිහිනැති කම, දැවිල්ල, මත්ගතිය, පිපාසය, මල මූත්‍ර සහ ඇස් කහපාට වීම, කරකැවිල්ල යන මේ ලක්ෂණයෝ පිතින් හටගත් උණෙහි වෙත්.

සෙමෙන් හටගත් උණෙහි (කඵජ්වර) ලක්ෂණ

ශරීරයෙහි බර ගතිය, මඳක් ශීතල දැනීම, ඔක්කාරය, ලොමු ඩැහැගැන්ම, තද නින්ද, ඩහදිය මලමූත්‍ර ආදිය පිට වන ස්‍රෝතස් (නළ මාර්ග) ඇහිරීම, හිසරුජා ආදියෙහි අඩුකම, කෙළ ඉනීම, මුඛයෙහි මිහිරි රසක් දැනීම, සිරුර ඉතා උණුසුම් නැති බව, වමනය, ශරීරයෙහි ලිහිල් බව, ආහාර නොදිරවීම, ප්‍රතිශ්‍යාව, අරුචිය, කැස්ස, මලමූත්‍ර සහ ඇස් සුදු වීම, මඳ උණ (උණ වේගය අඩු බව) තෙත රෙදි පොරවාගත්තාක් වැනි (තෙමරි) බව ආදිය සෙමෙන් හටගත් උණෙහි ලක්ෂණය.

ද්වන්ද්වජ හෙවත් දොස් දෙකකින් සෑදෙන උණ අතුරෙන් වා පිත් උණෙහි ලක්ෂණ

වා පිත් දෙකින් හටගන්නා උණ ලක්ෂණ මිශ්‍රව දක්නා ලැබේ. පිපාසය, සිහිමඳ බව, කරකැවිල්ල, දැවිල්ල, නින්ද නොයාම, හිසරදය, උගුර කට වියළීම, වමනය, ලොමු ඩැහැගැනීම, අරුචිය, අඳුරෙහි සිටින්නාක් වැනි බව (තමස), සන්ධි ස්ථාන බිඳින්නාක් වැනි වේදනා හා ඈනුම් යාම ද විශේෂ වශයෙන් පවතින වාත පිත්ත ජ්වර ලක්ෂණයෝ වෙත්.

වා සෙම් උණෙහි ලක්ෂණ

වාතයෙන් සෙමෙන් හටගන්නා උණ ලක්ෂණ මිශ්‍රව දක්නා ලැබේ. තෙත රෙදි පොරවා ගත්තාක් වැනි (තෙමරි) බව, සන්ධි බිඳින්නාක් වැනි වේදනාව, ප්‍රතිශ්‍යාව, කැස්ස, හාත්පසින් ම ඩහදිය දැමීම, සිරුර තැවීම, තියුණු හෝ මඳ නොවූ මධ්‍යම උණ වේගය යනාදිය වාත කඵ ජ්වර ලක්ෂණය.

පිත් සෙම් උණෙහි ලක්ෂණ

පිතෙන් හා සෙමෙන් හටගන්නා උණ ලක්ෂණ මිශ්‍රව දක්නා ලැබේ. මුඛයෙහි ඇලෙනසුලු ගතිය හා තික්තරස ගතිය, නිදිමත වැනි ක්ලාන්තය, මූර්ඡාව, කැස්ස, අරුචිය, පිපාසය, වරෙක දැවිල්ල සහ වරක ශීත ද විශේෂයෙන් පවතින පිත්ත කඵ ජ්වර ලක්ෂණයි.

වා පිත් සෙම් තුන ම කිපීමෙන් හටගන්නා සන්නිපාත උණ ලක්ෂණ

ද්වන්ද්වජ උණෙහි දී ප්‍රකාශ කරන ලද පරිදි සන්නිපාත උණෙහි දී ද වාතය, පිත හා සෙම යන මේවායින් හටගන්නා ජ්වරයන්ගේ ලක්ෂණ සියල්ල ම ප්‍රකාශ වේ. එපමණක් නොව විශේෂ ලක්ෂණ ද විද්‍යමාන වේ. එම ලක්ෂණ පහත දැක්වෙන අන්දමට විග්‍රහ කරගත හැකිය.

හිස - වේදනාව, තදබල රුජාව, ඒ මේ අත වැනීම

ඇස් - කඳුලෙන් පිරීම, කිලිටි පාට ඇති වීම, රතු වීම, හැකිළීම නොහොත් යට ගිලීම

කන් - ඝෝෂා සහිත බව, රුජා සහිත බව, කන් ඇතුළේ සෝ සෝ ගාන හඬ හා කැක්කුම

මුඛය - සිනිඳු ගතිය, වියළීම, තුවාළ වීම, කට දෙකොන බිබිලි නැග වණ වීම

නාසය - වියළීම, තුවාළ වීම, පැසවීම

දිව - ගින්නෙන් දෑවාක් වැනි කළුපාට බව, ගොරෝසු බව, බරබව (අක්කාරම් ඇති බව)

උගුර - බූවකින් බැඳුණාක් වැනි (අක්කාරම් ඇති) බව, තුවාළ වීම, වියළීම, පැසවීම, කටහඬ දුබලවීම, පරෙවියන්ගේ කෙඳිරිගෑම වැනි ශබ්දයක් නිතරම පැවතීම

දෙතොල් - වියළීම, පොතු ගැළවීම, තුවාළ වීම, පැසවීම

දත් - දුඹුරු පාටට හුරුවීම

ළය - වේදනාව

උදරය - පුරවා දැමීම

හස්ත පාදාදි අවයව සහ සන්ධිස්ථාන - වේදනාව, ගැළවුණාක් මෙන් ලිහිල්වීම; කෙණ්ඩා, දෑලවර, ඇටකටු යන මේවායේ වේදනාව

සම - මදුරුවන් විසින් විදිනා ලද්දාක් මෙන් තලඑලළු හෝ රතු බිබිලි සහ පලු නැඟීම, ස්පර්ශය දැනීමේ මඳ ගතිය, රළු ගතිය

මල මූත්‍ර - පහනොවීම, මඳක් පහවීම හෝ අතිශයින් ම පහවීම

ඩහදිය - තදින් පිටවීම හෝ කිසිසේත් පිට නොවීම

නින්ද - දහවල් තද නින්ද, රාත්‍රි නින්ද නැතිකම, එසේ නැත්නම් දිවා රාත්‍රි දෙකෙහි ම නින්ද හෝ දිවා රාත්‍රි දෙක්හි ම නින්ද නැතිකම, නිදි නැතිවත් නින්ද ගියාක් මෙන් ක්ලාන්ත ගතිය

ශරීරය - ඉතා කෘශ නොවීම, ගිලන් වීම, වරින් වර දැවිල්ල ද වරින් වර ශීත ද දැනීම

ක්‍රියා - ගී කීම, නැටීම, සිනාසීම, දෙඩවීම ආදි විකාර ක්‍රියා කිරීම, කරකැවිල්ල, ලේ පිත් සෙම් කාරා දැමීම, කල් ගත වී දෝෂ පැසවීම හෙවත් නිරාම අවස්ථාවට පැමිණීම

ආම නිරාම භේදය

කල් ගත වී දොස් පැසවීම හෙවත් නිරාම අවස්ථාවට පත්වීම සන්නිපාත ලක්ෂණයක් බව ප්‍රකාශ විය. බොහෝ රෝගයන්හි ආම (අමු) අවස්ථාව සහ නිරාම (පැසවූ) අවස්ථාව යයි අවස්ථා දෙකකි. විශේෂයෙන් ම උණ අතීසාරාදි රෝගවල මේ ආම නිරාම අවස්ථා දෙක ප්‍රතිකාර කිරීමේ දී අවශ්‍යයෙන් ම දත යුතුය. ආමයට හිත ඖෂධ නිරාමයට හෝ නිරාමයට හිත ඖෂධ ආමයට හෝ යෙදීම ඉතා අන්තරායදායකය.

ආහාර දිරවීමෙන් පසු පළමු කොට උපදින්නේ රස ධාතුවයි. ඒ රස ධාතුව අක්මාව (යකෘත්) ආදියේ මාර්ගයෙන් හෘදය වස්තුව කරා පැමිණ ඉන්පසු සකල ශරීරයෙහි පැතිරී යයි. හොඳින් ආහාර දිරවා හටගත් පැසවූ රස ධාතුව ශරීර සෞඛ්‍යයට හේතු වේ. දුර්වල වූ ජඨරාග්නියෙන් හරිහැටි නොදිරවා උපන් ආම (අමු) රස ධාතුව ආමාශයෙන් පිටව ඉහත කී පරිදි ශරීරයෙහි පැතිරී ගිය කල්හි එය රෝගකාරක වේ. ඒ හරිහැටි නොදිරවූ අමු රස ධාතුව ආම නම් වේ. ඒ ආම රසය එක් වූ වාතාදි දෝෂයෝ ආමදෝෂ නමි. ඒ ආම සහිත දෝෂධාතූන්ගෙන් හටගත් රෝග ආම රෝගයෝ වෙත්. ඒ නියමය අනුව ආම සහිත වාතාදියෙන් හටගත් උණ ආමජ්වර නමි. දෝෂ පැසවන ප්‍රතිකාර ආදියෙන් ජඨරාග්නිය යථා තත්වයට පැමිණ රස ධාතුව පැස වූ අවස්ථාවට පැමිණි කල්හි ඒ අනුව ගිය වාතාදි දෝෂයන්ගේ ද ආම අවස්ථාව පහ වී යයි. එවිට දොස් පැසවීම යයි කියති. සන්නිපාත උණෙහි දී මේ දොස් පැසවීමට හෙවත් නිරාම අවස්ථාවට පැමිණෙන්නේ බොහෝ කල් ගත වීය.

සන්නිපාත උණ රෝගයන්හි සීමා

වෛද්‍ය ශාස්ත්‍රයෙහි, රෝගයකින් සුවය ලැබෙන හෝ මරණය සිදු වන කාල සීමා නියම කර තිබේ. නිසි ප්‍රතිකාර නොලද හොත් ගලරෝහිණී (ඩිප්තීරියා) රෝගයෙන් වහා ම, දින තුනෙන්, පහෙන් හෝ හතෙන් මරණය සිදු වන බව ශාස්ත්‍ර නියමයයි. සන්නිපාත උණ රෝගයන්හි ද මේ අන්දමින් දින සීමා නියමයක් තිබේ. නොයෙකුත් ආචාර්ය මත අනුව මේ සීමා නියමය විවිධ බව පෙනේ. ඒ සියලු ම මත අළලාගත් විට, දින 7, 9, 10, 11, 12, 14, 18, 20, 22, 24, 28 යන සීමා සන්නිපාත උණ රෝගීන් සුවපත් වන හෝ මරණයට පත් වන දින සීමා බව පැහැදිලිය. දොස් පැසවීම (නිරාම අවස්ථාවට පත්වීම) නිසා සුවපත් වීම ද රක්තාදි ධාතු පැසවීම නිසා මරණය ද සිදු වේ. බොහෝ සෙයින් ම සියලු ම උණ රෝගයන්හි, විශේෂයෙන් ම සන්නිපාත උණ රෝගයන්හි, දෙවෙනි සතිය (දින 7-14 දක්වා) ඉතාමත් බරපතළ අවස්ථාව බව සිද්ධාන්ත කාරණයකි.

ජ්වරෝපද්‍රව

බොහෝ රෝගයන්හි, කල්යාමේ දී, ඒ මුල් රෝගයෙහි විෂ නිසා හෝ දුර්වලත්වය නිසා හෝ රෝගියාට පීඩාදායක වූ ද අන්තරායකර වූ ද වෙනත් රෝග පහළ වේ. ඒවා උපද්‍රව නමින් ශාස්ත්‍රයෙහි සඳහන්ය. ඒ උපද්‍රවභූත රෝගවලට කරන ප්‍රතිකාරය ද මුල් රෝගයට විරුද්ධ නොවන ලෙසත් උපද්‍රවය පහළ වීමේ හේතුවට විරුද්ධ වන ලෙසත් විය යුතුය. මේ උපද්‍රවභූත රෝග ඇතැම් විට රෝගය අවසාන භාගයේ දී ද ඇතැම් විට රෝගය අතර තුර ද පහළ විය හැකිය.

ජ්වර රෝගයෙහි උපද්‍රව 10 කි. එනම් 1. ශ්වාස (ඇදුම වැනි හතිය) 2. මූර්ඡාව (සිහි නැතිකම) 3. අරුචිය 4. වමනය 5. පිපාසය 6. අතීසාරය (දියාරු මල බහුලව පහවීම) 7. මලබද්ධය 8. ඉක්කාව 9. කැස්ස 10. ශරීරයේ දැවිල්ල (අංගදාහය) යන මොවුහු වෙති.

සන්නිපාත උණ අවසානයෙහි පහළ වන විශේෂ උපද්‍රවයෝ ද වෙති. ඉන් කර්ණමූල ශෝථය හෙවත් කම්මුල් ගෙඩි ඒම ඉතා බරපතළ, ඇතැම් විට ජීවිත හානිය පවා සිදු කරවන, උපද්‍රවයකි.

මුඛය ඇතුළේ, කන් මුල සමීපයෙහි, කෙළ ඉනීම සිදු කරන කර්ණමූලිකා ග්‍රන්ථි නම් වූ ග්‍රන්ථි දෙකක් තිබේ. උණ සන්නිපාත රෝගයෙහි දී මුඛය, දත්, දිව ආදිය පවිත්‍ර නොකිරීම නිසා ඒ විෂ කරණකොටගෙන කර්ණමූලිකා ග්‍රන්ථි ඉදිමී පැසවීමට (කුණුවීමට) පත් වෙයි.

ඇතැම් විට උණ සන්නිපාතය මුල දී හෝ මධ්‍යයෙහි හෝ අවසානයෙහි මේ උපද්‍රවය පහළ විය හැකිය. මුල දී සෑදෙන කම්මුල් ගෙඩි සාධ්‍යය; මධ්‍යයෙහි කෘච්ඡ්‍රසාධ්‍යය හෙවත් දුකසේ සුව කළ හැකිය; අවසානයෙහි නම් අසාධ්‍යය. සාමාන්‍ය උණෙහි, උණ ආරම්භයේ කම්මුල් ගෙඩි ඒම අසාධ්‍ය බව ද මධ්‍යයෙහි දුකසේ සුව කළ හැකි බව ද අවසානයෙහි අසාධ්‍ය බව ද භාවප්‍රකාශ මතයයි. උණ සන්නිපාත රෝගීන්ගේ මුඛය, දත් හා දිව මුල පටන් ම පවිත්‍රව තබා ගැනීමෙන් මේ උපද්‍රවය වළක්වා ගත හැකිය.

කන් බිහිරිවීම, හස්ත පාදාදි අවයව විකල වීම, ගොතවීම හෝ ගොළු වීම, උන්මාදය, අන්ධ වීම හෝ ඇස් පෙනීම දුර්වල වීම යන මේවා සන්නිපාත උණ අවසානයෙහි පහළ වන අනෙක් විශේෂ උපද්‍රවයෝ වෙත්. මේවා එකක් හෝ දෙකක් හෝ වැඩි ගණනක් පහළ විය හැකිය.

ප්‍රතිකාර

ජ්වර (උණ) රෝගියකුට පළමුවෙන් ම කළ යුතු ප්‍රතිකාරය නම් ලඞ්ඝනයයි. උපවාස යනු ද ඊට ම නමි. සම්පූර්ණයෙන් නිරාහාරව තැබීම මෙයින් අදහස් නොකෙරේ. ලඞ්ඝනය නම් පහසුවෙන් දිරවිය හැකි ලඝු (සැහැල්ලු) ආහාර දීමය. උණ රෝගයෙහි දී සිදු වන ප්‍රථම ක්‍රියාව නම් ආමාශයෙහි ඇති ජඨරාග්නිය බැහැර කිරීමය. ලඞ්ඝනය හේතුකොට ගෙන ජඨරාග්නිය දැල්වී ආමය නැති වී ඒ අග්නිය යථාස්ථානයට පත් කිරීම සිදු වේ. ඒ නිසා සෑම අලුත් උණ රෝගයක දී ම ලඞ්ඝනය අනිවාර්යෙන් ම කළ යුතුය.

ක්ෂය රෝගය, වාතකෝපය, භය, ක්‍රෝධ, කාම, ශෝක, ශ්‍රම (අධික වෙහෙස) යන මේ කරුණු මුල්ව හටගන්නා උණෙහි ද ගර්භිණී, බාල, වෘද්ධ යන මොවුන්ගේ උණෙහි ද ලඞ්ඝනය නොකට යුතුය. මෙහි වාත ශබ්දයෙන් ආම රහිත (නිරාම) වාතය ගත යුතුය. ආරෝග්‍යය ශරීරබලය අධිෂ්ඨාන කොට ඇත්තේය. එහෙයින් රෝගියාගේ ශරීර ශක්තියට අවිරුද්ධව හෙවත් බලයට හානියක් නොවන අයුරු ලඞ්ඝනය කටයුතුය.

ලඝු ආහාර යන්නෙන් පහසුවෙන් දිරවිය හැකි ද්‍රව ආහාර අදහස් කැරේ. ඉතාමත් හොඳ ලඝු ආහාරය සහලින් කරන ලද කැඳ (ලුණු කැඳ) ය. තම්බන ලද මෙරට සහල් කැඳ සඳහා ඉතා සුදුසුය. ආමසහිත, විශේෂයෙන් අජීර්ණය මුල්ව සෑදෙන උණෙහි බැදගත් සහලින් පිසූ කැඳ වඩා සුදුසුය. වීපොරි කැඳ ඊටත් වඩා හොඳය. උණ නසන පලතුරු යුෂ, එනම් මිදි යුෂ, දොඩම් යුෂ, දෙළුම් යුෂ, රටඉඳි යුෂ ආදිය ද ලඝු ආහාර ගණයට අයත්ය.

උණ ගත් තැන් පටන් සත්රැය දක්වා කාලය අලුත් (තරුණ) උණ වශයෙන් සැලැකිය යුතුය. තරුණජ්වරයෙහි බලවත් ඔසු නොයෙදිය යුතුය යනු ශාස්ත්‍ර නියමයයි. එම කාලය තුළ ඉතා හොඳ ප්‍රතිකාරය නම් පේයා යෙදීමය.

පේයා

වියළි ඉඟුරු කලං 1 යි, තිප්පිලි කලං 1 යි, කොත්තමල්ලි කලං 4 යි, වීපොරි හෝ බැදිහාල් කලං 6 යි - වතුර පත සතරක් එකට සිඳුවා පෙරා සහිඳලුණු ප්‍රතිවාප (අනුපාන) යොදා දවසට දෙවරක් පානය කරන්නේය. මෙය ඉතා හොඳ පේයාවකි.

තිප්පිලි, තිප්පිලිමුල්, සිවියමුල්, අසමෝදගම්, වියළි ඉඟුරු යන ද්‍රව්‍ය එක් වගයකින් කලං එකයි, මංචාඩි 4 යි, වීපොරි හෝ බැදි හාල් කලං හයයි - වතුර පත සතර එකට සිඳුවා සහිඳලුණු ප්‍රතිවාප යොදා දිනකට තුන් වරක් බැගින් පානය කරන්නේය. මෙය තදබල අජීර්ණය සහිත සෙම් කෝපය ද ඇති අලුත් උණට ඉතා ප්‍රත්‍යක්ෂ ගුණදායක පේයාවකි.

මූත්‍ර අපිරිසිදු වීම හේතුකොටගෙන උණ රෝගියාට තදබල හිසරදය, දෑලවර වේදනාව, තුනටියේ වේදනාව, මූත්‍රාශය (වස්ති) ශූලය යනාදි උපද්‍රව පහළ වෙයි. ඒ අවස්ථාවෙහි මූත්‍ර පිරිසිදු කිරීම අවශ්‍යයෙන් ම කළ යුතුය. ඒ සඳහා හීන් නෙරෙංචි, කටුවැල්බටු කලං තුන බැගින් ද වීපොරි හෝ බැදි සහල් කලං හයක් ද දමා වතුර පත සතර එකට සිඳුවා පෙරා බීම ද වැල්කහඹිලියා, කටුවැල්බටු, හීන්නෙරෙංචි කලං දෙක බැගින් ද වීපොරි හෝ බැදි සහල් කලං හයක් ද දමා වතුර පත සතර එකට සිඳුවා පෙරා බීම ද නිසැක ගුණදායක ඔසු වේ. කටුවැල්බටු බෝවන උණ රෝගයන්හි රෝගප්‍රතිශෝධක ඖෂධයක් වශයෙන් ශ්‍රෙෂ්ඨය.

අධික පිපාසය, තදබල උණ, දැවිල්ල ආදිය සහිත පිත්තාධික අලුත් උණරෝගියාට ෂඩංගපානීය ඉතා ශ්‍රෙෂ්ඨ ඖෂධයකි.

ෂඩඞ්ගපානීය

කලාඳුරු අල, පත්පාඩගම්, සැවැන්දරා, ඉරිවේරිය ඉඟුරු, සුදුහඳුන් - මෙම ද්‍රව්‍ය කලං එක බැගින් ගෙන වතුර පත සතර දෙකට සිඳුවා පෙරා සීනි මීපැණි දමා දවසට සතර වරක් බොන්නේය.

වාතය සහ සෙම කෝපව හටගත් අලුත් උණෙහි නාගරාදි පඤ්චකය (දේවදාර පස්වගේ) කෂාය ඉතා අගනා ඔසුවකි.

නාගරාදි පඤ්චකය (දේවදාර පස්වගේ)

වියළි ඉඟුරු, දේවදාර, කොත්තමල්ලි, එළබටුමුල්, කටුවැල්බටු - මේවා කලං දෙකයි මංචාඩි අට බැගින් වතුර පත අට එකට සිඳුවා පෙරා සහිඳ ලුණු ප්‍රතිවාප යොදා දවසට තුන්වරක් බැගින් පානය කරන්නේය.

අලුත් උණට ඉඟුරු කොත්තමල්ලි තම්බාගත් (බැද තම්බාගැනීම වඩාත් මැනවි) වතුර ප්‍රසිද්ධ ප්‍රතිකාරයකි. එය අර්ධයට (පත දෙක පතට) සිඳුවාගැනීම වඩාත් හොඳය. කොත්තමල්ලි, පත්පාඩගම් තම්බාගත් ජලය ද ඉතා හොඳ ප්‍රතිකාරයකි. විශේෂයෙන් අලුත් උණට පත 4 පත 2ට සිඳෙන තුරු කකාරා සිසිල් කරගත් ජලය බෙහෙතක් තරමට ම ගුණදායකය.

මේ ප්‍රතිකාර අතරට ලංකාවේ දේශීය වෙදකමේ සුප්‍රසිද්ධ බුද්ධරාජ කල්කය වරකට මංචාඩියක් දොඩම් ඇඹුල් ඉඟුරු ඉස්මට දියකර සීනි, මීපැණි, තිප්පිලි කුඩු දමා බීම ඉතා අගනා ප්‍රතිකාරයකි. මේ ප්‍රතිකාර යොදා දින කීපයක් තුළ උණ නොබැස පවතී නම් වෛද්‍යෝපදේශ ලබාගත යුතුය.

උණරෝගීන් ලඞ්ඝනය මෙන් ම ඇඳෙහි නිදාගෙන විවේක ගැනීම ද තද සුළඟින් ආරක්ෂා වීම ද දුම්බීම, බුලත්විට කෑම, මත්පැන් පානය, ඇල්දිය පානය හා ස්පර්ශය, ජලස්නානය, මෛථුනය ආදියෙන් වැළකී සිටීම ද අවධාරණයෙන් ම කළ යුතුය. මලබද්ධය උණ බැසීමට බලවත් බාධාවකි. එනිසා සැර අඩු මෘදු විරේකයක් ගැනීම සුදුසුය. කටුකරෝසන කලං 1-3 දක්වා කබලෙන් බැද කුඩු කර උතුරන වතුරෙන් කෝපි මෙන් තම්බා පෙරා සීනි දමා බීම ඉතාමත් සාර්ථක විරේක ඔසුවකි. අජීර්ණය හා මලබද්ධය සහිත අලුත් උණට අරළු කලං 3යි තිප්පිලි කලං 1½යි කබලෙන් බැද කුඩු කර උතුරන වතුර පත ½ ක් දමා පැයක් පමණ වසා තබා පෙරා සීනි කලං 3½ක් දමා බීම හොඳ ප්‍රවේසම් සහිත විරේචනයකි. සුදුලූනු මිශ්‍ර ලුණුකැඳ පහසුවෙන් මල පහවීමට සලස්වයි.

ආහාර විහරණ

අජීර්ණ සහිත උණ රෝගීන්ට කිරි ආහාර අපථ්‍යයි. අජීර්ණ ගතිය සුව වූ පසු වියළි පිටිකිරි වර්ග සුදුසුය. සතියකට වඩා කල්ගත නොවූ උණ රෝගියකුට උණ බැස දින දෙකක් ගත වන තුරු දැඩි ආහාර දීම සුදුසු නැත. සතියකට වඩා කල් ගත වූ උණ රෝගීන්ට දින තුනක් ගත වන තුරු දැඩි ආහාර නොදිය යුතුය. ඒ කාලය තුළ දී පරිප්පු, බාර්ලි, බෝංචි, තක්කාලි වැනි එළවළු තම්බාගත් වතුර, තෙල් නොදමා, ආහාරයක් වශයෙන් දීම සුදුසුය. අජීර්ණ ගතියක් නැති විට එළකිරි හොඳ පථ්‍ය ආහාරයකි. ආරම්භක දැඩි ආහාරයක් වශයෙන් කර කරන ලද පාන්පෙති කීපයක් එළවළු තැම්බූ වතුර සමග දීම සුදුසුය. දිනකින් දෙකකින් පසු සුදුලූනු, කරපිංචා කොළ, සුදුදුරු, කොත්තමල්ලි, ගම්මිරිස් ආදි කුළුබඩු යොදා සාදාගත් තැම්බුම් හොදි සමග පරණ මෙරට හාලේ බත් බෙරිවෙන්ට උයා දීම ප්‍රවේසම් සහිතය. හාල්මැස්සන්, කාරල්ලන් වැනි පොඩි මාලු ඇඹුලට උයා දීම සුදුසුය. පහසුවෙන් දිරවන, ශක්තිය වඩන, ආහාර ගනිමින් හොඳ විවේකයෙන් සිටිමින් ඉක්මනින් ශරීර ශක්තිය දියුණු කරගත යුතුය. තද සුළං හා තද අව්ව නැති එළිමහනේ සක්මන් කිරීමෙන් තද දුබලකම හා තෙහෙට්ටුව ඉක්මනින් මඟහැරී යයි. වතුර නෑමට ඉක්මන් නොවිය යුතුය. එහෙත් කාමරයක් තුළට වී ඇඟ කොටසින් කොටස සෝදා වේළාගැනීම (ස්පන්ජ් කිරීම) ප්‍රශස්තය.

බෝවන උණ රෝගයන්හි දී, විශේෂයෙන් ප්‍රතිශ්‍යා උණ, ඇස් හා මූත්‍ර කහපාට වන අක්මාවේ ප්‍රදාහය සහිත බෝවන උණ (තීව්‍ර සංක්‍රාමක යකෘත්ශෝථ - acute infective hepatitis) ආදියෙහි දී රෝගියා වෙන් කර තැබීම සහ ඔහුගේ මලමූත්‍ර, කෙළ ආදිය ජීවාණුනාශක බෙහෙත් වතුර දමා වළලා දැමීම අවශ්‍යයෙන් ම කළ යුතුය. රෝගියා ස්පර්ශ කරන අය උග්‍ර ජීවාණුනාශක සබන් හෝ බෙහෙත් වතුරෙන් අත් ආදි අවයව සෝදා පවිත්‍ර කරගත යුතුය. රෝගියා සිටින කාමරයේ හා අවට ගුගුල්, දුම්මල, අබ, කොහොඹකොළ, පෙරුංකායම්, වදකහ ආදි ද්‍රව්‍ය පුලුස්සා දුම් ඇල්ලීම අතිශයින් ම ප්‍රයෝජනවත්ය. වේදයුගයෙහි පවා රක්ෂෝඝ්න ධූප නමින් සඳහන්ව ඇත්තේ මේ ද්‍රව්‍යවලින් සාදා ගත් දුම් බෙහෙත්ය. වදකහ, පෙරුංකායම් වැනි ද්‍රව්‍ය අතේ හෝ සිරුරේ යම් තැනක බැඳගැනීම ජීවාණුන්ගෙන් ආරක්ෂා වීමට ප්‍රයෝජනවත්ය.

(කර්තෘ: ඩී.ඇම්. ජයසිංහ)

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උණ_(2)&oldid=9781" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි