උෂ්ණීෂය

සිංහල විශ්වකෝෂය වෙතින්
12:37, 12 පෙබරවාරි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('බුදුපිළිමවල ද ජෛන තීර්ථඞ්කර පිළිමවල ද හිස මුද...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

බුදුපිළිමවල ද ජෛන තීර්ථඞ්කර පිළිමවල ද හිස මුදුනේ දක්නා ලැබෙන බුබ්බුලාකාර කුඩුම්බිය උෂ්ණීෂ යනුවෙන් හැඳින්වේ. දීඝනිකායේ මහාපදාන හා ලක්ඛණ සූත්‍රයන්හි 'උණ්හීසසීස' යනුවෙන් ද, ලලිතවිස්තර හා මහාව්‍යුත්පත්ති වැනි බෞද්ධ සංස්කෘත ග්‍රන්ථයන්හි 'උෂ්ණීෂශිරස්කතා' යනුවෙන් ද මෙය දෙතිස් මහාපුරුෂ ලක්ෂණයක් වශයෙන් සඳහන් වේ.

ප්‍රතිමා ලක්ෂණයක් වශයෙන් උෂ්ණීෂයෙහි නියම අදහස කුමක් වී ද යන්න පිළිබඳව උගතුන් අතර මතභේද පවතී. මේ පිළිබඳ ප්‍රධාන මත තුනක් වේ. උෂ්ණීෂයෙන් අදහස් කරන ලද්දේ වේඨනයකැයි යන්න එක් මතයකි. ඒ වූකලි ශිඛාවක් හෙවත් හිස මුදුනේ ඇති කෙස් පිඬක්ය යන්න තවත් මතයකි. තුන් වැනි මතයට අනුව උෂ්ණීෂය වනාහි හිස්කබල මුදුනෙහි වූ නෙරීමකි.

මේ අනුව, උෂ්ණීෂය බුද්ධ ප්‍රතිමා ලක්ෂණ පිළිබඳ වැදගත් ප්‍රශ්නයක් බවට පත්ව ඇති හෙයින් බුදුපිළිමයන්හි හිස නිරූපණය කොට ඇති ආකාරය සලකා බැලීම වටනේය. බුදුපිළිමවල හිස නිරූපණය කොට ඇත්තේ ප්‍රධාන වශයෙන් තුන් ආකාරයකටය. මේ තුන් වර්ගයේ ම බුදුපිළිමයන්හි හිස්වල කොටස් දෙකක් වේ. හිස මුදුනේ කුඩුම්බිය වැනි කොටස හා නළල් තලය ආශ්‍රිත කේශරේඛාව සහිත හිසෙහි සෙසු කොටස යනු වශයෙනි. මුල් ගන්ධාර ශෛලියට අනුව නිමවන ලද බුදුපිළිමවල මෙකී කොටස් දෙක එක ම කේශරචනාවක් වශයෙන් දක්වා තිබේ. මථුරා ශෛලියට අයත් බුදුපිළිමවල හිසේ 'කුඩුම්බිය' වශයෙන් ඇත්තේ කපර්ද නමින් දන්නා, ගොළුබෙලි කටුවක හැඩය ඇති, රැළි සහිත කෙස් කැරැල්ලකි. කපර්දයට පහළින් ඇති හිසේ සෙසු කොටසෙහි කේශරේඛාව නිරූපිත නමුත් එම කොටස සුමටය. ආදි කුෂාණ වර්ගයට අයත් මේ බුදුපිළිම විශේෂය 2 වැනි ශතවර්ෂයෙන් පසු දක්නට ලැබෙන්නේ දුර්ලභ වශයෙන් බවත්, 5 වැනි ශතවර්ෂයෙන් පසු කිසිසේත් නොදක්නා ලැබෙන බවත් ආනන්ද කුමාරස්වාමි මහතා පවසයි. තුන්වැනි වර්ගයේ බුදුපිළිමයන්හි හිස්වල ප්‍රධාන ලක්ෂණය වනුයේ හිසේ යථෝක්ත කොටස් දෙක්හි ම අක්බඹරු වූ කෙස් කැරලි දක්වා තිබීමයි. ආනන්ද කුමාරස්වාමි මහතා දක්වන අන්දමට බුදුපිළිමයන්හි හිස නිරූපණය කිරීමේ මෙම ක්‍රමය 2 වැනි සියවසේ මැද භාගයේ පමණ සිට භාවිතයට පැමිණ, මථුරාවේ මෙන් ම ගන්ධාර දේශයේ ද පොදු රීතිය බවට පත් වී මේ ප්‍රදේශ දෙකින් ඛෝටාන් හා කුචා යන ස්ථාන ඔස්සේ ඈත පෙරදිග රටවලට ද, වෙංගි ඔස්සේ ආසියාවේ ගිනිකොණදිග රටවලට ද පැතිරී ගියේය.

උෂ්ණීෂය පිළිබඳ මෙකී විවිධ මත විමසීමට පෙර අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් එය විස්තර කර ඇති ආකාරය ද විමසුමට ලක් විය යුතුය. සුමංගවිලාසිනියෙහි ලා උණ්හීස-සීස යන්නට අරුත් දෙන බුද්ධඝෝෂ හිමියෝ පරිපුණ්ණනලාට හා පරිපුණ්ණසීස යන දෙපදයෙන් එය හඳුන්වති. පරිපුණ්ණනලාට යන්න විස්තර කරන උන්වහන්සේ මහාපුරුෂයාගේ දකුණු කන්සිළ පටන්ගෙන මාංස පටලයක් පැනනැඟී සියලු නළල වසා පුරා ගොස් වම් කන්සිළ සිටි බවත් එකී මාංසපටලය රජුගේ නළල් පටක් මෙන් බබළන බවත් පවසයි. බුද්ධඝෝෂ හිමියන් පරිපුණ්ණසීස යන්න විස්තර කරන්නේ "මහාපුරුෂයාට වනාහි හිදි අගින් වටා තුබුවාක් සෙයින් මනාව පිරුණු, දියබුබුලක් හා සදිසි හිසක් වෙයි" යන අරුත දෙන පාඨයකිනි.

උෂ්ණීෂය පිළිබඳ යට කී මත තුන දරන වියතුන්ගෙන් ඇතැම්හු බුද්ධඝෝෂ හිමියන්ගේ අර්ථදීපනය පිළිගැනීමට මැළි වෙති.

පුරාතන ඉන්දියාවේ වේඨනය රාජකීයත්වය හා දේවත්වය හඟවන ලකුණක් වශයෙන් සලකන ලද බව පෙනේ. වෛදික සිරිතට අනුව වාජපේය හා රාජසූය යඥයන්හි දී රජකු විසින් විශේෂයෙන් ම වේඨනයක් පැලඳිය යුතු විය. බමුණු ශිෂ්‍යයෝ ද ස්වකීය අධ්‍යාපනය අවසාන කළ අවස්ථාවේ දී වේඨනයක් පැලැන්දාහ. එසේ ම, සිදුහත් කුමරු අවසන් වරට රාජ ලීලාවෙන් සරසන ලද අවස්ථාවේ දී වේඨනය පැලඳවීම විශේෂ කටයුත්තක් වූ බව ජාතකනිදානකථාවෙහි එන වර්ණනයෙන් පෙනේ. උෂ්ණීෂය වේඨනයක් වශයෙන් සැලකීමට තුඩු දී ඇත්තේ මෙකී කරුණුය. මේ මතය දරන පඬුවකු වන රායි බහදූර් රාමප්‍රසාද් චන්ද මහතා උෂ්ණීෂ-ශීර්ෂයක් වේඨනයක හැඩයෙන් යුක්ත වන්නේ ආකෘතික වශයෙන් පමණක් බව පවසයි. රාජකීය වේඨනයේ වැදගත් අංගයක් වූ මෞලිය රහිතව නිමියා වූ එබඳු ශිර්ෂාකෘතියක් වේඨන-සිරසක් සේ හඳුනා ගත නොහැකි බව ඒ මහතා පෙන්වා දෙයි. බුදුපිළිමවල හිසට 'කුඩුම්බියක්' එක් කරන ලද්දේ මහාපුරුෂයකුගේ අංග සම්පූර්ණ වේඨන සිරසක් සේ බුදුරදුන්ගේ හිස දැක්වීම සඳහා යථෝක්ත මෞලිය පෙන්නුම් කිරීම අවශ්‍ය වූ හෙයිනැයි ඒ මහතා අදහස් කරයි. මේ අනුව, ඊනියා 'උෂ්ණීෂය' වූකලි උෂ්ණීෂයේ මෞලිය බවත්, නියම උෂ්ණීෂය හෙවත් වේඨනය නොවන බවත් ඒ මහතා නිගමනය කරයි.

උෂ්ණීෂය වේඨනයකැයි යන මතයට විරුද්ධව ඉදිරිපත් කෙරෙන ප්‍රධාන තර්කයක් වනුයේ බෝසතුන් මහබිනික්මන් කළ අවස්ථාවෙහි මෞලිය සහිත චූඩාව සිඳ දමා සියලු ආභරණ ඉවත ලූ බව බෞද්ධ සම්ප්‍රදායෙහි එන බැවින් බුදුපිළිමයන්හි වේඨනය නිරූපණය කිරීම සම්ප්‍රදාය විරෝධී වූවක් ය යන්නයි.

උෂ්ණීෂයෙන් දැක්වෙන්නේ කෙස් කැරැල්ලකැයි යන මතයට ප්‍රධාන වශයෙන් තුඩු දී ඇත්තේ ජාතකනිදානකථාවෙහි මහබෝසතුන්ගේ මහාභිනිෂ්ක්‍රමණය පිළිබඳ වර්ණනය බව පෙනේ. බෝධිසත්වයන් විසින් මෞලිය සහිත චූඩාව (මෞලිනා සද්ධිං චූළා) සිඳ දැමීමෙන් පසු දෑඟුලක් පමණ කෙස් දක්ෂිණාවර්තව උන්වහන්සේගේ හිසෙහි ඇලී සිටි බවත් පරිනිර්වාණය දක්වා ම ඒ කෙස් ඒ පමණට ම පැවැති බවත් ජාතකනිදාන කථාවෙහි සඳහන් වේ. පැරණි දඹදිව පරිව්‍රාජකයන්ට දිගු කෙහෙ දැරීම සඳහා අවසර තිබුණු බව හෙළි කරන ගෞතම ධර්මශාස්ත්‍රයෙහි එන "පිරිවැජියකුට හිස මුඩු කිරීමට හෝ ශිඛාවෙහි කෙස් පිඬක් දැරීමට හෝ අවසර තිබේ" යන අරුත දෙන පාඨය (111.22) ද උෂ්ණීෂය කෙස් කැරැල්ලක් වශයෙන් සැලකීමට තුඩු දුන් කරුණකි.

උෂ්ණීෂය වශයෙන් හැඳින්වෙන්නේ ධම්මිල්ලය එක් කොට හිස මුදුනේ බඳනා ලද කොණ්ඩය යයි සලකන ජිතේන්ද්‍රනාථ බැනර්ජි මහතා බීමරාන් කරඬුවෙහි කැටයම් කොට ඇති බුදුරුවෙහි ද, චාර්සද නම් ස්ථානයෙන් ලැබුණු බුදුපිළිමයේ පීඨයෙහි දැක්වෙන මෛත්‍රෙය බෝධිසත්ව රූපයෙහි ද, පෙශාවර් හා ලාහෝර් කෞතුකාගාරයන්හි ඇති ආදි යාවනික ගන්ධාර බුදුපිළිමයන්හි ද හිස නිරූපිත ආකාරය සිය මතය සඳහා සාධක කොට ගනියි. හිස මුදුනේ බඳනා ලද කොණ්ඩය හෙවත් මුද්ධ බන්ධය බුදුපිළිමවලට හා බෝධිසත්ව රූපවලට සීමා නොවන බව ඒ මහතා පෙන්වා දෙයි. සාමාන්‍ය ජනයා පවා වේඨනයට යටින් සිය කෙස්කළඹ එසේ රචනා කළ බව කැටයම් රූපවලින් පිළිබිඹු වන්නේ යයි අල්ෆ්‍රේද් ෆුෂේ මහතා විසින් පෙන්වා දී ඇතැයි ද බැනර්ජි මහතා සඳහන් කරයි. මුද්ධ බන්ධ සහිත යක්ෂ රූප කෙරෙහි ද බැනර්ජි මහතාගේ සැලකිල්ල යොමු වී තිබේ. ඉන්දු ආර්ය ජනයා අතර විවිධ සමාජ තරාතිරම්වලට, විශේෂයෙන් ම උසස් තරාතිරම්වලට, අයත් පිරිමින් නොයෙක් මෝස්තරවලට අනුව දිගු කෙහෙ පැලඳීම සිරිතක් කොට ගත් බවත් ඔවුන්ගේ එම ලක්ෂණය දෙවියන් කෙරෙහි ද ආරෝපණය කරන ලද බවත් බැනර්ජි මහතා තවදුරටත් පවසයි. මේ අනුව, බුදුපිළිමයන්හි හිස්වල දැක්වෙන්නේ ද එකී කේශරචනාව මය. බුදුරදුන්ගේ අසූවක් අනුව්‍යඤ්ජන පිළිබඳව ලලිතවිස්තර, මහාවස්තු වැනි ග්‍රන්ථයන්හි එන විස්තරයන්හි දී උන්වහන්සේගේ කේස ධාතුව චිතකෙශ (එක් කරන ලද කෙස්), අසංලුලිතකෙශ (අවුල් නොවූ කෙස්), අපරුෂකෙශ (රළු නොවූ කෙස්) යනාදි වශයෙන් වර්ණනා කොට තිබෙන බව ද මේ සම්බන්ධයෙන් සැලකිල්ලට ගත යුතු යයි බැනර්ජි මහතා පවසයි.

ප්‍රතිමා ලක්ෂණයක් වශයෙන් උෂ්ණීෂය එසේ තේරුම් කරන බැනර්ජි මහතා උෂ්ණීෂ-ශීර්ෂ යන්න මහාපුරුෂ ලක්ෂණයක් වශයෙන් මහාභාරත, බෘහත්සංහිතා, සාමුද්‍රිකශාස්ත්‍ර ආදි බ්‍රාහ්මණික ග්‍රන්ථයන්හි සඳහන් නොවන බවත් ඒ වෙනුවට එම ග්‍රන්ථයන්හි යෙදෙන්නේ දිග හරින ලද කුඩයක ආකෘතිය ඇති හිස යන අරුත දෙන 'ඡත්‍රාකෘති-ශීර්ෂ' යන්න බවත් පෙන්වා දෙයි. බුද්ධඝෝෂ හිමියන් "උදකබුබ්බුල සදිසං සීසං" යනුවෙන් හැදින්වන ශිර්ෂාකෘතිය 'ඡත්‍රාකෘති-ශීර්ෂ' යන්න හා සැසඳෙන බව සලකන ඒ මහතා මේ යෙදුම් දෙකෙන් ම අදහස් කෙරෙන්නේ වටකුරු පිරිපුන් පෙනුම ඇති හිසක් බව පවසයි. මෙපරිද්දෙන් ම, බුදුගොස් හිමියන් සඳහන් කරන පරිපුණ්ණනලාට යන්නට සමාන අදහසක් බෘහත් සංහිතාවේ ශඞ්ඛලලාට ලක්ෂණ නම් කාණ්ඩයෙහි හා සාමුද්‍රිකශාස්ත්‍රයෙහි එන බව ද බැනර්ජි මහතා පෙන්වා දෙයි. එකී අදහස වූකලි "උස් වූ ද පුළුල් වූ ද ශඞ්ඛ හෙවත් නළල් ඇට ඇති අය ධනවත් (ශ්‍රේෂ්ඨ) පුද්ගලයෝ වන්නාහ; ධනවත් (ශ්‍රේෂ්ඨ) පුද්ගලයෝ අඩ සඳක් බඳු පෙනුම ඇති නළලකින් යුක්ත වන්නාහ; පුළුල් ශුක්ති හෙවත් කපාලයේ ඉදිරි කොටස ඇති අය මිනිසුනට ඇදුරු වන්නාහ" යනුයි. බැනර්ජි මහතා ගෙන හැර දක්වන මෙකී සාධකවලට අනුව, මහාපුරුෂ ලක්ෂණයක් වශයෙන් උණ්හීස-සීස යන්නට බුද්ධඝෝෂ හිමියන් දෙන අරුත ද, බ්‍රාහ්මණ ග්‍රන්ථයන්හි ඊට අනුරූප මහාපුරුෂ ලක්ෂණය විස්තර කර ඇති ආකාරය ද අතර සමානත්වයක් ඇති බව පෙනේ. බෞද්ධයන් විසින් බුදුරදුන් වෙත ආරෝපණය කරන ලද්දේ බමුණන් අතර සම්භාවිත වූ මහාපුරුෂ ලක්ෂණය යන්න සාමාන්‍යයෙන් පිළිගත් මතය වන බව ද මෙහි දී සැලකිය යුතුය.

උෂ්ණීෂය කේශ බන්ධයකැයි යන මතය ප්‍රතික්ෂේප කරන වයි. ක්‍රිෂාන් මහතා මහබිනික්මන් කිරීමේ දී බෝසතුන් විසින් කරන ලද්දේ හුදෙක් හිස කෙස් සිඳ දැමීම නොව හිස මුඩු කිරීම බව සනාථ කිරීම සඳහා මජ්ඣිම නිකායෙන් ද මහා වස්තු, ලලිතවිස්තර හා අශ්වඝෝෂගේ බුද්ධචරිත යන කෘතීන්ගෙන් ද අභිනිෂ්ක්‍රමණ සූත්‍රයේ චීන අනුවාදයෙන් ද සාධක එළවයි. ජාතක නිදාන කථාවෙහි දැක්වෙන පරිදි, කේශච්ඡේදනයෙන් පසු බෝසතුන්ගේ හිසෙහි දෑඟුලක් පමණ කෙස් ඇලී සිටි බවක් යටකී විස්තරයන්හි සඳහන් නොවන බවත්, අභිනිෂ්ක්‍රමණ සූත්‍රයෙහි බෝසතුන් හිස මුඩු කළ බව ඉඳුරා සඳහන් වන බවත් ඒ මහතා පවසයි.

ප්‍රතිමා ලක්ෂණයක් වශයෙන් සලකන කල්හි, ගන්ධාර බුදුපිළිමවල මුද්ධ බන්ධය සහිත හිසත්, මථුරා බුදුපිළිමවල කපර්ද ලක්ෂණයත් නිදාන කථාවට අනුකූල නොවන බව ඒ මහතා පෙන්වා දෙයි. මහබිනික්මන් කළ මහබෝසතාණන්ගේ හිසකේ මෙන් ම යටි රවුල ද පරිනිර්වාණය දක්වා ම එක ම ප්‍රමාණයට රැඳී තිබුණු බව නිදානකථාවෙහි සඳහන් වන නමුත් බුදුපිළිමවල රවුලක් නොදක්වා තිබීමෙන් පෙනෙන්නේ මූර්තිශිල්පීන් නිදානකථාව ගුරු කොට නොගත් බව යයි ඒ මහතා තර්ක කරයි.

ක්‍රිෂාන් මහතාගේ මතය වනුයේ බුදුපිළිමයන්හි උෂ්ණීෂය රජවරුන් රාජසූය හා වාජපේය යඥයන්හි දී පැලඳි උෂ්ණීෂය වෙනුවට බුදුරදුන්ගේ ආධ්‍යාත්මික ආධිපත්‍යය දැක්වීම සඳහා යොදන ලද ලක්ෂණයක් බවයි. මෙහි දී ඒ මහතා සැලකිල්ලට ගෙන ඇත්තේ චක්‍රවර්ති රජකු ලෞකික විෂයෙහි අධිපති වන්නා සේ ම බුදුරදහු ආධ්‍යාත්මික විෂයෙහි අධිපති වෙතියි යන අදහසයි. චක්‍රවර්ති රජු ලෞකික වශයෙන් ආඥාචක්‍රය පෙරළන පරිද්දෙන් බුදුරදුන් ධර්මචක්‍රය පෙරළන බව ක්‍රිෂාන් මහතා සාදෘශ්‍යයක් සේ දක්වයි.

උෂ්ණීෂය කපාලයේ නෙරීමක් වශයෙන් සැලකීමට තුඩු දෙන සාහිත්‍යමය හෝ ප්‍රතිමා ලක්ෂණ විද්‍යාව පිළිබඳ සාධකයක් ක්‍රි.ව. 100 වැන්න පමණට කලින් නොදක්නා ලැබෙන බව ආනන්ද කුමාරස්වාමි මහතා පවසයි. ෆාහියන් තෙරණුවන් ද (5 වැනි සියවස), හියුං සාං තෙරණුවන් ද (7 වැනි සියවස) ගන්ධාර දේශයේ හිලෝ නම් ස්ථානයක බුදුරදුන්ගේ උෂ්ණීෂ-ඇට ධාතුව තැන්පත් වූ පූජනීය ස්ථානයක් වර්ණනා කරන හෙයින් ප්‍රස්තුත මතය සමකාලීන ව්‍යවහාරයෙහි පැවැති බව සලකනු ලැබේ.

උෂ්ණීෂය කපාලයේ නෙරීමක් වශයෙන් සලකන මෑත කාලයේ උගතුන්ගෙන් ප්‍රමුඛයකු වූ අල්ෆ්‍රෙද් ෆුෂේ මහතා එකී ප්‍රතිමා ලක්ෂණයේ සමුද්භවය පිළිබඳව දක්වන අදහස් ආනන්ද කුමාරස්වාමි මහතා විසින් හකුළා දක්වා ඇත්තේ මෙසේයි: පළමුවරට බුදුපිළිම නිමැවූ ගන්ධාර ශිල්පීහු ඉන්දියානු පන්නයට අනුව දිගු කෙස් කලඹ එක් කොට හිස මුදුනේ කොණ්ඩයක් බැඳ ඇති අයුරින් නිරූපණය කළහ. එසේ කරන ලද්දේ සෞන්දර්යාත්මක හේතු සලකා කපාලයේ නෙරීම පෙන්නුම් කිරීම මඟහැරීමේ අටියෙනි. ගන්ධාර ශිල්පීන් අනුකරණය කළ ඉන්දියානු ශිල්පීහු බෝසතුන් කේශච්ඡේදනය කිරීම පිළිබඳ සම්ප්‍රදාය පිළිගත් හෙයින් ගන්ධාර බුදුපිළිමයන්හි යටකී ශීර්ෂ ලක්ෂණය වූකලි කෙස් රොදවලින් වැසුණු කපාලයෙහි නෙරීමකැයි අදහස් කළහ. උණ්හිසසිස යන්නෙන් අදහස් කරන ලද්දේ එකී ලක්ෂණය යයි ඔවුහු සැලකූහ. ගන්ධාර බුදුපිළිමවල හිසෙහි නිරූපිත දිගු කෙස් රොදවල් වෙනුවට ඔවුහු ජාතකනිදානකථාවෙහි එන වර්ණනයට අනුකූලව කෙටි කෙස් කැරලි දැක්වූහ. ඉන්දියානු ශිල්පීන් කළ මෙම නිවැරදි කිරීම පසුව ගන්ධාර ශිල්පීහු ද පිළිගත්හ.

වයි. ක්‍රිෂාන් මහතා විසින් උපුටා දක්වා ඇති පරිදි ස්ටේලා ක්‍රාම්රිෂ්ච් මහත්මිය උෂ්ණීෂය හඳුන්වන්නේ බුදුරදුන්ගේ ශරීරාකාර පෙනුම එහි මනුෂ්‍ය රූපී ස්වභාවයේ සීමාවන් ඉක්මවා යෑම හඟවන ලකුණක් වශයෙනි. එයින් පිළිබිඹු වන්නේ මහාපුරුෂත්වය හෝ නිර්ගුණභාවයයි. එය වේඨනයක් හෝ කපාලයේ නෙරීමක් හෝ ලියැලූ මස් පිඬක් හෝ නොවේ. අධිසඤ්ජානනය හඟවන ලාඤ්ඡනයකි. එහි ප්‍රතිරූපයක් ප්‍රකෘතියෙහි නොමැතියි. "මිනිසාගේ හැඩරුව ලෝකෝත්තර බුදුන්ගේ පිළිමයෙහි ලග්න වෙයි. මෙකී සාම්‍යය ඉක්ම යන තන්හි උෂ්ණීෂ ලක්ෂණය වේ." ලංකාවේ පශ්චාත් මධ්‍යකාලීන යුගයට අයත් බුදුපිළිමවල හිසෙහි උෂ්ණීෂය වෙනුවට දක්නා ලැබෙන්නේ ගිනිසිළුවක සංකේතය වශයෙන් සැලකෙන සිරස්පත (බ.) බව ද ක්‍රාම්රිෂ්ච් මහත්මියගේ මෙම අදහස හා සමඟ සලකා බලනු වටී.

උෂ්ණීෂය පිළිබඳව මෙපරිද්දෙන් විවිධ මත පහළ වීමට හේතු වී ඇත්තේ බුදුරදුන්ගේ දේහ ලක්ෂණ පිළිබඳව බෞද්ධ සාහිත්‍යයෙහි එන විස්තර වර්ණනා ද බුදුපිළිමයන්හි ප්‍රතිමා ලක්ෂණ ද අතර ඇති අනනුකූලතාවයි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උෂ්ණීෂය&oldid=9830" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි