උස්බෙකිස්ථාන්
සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ සාමාජික සංඝටක සමූහාණ්ඩුවකි. උතුරින් කසක්ස්ථානයෙන් ද නැගෙනහිරින් කිර්ඝිස්ථානයෙන් හා ටජිකිස්ථානයෙන් ද දකුණින් ඇෆ්ඝනිස්ථානයෙන් ද බටහිරින් තුර්ක්මන් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවෙන් ද වට වී ඇති උස්බෙකිස්ථානය ව.සැ. 173,546ක් විශාලය. අන්දිජාන්, බුඛාරා, ෆර්ඝානා, කෂ්කදාර්, ඛෝරෙස්ම්, සමර්කාන්ද්, සුර්ඛාන්දර්යා, සිර්දර්යා, ටෂ්කෙන්ට් හා කාරා-කාල්පාක් යන ප්‍රදේශයන්ගෙන් උස්බෙකිස්ථානය සැදී ඇත. ටෂ්කෙන්ට් මෙහි අගනුවරය.
තියෙන් ෂාන් කඳු ප්‍රදේශයේ සිට ඇරල් මුහුදේ දකුණු කෙළවර අමුදර්යා ඩෙල්ටාව හරහා ඉන් ඔබ්බෙහි ඌස්ට්-උර්ට් සානුව දක්වා විහිදෙන උස්බෙකිස්ථානයේ වැඩි කොටස කාන්තාරය. ඌස්ට්-උර්ට් ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට අඩි 600-900ක් පමණ උස් වූ සම භූමියකි. උස්බෙකිස්ථානයේ දකුණුදිග දේශසීමාව ඔස්සේ ඇරල් මුහුද දක්වා ගලන අමුදර්යා ගඟේ පහළ නිම්නය හා ඩෙල්ටාව උස්බෙකිස්ථානයේ සාරවත් පෙදෙස්වලින් එකකි. මුහුදු මට්ටමේ සිට අඩි 600ට අඩු තැනිතලා ප්‍රදේශයක් වූ කිසිල්කුම් ප්‍රදේශය, අතරින් පතර ඇති ක්ෂේමභූමි හැරුණ විට, වැලිකඳු ආදියෙන් යුත් කාන්තාරයකි. උස්බෙකිස්ථානයේ අග්නිදිග කඳුපාමුල දියළු හා ලොවෙස් පස් ආදියෙන් සැදි කුඩා තැනි කීපයක් වේ. කඳු අතර පිහිටි ද්‍රෝණි අතුරෙන් වඩාත් වැදගත්වනුයේ ව.සැ. 1400ක් පමණ වූ ෆර්ඝානා නිම්නයයි. ගිරි කඳුරුවලින් ජලය ලැබෙන මෙම නිම්න ඉතා සාරවත්ය.
සෑම දෙසින් ම විශාල භූමි ප්‍රදේශයන්ගෙන් වට වී ඇති උස්බෙකිස්ථානයේ දේශගුණය මහාද්වීපිකය. මෙහි ශීත ඍතුව කෙටි නමුත් ඉතා ශීතලය. ජනවාරි මාසයේ දී පහත් බිම්හි සාමාන්‍ය උෂ්ණත්වය පැ. 28ක් පමණ වේ. දිග ග්‍රීෂ්ම ඍතුව ඉතා උණුසුම්ය. ජූලි මාසයේ සාමාන්‍ය උෂ්ණත්වය පැ. 80°ක් පමණ වේ. පහත් බිම්හි සා.වා.ව. අඟල් 4ක් පමණ වේ. ග්‍රීෂ්ම ඍතුවේ දී වර්ෂාව ලැබෙන කඳු පෙදෙස්හි සා.වා.ව. අඟල් 24ක් පමණ වේ.
වර්ෂාපතනය අඩු හෙයින් උස්බෙකිස්ථානයේ බොහෝ පෙදෙස්හි ස්වාභාවික වෘක්ෂලතාදිය අර්ධ කාන්තාරීය හා කාන්තාරීය ස්වභාවයක් දක්වයි. ගංගා අසබඩ පොප්ලර්, ටැමරිස්ක්, ඔලිව් ආදි ශාක දක්නට ලැබේ. කඳු ප්‍රදේශයේ ඉහළ බෑවුම්හි මේපල්, වෝල්නට් ආදියෙන් යුත් පතනශීල වනාන්තර ඇත.
ආර්ථික කටයුතු
උස්බෙකිස්ථානයේ ආර්ථික කටයුතු අතුරෙන් වඩා ම වැදගත් වනුයේ කෘෂිකර්මයයි. ජලසම්පාදනය මෙහි කෘෂිකර්මයට අත්‍යවශ්‍ය වේ. උතුරු හා දකුණු ෆර්ඝානා ඇළවල් ද, ටෂ්කෙන්ට් ඇළ ද, ඉස්කි-ඇන්ගාරා ඇළ ද සම්බන්ධ විශාල ජලසම්පාදන ව්‍යාපාර කීපයක් ම උස්බෙකිස්ථානයේ ඇත. කපු මෙහි වවන ප්‍රධාන බෝගයයි. සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයේ කපු වවන ප්‍රධාන ප්‍රදේශය මෙයයි. එහි නිපදවන කපුවලින් 67%ක් උස්බෙකිස්ථානය සපයයි. ප්‍රදේශීය යෝග්‍යතාවන් අනුව වී, තිරිඟු, ඉරිඟු, අර්තාපල්, මිදි ආදිය වගා කරනු ලැබේ. සෝ.ස.ස. සංගමයේ නිපදවන වීවලින් 50%ක් මෙපෙදෙසින් ලැබේ. පට පණුවන් ඇතිකිරීම මෙහි දියුණු කර්මාන්තයකි. කරාකුල් බැටළුවන් සහ වෙනත් සතුන් ඇති කිරීම විශේෂයෙන් ම බටහිර උස්බෙකිස්ථානයේ දියුණු වී ඇත.
උස්බෙකිස්ථානයේ ඛනිජ සම්පත් අතුරෙන් ටෂ්කෙන්ට්හි ගල් අඟුරු ද, ෆර්ඝානා නිම්නයේ ඕසෝසෙරයිට් හා යුරේනියම් ආදි ඛනිජ නිධි ද වැදගත් වේ. කර්මාන්තවලට මුල් තැනක් දී කටයුතු කරන රටක් බවට පත්ව ඇති මෙහි සිමෙන්ති, කඩදාසි, සම්ද්‍රව්‍ය, කෘෂිකර්ම යන්ත්‍රෝපකරණ ප්‍රමුඛ යන්ත්‍රසූත්‍ර ආදිය නිපදවීමේ නියුතු කර්මාන්ත 70ක් පමණ ඇත. කපු නූල් සහ කපු පිළී නිපදවීමේ කර්මාන්ත ද මෙහි ඉතා දියුණුය.
කර්මාන්ත සඳහා අවශ්‍ය විදුලිබලය උපදවා ගැන්ම සඳහා විදුලිබල නිෂ්පාදනාගාර 800ක් පමණ රට පුරා ඇත. චිර්වික්හි විශාල ජලවිදුලිබල මධ්‍යස්ථානයක් ද ඇත. ජර්කාක්හි සිට ටෂ්කෙන්ට් දක්වාත්, ෆර්ඝානාහි සිට කෝකාන්ඩ් දක්වාත්, බුඛාරාහි සිට යූරල් දක්වාත් භූමි වායු නළ මාර්ග තුනක් ඇත.
1967 දී උස්බෙකිස්ථානයේ ජනගහනය 10,896,000ක් පමණ විය. ඉන් 62%ක් පමණ උස්බෙක්වරු වෙත්. මොවුන්ගෙන් වැඩිදෙනා ඉස්ලාම් භක්තිය (සුන්නිවාදය) අදහති. අගනුවර වූ ටෂ්කෙන්ට්හි ජනගහනය (1967) 1,241,000කි. අන්දිජාන් (1965 - 159,000) සමර්කාන්ද් (1965 - 233,000) හා නාමන්ගන් (1965 - 150,000) උස්බෙකිස්ථානයේ අනිකුත් විශාල නගරය. ජගතායි තුර්කි භාෂාව සාමාන්‍යයෙන් ව්‍යවහාර භාෂාවයි.
ආණ්ඩුව
1920 දී ඛීවා හා බොඛාරා යන අර්ධ ස්වාධීන ඛාන් රාජ්‍ය මහජන සමූහාණ්ඩු බවට පත්ව 1923-24 කාලයේ දී සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු බවට පත් විය. අනතුරුව ඒවා උස්බෙක් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවත් වෙනත් සමූහාණ්ඩුත් සමඟ එක් විය.
උස්බෙක් සෝ.ස. සමූහාණ්ඩුව ඇති වූයේ 1924 දීය. එයට අයත් වූ රාජ්‍ය කලින් තුර්කිස්ථානයට අයත්ව තිබුණු ප්‍රදේශයි. 1925 දී ස.සෝ.ස. සංගමයේ කොංග්‍රෙස් සභාවේ තීරණයෙන් උස්බෙකිස්ථානය ස.සෝ.ස. සංගමයේ සාමාජික සමූහාණ්ඩුවක් බවට පත් විය.
මෙහි උත්තරීතර සෝවියට් සභාව සැදී ඇත්තේ ජනගහනයෙන් 15,000කට එක් සාමාජිකයකු බැගින් තෝරා ගන්නා ලද නියෝජ්‍ය මන්ත්‍රීන් 458 දෙනකුගෙනි.
අධ්‍යාපනය
මුල් කාලයේ දී ස්වදේශිකයනට මූලික අධ්‍යාපන පහසුකම් පවා නොමැතිව පැවති උස්බෙකිස්ථානයේ අද එංගලන්තයේ මෙන් 2½ ගුණයක් ශිෂ්‍යයෝ සිටිති. විශ්වවිද්‍යාල දෙකක් ද විද්‍යා ඇකැඩමියක් ද පර්යේෂණායතන 150ක් ද මෙහි වේ.
(සංස්කරණය: 1974)