උපකාරක ගිවිසුම්
(උපචාර ගිවිසුම්) (Subsidiary Alliances). ඉන්දියාවේ ස්වදේශීය පාලකයන් හා ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම අතර 18 වන සියවස අවසාන කාර්තුවේත් 19 වන සියවස මුල් දශකයේත් ඇති කරගන්නා ලද ගිවිසුම් විශේෂයක් මේ නමින් දනිත්.
මෝගල් අධිරාජ්‍යය බිඳවැටීමෙන් පසුව ස්වාභාවික දේශ සීමා නොමැති රාජ්පුත්, කර්ණාට, අවුද්, හයිදරබාද් වැනි රාජ්‍ය කීපයක් ඉන්දියාවේ බිහි විය. ඒවායේ පාලකයන් සිය දේශ සීමා ව්‍යාප්ත කිරීම අරමුණු කොටගත් හෙයින් හැම රාජ්‍යයක් ම සිය අසල්වැසි රාජ්‍ය කෙරෙහි බිය විය. තමන්ට මුහුණ පෑමට සිදු විය හැකි හදිසි තර්ජනයක් තාවකාලිකව හෝ මඟහරවා ගැනීමේ අදහසින් ඇතැම් පාලකයෝ බාහිර ආධාර අපේක්ෂා කළහ. මෙකල ඉන්දියාවේ වාණිජ කටයුතුවල යෙදුණු බටහිර ජාතීන් අතුරින් ප්‍රධාන තරඟකරුවන් වූ ප්‍රංස ජාතිකයන්ට හා ඉංග්‍රීසින්ට ඉන්දියාවේ දේශීය රාජ්‍යයන් හා සම්බන්ධතා ඇති කර ගැනීමට මින් අවස්ථාව සැලසිණ.
මේ සම්බන්ධතා ඇතිකරගැනීමේ දී ප්‍රංස ජාතිකයන් මෙන් නොව බ්‍රිතාන්‍යයෝ ක්‍රමවත් පිළිවෙළක් අනුගමනය කළහ. බාහිර තර්ජනයන්ගෙන් ආරක්ෂාව පැතූ රාජ්‍යයක් බ්‍රිතාන්‍ය ආධාර ඉල්ලා සිටි විට එම රාජ්‍යය තුළ බ්‍රිතාන්‍ය ආරක්ෂක හමුදාවක් නවතා තැබීමත්, එහි නඩත්තුව සඳහා යන වියදම එම රාජ්‍යය විසින් ම දරනු ලැබීමත් ඊට ඇපයක් වශයෙන් රාජ්‍යයේ කිසියම් බිම් පෙදෙසක් තමන්ට පළමුව පවරා ගැනීමත් බ්‍රිතාන්‍යයෝ අපේක්ෂා කළෝය. එම කරුණු මුල්කොට ගෙන ඇති වූ ගිවිසුම් උපකාරක (උපචාර) ගිවිසුම් නමින් හැඳින්විණ.
ප්‍රථම උපකාරක ගිවිසුම වශයෙන් සැලකෙනුයේ 1766 නොවැම්බර් මස 12 වන දින හයිදරබාදය සමග ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම ඇති කරගත් ගිවිසුමයි. මේ වන විට හයිදරාබාදය හා කර්ණාටය අතර අවි ගැටුම් පැවතිණ. තන්ජෝරය, කර්ණාටය හා අවුද් සමඟ ද ඉංග්‍රීසීහු එවැනි ගිවිසුම් ඇති කරගත්හ. 1795 දී ට්රැවන්කෝරය ද 1796 දී මයිසූරය ද 1802 දී බැරෝඩාව ද 1804 දී පූනාව ද සමඟ වෙලස්ලි සාමි ගිවිසුම්වලට එළඹියේය. ඔහුගේ අනුප්‍රාප්තිකයන් විසින් කොචින්, ඉන්දූරය, කච් යන රාජ්‍ය සමඟ ද උපකාරක ගිවිසුම් ඇති කරගන්නා ලදි. උපකාරක ගිවිසුමකට අනුව හමුදා නඩත්තුව වශයෙන් රාජ්‍යයකට ගෙවීමට අපහසු වූ තරම් මුදලක් බ්‍රිතාන්‍යයන් විසින් අය කරගන්නා ලදි. අවුද් රාජ්‍යයෙන් බෙන්ටික් ආණ්ඩුකාරයා පමණක් රුපියල් ලක්ෂ 62ක් ලබා ගත් බව වාර්තා වේ. හමුදා වියදම් සඳහා ඇපය වශයෙන් ඔවුන් පවරා ගත්තේ ද රාජ්‍යයක් සතු වූ ආර්ථික හා දේශපාලන වශයෙන් වැඩි වටිනාකමකින් යුත් පෙදෙස්ය. ලංකාවේ උඩරට රාජධානිය සමඟ උපකාරක ගිවිසුමකට එළඹීමට උත්සාහ කළ නෝත් ආණ්ඩුකාරයාගේ අපේක්ෂාව වූයේ සත් කෝරළය ඇප වශයෙන් පවරා ගැනීමයි. එහෙත් ශ්‍රී වික්‍රමරාජසිංහට එවැනි ගිවිසුමක අවශ්‍යතාවක් නොවීය. යටකී පරිදි විශාල නඩත්තු හා ඇප ගෙවීමට සිදුවීම නිසා උපකාරක ගිවිසුමකට බැඳුණු රාජ්‍යයක් බොහෝ විට ආර්ථික පරිහානියකට මුහුණ පෑවේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආර්ථික සංවිධානය දුර්වල වූ විට එම රාජ්‍යය ඈඳා ගැනීම බ්‍රිතාන්‍ය ජාතිකයන් අනුගමනය කළ ක්‍රියා මාර්ගය විය. උපකාරක ගිවිසුමකට බැඳුණු සෑම රාජ්‍යයක් ම අවසානයේ දී බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට යටත් විය. එනිසා උපකාරක ගිවිසුම් අධිරාජ්‍ය බලය ව්‍යාප්ත කිරීම සඳහා බ්‍රිතාන්‍යයන් විසින් උපයෝගී කරගත් අවියක් ලෙස ඇතැම් විචාරකයන් විසින් හඳුන්වනු ලබයි. තව ද ඒවා එකල පැවති දේශපාලන වාතාවරණය මුල්කොටගෙන හැඩගැසුණු බව ඔවුහු අදහස් කරති. අවිබලය යොදා රාජ්‍යයක් ඈඳාගැනීමේ බලයක් ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමට එහි වරපත්‍රයෙන් හිමි නොවීය. එවැනි ක්‍රියා මාර්ගයක් ගැනීම අන්‍ය යුරෝපීය ජාතීන්ගේ විරුද්ධත්වයට ලක්වන්නක් ද විය. ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් හමුදා බලයක් යෙදවීම ද ඒ වකවානුවේ දී බ්‍රිතාන්‍ය ජාතිකයන්ට දුෂ්කර විය. යම් හෙයකින් එසේ ඈඳාගත්ත ද පාලනය ගෙන යාමට තරම් ප්‍රමාණවත් නිලධාරී පිරිසක් ලබාගැනීම ද ඔවුන්ට එකල පහසු නොවීය. එනිසා උපකාරක ගිවිසුම්, එදා පැවති පරිසරයට අනුව අධිරාජ්‍ය බල ව්‍යාප්තියෙහි ලා අනියම් අවියක් විය.
(සංස්කරණය: 1970)