සිග්‍රිඩ් උන්සෙට්

සිංහල විශ්වකෝෂය වෙතින්
12:41, 1 ජනවාරි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Sigrid Undset) (1882-1949). සුප්‍රකට නෝර්වීජියානු නවකථාකාරිය...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Sigrid Undset) (1882-1949). සුප්‍රකට නෝර්වීජියානු නවකථාකාරියකි. ඕතොමෝ 1928 වර්ෂයෙහි සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනාගනිමින් ජගත් කීර්තියට පත් වූවාය.

උන්සෙට් 1882 දී ඩෙන්මාර්ක් රටේ දී මෙලොව එළිය දුටුවාය. ඇයගේ පියා වූයේ උසස් පුරාවිද්‍යාඥයෙකි. ඇය ළාබාල වියෙහි දී ඔහුගේ මරණය සිදු වුව ද ඇයගේ ඓතිහාසික නවකථාවලින් ඔහුගේ ආභාසය පිළිබිඹු වෙයි. 1909 දී රාජ්‍ය ශිෂ්‍යත්වයක් ලැබ ඉතාලියට යෑමත් 1912 ස්වාර් ස්ටාඩ් නම් චිත්‍රශිල්පියා හා විවාපත් වීමත් ඔහු හා සමඟ එංගලන්තයෙහි හා ඉතාලියෙහි සංචාරය කිරීමත් 1925 දී ඔහුගෙන් දික්කසාද වීමත් ඇයගේ ජීවිතයෙහි වැදගත් සිද්ධීන් අතුරෙන් සමහරකි. 1940 දී නාට්සීන් විසින් නෝර්වේ රටින් පලවා හරින ලද ඕතොමෝ දෙවෙනි ලෝක සංග්‍රාමය අවසන් වන තුරු ම ඇමෙරිකාවේ පදිංචි වී සිටියාය.

උන්සෙට්ගේ මුල් නවකථාවලින් බොහොමයකට පසුතලය වූයේ සමකාලීන සමාජයයි. එහෙත් ඇයගේ කීර්තියට කාරණව ඇත්තේ ඈ ලියූ ඓතිහාසික නවකථායි. ඒ අතුරින් ‘ක්‍රිස්ටින් ලව්රාන්ස්ඩාටර්’ (Kristin Lavransdatter) නමින් 1920-22 අතරතුර පළ කරවන ලද නවකථාව ඇයගේ ශ්‍රේෂ්ඨ කෘතිය ලෙස සැලකේ. කර්තෘට නොබෙල් ත්‍යාගය හිමි කර දුන් මෙම නවකථාව ඊට පසුබිම් කොටගත් 14 වැනි සියවස තත්වාකාරයෙන් නිරූපණය කරන අතර ඊට වස්තු කොටගත් ස්ත්‍රීපුරුෂ සම්බන්ධතාවන් ගෙනහැර පාන්නේ “පාපයේ කුලිය නම් මරණයය” යන්න කතුවරිය තරයේ අදහන බව අවධාරණයෙන් කියැවෙන පරිද්දෙනි.

සුබෝධ වූත් සවිස්තර වූත් නිර්ව්‍යාජ වූත් චරිත නිරූපණය හා මානව ජීවිතයේ අගය පිළිබඳ මනා අවබෝධයකින් යුක්තව අවස්ථා ඉදිරිපත් කිරීම උන්සෙට්ගේ ශෛලියේ විශිෂ්ටත්වයකි. ඇය 1924 දී රෝමානු කතෝලික ආගම වැලඳ ගැනීමෙන් පසු ඇයගේ ලේඛනයන් ආචාර ධර්මය දෙසට නැඹුරු වූ බව පෙනේ.

(සංස්කරණය: 1970)