උඳුපියලි
හීන් උඳුපියලි, ඇත් උඳුපියලි හා මහ උඳුපියලි යයි ශාක විශේෂ තුනකි.
හීන් උඳුපියලි
(ඩෙස්මෝඩියුම් ට්රිප්ලෝරුම්-Desmodium triflorum L.) මෙනමින් හැඳින්වෙන ශාකය කුඩා බහුවාර්ෂික පැළෑටියකි. මේ පැළෑටිය සිහින් වූ දිග අතු බොහෝ ගණනකින් යුක්තය. ඒවායේ ගැටවලින් මුල් හටගනී. පත්‍ර අඟල් 1/2ක් පමණ දිගය; ත්‍රිපත්‍රීය. උපපත්‍ර අප්‍රපතන ශීලය. පත්‍ර කක්ෂවල කුඩා දම්පාට මල් හටගනී. එක කක්ෂයක මල් 1 සිට 5 දක්වා තිබිය හැකිය. කරල අඟල් 1/2ක් පමණ දිගය. එහි පුරුක් 2 සිට 4 දක්වා තිබේ.
මේ ශාකය නිවර්තන ප්‍රදේශවල සෑම තැන ම වාගේ දක්නට ලැබේ. ලංකාවේ පාතරට ප්‍රදේශවල මෙය ඉතා බහුලය. ඉඩෝරයට හොඳින් ඔරොත්තු දෙන බැවින් හීන් උඳුපියලි ගෙවතුවල හා තණ පිට්ටනිවල නිතර දක්නට ලැබේ.
ඇත් උඳුපියලි
(ඩෙස්මෝඩියුම් හෙටෙරොකාපුම්-Desmodium heterocarpum) තරමක් සෘජු බහුවාර්ෂිකයකි. මේ ශාකයටත් අතු බොහොමයක් තිබේ. පහළ අතුවල ගැටවල මුල් හටගනී. පත්‍ර ත්‍රිපත්‍රීය. උපපත්‍ර ලොකුය; අප්රපතනශීලය. පත්‍රිකාවල ඉහළ පැත්ත සිනිඳුය; පහළ පැත්ත තරමක් බූ සහිතය. මල් කුඩාය; දම් පාටය. ඇතැම් විට සුදු මල් ද දක්නට ලැබේ. අග්රස්ථ හා කක්ෂීය ඒකාක්ෂවල මල් හටගනී. කරල අඟලක් පමණ දිගය. එහි පුරුක් 3 සිට 7 දක්වා තිබේ.
නැගෙනහිර නිවර්තන ප්‍රදේශවල මේ ශාකය බහුලය. ලංකාවේ පාතරට තෙත් ප්‍රදේශවලත් තරමක් කඳුකර ප්‍රදේශවලත් මේ ශාකය දක්නට ලැබේ.
මහ උඳුපියලි
[ඩෙස්මෝඩියුම් හෙටෙරොපිලුම්-Desmodium heterophyllum (Willd) DC.] පොළොවෙහි වැතිරි කඳන් සහිත බහුවාර්ෂික ශාකයකි. පහළින් තිබෙන ගැටවලින් මුල් ඇති වේ. පත්‍ර ත්‍රිපත්‍රීය; බූ සහිතය. උපපත්‍ර අප්රපතනශීලය. මල් කුඩාය, ළා දම් පාටය. එක කක්ෂයක මල් 2 සිට 4 දක්වා දක්නට ලැබේ. කරල අඟලක් පමණ දිගය; තරමක් බූ සහිතය. එහි පුරුක් 3 සිට 6 දක්වා තිබේ.
ඉන්දියාව, මලයාව, චීනය යන රටවල හා පිලිපීන් දූපත්වලත් මේ ශාකය වැවේ. ලංකාවේ අඩි 2,000ක් පමණ උස් ප්‍රදේශ දක්වා එය දක්නට ලැබේ.
ආයුර්වේද මතය
උඳුපියලි නම් කුඩා වනෞෂධයට සකුබසින් මාසපර්ණී, හයපුච්ඡා, කාම්බෝජී, මහාසහා ආදි නම් වේ. උඳුපියලි හෙවත් මාසපර්ණී දෙවර්ගයක් ගැන ආයුර්වේද ද්‍රව්‍යගුණ විඥානයෙහි සඳහන් නොවේ. එහෙත් දේශීය ද්‍රව්‍ය විචාරකයෝ හීන් උඳුපියලි, මහ උඳුපියලි යයි දෙවර්ගයක් දක්වති. හීන් උඳුපියලි හා ගුණයෙන් එක සමාන වූ ද ස්වරූපයෙන් ඊට මඳක් වෙනස් වූ ද අනික් වර්ගයට මහ උඳුපියලි හෙවත් ඇත් උඳුපියලි යයි කියනු ලැබේ. මෙහි මල් සහ කරල් හීන් උඳුපියලියට වඩා ලොකුය. දේශීය ද්‍රව්‍ය පරිචයෙහි, වනෞෂධීන් අතර එක පවුලේ දෙවගයක් ලොකු සහ කුඩා වූ කල ලොකු වර්ගයට ඇත් යන විශේෂ නාමය පර්‍ය්‍යාය වශයෙන් යෙදේ.
උඳුපියලි ගුණ විසින් ශීත වීර්ය්යයි; තිත්ත, මධුර මිශ්‍ර රසයෙන් යුක්තයි; රළුයි; ශුක්‍ර වර්ධකයි; සෙම ඇති කරයි; ධාරකයි. ආමයික ප්‍රයෝග විසින් ශෝථ, වායු, පිත්ත, ජ්වර හා ලේ දොස් නසයි. දේශීය චිකිත්සාවෙහි උඳුපියලි ප්‍රසිද්ධ ඖෂධයකි. බොහෝ දේශීය ගුලි කල්කාදිය රෝගීන්ට යෙදීමේ දී අනුපාන වශයෙන් ගනු ලැබේ. මලභේදය සමඟ වමනය සෑදුණු කල උඳුපියලි සහමුලින් පොල් සමඟ කොටා මිරිකා එම යුෂයට නවරත්න කල්ක මාත්‍රාවක් දිය කොට අනුපානය සකස් කරන්නට නියම කර තිබේ. මෙපරිද්දෙන් උඳුපියලි ගැනෙන යෝග රාශියක් ඇත. සර්ප විෂට ද උඳුපියලි ප්රත්යක්ෂ ඖෂධයකි.
(සංස්කරණය: 1970)