අත්‍රි - 1
අත්‍රි වනාහි වේදකාලීන ඍෂිවරයෙකි. ඍග්වේදයෙහි සතලිස් වරක් පමණ මොහුගේ නම සඳහන් වෙයි. මනුෂ්‍ය වර්ගයාගේ ආදි කල්පික මුතුන්මිත්තන් අතර වූ මනු (බ.) ආදීන් සමඟ මොහු ගැන ද ඍග්වේදයෙහි කියැවේ. මොහු පඤ්චජනයන්හට (බ.) අයිති ඍෂිවරයෙකි.
ඍග්වේදයෙහි අත්‍රි ගැන බොහෝ විට දැක්වෙන්නේ අශ්වින් දෙදෙනා විසින් ආරක්ෂා කරනු ලබන්නකු වශයෙනි. ඔවුහු අත්‍රි අන්ධකාරයෙන් මිදූහ; අත්‍රිත් ඔහුගේ පිරිසත් අග්නිකූටයෙකින් මිදූහ; ජරාවට පැමිණි ඔහුට තරුණ බව ලබා දුන්හ. ඉන්ද්‍ර (බ.) තෙමේ ද වරෙක අසුරයන් විසින් සිය ගණන් මෝහන්ද්වාරයන් ඇති ගෘහයන්හි බහාලන ලද අත්‍රිහට ඉන් පලා යන මං සලසා දුන්නේය.
අත්‍රි තෙමේ ස්වර්භානු අසුරයා විසින් සඟවා තබන ලද සූර්‍ය්‍යයා සොයා ගෙන නැවැත අහසෙහි තැබී යයි ඍග්වේදයෙහි දැක්වේ. සූර්‍ය්‍යයා සොයා ගන්නා ලද්දේත් අහසෙහි තබන ලද්දේත් අත්‍රි විසින් යයි අර්ථවවේදයෙහි ද සඳහන් වෙයි. අත්‍රි තෙමේ අන්ධකාරය පහ කළ හෝතෘ (යඥකර්ම කරන්නා) යයි ද, "වාච්" (වචනය) කෙරෙන් උපන්නේ යයි ද හුදෙක් "වාච්" (වචනය) ම යයි ද ශතපථ බ්‍රාහ්මණයෙහි කියැවේ. "අත්‍රි" යන්නෙන් "භක්ෂක" යන අර්ථය පැවසේ යයි ද, එය "අද්-භක්ෂණේ" (කෑමෙහි) ධාතුයෙන් සිදුවිණැ යි ද කියත්.
මහාකාව්‍යයන් ගෙතුණු අවධියේ දී අත්‍රි ද ප්‍රජාපතීන් දස දෙනාගෙන් කෙනකු වශයෙන් දැක්වුණේය. පසු කාලයේ දී හේ බ්‍රහ්මයාගේ සිතින් උපන් (මනසිජ) පුත්‍රයෙකැයි ද සප්තර්ෂින්ගෙන් (බ.) කෙනෙකැ යි ද සලකන ලදි. මොහු දක්ෂ ප්‍රජාපතිහුගේ දුවක වූ අනසූයා (බ.) පාවා ගත්තේය. දුර්වාසස් මොවුන් දෙදෙනාගේ පුත්‍රයායි. සෝම (චන්ද්‍රයා) ද දත්තාත්‍රෙය ද මොහුගේ පුත්‍රයෝ යයි පුරාණ ග්‍රන්ථයන්හි සඳහන් වේ. රාම සීතා දෙදෙන අත්‍රිත් අනසූයාත් බැහැදැක ගැනීම සඳහා චිත්‍රකූට පර්වතයට දකුණු දෙසින් වූ ඔවුන්ගේ ආශ්‍රමයට ගිය බව රාමායණයෙහි සඳහන් වෙයි.
(සංස්කරණය:1963)