උසාවිය

සිංහල විශ්වකෝෂය වෙතින්
11:54, 12 පෙබරවාරි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

වෙත පනින්න: සංචලනය, සොයන්න

මෑත යුගයේ දී අධිකරණය හැඳින්වීමට යෙදෙන පදයකි. අධිකරණ ආඥාපනතේ අර්ථ නිරූපණය අනුව, අධිකරණමය ලෙස තනිව ක්‍රියා කිරිමට නීතියෙන් බලය ලත් විනිශ්චයකරුවකු හෝ මණ්ඩලයක් වශයෙන් අධිකරණමය ලෙස ක්‍රියා කිරීමට නීතියෙන් බලය ලත් විනිශ්චයකාර මණ්ඩලයක් හෝ අධිකරණමය ලෙස ක්‍රියා කරන විට එම විනිශ්චයකරු හෝ විනිශ්චයකාර මණ්ඩලය අධිකරණය හෙවත් උසාවිය (Court) යනුවෙන් හැඳින්වේ.

'උසාවු' යනු සුපරික්ෂ්‍යකාරීව කල්පනා කිරීම, සිතාබැලීම යන අර්ථවත් දෙමළ වචනයකි. සියුම් විග්‍රහය, දාර්ශනික විනිශ්චය, මෙනෙහි කිරීම, විචාර බුද්ධියෙන් යුතුව සිතීම, සම්ප්‍රේක්ෂණය කිරීම යනාදි අර්ථ ඇති 'උසා' යන දෙමළ වචනයට ද එහි සබඳකම් ඇත. එහෙත් මුල් අවධියෙහි දී "උසාවි කරනවා" යන්න සිංහල භාවිතයෙහි යෙදී ඇත්තේ කුමන්ත්‍රණය කිරීම, රහසිගතව සාකච්ඡා කිරීම, උපාය යෙදීම වැනි අර්ථයන්හි ය. ඒ බව රාජාවලියෙහි එන පහත සඳහන් පාඨවලින් පෙනේ. "මේ විජයබාහු එකගෙයි කන අවධියට දෙදෙනාට ජාතකව උපන් කුමරු තුන්දෙනාට අහිමි කොට තමා ඇති කළ දේවරාජ කුමාරයාට රට දෙන්ඩ ඕනෑ නිසා කඳුරේ බණ්ඩාරත්, ඒකනායක මුදලිත් දෙන්නා බස් ගිවිස්වා ඒ රාජ කුමාරයින්ඩ සදියට උසාවිකර යෝජනා කළේය." "මේ රාජකුමරු තුන්දෙනා තමන්ට සදියට උසාවිකරණ බව දැනලා... " [රාජාවලිය (බී. ගුණසේකර සංස්කරණය - 1899) 61 පිටුව 1. ක්ලිෆ් දේවගැතිතුමාගේ සිංහල-ඉංගිරිසි අකාරදියේ ප්‍රථම සංස්කරණයෙහි (1830) 'උසාවිය' යන්නට දී ඇති අර්ථ ද කුමන්ත්‍රණය, උපාය, වෙස්වළාව, රැවටිල්ල (contrivance, plot, disguise, deception) යනුයි. පසුකලෙක අධිකරණ ශාලාව යන අර්ථයෙන් ද එය යෙදී ඇත.

'Court' (අංගණය, මිදුල) යන ඉංගිරිසි වචනය Court of Justice (අධිකරණ ශාලාව, උසාවිය) යන අර්ථයෙන් යොදන ලද්දේ අධිකරණමය විනිශ්චය සිදු කළ රාජාංගණය හැඳින්වීමට ය. ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණමය බලතල වෙන් වෙන්ව ක්‍රියාවට නැඟීමට පෙර රජවාසල මිදුලේ - රාජාංගණයේ - රැස් වූ රාජසභාව විසින් පැමිණිලි විභාග කොට විනිශ්චය කරන ලදි. නීතිඥයන්, නඩුවේ පාර්ශ්වකාරයන් හා සෙසු ජනතාව මේ අංගණයෙන් - කොටුවෙන් - බැහැරව සිටිය යුතු විය. අනතුරුව අධිකරණමය විනිශ්චය සිදු කළ අන් තැන් ද එනමින් හැඳින්විණ. යටකී ඉංග්‍රීසි අධිකරණ පිළිවෙත (නීතිඥයන්ගෙන් තොරව) ලංකාවේ රාජසබාවේ ද පැවැති බව මහනඩුව හෙවත් මහවාහල් සබාව පිළිබඳ තොරතුරුවලින් පෙනී යයි. පැරණි සිංහල ක්‍රමයට යුක්තිය පසිඳ ලූ අයුරු මෙහි ලා සැකෙවින් දැක්වුවමනායි. (වැඩි විස්තර මෙම ලිපියේ අගට පළවී ඇති 'භාරතයේ හා ලංකාවේ අධිකරණය පිළිබඳ පුරාතතු' යන උපශීර්ෂය යටතේ දැක්වේ.)

මහාධිකරණ බලය පිහිටියේ මහරජතුමන් වෙතය. "මහරජතුමා අධිකරණයේ, යුක්තියේ, නීතිධර්මයේ උල්පත ය" යන සිද්ධාන්තය මත පිහිටා අයුක්තියකට, අසාධාරණයකට හෝ අනීතියකට විරුද්ධව ඕනෑම රට වැසියකුට, ඕනෑ ම කරුණක් විෂයෙහි, කාලය හෝ වෙනත් කරුණු පිළිබඳ සීමාවනට පාත්‍ර නොවී, මහරජතුමා හමුවට අභියාචනයක් (ඇපෑලක්) ඉදිරිපත් කිරීමේ බලය තිබිණි. නඩු විභාගය පැවැත්තේ රජවාසල රාජාංගණයේ ය; ඇතැම්විට මහනුවර පත්තිනි දේවාලය අසල වැනි බැහැර ස්ථානයක ය. අදිකාරම්වරු, දිසාවෙවරු, ලේකම්වරුන් හා මුහන්දිරම්වරු මේ මහනඩුවට අයත් වූහ. හැකි හැම අවස්ථාවක දී ම නඩු විභාගය එක් දිනක දී හමාර කරන ලදි. පළමුව පැමිණිල්ලේ හා ඊළඟට විත්තියේ සාක්කි ඇසීම සිරිත විය. කිසියම් සාක්කිකරුවකුට රෝගයක් නිසා පැමිණිය නොහැකි නම් සන්දේසකරුවන් ලවා සාක්කිකරු, හැකි නම් අසල දේවාලයක, දිවුරුම්කරවා සාක්කි සටහන් කරවා ගන්නා ලදි. 'නඩු' යනු මධ්‍යස්ථභාවය, අපක්ෂපාතිත්වය යන අරුත් දෙන දෙමළ වචනයකි. 'මහනඩුව' හෙවත් 'මහවාහල් සබාව' යයි නම් කරන ලද්දේ අපක්ෂපාතී විනිශ්චයක් සඳහා අප රටේ පැවති උසස් ම අධිකරණ ආයතනයට ය.

උසස් ම අධිකරණ ආයතනය මහනඩුව වූ අතර, ගම්බදව එදිනෙදා සුළු ආරාවුල් විසඳීම සඳහා පිහිටුවා තිබුණේ ගම්සභාවය. ගමේ අම්බලමක හෝ මහ ගහක් යට රැස් වූ ගම්පතිවරු අපරාධ මෙන් ම සිවිල් අයිතිය පිළිබඳ පැමිණිලි ද විභාග කොට තීන්දු දුන්හ. මේවායේ පරමාර්ථය වූයේ දඬුවම් පැමිණවීමට වඩා ආරාවුල් සාමදාන කිරීමය. දණ්ඩනායකවරුන් ලෙස සඳහන් වනුයේ මේ අධිකරණ විනිශ්චය සභා පැවැත්වූ ප්‍රභූ පක්‍ෂයයි.

උසාවියක් වශයෙන් ගම්සබා ගැන බ්‍රිතාන්‍ය රජයේ ව්‍යවස්ථා නියෝගයක පළමුවරට සඳහන් වනුයේ 1833 අධිකරණ සන්නස් පත්‍රයේ (Charter of Justice) 4 වැනි ඡේදයේ ය. ගම්සභාවට අනතුරුව රටසබාවේ ද හදිසි මරණ පරීක්ෂණය හා සම කළ හැකි සාක්කි බලන තැන ද කෝරලවරුන්, මොහොට්ටාලවරුන්, දිසාවෙවරුන් හා අදිකාරම්වරුන් මගින් විනිශ්චය කටයුතු සිදු කරන ලදි. මේ හැම අභිභවා මහරජතුමාට අභියාචනය කිරීමේ අයිතිය ද පැවැත්තේය.

බ්‍රිතාන්‍ය යුගය උදාවන විට ඕලන්ද පාලනය යටතේ මුහුදුබඩ පළාත්වල නවපන්නයේ අධිකරණ ආයතන පිහිටුවා තිබිණි. ඕලන්ද නීතිය ක්‍රියාත්මක කරනු සඳහා රටේ සිව් නගරයක, එනම් කොළඹ, මාතර, ගාල්ලේ සහ යාපා පටුනේ, 'හොෆ් ෆන් යුස්විසි' (Hoff van Justitie) නමින් අධිකරණ ආයතන හතරක් පැවැත්තේ ය. දේපළ පිළිබඳ නඩු හා අපරාධ නඩු විසඳීමට මෙම අධිකරණ ආයතනවලට බලය තිබිණි. මේ අධිකරණ පසුව ඒකාබද්ධ කරන ලදි. ඉඩම් නඩු සඳහා වෙන් වූ උසාවිය 'ලන්ට් රාට්' (Land Raat) යනුවෙන් හඳුන්වන ලදි. 'හොෆ් ෆන් ක්ලයින ගොරෙක්ට්ස්' (Hoff van kleine Gorechts) නමින් හැඳින්වූ උසාවි වර්ගය ඉඩම් උසාවිවලට පහළ තත්වයේ විය. රික්ස් ඩොලර් 120කට අඩු වටිනාකම් ඇති පොරොන්දු හා ණය පිළිබඳ ආරාවුල් මේ උසාවි හමුවට පත් කරන ලදි.

නඩු තීන්දුවලින් පැනනඟින අභියාචනයක් විභාග කිරීමට බ්‍රිතාන්‍ය යුගයේ ආරම්භයේ දී ආණ්ඩුකාරතුමා මහරජතුමාගේ සේනාවන්ගේ අණදෙන නිලධාරිතුමා වශයෙන් ලයිතන් ආණ්ඩුකාරතැන සහ යටත්විජිත ලේකම් යන මොවුන්ගෙන් යුත් සිවිල් ඇපැල් උසාවියක් පිහිටුවන ලදි. එම නඩුවල වටිනාකම මහා බ්‍රිතාන්‍යයේ මුදලින් පවුම් 200කට හෝ ලංකාවේ වලංගු මුදලින් රික්ස් ඩොලර් 2000කට හෝ වැඩි විය යුතුයි. ඇතැම් අවස්ථාවල වටිනාකම ගැන නොතකා සිවිල් නඩුවල අභියාචනයක් ආණ්ඩුකාර තැන වෙත ඉදිරිපත් කිරීමට ද බලය තිබිණ. මේ අභියාචන අධිකරණයේ තීන්දු කෙරෙහි අප්‍රසාදයට පත් වූ කෙනකුට රාජාධිකරණයේ වැඩ සිටින මහරජතුමා වෙත අභියාචනයක් ඉදිරිපත් කිරිමේ අයිතියක් ද පැවරිණ. එහෙත් ‍තම නඩු නිමිත්තේ වටිනාකම මහා බ්‍රිතාන්‍යයේ රන්පවුම් 500කට හෝ ලංකාවේ වලංගු මුදලින් රික්ස් ඩොලර් 5000කට හෝ අධික විය යුතුය. අභියාචනය, නඩු තීන්දුව ප්‍රකාශයට පත්කොට දින 14ක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය. ආගමික ආරාවුල් පිළිබඳ විනිශ්චය ද ආණ්ඩුකාරතුමා වෙත පැවරිණ.

1799 සැප්තැම්බර් 23 වෙනි දා බ්‍රිතාන්‍ය පාලකයන් මගින් අධිකරණ කටයුතු විෂයයෙහි නිකුත් කරන ලද ප්‍රථම ප්‍රකාශයේ සඳහන් වැදගත් කරුණක් නම් අලුතින් විහාර ආරාමාදිය පිහිටුවීමත් පාඨශාලා පැවැත්වීමත් සඳහා කල්තබා බලපත්‍රයක් ලබාගත යුතු වීමය.

1799 ඔක්තෝබර් 14 වෙනි දා නිකුත් කරන ලද තවත් ප්‍රකාශයකින් ප්‍රථමවරට ලංකාවේ 'අපරාධ නඩු පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයක්' (Supreme Court of Criminal Jurisdiction) පිහිටුවා එහි සභිකවරු ද නම් කරනු ලැබූහ. එහි සභාපතිත්වය ආණ්ඩුකාරතුමා දැරිය යුතු විය. මෙසේ පත් කළ ප්‍රථම ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු පස්දෙනා නම්, ජනරාල් හේ මැක්ඩුවල්, හියු ක්ලෙග්හෝන්, ජේම්ස් ඩන්කින්, කර්නල් ජොසියාස් වැම්පේන් හා ජෝසප් ග්‍රින්හිල් ය.

අණදෙන නිලධාරි, යටත් විජිත ලේකම් හා ආණ්ඩුකාරතුමා යන මොවුන්ගෙන් සමන්විත සිවිල් 'අභියාවන මහනඩුව' (Greater Court of Appeal) කොළඹ නගරයේ පැවැත්වීමට ද රන්පවුම් 200කට හෝ රික්ස් ඩොලර් 2,000කට නොවැඩි සිවිල් නඩු පිළිබඳව 'අභියාචන කුදු නඩුව' (Lesser Court of Appeal) කොළඹ හා වෙනත් නියමිත තැන්වල පැවැත්වීමට ද බලය පැවරිණ.

1800 ජූනි 20 වෙනි දා නිකුත් කරන ලද නිවේදනයකින් පිස්කල් උසාවි නමින් නව අධිකරණයක් පිහිටුවන ලදි. සිවිල් හා අපරාධ යන දෙවර්ගයේ ම නඩු එහි විභාග කළ හැකි ය. එම උසාවියකින් පැනවිය හැකි ඉහළ ම දඩය රික්ස් ඩොලර් 50කි; මාසයක සිර දඩුවමකි; කසපහර 40කි. එම අධිකරණයේ දඩුවම් සීමාව 1800 ජූලි 2 වෙනි දා නියෝගයකින් රික්ස් ඩොලර් 75ක දඩය, දෙමසක සිර දඩුවම හා කසපහර 100 දක්වා වැඩි කරන ලදි. 1801 පෙබරවාරි 20 වෙනි දා තවත් නියෝගයක් මාර්ගයෙන් මේ දඬුවම් සීමා රික්ස් ඩොලර් 500ක දඩය, හාරමාසයක සිරදඬුවම හා කසපහර 250ක උපරිමය දක්වා වැඩි කරන ලදි.

අද ශ්‍රේෂ්ඨාධිකරණය නමින් හැඳින්වෙන ආයතනයේ මීළඟ අවස්ථාව වූ 'ලංකාද්වීපයේ අධිකරණ සංවිධානයේ ශ්‍රේෂ්ඨාධිකරණය' (Supreme Court of Judicature in the Island of Ceylon) 1801 මාර්තු 1 වෙනි දා සන්නස් පත්‍රයකින් බිහි විය. ඊට අග්‍රවිනිශ්චයකාරතුමා හා විනිශ්චයකාරතුමා යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු දෙදෙනෙක් අයත් වූහ. එම පදවි දැරීමට යටත් පිරිසෙයින් එංගලන්තයේ හෝ අයර්ලන්තයේ පස් හවුරුදු ජ්‍යෙෂ්ඨත්වයක් ඇති බැරිස්ටර් කෙනකු විය යුතු විය. ශ්‍රේෂ්ඨාධිකරණය 'ලේඛන උසාවියයක්' (Court of Record) වශයෙන් පළමුවරට පිහිටුවන ලද්දේ මෙසේයි. අධිනීතිඥවරුන් හා පෙරකදෝරුවන් ලෙස සුදුසුකම් ඇතියවුන් පත් කිරීමේ හා වැද්දගැනීමේ බලය ද මේ අධිකරණයට හිමි විය. සිවිල්, අපරාධ, විවාහ හා බූදල් නඩු පිළිබඳ අධිකරණ කටයුතු මේ නව උසාවියට පැවරිණ. කලින් පිහිටුවන ලද සිවිල් උසාවිය හා අපරාධ නඩු පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය අහෝසි කරන ලදි. 1799 දී පිහිටුවන ලද අභියාචන 'මහනඩුව' හා 'කුදු නඩුව' වෙනුවට ලංකාද්වීපයේ අභියාචනා පිළිබඳ මහාධිකරණය (High Court of Appeal in the Island of Ceylon) ලංකාවේ සියලු ම සිවිල් නඩු අභියාචන ඇසීමේ ආයතනය බවට පත්විය. මුලින් කොළඹ හා අවට දිස්ත්‍රික්කවලට පමණක් සීමා වූ එහි අධිකරණ බලය 1810 අගෝස්තු 10 වෙනි දා සන්නස් පත්‍රය මගින් මුළු මහත් දිවයිනට ම පතුරුවා හරින ලදි. අපරාධ නඩුවල දී ජූරිසභාවක් සහිත නඩු විභාගය පළමුවරට පිහිටුවන ලද්දේ 1810 සන්නසේ 10 වෙනි ඡේදය අනුවය. මෙසේ වරින් වර පනවන ලද සන්නස් හා නියෝගයන් මඟින් 1833 වන විට ප්‍රදේශීය උසාවිය, අධිකරණ කොමසාරිස් උසාවිය, අධිකරණ ඒජන්තගේ උසාවිය, රජයේ ඒජන්තගේ උසාවිය, ආදායම් උසාවිය, මහබද්දේ මහෙස්ත්‍රාත් උසාවිය, අභියාචන කුදු උසාවිය හා ආදායම් නඩු පිළිබඳ අභියාචන කුදු උසාවිය වශයෙන් විවිධ නම්වලින් හැඳින්වුණු අධිකරණ ආයතන පැවැත්තේය. 1815 දී උඩරට රාජධානිය ද බ්‍රිතාන්‍ය ආධිපත්‍යය යටතට පත් වූ පසු මුළු දිවයිනේ ම අධිකරණ පාලනය සඳහා පැනවූ 1833 පෙබරවාරි 18 වෙනි දින දරන අධිකරණ සන්නස් පත්‍රයේ විධානයන් මගින් ඉහත සඳහන් සියලු ම අධිකරණ ආයතන අහෝසි කොට, අවලංගු කොට අලුත් ම, අධිකරණ පද්ධතියක් පිහිටුවනු ලැබීය. 1974 දක්වා ක්‍රියාත්මක වූයේ විටින් විට සංශෝධනය කරන ලද ඒ අධිකරණ ආයතනයි. 'ලංකාද්වීපයේ ශ්‍රේෂ්ඨාධිකරණය' නමින් හැඳින්වෙන ආයතනය මෙසේ පළමුවරට බිහි විය. අග්‍රවිනිශ්චයකාරතුමකුගෙන් හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන් දෙදෙනකුගෙන් එය සමන්විත විය.

කොළඹ දිස්ත්‍රික්කය, උතුරු චක්‍රය, දකුණු චක්‍රය හා නැගෙනහිර චක්‍රය වශයෙන් දිවයින අධිකරණ ප්‍රදේශවලට බෙදිණ. මේ චක්‍ර යළිත් වරක් දිස්ත්‍රික්ක වශයෙන් බෙදා (20 වෙනි ඡේදය යටතේ) දිස්ත්‍රික් උසාවි පිහිටුවන ලදි. එක් දිස්ත්‍රික් නඩුකාරවරයකු හා තක්සේරුකරුවෝ තිදෙනෙක් එම දිස්ත්‍රික් උසාවිවල නඩු විභාග කළහ. දිස්ත්‍රික් උසාවිවලට සිවිල් හා අපරාධ අධිකරණ බලතල පැවරිණ. දිස්ත්‍රික් අධිකරණයක තීන්දුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් කළ හැකි ය.

'හබෙයාස් කෝපුස්' හා තහනම් නියෝග නිකුත් කිරීමේ බලය ද ශ්‍රේෂ්ඨාධිකරණයට පැවැරුණේ මේ 1833 සන්නස් පත්‍රය මගිනි. රාජාධිකරණයට අභියාචනා කිරීමේ අයිතිය ද (සිවිල් නඩුවල දී රු. 5,000කට අධික වූ විට) මෙනයින් පැනැවිණ.

74.1.1 දක්වා පැවති උසාවි පනත යටතේ 6 වෙනි අධිකාරය) සිව් වර්ගයක උසාවි ඇත:

(1) ශ්‍රේෂ්ඨාධිකරණය,

(2) දිස්ත්‍රික් උසාවිය,

(3) රික්වෙස්ට් උසාවිය,

(4) මහෙස්ත්‍රාත් උසාවිය යනුවෙනි.

(1) ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බල සීමාව හා බලතල අධිකරණ ආඥා පනතේ 19 වෙනි ඡේදයෙන් විස්තර වෙයි. 19 (අ) "දිවයින මුළුල්ලෙහි කරනු ලබන අපරාධ හා වරදවල් පිළිබඳව විභාග කිරීම පිණිසත්, ආරම්භ කරනු ලබන සියලු නඩු පැවරීම් හා චෝදනා ද, එබඳු යම් අපරාධ නැතහොත් වරදවල් නැතහොත් කරන ලදැයි කියන අපරාධ හෝ වරදවල් සඳහා හෝ ඒවා සම්බන්ධයෙන් යම් තැනැත්තකුට විරුද්ධව එහි දී ඉදිරිපත් කරනු ලබන සියලු අධිචෝදනා හා චෝදනා ද, ඇසීම, විභාග කිරීම හා විනිශ්චය කිරීම පිණිසත්, මූලික අපරාධ අධිකරණ බලයක් ද,

(ආ) "යම් මුල් අධිකරණයක් විසින් කරනු ලබන සියලු වරදවල් මෙහි මින්මතු නියමිත වන පරිදි හරිගැස්වීම පිණිස ආයාචන අධිකරණ බලයක් ද, එබඳු මුල් අධිකරණයක් විසින් සැලකිල්ලට භාජන කරන ලද සියලු නඩු නිමිති, නඩු, නඩු පැවරීම්, නඩු පැමිණිලි කිරීම්, කරුණු සහ දේවල් ආයාචන හා පරිශෝධන මාර්ගයෙන් සම්පුර්ණ වූ ද විශේෂ වූ ද, සැලකිල්ලට භාජන කිරීම" යනුවෙන් අධිකරණ බල ශ්‍රේෂ්ඨාධිකරණය සතු විය යුතු අතර ඒ අධිකරණය විසින් ක්‍රියාවේ යෙදවිය යුතුය.

(2) දිස්ත්‍රික් උසාවි වශයෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන අධිකරණය අධිකරණ ආඥාපනතේ ප්‍රදේශ අධිකරණය වශයෙන් VI වැනි පරිච්ඡේදයේ 62 වැනි ඡේදයෙන් විස්තර වේ. එහි අධිකරණ බලය සිවිල් හා අපරාධ අධිකරණ බලය යනුවෙන් දෙවැදෑරුම් වෙයි. සෑම දිස්ත්‍රික් උසාවියක් ම ලේඛන භාර අධිකරණයක් වන අතර සිවිල්, අපරාධ, ආදායම්, විවාහ, වස්තුභංගත්ව හා බූදල් නඩු පිළිබඳ සියලු කරුණු සම්බන්ධයෙන් මුල් අධිකරණ බලය එයට හිමි වන්නේ ය. තව ද උම්මත්තකයන් බාල වයස්කාරයන් හා රක්ෂිත අය සහ ඔවුන්ගේ බූදල් සම්බන්ධයෙන් ද, භාරයක අර්ථලාභීන්ගේ බූදල් සම්බන්ධයෙන් ද ආරක්ෂකයන් හා භාරකරුවන් සම්බන්ධයෙන් ද දිස්ත්‍රික් උසාවිවලට අධිකරණ බලය හිමිය.

නඩුවේ පැමිණිල්ල, උත්තරය හා නඩු නිමිත්ත සිදුවීම හෝ පිහිටීම අනුව ප්‍රදේශ අධිකරණයේ නඩු විසඳීමේ බලය පැවරෙන අයුරු 63 වැනි ඡේදයෙන් පැහැදිලි වෙයි.

ප්‍රදේශ අධිකරණයක නඩු තීන්දුවකට එරෙහි ව දින 10ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.

(3) රික්වෙස්ට් උසාවියේ හෙවත් සුළු විවාද අධිකරණයේ බලතල හා අධිකරණ සීමාව ආඥා පනතේ 75 වැනි ඡේදයෙන් නියමිතය. දිස්ත්‍රික් අධිකරණයක් මෙන් මෙය ද ලේඛන භාර, මුල් අධිකරණයකි. එහෙත් එහි අධිකරණ සීමාව තුළ වූ නඩු නිමිත්ත වටිනාකමින් රුපියල් 300කට අධික නොවිය යුතුය. එතෙකුදු වුවත්, සාපරාධී සංවාදය සඳහා හෝ කන්‍යා දූෂණය සඳහා හෝ විවාහ ගිවිසුම් කඩකිරීම සඳහා හෝ සහභෝජනයෙන් හා සහවාසයෙන් වෙන්වීම සඳහා හෝ විවාහබන්ධනයෙන් දික්කසාදවීම සඳහා හෝ විවාහය නිෂ්ප්‍රභ කිරීම පිළිබඳ ප්‍රකාශය සඳහා රික්වෙස්ට් උසාවිය හමුවේ නඩු නොපැවරිය හැකිය.

නඩු නිමිත්තේ වටිනාකම පොදුවේ රුපියල් 300කට සීමා කරන ලද නමුත්, මෙහෙකරුවකු කර්මාන්ත ශිල්පියකු හා කම්කරුවකු වශයෙන් කරන ලද වැඩට වේතනය හෝ කෑලි ගණනේ කුලිය වශයෙන් ලැබිය යුතු සියලු ම මුදල් කොපමණ වුව ද, සම්පූර්ණ වයස්ගත නොවූ තැනැත්තකු වුව සම්පූර්ණ වයස්ගත වූවකු ලෙස ද, විවාහක ස්ත්‍රියක් වුව අස්වාමික ස්ත්‍රියක ලෙස ද සලකා රික්වෙස්ට් උසාවියක දී පැමිණිලි කර අයකර ගත හැකිය. සුළු විවාද අධිකරණයේ තීන්දුවකට විරුද්ධව නෛතික ප්‍රශ්නයක් මත පමණක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දින 7ක් ඇතුළත දී අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.

(4) කලෙක පොලිස් උසාවිය හා පසුව මහෙස්ත්‍රාත් උසාවිය වශයෙන් හැඳින්වුණු අධිකරණය ආඥාපනතේ 81 වැනි ඡේදය යටතේ සුළු අපරාධ අධිකරණය ලෙස විස්තර වන්නේ ය. දණ්ඩ නීති සංග්‍රහයේ හා අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධානවල බලය යටතේ හෝ තත් කාලයෙහි වලංගු අන්කිසි ආඥාපනතක විධානවල බලය යටතේ ලැබීමට, පාවිච්චි කිරීමට හෝ ඉටු කිරීමට සුළු අපරාධ අධිකරණවලට පවරනු ලබන්නාවූත් නියම කරනු ලබන්නාවූත් සියලු බලතල හා බල සෑම සුළු අපරාධ අධිකරණයකට ලැබිය යුතු අතර එය විසින් එම බලතල හා බල ක්‍රියාවේ යෙදවිය යුතුය (81 වැනි ඡේදය).

සුළු අපරාධ අධිකරණයකට නියම කළ හැකි දඬුවම් සීමාව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 152 ඡේදයට යටත්ව මෙසේයි:

(I) හමසකට නොවැඩි කවර ආකාරයක හෝ සිර දඬුවම

(II) රු. 100කට නොවැඩි දඩයක්

(III) වරදකරුගේ වයස අවුරුදු 17ට අඩු නම් කස පහර

(IV) ඉහත කී කරුණුවලින් දෙකක් එකතු කොට කවර හෝ නීත්‍යනුකූල දඬුවමක්.

සුළු අපරාධ අධිකරණයක තීන්දුවකට විරුද්ධව දින 10ක් ඇතුළත දී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය. (අ.න.වී.සං. 338 වෙනි ඡේදය). එහෙත් විත්තිකරුවකු නිදහස් කළ තීන්දුවකට විරුද්ධව නම් අභියාචනයක් ඉදිරිපත් කළ හැක්කේ ඇටෝර්නි ජනරාල්වරයාගේ ලිඛිත අවසරය ඇතිව පමණකි (අ.න.වී.සං. 336 වෙනි ඡේදය).

ගම්සභා උසාවි පවත්නේ 257 වැනි අධිකාරයේ විධානයන් යටතේය. උසාවිවල පෙනී සිටින අධිනීතිඥවරුන් හා නීතිඥවරුන් බඳවා ගනු ලබන්නේ උසාවි පනතේ 16 වැනි ඡේදය යටතේ 2 වැනි උපලේඛනය මගින් පිහිටුවන ලද නීති අධ්‍යාපන මණ්ඩලය මගින් පාලනය කැරෙන නීති විද්‍යාලයේ පරීක්ෂණ අනුවය. උගත යුතු විෂයයන් පවා එහි සඳහන් ය. 1958 අංක 10 පනතින් ගම් ප්‍රදේශවල සමගි මණ්ඩල පිහිටුවාලීමට විධාන පනවන ලදි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ අපරාධ නඩු තීන්දු පිළිබඳ අභියාචන විභාග කිරීමට 1938 අංක 23 ආඥාපනත හා 1952 අංක 21 පනත (දැන් 7 වැනි අධිකාරය) යටතේ අපරාධ අභියාචන අධිකරණයක් පිහිටුවා ඇත. එය අග්‍රවිනිශ්චයකාරතුමාගෙන් සහ සෙසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන්ගෙන් සමන්විතය.

රාජාධිකරණයට අභියාචන කිරීමේ අයිතිය හා පිළිවෙළ 1909 අංක 31 ආඥාපනතින් හා (දැන් 100 වැනි අධිකාරයෙන්) දක්වන ලදි. මේ රාජාධිකරණ අභියාචන අයිතිය 1971 අංක 44 අභියාචනා මහාධිකරණ පනත මඟින් අවලංගු කොට, රාජාධිකරණය වෙනුවට ලංකාවේ ම අභියාචන අධිකරණයක් පිහිටුවන ලදි. නව අභියාචන මහාධිකරණය, ප්‍රධාන විනිශ්චයකාරවරයකුගෙන් හා වෙනත් විනිශ්චයකාරවරුන් 6 දෙනකුට නොවැඩි ගණනකින් සමන්විත ය. වරකට යටත් පිරිසෙයින් විනිශ්චයකරුවන් තිදෙනකු හෝ රැස්ව, වැඩිදෙනාගේ තීරණය අනුව නඩු තීන්දු නිකුත් කළ හැකිය. ලංකාව ජනරජයක් බවට පත්වීමටත් පෙර, එංගලන්තයේ රාජාධිකරණය සමඟ පැවති සම්බන්ධය මෙසේ අහෝසි කරන ලදි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය

1972 මැයි මස 22 වැනි දා ප්‍රතිෂ්ඨාපිත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ 'ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරෙන කාර්ය ඉටු කිරීම සඳහා' ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය නමින් නව අධිකරණයක් පිහිටුවන ලදි. එය ජනාධිපතිවරයා විසින් සතර අවුරුදු කලකට පත් කරනු ලබන සාමාජිකයන් පස්දෙනකුගෙන් සමන්විත වේ. මෙම අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන කවර ම හෝ කරුණක් පිළිබඳව එහි සාමාජිකයන් අතුරෙන් තෝරා ගනු ලබන තිදෙනකු තීරණයක් දිය යුතුය. අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු කරුණු මෙසේ දක්වා ඇත:

"(අ) පනත් කෙටුම්පත කිසියම් විධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වේ දැයි යන ප්‍රශ්නයක් ඇතැයි නීතිපතිවරයා... කථානායකවරයාට දැන්වුව හොත්

(ආ) ජාතික රාජ්‍ය සභාවේ සිටින පිළිගත් දේශපාලන පක්ෂයක නායකයා විසින් එවැනි ප්‍රශ්නයක් නගා ඉදිරිපත් කරනු ලබන ලිඛිත නිවේදනයක් පනත් කෙටුම්පත ජාතික රාජ්‍ය සභාවේ න්‍යාය පත්‍රයෙහි ඇතුළත් කරනු ලැබීමෙන් සතියක් ඉකුත් වන්නට පෙර කථානායකවරයාට ලැබුණ හොත්

(ඇ) (එබඳු ම කාලසීමාවක් ඇතුළත)... ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරයන් සංඛ්‍යාවක් විසින් අත්සන් කරනු ලැබ කථානායකයා වෙත ඉදිරිපත් කෙරෙන ලිඛිත නිවේදනයකින් එවැනි ප්‍රශ්නයක් නඟනු ලැබුව හොත්

(ඈ) එවැනි ප්‍රශ්නයක් ඇතැයි කථානායකවරයා හෝ නියෝජ්‍ය කථානායකවරයා හෝ අදහස් කළ හොත්

(ඉ) (යට කී කාලසීමාව ඇතුළත) කවර වූ හෝ පුරවැසියකු විසින් මෙහෙයවනු ලැබීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය එවැනි ප්‍රශ්නයක් ඇතැයි කථානායකවරයාට උපදෙස් දුන හොත් ඒ ප්‍රශ්නය පිළිබඳ තීරණයක් ලබාගැනීම පිණිස කථානායකවරයා හෝ... නියෝජ්‍ය කථානායකවරයා හෝ ඒ ප්‍රශ්නය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතුය" යනුවෙනි.

ප්‍රශ්නය යොමු කළ දින පටන් දෙසතියක් ඉකුත් වන්නට පෙර අධිකරණය සිය තීරණයට පදනම් වූ හේතු දක්වමින් තීරණය දිය යුතු බව ද කියැවේ.

අධිකරණ සේවා කොමිෂන් සභාව

1947 ලංකා ස්වාධීනතා පනතේ 53, 54, 55, 56 යන වගන්ති ප්‍රකාර, අධිකරණ නිලධාරීන් පත්කිරීම, මාරුකිරීම, අස්කිරීම හා ඔවුන් පිළිබඳ විනයානුකූල පාලනය යනාදි කටයුතු අධිකරණ සේවා කොමිෂන් සභාව නම් වූ ආයතනයෙන් ඉෂ්ට විය. අග්‍රවිනිශ්චයකාරතුමාගෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරයකුගෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරයකුව සිටින්නා වූ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරයකුව සිටියාවූ හෝ තවත් පුද්ගලයකුගෙන් ද සමන්විත වූ අධිකරණ කොමිෂන් සභාවේ සභාපති වූයේ අග්‍රවිනිශ්චයකාරතුමාය. එහි සභාපතිවරයා හැර සෙසු සාමාජිකයන් පත් කරනු ලැබුවේ අග්‍රාණ්ඩුකාරතුමා විසිනි. සභාපති හැර සෙසු සාමාජිකයන්ගේ නිලකාලය වර්ෂ පහක් විය.

1972 දී ඉහත කී අධිකරණ කොමිෂන් සභාව අහෝසිකර ඒ වෙනුවට අධිකරණ සේවා උපදේශක මණ්ඩලය හා අධිකරණ සේවා විනය මණ්ඩලය නමින් මණ්ඩල දෙකක් පිහිටුවන ලදි. 1972 මැයි 22 දා ප්‍රතිෂ්ඨාපිත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 වගන්තියෙහි අධිකරණ සේවා උපදේශක මණ්ඩලයත් 127 වගන්තියෙහි අධිකරණ සේවා විනය මණ්ඩලයත් පිළිබඳ විධිවිධාන සඳහන් වේ.

125 වැනි වගන්තියට අනුව "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අධිකරණ සේවා උපදේශක මණ්ඩලයට නියම වී ඇත්තා වූ බලතල ක්‍රියාත්මක කිරීම ද කර්තව්‍යයන් සපුරාලීම ද කාර්ය ඉටු කිරීම ද අධිකරණ සේවා උපදේශක මණ්ඩලය විසින් කරනු ලබන්නේය. සාමාජිකයන් පස් දෙනකුගෙන් සමන්විත අධිකරණ සේවා උපදේශක මණ්ඩලයේ සභාපතිත්වය දරන්නේ උසස් ම අධිකරණයේ ප්‍රධාන විනිශ්චයකාරතුමා විසිනි. සභාපතිවරයා හැර අනෙක් සාමාජිකයෝ සිව්දෙනා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබත්. ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරයකුට අධිකරණ සේවා උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු විය නොහැකිය."

අධිකරණ සේවා උපදේශක මණ්ඩලයේ සභාපතිවරයා හැර සෙසු සාමාජිකයෝ සිවුවසක් කල් සිය ධුරය දරති. සභාපතිවරයා හැර සෙසු සාමාජිකයකු මිය ගිය විට හෝ ඉල්ලා අස්වූ විට හෝ ජනාධිපතිවරයා විසින් ඉවත් කරනු ලැබූ විටක හෝ රාජ්‍ය නිලධාරියකු වශයෙන් ස්වකීය නිල කාලය අවසන් වූ විට හෝ එකී ධුරය හිස් වන අවස්ථාවක වෙනත් කෙනකු පත්කිරීමට ජනාධිපතිවරයාට බලය තිබේ. අධිකරණ සේවා උපදේශක මණ්ඩලයේ සාමාජිකයන්ගේ වැටුප් හෝ දීමනා ජාතික රාජ්‍ය සභාව විසින් නිශ්චය කරනු ලබන අතර එම වැටුප් ඒකාබද්ධ අරමුදලෙන් ගෙවනු ලැබේ. සාමාජිකයන්ගේ ධුර කාලය තුළ එම දීමනා අඩු කළ නොහැකිය. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලේකම්වරයෙක් ද අධිකරණ සේවා උපදේශක මණ්ඩලයෙහි සිටී. අභියාචනා මහාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ (1974 සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ මහාධිකරණයේ) හැර සෙසු අධිකරණ ආයතනවල විනිශ්චයකරුවන් ද යුක්තිය පසිඳලීමේ නියුක්ත වෙනත් නිලධාරීන් ද බඳවා ගැනීම සහ පත්කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දීමේ වගකීම අධිකරණ සේවා උපදේශක මණ්ඩලය සතු වේ. එම විනිශ්චයකරුවන් හා නිලධාරීන් මාරුකිරීම ද මෙම උපදේශක මණ්ඩලය විසින් කරනු ලැබේ. අභියාචනා මහාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ (1974 සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ හා මහාධිකරණයේ) විනිශ්චයකරුවන් හැර සෙසු විනිශ්චයකරුවන් සහ යුක්තිය පසිඳලීමේ නියුක්ත වෙනත් නිලධාරීන් ද සේවයෙන් පහකිරීමේ බලතල සහ ඔවුන්ගේ විනය පාලනය පිළිබඳ බලතල ක්‍රියාත්මක කිරීමට අධිකරණ සේවා විනය මණ්ඩලය පත් කර ඇත. මෙය තිදෙනකුගෙන් සමන්විත වේ. උසස් ම අධිකරණයේ ප්‍රධාන විනිශ්චයකරු එහි සභාපති වන්නේය. සභාපතිවරයා විසින් නම් කරන ලද එම අධිකරණයේ වෙනත් විනිශ්චයකරුවන් දෙදෙනෙක් සෙසු සාමාජිකයෝ වෙති. සභාපතිවරයා හැර අනෙක් සාමාජිකයකුට ස්වකීය කාර්ය ඉටු කිරීමට නොහැකි අවස්ථාවක දී ඒ වෙනුවට උසස් ම අධිකරණයේ වෙනත් විනිශ්චයකරුවකු පත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. අධිකරණ සේවා උපදේශක මණ්ඩලයේ ලේකම්වරයා, අධිකරණ සේවා විනය මණ්ඩලයේ ලේකම්වරයා ද වේ. අධිකරණ සේවා විනය මණ්ඩලයේ නිගමනය අවසාන නිගමනය වන අතර, එය ජාතික රාජ්‍ය සභාවේ විවාදයට භාජන කළ නොහැකිය.

1961 අංක 3 උසාවියේ භාෂා පනත යටතේ සිංහල බසින් අධිකරණ කටයුතු සිදු කළ යුතු යයි විධානය කරන ලදි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ II වැනි වගන්තිය අනුව සිංහල භාෂාව "ශ්‍රී ලංකාව මුළුල්ලේ ම අධිකරණයන්හි සහ යුක්තිය පසිඳලීම සඳහා නීතියෙන් බලය ලබා ඇති විනිශ්චය අධිකාරයන්හි ද කාර්මික ආරාවුල් පනත යටතේ පිහිටුවන ලද අධිකරණයන්හි විනිශ්චය අධිකාරයන්හි සහ වෙනත් ආයතනයන්හි ද 1958 අංක 10 දරන සමඟි මණ්ඩලවල කටයුතු" සඳහා සඳහා භාවිතා කළ යුතුය.

එතකුදු වුවත් "උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ මුල් අධිකරණ බලය ඇති ආයතන සම්බන්ධයෙන් ද කාර්මික ආරාවුල් පනත යටතේ පිහිටුවන ලද අධිකරණ විනිශ්චය අධිකාර සහ වෙනත් ආයතන සම්බන්ධයෙන් ද 1958 අංක 10 දරන සමඟි මණ්ඩල පනත යටතේ පිහිටුවන ලද සමඟි මණ්ඩල සම්බන්ධයෙන් ද ජාතික රාජ්‍ය සභාව විසින් පනවනු ලබන නීතියකින් හෝ ජාතික රාජ්‍ය සභාව විසින් පනවනු ලබන නීතියක බලය යටතේ හෝ වෙනත් විධිවිධාන යෙදිය හැකිය"යි පනවා තිබේ.

'කම්කරු උසාවිය' වශයෙන් පොදුවේ හැඳින්වෙන කම්කරු විනිශ්චය සභාව, 1950 අංක 43 දරන කාර්මික ආරාවුල් පනතට 1957 අංක 62 පනතින් සිදු කළ සංශෝධන අනුව පිහිටුවන ලද ආයතනයකි.

1958 අංක 10 සමගි මණ්ඩල පනත යටතේ එක් එක් පළාත් පාලන ආයතන වැයික්කියකට එක් එක් සමගි මණ්ඩලයක් බැගින් පත් කළ හැකිය. පනතේ සඳහන් කරුණු විශේෂයෙහි හැර අන් සියලු ම ආරාවුල් සම්බන්ධයෙන් පළමුකොට සමගි මණ්ඩල හමුවේ ආරාවුල් විසඳා ගැනීමට පියවර ගෙන මිස සෙසු අධිකරණ ආයතනයන් හමුවට යාමට අවසර නොලැබේ.

ලංකාව වැනි ඒකීය රාජ්‍යපාලන ක්‍රමයක් පවත්නා රටවල ඇත්තේ එක් මහාධිකරණයකි. සෙසු අධිකරණ ආයතන සියල්ල ම ඊට අවනතය. සන්ධීය (‍ෆෙඩරල්) ආණ්ඩු ක්‍රමයක් යටතේ ඒ ඒ ප්‍රදේශයන්ට ශ්‍රේෂ්ඨාධිකරණ වෙන ම පවත්නා අතර, ප්‍රදේශ රාජ්‍යයන්ගෙන් පැන නගින විශේෂ කරුණු විසඳීම සඳහා වෙනත් මහා අධිකරණයක් ද වෙයි.

(කර්තෘ: ප්‍රින්ස් ගුණසේකර)

භාරතයේ හා ලංකාවේ අධිකරණය පිළිබඳ පුරාතතු

රජකු යුක්තිය පසිඳලිය යුතු ආකාරය පැරණි භාරත දේශීය නීති ග්‍රන්ථවල විස්තර කෙරේ. නීති ව්‍යවහාර දන්නා බ්‍රාහ්මණයන් සමඟ විනීත වේශයකින් රජතුමා විනිශ්චය ශාලාවට ප්‍රවිෂ්ට වී පිළිපැදිය යුතු ආකාරය මානව ධර්ම ශාස්ත්‍රයේ අටවන අධ්‍යායයෙහි මෙසේ දැක්වේ:

ජාති ජානපදාන් ධර්මාන් ශ්‍රේණිධර්මාංශ්ච ධර්මවිත්

සමීක්ෂ්‍ය කුලධර්මාංශ්ච ස්වධර්මං ප්‍රතිපාදයෙත් (8.41)

(ව්‍යවහාර ධර්ම දන්නා රජතෙමේ බ්‍රාහ්මණාදි ජාතීන් පිළිබඳ වූ ද විවිධ ජනපද සම්බන්ධී වූ ද චණිගාදි ශ්‍රේණීන් සම්බන්ධ වූ ද විවිධ කුල, ව්‍යවස්ථිත වූ ද ව්‍යවහාර ධර්මයන් සලකා බලා ස්වධර්මය හෙවත් තමන් වෙත පැවරුණු කාර්යය ඉටු කරන්නේය.)

යදා ස්වයං න කුර්‍ය්‍යාත් තු නෘපතිඃ කාර්‍ය්‍ය දර්ශනම්

තදා නියුඤ්ජ්‍යාත් විද්වාංසං බ්‍රාහ්මණං කාර්‍ය්‍ය දර්ශනෙ (8.9)

(සෙසු කාර්‍ය්‍යයන්ගේ බාහුල්‍යය ආදි කරුණු නිසා සිය රාජකාරි කළ නොහෙන රජතෙමේ මේ ව්‍යවහාර දන්නා වියත් බ්‍රාහ්මණයකු කටයුතු බලා කියා ගැනීමෙහි යොදවන්නේය).

මෙසේ රජකු සතු අධිකරණ බලය කාර්යක්ෂම සෙසු අයට පැවරීම හින්දු නීතිය පිළිගත් ව්‍යවහාරයක් විය. බරපතළ දඩුවම් පැම්ණිය යුතු අපාරධවල දී නීතිව්‍යවහාර මැනවින් දැනීම අවශ්‍ය වූ රාජ සභාවක් පත් කිරීම මෙන් ම ඒ අයට රජුගේ අධිකරණ බලය පැවරීම ද අවශ්‍ය විය. ලංකා‍වේ ද මීට අනුරූප වූ තත්ත්වයක් පහළ වූ බව මහාවංශයෙන් හා සෙල්ලිපිවලින් පෙනේ.

ප්‍රාදේශිය පාලන සභා

පුරාතන භාරිතයෙහි ගම්සභා ආදි ප්‍රදේශීය පාලන සභා සෙසු පාලන කටයුතු කර ගෙන ගිය අතර ඒ ජන කොටස්වල අධිකරණ කාර්යයන් ද බොහෝ දුරට කරගෙන ගිය බව පෙනේ. පුරාණ කාලයෙහි සිට භාරත දේශයෙහි පංචායත් නමින් හැඳින්වුණු ගම්සභා පැවැත්තේය. එම පංචායත්වල නියුක්ත ගැමි වැඩිහිටියෝ ඒ පෙදෙස්වල නඩුහබ විසඳමින් ගම්වල පවත්වාගෙන ආ කුලාචාර සිරිත් විරිත් ද ආරක්ෂා කළහ. රජතුමා වෙත ඉදිරිපත් කළ නඩුහබවල දී ද රජු පවා ඒ ඒ කුල ගෝත්‍ර ආදි ජනකොටස්වල ආචාර ව්‍යවහාර ආදියට අනුව යුක්තිය පසිඳ ලූ‍ බව පෙනේ. මේ හින්දු ක්‍රම ලංකාවෙහි ද ප්‍රචලිත විය. ග්‍රාමසංකල්පය ද භාරත දේශයෙන් ලංකාවට පැමිණියක් විය යුතුයි. විල්හෙල්ම් ගයිගර් පඬිතුමා ගමේ ස්වාධීනත්වය සහ අධිකරණ බලය ගැන මනහර වර්ණනයක් කොට තිබේ. ඉන්දියාවේ මෙන් ම ලංකාවේ ද ගමක වැඩිහිටියන් රැස් වී ගමේ කාර්‍ය්‍යයන් බලා කියා ගම්සිරිත් හා කුලසිරිත් ආදිය අනුව නඩුහබ විනිශ්චය කර ඇත. මෙසේ ගම්සභාව විනිශ්චය සභාවක් ලෙස ක්‍රියාත්මක විය. ගමට වඩ වඩා පුළුල් ක්ෂේත්‍රයක් පුරා අධිකාරය ලත් රටසභා ද එබඳු ආයතන විය. ශ්‍රී මහාබෝධි ශාඛාව වඩා ගෙන ආ ආර්‍ය්‍යයෝ ද ඔවුන්ගේ කුලාචාර ධර්ම පවත්වා ගෙන ආහ. ඔවුන් අතුරෙන් ක්ෂත්‍රියයෝ සිය ක්ෂත්‍රිය ධර්මයන් රැකගෙන ආහ. එසේ ම සෙසු බ්‍රාහ්මණ, වෛශ්‍ය ආදීන් ද තම තමන්ගේ කුලාචාර ධර්ම රැකගෙන යන්නට ඇත.

පැරණි භාරතයෙහි යුක්තිය පසිඳලීම නොහොත් නීතිය ක්‍රියාත්මක කිරීම

(1) අමාත්‍ය මණ්ඩලයක උපදෙස් ලත් රජතුමා,

(2) රජතුමාගේ බලය පවරා තුබුණු අමාත්‍යයෝ,

(3) ගම්සභා නොහොත් ප්‍රදේශීය පාලන ආයතන, වෙළඳ ශ්‍රේණි, කුල ගෝත්‍ර සංසද යන අධිකාරත්‍රයක් සතු කාර්‍ය්‍යයක් විය.

සිංහලයන්ගේ ආදි මුතුන් මිත්තන් වන ආර්‍ය්‍යයන් ලංකාවට පැමිණීමත් සමඟ ඔවුන්ගේ සෙසු චාරිත්‍ර මෙන් ම යථෝක්ත අධිකාරත්‍රය ද ලංකාවට පැමිණියේ ය. ශතවර්ෂ දෙකහමාරක් පමණ ලාංකේය ජනයා හින්දු ඇදහීම් මෙන් ම භාරත දේශයෙහි එකල පැවති හින්දු චාරිත්‍ර වාරිත්‍ර ද අනුගමනය කළහ.

සමාජය යථාපරිද්දෙන් පවත්වා ගෙන යෑමට රජකු අවශ්‍යයෙන් ම සිටිය යුතුය යන පිළිගැනීම හින්දු සමාජයෙහි ආයේය. රජකු නැති විට බලවතා දුර්වලයා ගිලගැනීමේ මත්ස්‍ය න්‍යාය ක්‍රියාත්මක වූ බැවින් හින්දුහු අරාජික පාලනය පිළිකුල් කළහ. රජකු නැති විට රජයක් ගෙන යා නොහැකි බවත් මත්‍ස්‍ය න්‍යාය මඟහැරීමට නම් රජකු අවශ්‍ය බවත් කෞටිල්‍ය සිය අර්ථ ශාස්ත්‍රයෙහි ද මනු ස්වකීය ධර්මශාස්ත්‍රයෙහි ද පවසත්. මෙසේ රජෙක් අත්‍යාවශ්‍යක ය යන පිළිගැනීමත් සමඟ රජතුමා රජයේ ශ්‍රේෂ්ඨතම විධායක නිලධාරියා මෙන් ම යුද්ධ නිලධාරියා ද විය යුතුය යනු ද පිළිගැනිණ.

මෙසේ රජතුමා ප්‍රධාන යුද්ධ නිලධාරියා ලෙස ගිණිනු ලැබීමත් සමඟ ම නඩුහබ ආදිය අසා වැරදිකරුවන්ට දඬුවම් පමුණුවන අධිකරණ නායකයා වශයෙන් ද ගැනිණ. මේ සම්බන්ධයෙන් Evolution of Ancient Indian Law (පැරණි භාරතීය නීතියේ පරිණාමය) යන ග්‍රන්ථයෙහි (38 වන පිටේ) භාරතීය රජුන් පිළිබඳව ඇන්.සී. සෙන් ගුප්ත මහතුන් කරන පහත සඳහන් ප්‍රකාශය සිංහල රජුන් පිළිබඳව ද අත්‍යර්ථයෙන් ගැළපේ.

"ඉපැරණි නීති ග්‍රන්ථයන්හි දැක්වෙන අයුරු අධිකරණ විෂයයෙහි රජුගේ අධිකාරය රජුගේ දිව්‍යත්වය පිළිබඳ විශ්වාසය පදනම් කොට හටගැනුණක් නොව යුද්ධාධිපතියකු වශයෙන් රජු වෙත පැවරුණු කාර්‍ය්‍යයන්ගෙන් ඉතිහාස නයින් වැඩුණකි."

වජ්ජින් අතර පැවති අපරාධ නඩු පරීක්ෂණ ක්‍රමය පිළිබඳ තොරතුරු මහාපරිනිබ්බාණ සූත්‍ර අටුවාවෙහි දැක්වේ. කෙනකු වරදක් කළැයි පැමිණිල්ලක් වජ්ජි රජදරුවන් වෙත ඉදිරිපත් කරනු ලැබූ විට ඔව්හු චූදිතයා වරදකරුවකු ලෙස ඒත්තු නොගෙන ඔහු වරදකාරී ද නැද්ද යනු නිශ්චය වශයෙන් දැනගන්නා අරමුණින් කරුණු විමසීමේ කාර්යය භාර විනිශ්චය මහාමාත්‍යයන් වෙත පැවරූහ. ඔහු වරදකරුවකු නොවන බව ඔවුන්ට පෙනී ගියේ නම් ඔහු නිදහස් කොට හරින ලදි. ඔහු වැරදිකරුවා බව පෙනී ගියේ නම් දඬුවමක් නොපමුණුවා නීති ව්‍යවහාර දන්නා වෝහාරිකයන් හෙවත් ව්‍යවහාරිකයන් වෙත යවන ලදි. ඔහුගේ නිවැරදිකාරභාවය ඔප්පු වී ගියහොත් ඔහු නිදහස් කරන ලදි. සාපරාධී බව පෙනී ගියහොත් පැරණි සමයන්හි සිට නීති සූත්‍රය පවත්වා ගෙන ආ සූත්‍රධරයන් වෙත තව දුරටත් විමසනු වස් ඉදිරිපත් කරන ලදි. වැරදිකරුවකු ලෙස ඔප්පු නොවී නම් ඔහු නිදහස් කරන ලදි. සාපරාධී බවක් පෙනී ගියේ නම් අට්ඨ කුලකයන් වෙත ද, ඔවුන්ගේ පරීක්ෂණයෙන් පසුව සේනාපතිතුමන් වෙත ද, අනතුරුව උපරාජයා වෙත ද, ඉන් ඉක්බිති රජු වෙත ද යවන ලදි. ඔහු නිර්දෝෂ යයි රජුට පෙනී ගියේ නම් ඔහු නිදහස් කොට හරින ලදි. වරදකරුයයි පෙනී ගියේ නම් රාජප්‍රවේණි පුස්තකයෙහි සඳහන් නීති හා පූර්වාදර්ශ බලා එක එක වරදට නියමිත දඬුවම් සලකා බැලීමෙන් පසු ඔප්පු වූ වැරදිවල පමණට දඬුවම් පැමිණවී. පැරණි සිංහලයන් අතර ද චූදිතයකුට මෙසේ අභියාචනා සයක් පමණ ලැබෙනසුලු වූ ද එමගින් රටවැසියාගේ නිදහස රැකෙන පරිදි වූ ද අපරාධ පරීක්ෂණ ක්‍රමයක් පැවති බව ජේම්ස් ද අල්විස් මහතා පවසයි.

අනුරපුර සමයේ සිට උඩරට සමය දක්වා

මහසෙන් රජු කල විනිශ්චය මහාමාත්‍යයකු (විනිච්ඡය මහාමච්ච) සිටීම ද වෝහාරික තිස්ස රජුගේ නමෙහි වුව ද 'වෝහාරික' යන්න යෙදීම ද සිව්වන මිහිඳු රජුගේ වේවැල්කැටියේ පුවරු ලිපියෙහි "දස ගැමැ ඇත්තන් හින්දැ විචාරා උපන් දැයට් පෑ හැකි සෙ ලියා තබා මැරුවෙහු මරා පට්වනු කොට්" (ලංකා ශිලා ලිපි සංග්‍රහය I, 245)යි සඳහන් වීම ද බදුලු ටැම් ලිපියෙහි "ගම්හි අටදෙනා" සඳහන් වීම ද අපරාධ පරීක්ෂණ ක්‍රමයක් ලංකාවෙහි අනුරාධපුර යුගයෙහි දී යම්පරිද්දෙකින් පවතින්නට ඇතැයි නිගමනය කිරීමට තුඩු දෙන කරුණු වේ. දරුණු වූ දඬුවම් ඇතුළත් හින්දු නීතික්‍රම අනතුරුව ලංකාවේ ව්‍යවහාරයට ඊමෙන් පෙර පැවති නීති ක්‍රමය අභාවයට යන්නට ඇතැයි සිතිය හැකියි. ලක්රජුන් දිගට ම අධිකරණ බලය පාවිච්චි කළ බවට ඇති සාධක එමට ය. බෞද්ධයන් වූ සිංහල නරපතියන් ලෝක ශාසන දෙක ම ආරක්ෂා කෙරෙමින්, සතර අගතියෙන් දුරුව, දශරාජ ධර්මයෙන් රාජ්‍යානුශාසනා කළ යුතු විය. ඒ ගුණධර්ම බුද්ධදාස වැනි රජුන් සම්බන්ධයෙන් සඳහන් වේ.

පොළොන්නරු සමයෙහි ද රජතුමා අධිකරණ නායකයා වශයෙන් ක්‍රියා කරගෙන ආයේය. දප්පුල යන නමින් ද හඳුන්වනු ලැබූ උදය I රජ අනාගතයෙහි ද පූර්වාදර්ශ වශයෙන් ගනු ලැබීම් වස් නඩු තීන්දුව ලියා මාළිගාවෙහි තැන්පත් කළ බව වංශ කථාවන්හි සඳහන් වේ.

පොළොන්නරු සමයෙහි අධිකරණය පිළිබඳ විස්තරයක් කරන සෙනරත් පරණවිතාන මහතා විජයබාහු රජ සිංහාසානාරුඪ වී පළමුවෙන් ම කළ දෑ අතුරෙන් එකක් වශයෙන් "බොහෝ කල් පිරිහුණා වූ අධිකරණ විනිශ්චය දහම් වූ නියාවෙන් (යථා ධම්මං) පැවැත්වී" යයි පවසයි. අධිකරණය කළ අයුරු විස්තර නොවෙතත් ප්‍රධාන අධිකරණ නිලධරයා 'සභාපති' යන නාමයෙන් හැඳින්වීමෙන් ම සභාවක් මගින් යුක්තිය පසිඳ ලූ බව පැහැදිලි වේ. නිශ්ශංක මල්ල රජතුමා ද "නොඑක් ජනපදයෙහි ධර්මාධිකරණ ලවා අන්‍යාය නිවාරණ" කළ බව ගල්පොත සෙල්ලිපියෙහි (ලංකා ශිලා ලිපි සංග්‍රහය II කාණ්ඩය, පිටු 106-21) සඳහන් වේ. මේ අනුසාරයෙන් බලන විට පොළොන්නරු සමයෙහි පවා ජූරි සභාවක් ඇතිව දෙන නඩු තීන්දුවක් මෙන් ධර්මාධිකරණයෙහි සභාපතිවරයා දෙපක්ෂයෙන් ම තොරතුරු අසා සභ්‍යයන්ගේ අදහස් ද විමසා පෙර සිරිත් හා කුලාචාරාදියට අනුව යුක්තිය පසිඳ ඇති බව පෙනේ. හින්දු නීති ශාස්ත්‍ර ග්‍රන්ථයන්හි කියැවෙන ඇතැම් ලක්ෂණ පොළොන්නරු යුගයේ ආරම්භ සමයෙහි දක්නට ලැබිණ. හින්දු නීතිශාස්ත්‍රාගත ඇතැම් සංකල්පයන්ගේ ප්‍රභාව නිශ්ශංක මල්ල රජුගේ සෙල්ලිපිවල පිළිබිඹු වේ. මත්ස්‍ය න්‍යාය වැළැක්වීමට හින්දු නීති ග්‍රන්ථයන්හි අපරාධයක් සඳහා නිර්දිෂ්ට බරපතළ දඬුවම් සිංහල දණ්ඩ නීතියෙහි ද ඇතුළත් විය. කෞටිල්‍යයන්ගේ අර්ථ ශාස්ත්‍රයෙහි අපරාධ අධිකරණය සම්බන්ධයෙන්, විශේෂයෙන්ම රටේ සාමයට බාධක වියවුල් මැඩලීම සම්බන්ධයෙන් සඳහන් වන 'කණ්ටක ශෝධනය' යනු නිශ්ශංක මල්ල රජුගේ සෙල්ලිපියෙහි (ලං.ශි.ස. III, පිටු 151, 152) ද අපරාධ අධිකරණ යන අර්ථයෙහි තවත් සෙල්ලිපිවල හා වංශකථාවන්හි ද සඳහන් වේ. පණපිටින් ම දැවීම, උලහිඳුවීම, අඞ්ගහානිය හෙවත් ශරීරාවයව කපාදැමීම, සොරාගත් බඩු හිමියාට ආපසු දෙන්නට සැලැස්වීම ආදි දඬුවම් ද හින්දු නීතියේ ආභාසය පිළිබිඹු කරයි. ලංකාවේ සෙල්ලිපිවල එන 'පස්මහ සාවැද්ද' නොහොත් 'පස්මහ දෝස' හින්දු නීති ග්‍රන්ථයන්හි සඳහන් වන 'පඤ්චමහාපාතක' සිහිපත් කරවයි.

දෙවන පරාක්‍රමබාහු රජුගේ ගුණ වර්ණනයක් වශයෙන් 'මනුනීති විසාරදො' යයි චූළවංශයෙහි සඳහන් වේ. දඹදෙණි කෝට්ටේ යුගයන්හි පවා රජතුමා මනු නීතියට අනුව රාජ්‍යානුශාසනා කළ බව නොයෙක් තන්හි කියැවේ. දඹදෙණි රාජ්‍ය සමයට අයත් සද්ධර්මරත්නාවලිය ඇසුරින් තත්කාලීන සමාජ තතු පරීක්ෂා කරන ඇම්.බී. ආරියපාල මහතා එවක අධිකරණ කාර්‍ය්‍යයන් අධිකරණ නායකයකු යටතේ පැවති බව පවසයි.

ජයවර්ධනපුර සමයට අයත් සන්දේශ කාව්‍යයන්හි රාජසභා වර්ණනා කීපයක් ඇත. ඒ වර්ණනයන්හි එවක රජුන්ගේ සේවයෙහි නියුක්ත විවිධ නිලධාරීහු සඳහන් වෙත්. ගිරාසන්දේශයේ එක් කවක (44) මහ මැතිවරුන්ගේ අධිකරණ ඥානය හා රාජනීතිය පිළිබඳ දැනීම ද සඳහන් වේ.

ඉගෙන අදිකරණ දැන රදනිය නොයෙ ක

නිතින පෙමින් මුළු සත්වග රකින ල ක

එදින පැමිණ කටයුතු දන්වා නොයෙ ක

සිටින දෙපස හැම මහ මැතිවරන් දැ ක

ක්වේරොස්, රුබේරු වැනි පෘතුගීසි ඉතිහාසකාරයන්ගේ කෘතීන්හි ද අධිකරණ කාර්‍ය්‍යයන් හා සම්බන්ධ වූ මුකවෙට්ටිවරුන්, මුදලිවරුන්, මරලේරුවරුන්, ගමරාලවරුන් වැනි නිලධාරීහු සඳහන් වෙත්.

දේශීය ජනතාවගේ සිරිත් විරිත් චාරිත්‍ර අනුව හා සම්ප්‍රදායයන් යුක්තිය පසිඳලමින් කැප්ටන් ජනරාල්වරයාගේ අනුමතියට යටත්ව දිස්ත්‍රික්කවල ප්‍රධාන විනිශ්චයකාරවරුන් වශයෙන් යුක්තිය පසිඳලමින් මරලේරුවරුන් ක්‍රියා කළ බවත් ඔවුන් එක් එක් කෙනකු යටතේ දේශීය සිරිත් විරිත් දන්නා භාෂා පරිවර්තකයන් ද ලිපිකරුවන් ද සේවය කළ බවත් රුබේරු පවසයි. එහෙත් මරලේරුවරුන්ගේ ප්‍රධාන ම රාජකාරිය වූයේ මළබදු හෙවත් මරාලය එකතු කිරීමත් ඒ සම්බන්ධයෙන් පැන නඟින ප්‍රශ්න නිරාකරණය කිරීමත් ය. කතෝලික ලබ්ධිකයන් මරාලබදු ගෙවීමෙන් නිදහස් කර තුබුණ බවක් ක්වේරෝස් සඳහන් කරයි. පෘතුගීසි යුගයේ දී උසාවියට කොන්සේජුව යන නාමය ව්‍යවහාර වූ බවත් උසාවියේ භාෂා පරිවර්තක ධුරයට කොන්සේජුවේ තුප්පහිකම යයි ව්‍යවහාර වූ බවත් මාතර සාහිත්‍ය කෘතීන්ගෙන් පෙනේ.

17 වැනි සියවසේ උඩරට ජීවිතය පිළිබිඹු කරන නොක්ස්ගේ ග්‍රන්ථයෙහි උඩරට රාජධානියේ මුල් අවධියේ දී රජු යුක්තිය පසිඳලූ ආකාරය සැකෙවින් දැක්වේ. රජුට අභියාචනය කිරීමේ ක්‍රම වශයෙන් ඔහු සඳහන් කොට ඇත්තේ උඩරට රාජධානියේ අවසාන කාලයේ පැවති ක්‍රමවලට බෙහෙවින් සමාන වූ ඒවායි.

19 වැනි සියවසේ මුල් හරියේ දී - එනම් උඩරට රාජධානියේ අන්තිම අවුරුදුවල යුක්තිය පසිඳලීමෙහි ලා රජුගෙන් ඉටු වූ කොටස ඩොයිලි දක්වනුයේ මෙසේ යි:

"පරම මහෝත්තම අධිකරණ බලය රජු කෙරෙහි පවත්නේය. නඩු පළමුවෙන් ඇසීම ද ඇපැල් නඩු ඇසීම ද ඔහු විසින් කෙරේ. මුලින් ම රජු විසින් විසඳනු ලබන නඩු -

1. ප්‍රධාන නිලමවරුන් හෝ ප්‍රධාන නිලධාරීන් හා රාජ සභාවේ හෝ මාළිගාවේ සේවකයන් පිළිබඳ නඩු: ඉහත කී කවර ගණයකට හෝ අයත් උසස් තැනැත්තකු විත්තිකාරයා වශයෙන් සිටින නඩු: විශේෂයෙන් දුක්ගැනවිලි ඉඩම් පිළිබඳ එබඳු නඩු.

2. ප්‍රධාන විහාර හෝ බඩවැඩිලි පිළිබඳව භික්ෂූන් අතර හටගන්නා නඩු.

3. අනෙකකුට විචාරණය කළ නොහැකි, රජුගේ ජීවිතය හා පවුල කෙරෙහි බලපවත්වන රාජද්‍රෝහිබව, කැරලි කුමන්ත්‍රණ හා අනික් අපරාධ වැනි බරපතළ අපරාධ.

හැම වර්ගයකට ම අයත් මිනීමැරුම්, අංග විකෘතිය හෝ විච්ඡේදනය, රජුගේ ධනය හෝ දේපළ සොරකම් කිරීම, හොර අත්සන් තැබීම, හොරකාසි අච්චු ගැසීම හා ප්‍රචාරය කිරීම, පිළිම විනාශ කිරීම, බෝගස් කැපීම හා භික්ෂුවකට පහරදීම වැනි ආගම විරෝධී ක්‍රියා, උඩරට හා මහනුවරට යාබද පෙදෙස්වල ඇතුන් මැරීම, නිලමවරුන්ට ඇසිය හැකි නමුදු රජුට ඉදිරිපත් කිරීමට තරම් යයි සැලකෙන අනෙක් තදබල අපරාධ."

අධිපතියන්ගේ තීරණවලට විරුද්ධව රජු වෙත අභියාචනයක් (ඇපෑලක්) ඉදිරිපත් කරන ක්‍රම ද ඩොයිලි සඳහන් කරයි. අද තත්වය අනුව බලන විට මේවා නුහුරු, යල්පැනගිය ක්‍රම ලෙස පෙනේ. නඩු විභාගයේ කටයුතු වාචිකව කෙරුණු පරිදි ම ඇපැල් ගැනීමේ ක්‍රම ද වාචිකව කැරිණ. නඩු විභාග කටයුතුවල දී ලේඛනගත දෙයක් වශයෙන් තිබුණේ ඉඳ හිට ඉදිරිපත් කෙරුණු විත්තිපත්‍රය හෙවත් විත්ති වට්ටෝරුව සහ සීට්ටු පමණි. රජු විසින් දෙනු ලබන වදාළ පනත ලේඛනගත කැරෙන්නට පුළුවන. සිවිල් නඩු සම්බන්ධයෙන් දිසාවේ කෙනකුන් වැනි උසස් නිලධාරියකු දුන් තීන්දුවකට විරුද්ධව රජතුමාට අභියාචනා කිරීමට ඉඩ තිබිණ. තවත් රාජ්‍ය නිලධාරියකු මගින් ම හෝ රජු යන එන විටක වැඳ වැටීමෙන් හෝ මාළිගය අසල ගසකට නැඟ හඬගා කීමෙන් හෝ දළදා මාළිගය වැනි රජු බැහැ දකින සිද්ධස්ථානයක දී හෝ කරුණු සැලකර සිටීමෙන් අභියාචනයකට ඉඩ ලබා ගන්නට හැකි විය. මෙසේ රජුගේ අවධානයට ලක් කරන ලද නඩු ඇතැම් විට රජු ඉදිරියෙහි ම සාක්ෂි විභාග කොට අසන ලදි. එසේ නැතහොත් කන්ද උඩරට උසස් ම නිලධාරින්ගෙන් සමන්විත වූ මහනඩුවට ම ඉදිරිපත් කරන ලදි. මහනඩුව නොයෙක් විට සවිස්තර වාර්තාවක් රජු වෙත යවා ඇතැම් විට දිවුරුම් කරවීමෙන් යුක්තිය පසිඳලීය.

රජුගේ අධිකරණ කාර්යයට අදාළ ස්ථාන දෙකක් පැවැත්තේය. නාථ දේවාලය හා මහා දේවාලය අතර පිහිටි දේවසන්හිඳ ඉන් එකකි. නාථ දේවාලයේ උතුරු කොන මාළිගාව ඉදිරිපිට පිහිටුවා තුබූ යුක්තිය ඉෂ්ට කිරීමේ ඝණ්ටාව අනිකයි. ඒ මගින් ද අදිකාරම්, දිසාවේ ආදීන්ගේ තීරණයන්ට විරුද්ධව අභියාචනා කරන ලදි. ඒ එකකිනුදු සන්තුෂ්ටියට නොපැමිණි අයගේ නඩු රජතුමා, උසස් ම රාජ්‍ය නිලධාරීන් සහ මහා සංඝයා වහන්සේ යන අයගෙන් සමන්විත මහනඩුවේ සභාවාරයක් ඉදිරිපිටට පමුණුවන ලදි.

යුක්තිය පසිඳලීමේ දී රජු විසින් අනුගමනය කරන ලද්දේ පෙරසිරිත්, ව්‍යවහාර කුල සිරිත්, හින්දු නීතියේ කොටස් හා ඇතැම් බෞද්ධ පිළිවෙත්ය.

(කර්තෘ: එම්.එල්.ඇස්. ජයසේකර)

නව උසාවි ක්‍රමය

1974 ජනවාරි 1 දින සිට අළුත් උසාවි ක්‍රමය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙයි. 1973 අංක 44 දරන යුක්තිය පසිඳලීමේ පනත ක්‍රියාකාරී වීමත් සමඟ පැරණි උසාවි ක්‍රමය අහෝසි වූයේ ය. මෙය "ශ්‍රී ලංකා ජනරජය තුළ යුක්තිය පසිඳලීම සඳහා නව අධිකරණ පද්ධතියක් පිහිටුවීම හා සංයුක්ත කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද අධිකරණයන්හි අධිකරණ බලසීමාව නිශ්චය කිරීම පිණිස ද තෙස්තමේන්තු කරුණු පිළිබඳ විශේෂ කාර්ය පටිපාටිය ඇතුළුව ඒ අධිකරණයන්හි සහ ඒ අධිකරණයන් ඉදිරියේ කාර්ය පටිපාටිය විධිමත් කිරීම පිණිස ද ඇතැම් ලිඛිත නීති ඉවත් කිරීම පිණිස ද එයට සම්බන්ධ හෝ ආනුෂංගික වෙනත් සියලු කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි." මේ පනතේ අරමුණු මෙසේ දැක්වේ:

"(අ) කාර්ය පරිපාටියේ සරලභාවය සහ ඒකාකාරභාවය;

(ආ) යුක්තිය පසිඳලීමේ සාධාරණත්වය;

(ඈ) යුක්ති සහගත නොවන වියදම් සහ ප්‍රමාද නැති කිරීම; සහ

(ඈ) සෑම අධිකරණ කටයුත්තක් ම සාධාරණ අන්දමින් නිශ්චය කිරීම".

පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහාත් එකී අරමුණු ඉෂ්ට කරගැනීම සඳහාත් ශ්‍රී ලංකාව අධිකරණ කලාප 16කට බෙදා ඇති අතර ඒ යටතේ අධිකරණ දිස්ත්‍රික්ක 40ක් ද ඒවා යටතේ අධිකරණ කොට්ඨාස 80ක්ද ක්‍රියාත්මක වන්නේය. යුක්තිය පසිඳලීම සඳහා ආයතන හතරක් පිහිටුවා ඇත.

(අ) ශ්‍රේෂ්ඨාධිකරණය,

(ආ) මහාධිකරණ,

(ඇ) දිසා අධිකරණ,

(ඈ) මහෙස්ත්‍රාත් අධිකරණ.

මෙම පනත ක්‍රියාත්මක වීම සමඟ ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් උත්තරීතර ආයතනය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. ජනාධිපති විසින් පත්කෙරෙන අග්‍රවිනිශ්චයකාරතුමා සහ දහදෙනකුට නොඅඩු වූ ද විසිදෙනකුට නොවැඩි වූද තවත් විනිශ්චයකාරවරුන් සංඛ්‍යාවකින් මෙය සමන්විත වේ. ශ්‍රී ලංකාවේ ඉහළ ම අධිකරණ ආයතනය වන මෙය ප්‍රධාන වශයෙන් ඇපැල් උසාවියක් වේ.

සෑම කලාපයකට මහාධිකරණය බැගින් පිහිටුවා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ මහාධිකරණ දහසයක් ඇත. මෙතෙක් පැවති ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ක්‍රියාත්මක වූ බලතල මින් පසු මහාධිකරණය සතු වේ. මෙම මහාධිකරණය ජූරි සභාවකින් යුක්තව දරුණු අපරාධ විනිශ්චය කිරීම, අතුරු නියෝග නිකුත් කිරීම, තහනම් නියෝග නිකුත් කිරීම, මැතිවරණ පෙත්සම් නඩු හා ඇපදීමේ කටයුතු පිළිබඳ නඩු විභාග කිරීම යන මේවා ඉටු කරනු ලැබේ. සෑම මහාධිකරණ විනිශ්චයකරුවකුට ම එම කලාපයේ පිහිටි දිසා විනිශ්චයකරුවකුගේ හා මහේස්ත්‍රාත්වරයකුගේ සමගාමී අධිකරණ බලය ඇත්තේය.

මහාධිකරණයට පහළ ආයතනය වන දිස්ත්‍රික් උසාවිය එක් එක් දිසාවක් තුළ ක්‍රියාත්මක වේ. මෙහි සිවිල් අධිකරණ බලය සීමා රහිතය. දරුණු අපරාධ සම්බන්ධයෙන් ඇතැම් නඩු විභාග කිරීමේ අපරාධ අධිකරණ බලතල ද මෙම උසාවිය සතු වේ.

ශ්‍රී ලංකාව අධිකරණ කොට්ඨාස 80කට බෙදා ඒ සෑම කොට්ඨාසයක් සඳහා ම පහළ ම ආයතනය වන මහෙස්ත්‍රාත් උසාවි පිහිටුවා ඇත. නව මහෙස්ත්‍රාත් උසාවිවල බලතල, පෙර තිබුණු මහෙස්ත්‍රාත් උසාවිවල බලතලවලට වඩා වැඩිය. මෙතෙක් කල් භුක්ති විඳි අපරාධ අධිකරණ බලතලවලට අතිරේකව වටිනාකමින් රුපියල් 1,500 නොඉක්මවන සිවිල් නඩු විභාග කිරීමේ බලය ද ඒ වෙත පවරා ඇත. විශාල අපරාධ සම්බන්ධයෙන් එතෙක් පැවති මූලික සාක්කි විභාග ක්‍රමය අහෝසි කර දමා ඇත. එවැනි අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සහ නඩු පැවරීම සඳහා රජයේ අපරාධ නඩු අධ්‍යක්ෂ යනුවෙන් නව තනතුරක් ඇතිකර තිබේ. බරපතළ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවීම, නඩු පැවරීම හා පැමිණිල්ල මෙහෙයවීම අපරාධ නඩු අධ්‍යක්ෂවරයාට පැවරී ඇත. අපරාධ පරීක්ෂණවල දී පොලීසියට උපදෙස් දීමට මොහුට බලය ඇත. නීතිපති යටතේ ඔහු ක්‍රියා කරයි.

බූදල් නඩු පිළිබඳ කටයුතු දිස්ත්‍රික් උසාවියෙන් ඉවත් කර බූදල් බලපත්‍ර කාර්යාලයට පවරා ඇත. මහභාරකරු යටතේ මෙම කාර්යාලය කටයුතු කරයි.

යුක්තිය පසිඳලීමේ පනතින් සිදු කර තිබෙන තවත් වැදගත් වෙනස්කමක් නම් අධිනීතිඥ හා නීතිඥ වෙනස නැති කර දමා නීතිඥ වෘත්තියේ නව පෙළගැස්මක් ඇති කිරීමය. සෑම අධිකරණයක ම පෙනී සිටීමේ අවසරය නීතිඥයනට ලැබී ඇත.

ජූරි සේවය විෂයයෙහි නව පනතින් වෙනස්කම් කර ඇත. ජූරි සභාවට සාමාජිකයන් තෝරා ගැනීමේ ප්‍රතිපත්තිය ද වෙනස් කර තිබේ. මෙම පනත යටතේ කලින් තිබුණාක් මෙන් දේපල නොව අධ්‍යාපන මට්ටම සුදුසුකම් වශයෙන් සැලකේ. ප්‍රථම වරට කාන්තාවන්ට ද ජූරි සේවය විවෘතකර ඇත.

එමෙන් ම නව උසාවි ක්‍රමය යටතේ පිස්කල් ක්‍රමය අහෝසි කර ඇත. කැඳවීමේ නියෝග භාරදීම සහ අධිකරණ තීන්දු ක්‍රියාවේ යෙදවීම විනිශ්චයකාරවරයාගේ වගකීම වන්නේය. රීතියක් වශයෙන් එබඳු නියෝග ලියාපදිංචි තැපෑලෙන් යවනු ලබන අතර විශේෂ අවස්ථාවක දී පොලීසිය විසින් පෞද්ගලිකව බාර දෙනු ලැබේ.

යම් සැකකරුවකු අධිකරණය ඉදිරියට පමුණුවාලිය නොහැකි අවස්ථාවක ඔහු නොමැතිව නඩු විභාගය පැවැත්වීමට අවකාශ සලසා ඇත. වරද පිළිගැනීම, දඬුවම් පැමිණවීමේ දී සැලකිල්ලට ලක් වේ. දඩ මුදල් ගෙවිය යුත්තේ උසාවියට නොව බැංකුවටය. දඩ මුදල් වැටුපෙන් හෝ දේපලින් අය කරගැනීමට විධිවිධාන සලසා ඇත. දඩ මුදල අයකරගත නොහැකි අවස්ථාවක පමණක් බන්ධනාගාරගත කිරීමෙන් වරදකරුවන් අනිවාර්ය ප්‍රජා සේවයක යොදවනු ඇත. අධිකරණය ඉදිරියේ වරදකරුවන් වන පුද්ගලයන් කොන්දේසි සහිතව මුදවා හැරීම හා ඒ සඳහා අවශ්‍ය බලතල පැවරීම නව පනතින් සිදුවී ඇති තවත් වෙනස්කමකි. සුළු වැරදි සම්බන්ධයෙන් පුද්ගලයකු එකවර ම බන්ධනාගාරගත නොකර අත්හිට වූ සිර දඬුවමක් යටතේ මුදා හැරීම මේ ක්‍රමයේ ලක්ෂණයකි. මෙතෙක් ක්‍රියාත්මක වූ ගම්බද උසාවි ක්‍රමය 1973 අංක 44 දරන යුක්තිය පසිඳලීමේ පනතින් අහෝසි වන අතර, එම පනත අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත යටතේ පිහිටුවන පරීක්ෂණ සභා කෙරෙහි බලපවත්වන්නේ නැත.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උසාවිය&oldid=9816" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි