උසාවියට අපහාස කිරීම

සිංහල විශ්වකෝෂය වෙතින්
12:26, 12 පෙබරවාරි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('අධිකරණයක හෙවත් උසාවියක ආඥාවලට අකීකරුවීම හෝ උ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

අධිකරණයක හෙවත් උසාවියක ආඥාවලට අකීකරුවීම හෝ උසාවියක බලතල කෙලෙසමින් ඕනෑකමින් ම නොසැලකිලිමත් ලෙස ක්‍රියා කිරීම උසාවියට අපහාස කිරීම ලෙස සලකනු ලැබේ. උසාවියට අපහාස කිරීම කීප ආකාරයකින් ම සිදු වේ. උසාවියකින් දෙන ලද අණක් ගැන නොතකා ක්‍රියා කිරීම, සාක්කිකරුවකු වශයෙන් උසාවියෙන් කැඳවනු ලැබූ විට නොපැමිණීම, සාක්කිකරුවකු වශයෙන් දිවුරුම් දීමට නොකැමති වීම, උසාවියෙන් අසනු ලබන ප්‍රශ්නවලට උත්තර නොදීම, උසාවියට බැණ වැදීම යනාදි වශයෙනි.

උසාවියෙහි කටයුතු අපක්ෂපාතව කරගෙන යෑමට බාධා වන පරිදි කරන වැඩ ද උසාවියට අපහාස කිරීමක් ලෙස සැලකේ. උසාවියෙහි ඇසී ගෙන යන නඩුවක් සම්බන්ධයෙන් පුවත්පතක හෝ වෙනයම් එවැනි ප්‍රකාශනයක කැරෙන විවේචනය ද උසාවියට අපහාස කිරීම් ලෙස සාමාන්‍යයෙන් සලකනු ලැබේ. දැනට ඇසීගෙන යන නඩුවක් සම්බන්ධයෙන් හෝ ඇසීමට නියමිත නඩුවක් සම්බන්ධයෙන් හෝ පුවත්පතක කැරෙන විවේචනයෙන් ඒ නඩුව විසඳීම හෝ එහි තීරණය කෙරෙහි යම් බලපෑමක් ඇතිවීමට ඉඩ තිබේ නම් ඒ විවේචනයෙන් කැරෙන්නේ ද උසාවියට අපහාසයකි.

උසාවියක් ඉදිරියෙහි විසඳෙන නඩුවක යම් පාර්ශ්වයක් කෙරෙහි මහජන මතයක් ඇතිවන පරිදි යමක් ප්‍රසිද්ධ කිරීම ද උසාවියට කැරෙන අපහාසයකි. මෙවැනි අවස්ථාවක දී ඒ නඩුව විසඳන විනිශ්චයකාරයා හෝ ජූරිසභාව කෙරෙහි ඒ විවේචනය බලපවත්වන බවක් ඔප්පු කිරීම අනවශ්‍ය වේ.

දැනට විසඳීගෙන යන හෝ විසඳී ඇති නඩුවක විනිශ්චයකාරයා වංක, නුසුදුසු, නැතහොත් අදක්ෂ කෙනකු බව පෙන්වමින් කරන ප්‍රකාශය ද උසාවියට අපහාස කිරීමකි.

උසාවියට අපහාස කිරීම නීතියෙන් දඬුවම් දිය හැකි වරදකි. සෑම සුළු අපරාධ අධිකරණයකට, සුළු විවා අධිකරණයකට හා ප්‍රදේශ අධිකරණයකට ඒ ඒ අධිකරණයන්හි බලය හා කාර්යක්ෂමභාවය පවත්වාගැනීම සඳහා, එම අධිකරණයන් ඉදිරිපිට කැරෙන උසාවියට අපහාස කිරීම් ගැන වරදකරුවනට දඬුවම් දිය හැකිය. ශ්‍රේෂ්ඨාධිකරණයට කරන ලද අපහාසයක් සම්බන්ධයෙන් ද වෙනත් අධිකරණයක බලයට විරුද්ධව හෝ ඊට අගෞරව වන ලෙස හෝ කරන ලද අපහාසයක් සම්බන්ධයෙන් ද වරදකරුවකුට දඬුවම් පැමිණවීම ශ්‍රේෂ්ඨාධිකරණයට කළ හැකිය.

උසාවියට අපහාස කිරීමේ වරද පිළිබඳ නඩු ඇසෙන්නේ සංක්ෂිප්ත ක්‍රමයකටය. මේ සම්බන්ධ විධිවිධාන සිවිල් නඩු විධාන සංග්‍රහයෙහි IX වන කොටසෙහි දැක්වේ. මේ වරද සඳහා පහළ අධිකරණයකට දිය හැකි දඬුවම දඩගැසීම හෝ බන්ධනාගාරගත කිරීම යන දෙකින් එකක් වුව ද දඩගැසීම හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙක ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දිය හැකිය. එබඳු අවස්ථාවන්හි දී ශ්‍රේෂ්ඨාධිකරණයෙහි අභිමතය පරිදි සෑහෙන කාලයක සිර දඬුවමක් හා රුපියල් පන්දහසකට නොවැඩි දඩයක් නියම කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතුය.

(කර්තෘ: කේ.ඩී.පී. වික්‍රමසිංහ)

(සංස්කරණය: 1974)