අටුව
පසුව ප්‍රයෝජනයට ගනු සඳහා වෙන්කළ වී ආදි වියැළි ධාන්‍ය තැන්පත් කර තැබීම පිණිස සාදාගනු ලබන විශේෂ ස්ථාන දෙකින් එකෙකි අටුව. අනෙක කොටුවය. අටුව කොටුවේ ම ප්රභේදයක්සේ ගිණිය හැකිය. බඩසැල්, පත්තායම්, කොටුගුළු, කොටාර යන නම්වලින් සිංහල ග්රන්ථයන්හි සඳහන් වන්නේ කොටුය. ගොවිජනතාවගෙන් අය වශයෙන් රජයට ගත් ධාන්යස්කන්ධය ඒ කොටු තුළ තැන්පත් කරන ලදි. කොටුව සතර පසින් බිත්ති සතරකින් නොහොත් ලෑලි තට්ටු සතරකින් ඉතා උසට සහමුලින් ම ඇවුරුණේය. වැසි අවු වැළැකුණේ පුරගෙයකිනි. එහි දොරක් නැත. ධාන්‍ය බෑමත් පිටතට ගැනීමත් හිණක ආධාරය ඇතිව බිත්ති මතින් ම කළයුතු වූයේය. පසු කල්හි සමහරුන් දොරටුවක් තබා බිත්ති මත පලය නඟා ගෙවල් වැනි කොටු තනාගන්නට වූ බවක් ද පෙනේ. ඒවායෙහි ධාන්‍ය ගොඩගසා ලීම මලුපැස්හි බහා ම කළයුතු විය.
ගොවීන්ට ද තමන්ගේ අස්වැන්නෙන් එක්තරා ප්‍රමාණයක් පරිභෝගය පිණිස පරිස්සම් කොට තබාගැනීම අවශ්‍ය වේ. ඒ පිණිස ඔවුන් කරන්නේ සිය ගෙවන දුමට හෙවත් දුම්මැස්සට ඉහළින් ශක්තිමත් ලෙස අනෙක් මැස්සක් බැඳගැනීමය. එය අටුවයි. යටලී සැටියේ ලී සතරක් නොහොත් සයක් කණු මෙන් සිටුවා මුදුනෙහි ඒ සැටියේ ම හරස් පොලු යොදා ඊමත පරතර තබා ලෑලි අතුරාලූ අටුව මිනිසකුට අත පෙවිය හැකි තරම් උසින් වෙයි. ලෑලි අතර පරතර තබන්නේ ධාන්‍යයට දුම් වැදීම පිණිසය. අත්කෑමෙන් ද කෘමීන්ගෙන් ද ධාන්‍යයට වන හානියට දුම්වැදීම පිළියමක් වන හෙයිනි. අටුවට පිටු පසින් හා දෙපසින් ගෙබිත්ති නිසා ඉබේ ම සැලසෙන ආවරණය විනා විශේෂ ආවරණයක් නොසැලසෙයි. පරතර අතරින් ධාන්‍ය වැගිරෙන හෙයින් අටුවට නඟාතැබුණු ධාන්‍ය ද මලුපැස්හි බහා ම තබනු ලැබේ.
අටුවට පහළින් දුම හෙවත් දුම්මැස්සය. ළිප්හි ගිනි රශ්මිය වැදගන්නා වූ දුම්මැස්සෙහි ලා වේළාගන්නා තැම්බූ කොස් මදුලුවලට හා ඇටවලට ද දෙල් වලට ද අටුකොස් අටුදෙල් යි කරන ව්‍යවහාරයෙන් දුම ද අටුව නමින් ම ගැනුණු බව පෙනේ. ඉහත දී වියැළි ධාන්‍යය තැබීමට අදහස් කර සැදුණු නමුත් පසු කාලයෙහි පරිස්සම් කර තබා ගත යුතු වූ පොල් ආදිය ද අටුවට නැඟෙන්නට වූ සේයි.
අඩි දෙකක් හෝ තුනක් හෝ උස් ගල්කණු හෝ ලී කණු උඩ දැව යොදා ලෑලි සවිකොට ඒ ඒ ප්‍රමාණයට සාදාගත්, විශාල පෙට්ටියක් වැනි වූ ආවරණය ද අටුවයි. විශාල කුඹුරු හිමියන්ට අටුපේළි තිබේ. වයඹ සහ සබරගමු පළාත්වල බටලීවලින් සාදා ගොම මැටි බදාම ගා සාදා ගන්නා කවාකාර වූ ද උස් වූ ද පෙට්ටි විශේෂයක් ඇත. ඒවා ද තැන්පත් කොට තිබෙන්නේ යට කී අයුරු කණු සතරක් මත්තෙහිය. වී පුරවා ගෙයින් පිට තබන මෙබඳු භාජනයකට “බිස්ස” යයි කියති. මුහුණුවර වෙනස් වුවත් මේවා ද අටු විශේෂයකි.
අටු හා කොටු යන ශබ්ද බෙහෙවින් ම සමානාර්ථවාචී හෙයින් අටුකොටු යි යුගලප්‍රයෝග වශයෙන් ද යෙදේ.
(සංස්කරණය:1963)