උපගුප්ත
බෞද්ධ සංස්කෘත සාහිත්‍යයේ සඳහන් වන පරිදි අශෝක රජු සමයෙහි වැඩ සිටි මහතෙරනමකි. බුද්ධ පරිනිර්වාණයෙන් සියක් වසකට පමණ පසු මථුරා නුවර උපන් මෙතුමා සුවඳ ද්‍රව්‍ය වෙළෙඳකු වූ ගුප්ත නමැත්තකුගේ තෙවැනි පුත්‍රයා විය. අනඳ මහතෙරුන්ගේ ශිෂ්‍ය ශාණවාසික මහරහතන්වහන්සේගේ අවවාදානුශාසනයට අනුව සිය චරිතය සකස් කරගත් මෙතුමා පසුව උන්වහන්සේ වෙතින් පැවිද්ද ලබා මථුරාවේ උරුමුණ්ඩ (රුරුමුණ්ඩ) පර්වතයෙහි නටභටික අරණ්යායතනයෙහි බොහෝ කලක් වැඩ විසූ බව සඳහන් වේ.
මේ පුවත දිව්‍යාවදානයේ පාංශුප්රදාන අවදානයෙහි දැක්වෙන්නේ ස්වකීය පරිනිර්වාණයට ආසන්න සමයෙහි බුදුන්වහන්සේ විසින් ම මථුරාවේ දී වදාරන ලද අනාවැකියක් ලෙසය. එහි දී බුදුන් වහන්සේ අවවාදයෙහි දක්ෂ ශ්‍රාවකයන් අතුරෙන් උපගුප්ත හිමියන් අග්‍රස්ථානයෙහි තබා වදාළ බවත් පශ්චිමභවයෙහි දී පමණක් නොව මිනිසත් බව නොලත් පූර්වජන්මයක දී ද මිසදිටුවන් දහම් මඟ ගැන්වීමට උන්වහන්සේ සමත් වූ බව පෙන්වීමට අතීත කථාවක් ගෙනහැර පෑ බවත් සඳහන් වේ. දිව්‍යාවදාන පුවතට අතිශයින් සමාන අනාවැකියක් මූලසර්වාස්තිවාද විනයපිටකයෙහි ද ඇත. ඒ අනුව උපගුප්ත හිමියන්ට උපාධ්‍යාය වූවාහු ආනන්ද හිමියන්ගේ ම ශිෂ්‍ය මධ්යන්දින (මධ්යන්තික) මහරහතන්වහන්සේයි. උපගුප්ත හිමියන් බුදුන් වහන්සේගේ අවවාදයෙහි දක්ෂ ශ්‍රාවක පරපුරෙහි අන්තිමයා බව ද එහි දැක්වේ.
තාරනාථගේ ‘ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය’ නම් ග්රන්ථයෙහි මෙයට තරමක් වෙනස් අයුරින් උපගුප්ත හිමියන් ගැන සඳහන් වේ. ඒ අනුව ශාණවාසික හිමියන් වෙතින් උපගුප්ත පැවිද්ද ලැබුයේ උන්වහන්සේ ශීත වනයෙහි වැඩ විසූ කාලයක දී බව පෙනේ. පසුව රහත් බව ලබාගත් තම ශිෂ්‍යයා වෙත ශාණවාසික හිමියන් ශාසනය භාර කළ බව ද සඳහන් වෙයි. උත්තර බෞද්ධ සම්ප්‍රදායයන්ට අනුව උපගුප්ත හිමියෝ බුද්ධ ශාසනයෙහි සිව්වැනි සංඝපිතෘවරයා වූහ. තව දුරටත් කරුණු ගෙනහැර දක්වන තාරනාථ උපගුප්ත හිමියන් ගංගා නදිය තරණය කර විදේහ දේශයට ගොස් එහි වසුසාර නමැති ගෘහපතියා විසින් කරවන ලද ආරාමයක කලක් වාසය කළ බව කියයි. අනතුරුව ගන්ධ පර්වතයෙහි කලක් වැඩ සිට මථුරාවේ ශිරස් (උශිර) නම් පර්වතයෙහි නටභටික විහාරයට වැඩ තම ජීවිතය අවසන් වන තුරු එහි වාසය කළ බව ද සඳහන් කරයි. මෙහි ශිරස් නොහොත් උශිර යනුවෙන් සඳහන් වන්නේ බෞද්ධ සංස්කෘත සාහිත්‍යයේ එන උරුමුණ්ඩ පර්වතය බැව් පෙනේ.
හියුං සාංගේ භ්‍රමණ වෘත්තාන්තයේ ද උපගුප්ත හිමියන් ගැන සඳහන් වෙයි. උපගුප්ත හිමියන් නිරතුරුව සින්ධු ප්‍රදේශයෙහි ධර්මප්‍රචාරක කටයුතුවල නිරත වූ බව සඳහන් කරන හියුං සාං උන්වහන්සේ නැවතී සිටි ස්ථානවල සංඝාරාම හෝ ස්තූප ඉදි කර තුබූ බව ද කියයි. උපගුප්ත හිමියන් විසින් මථුරා නුවරට නැගෙනහිරින් පර්වත පාර්ශ්වයක් කපා, කුටි සාදවා කරවන ලද සංඝාරාමයක් ද දුටු හියුං සාං උපගුප්ත හිමියන් ඇතුළු රහතන්වහන්සේ උදෙසා අශෝක රජු විසින් පාටලිපුත්‍ර නගරයේ කුඩා කන්දක ගිරි ශිඛරවල හා ඒ අවට නිම්නයන්හි කරවන ලද ගල්ගෙවල් ද දුටු බව කියයි.
උපගුප්ත හිමියන් පිළිබඳ සෑම වාර්තාවක ම, සෑම ජනප්රවාදයක ම සඳහන් වන්නේ අවවාදානුශාසනයෙහි උන්වහන්සේ දැක්වූ දක්ෂතාවයි. උන්වහන්සේ මහණ වීමට පෙරාතුව ම තමන් වශී කරගැනීමට උත්සාහ කළ වාසවදත්තා නම් ගණිකාවක, ඇගේ අවසන් මොහොතේ දී, දමනය කර සෝවාන් පලයට පැමිණවූහ. මහණව රහත් වී දහස් ගණන් ජනයාට නිර්වාණය අත්පත් කරගැනීමට උපකාර වූහ. උන්වහන්සේගෙන් ධර්මය අසා රහත් වූවන් 18,000ක් වූ බව කියත්. උන්වහන්සේ ස්වකීය කාර්යයන්ට බාධා පැමිණවූ මාරයා උපායෙන් දමනය කර, කිසි ම භික්ෂුවකු නොවෙහෙසන ලෙසට ඔහුගෙන් ප්‍රතිඥාවක් ලබා ගත් බවත් ඔහු ලවා බුදුන්ගේ රූපකාය නිර්මිත කරවා දැක බලා සිය මන දොළ සපුරාගත් බවත් ජනප්‍රවාදයෙහි එයි. උන්වහන්සේගේ ධර්ම දේශනාවෙහි කුසලතාව ප්‍රකාශ කරන තවත් ජනප්‍රවාදයක් බොහෝ වාර්තාවල ඇත. උපගුප්ත හිමියන් වෙතින් බණ අසා රහත් වූ සැම කෙනෙකුන් විසින්ම සතරඟුල් ලී පතුරක් කිසියම් ගුහාවකට දමන ලද බව ඉන් පැවසේ. උන්වහන්සේ පිරිනිවන් පෑ පසු ශරීරය ආදාහනය කිරීම සඳහා මේ පතුරු යොදා ගත් බවත් කියනු ලැබේ.
උපගුප්ත හිමියන් ධර්මාශෝක රජු හා පැවැත්වූ සම්බන්ධය එතුමාට ඉතිහාසයෙහි වැදගත් තැනක් හිමි කර දෙන්නාක් මෙන් ම බලවත් ඓතිහාසික ගැටලුවක් ද මතු කරයි. දිව්‍යාවදානයේ කුණාල අවදානයෙහි දැක්වෙන පරිදි, අශෝක රජු තමන් දැකීමට කැමති බව දැනගත් තෙරණුවෝ 18,000ක් රහතන් පිරිවරාගෙන නැවකින් මථුරාවේ සිට පාටලීපුත්ර නගරයට පැමිණියහ. පෙරගමන් කළ රජතුමා ද ගංගා නදී තීරයේ දී එතුමන් පිළිගත්තේ ය. බුද්ධ ජීවිතයේ වැදගත් සිදුවීම් වූ ස්ථාන වන්දනා කිරීමට හා ඒ ස්ථානයන්හි චිහ්නයන් ඉදිකිරීමට ද රජුගේ වූ අභිලාෂය ඉටු කරගැනීමට උන්වහන්සේ මඟ පෙන්වූහ. තෙරණුවන්ගේ මග පෙන්වීමට අනුව ගමන් කළ රජතුමා බුදුන්වහන්සේගේ උපත, බුදුවීම, ධර්මචක්ර ප්‍රවර්තන දේශනාව, පිරිනිවන් පෑම ආදිය සිදු වූ ස්ථාන හා වෙනත් වැදගත් ස්ථාන ද දැකගත්තේය. රජු මේ ස්ථානයන්හි දී ලක්ෂය බැගින් පුදා චෛත්‍ය ඉදිකර වූ බව ද සඳහන් වෙයි. අශෝක රජුගේ රුමින්දෙයි ටැම් ලිපිය ප්‍රධාන වෙනත් ලිපිවල සඳහන් කරුණු මේ දිව්‍යාවදාන ප්‍රකාශය ස්ඵුට කරන සාක්ෂ්‍යයන් ලෙස ඇතැම් ඉතිහාසඥයෝ සලකත්.
බෞද්ධ සංස්කෘත සාහිත්‍යයට අනුව අශෝක රජු හා කිට්ටු සම්බන්ධකමක් පැවැත් වූ උපගුප්ත හිමියන් ගැන ථෙරවාදී පාලි සාහිත්‍යයෙහි සඳහන් නොවීමත්, ථෙරවාදී සාහිත්‍යයේ එබඳු ම සම්බන්ධකමක් පැවැත් වූ බව කියන මොග්ගලීපුත්ත තිස්ස හිමියන් ගැන සංස්කෘත බෞද්ධ සාහිත්‍යයේ සඳහන් නොවීමත් බලවත් ගැටලුවකි. මේ දෙනමින් ම එක ම පුද්ගලයකු අදහස් කෙරෙතැයි ඇතැම් ඉතිහාසඥයෝ කල්පනා කරති. එහෙත් ඇතැමෙක් උපගුප්ත හිමියන් මොග්ගලීපුත්ත තිස්ස හිමියන්ගෙන් වෙන් කොට දැක්වීමට කැමැති වෙත්. උපගුප්ත හිමියන් සර්වාස්තිවාදී සම්ප්රදාය පිළිගත් මහතෙරනමක් බව නලිනාක්ෂ දත් කියයි. එතුමා ගැන වැඩි වශයෙන් සඳහන් වන්නේ තත්සාම්ප්රදායික සාහිත්‍යයේ බවත්, එතුමා වැඩි කල් විසූ මථුරාව පසු කලෙක සර්වාස්තිවාදී මධ්‍යස්ථානයක්ව පැවති බවත් මේ මතය පිළිගැනීමට අනුබල දෙයි. උපගුප්ත නමැති තෙර කෙනකු ‘නෙතෘපද ශාස්ත්‍ර’ නමැති ග්‍රන්ථයේ කර්තෘ වශයෙන් අභිධර්මකෝෂ ව්‍යාඛ්‍යාව දක්වයි. එම කර්තෘවරයා මෙකියන උපගුප්ත හිමි ම නම්, ඒ ග්‍රන්ථය සර්වාස්තිවාදී කෘතියක් බැවින් එතුමා සර්වාස්තිවාදී සම්ප්රදාය පිළිගත්තකු බවට එය ද සාක්ෂ්‍යයක් වනු ඇත. අශෝක සමය වන විට සර්වාස්තිවාදය ථෙරවාදයෙන් වෙන් වූ වෙන ම නිකායක් වූ බව කෙනකුට සැක කළ හැකි වුව ද එකල සර්වාස්තිවාදී මූලධර්ම බිහි වී තිබූ බවට පාලි කථාවත්ථුප්පකරණය සාක්ෂ්‍ය දරන බැවින් මථුරා නුවර නටහටිකායතනයෙහි විසූ උපගුප්ත හිමියන් වැනි වියත් පඬිවරුන් මේ අදහස් විකාසනය කිරීමෙහි පුරෝගාමි වූහයි සිතීමට ඉඩ ඇත. සර්වාස්තිවාදීන් උපගුප්ත හිමියන් අලක්ෂණක බුදුවරයකු කොට සැලකීමත්, උන්වහන්සේගේ පහළ වීම ශ්‍රී මුඛයට නැඟූ අනාවැකියකින් පළ කිරීමත් එතුමාගේ වැදගත්කමට දෙස් දෙයි. ථෙරවාදී සාහිත්‍යයේ උන්වහන්සේ ගැන සඳහන් නොකෙරෙන්නේ ද ඒ නිසා විය හැකිය.
(කර්තෘ: සී. විතානච්චි)
(සංස්කරණය: 1970)