අතීසාරය (Dysentery)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අතීසාරය යන නාමය එක ම වර්ගයට අයත් රෝග ප්‍රභේද කීපයකට ම යෙදෙන බැවින්, එය "අතීසාරය" යයි බහුවචන රූපයෙන් ව්‍යවහාර කිරීම වඩාත් යෝග්‍ය වේ. අතීසාර රෝගවල විශේෂ ලක්ෂණය නම් මල පහකරන විට ලේ සහ හීදන් පිටවීමයි. බැසිල අතීසාරය, ඇම්බා අතීසාරය සහ වෙනත් අතීසාර වර්ග යයි අතීසාර රෝග තුන්වර්ගයකට බෙදිය හැකිය.


1.බැසිල අතීසාරය

මෙය වූකලි ෂිගෙලා (Shigella) ගණයට අයත් ව්‍යථවේදීය (pathological) බැසිල විශේෂයකින් මහාන්ත්‍රෙයහි හටගන්නා රෝගයකි. රෝගය මහාන්ත්‍ර භිත්තියට ස්ථානික (local) ව පවතිනු විනා සංස්ථෙමක (systemic) ලෙස නොපැතිරේ. මෙම රෝගය වැලඳුණු කල මහාන්ත්‍ර ප්‍රද්‍රහය හටගනී. ඒ කරණකොටගෙන උණ ද ලේ හිදන් සහිත පාචනය ද ඇති වේ. බැසිල අතීසාරය බොහෝ විට උග්‍රය. බැක්ටීරියා විෂ අවශෝෂණය වීමෙන් ඇතැම් විට අන්ත්‍රෙයන් පිටත අතුරු ආබාධ ද ඇතිවය හැකිය.

රෝග නිදානය: ෂිගෙලා ගණයේ ජීවින්ගෙන් (organisms) ලෙඩ බෝවන්නේ මනුෂ්‍යයාට පමණි. මේ ගණයේ බැක්ටිරියා විශේෂ කීපයක් වේ. ඒවායින් ඉතා ම දරුණු වන්නේ ෂිගෙලා ෂිගෙයි (Shigella shigei) ය. අතිශයින් සැර අඩු විශේෂය සේ සලකනු ලබන්නේ ෂිගෙලා සොන්නෙයි ය.(Shigella sonnei) ෂිගෙලා fප්ලෙක්ස්නෙරි (Shigella flexneri) හෝ ෂිගෙලා බොයිඩ් (Shigella boydii) නමැති බැක්ටීරියාවන්ගෙන් සෑදෙන රෝගය දරුණුකම අතින් යටකී ෂිගෙලා වර්ග දෙකෙන් සෑදෙන රෝග දෙකට අතරෙහි ලා ගිණිය හැකිය. බැසිල අතීසාරය බෝවන්නේ රෝගය වැලඳී සිටින්නකුගේ අන්ත්‍රයෙන් පිටවුණු ජීවින් ආහාරපාන සමඟ ශරීරගත වීමෙනි. අපිරිසිදු ගතිපැවතුම් හා මැස්සෝ රෝගය බෝවීමට උපකාරී වෙති. බැසිල අතීසාරයෙන් පෙළෙන්නකුගේ මල සමඟ බැසිල රාශියක් පිටවේ; රෝගය සුවවීමෙන් පසුව පවා සමහරෙක් මල සමඟ බැසිල පහ කරති. රෝගය නොවැලඳි අය පවා වාහකයන් විය හැකිය. රෝගයට හිතකර අවස්ථාවන් එළඹුණු විට බැසිල අතීසාරය වසංගතයක් වශයෙන් පැතිරේ.

යටකී පරිදි ආහාරපාන සමඟ ශරීරගත වූ ජීවීහූ මහාන්ත්‍ර කුහරයට වැද එහි තැන්පත් වී ලහිලහියේ වැඩි වෙති. මේ ජීවීහු මහාන්ත්‍ර බිත්තියෙහි ශ්ලේෂ්ම පටලයෙහි ද අධඃශ්ලේෂ්මලයෙහි ද ඇතැම් විට අන්ත්‍ර පේශීයෙහි ද රැඳී සිටිනු විනා ශරීරයේ අවශේෂ කොටස්වලට නොයෙති. බැසිලවලින් පිටවන විෂයෙන් ශ්ලේෂ්මල පටලයට හානිකර වූ ප්‍රද්‍රහය හා වණ ද ඇතිවීම කරණකොට ගෙන අන්ත්‍ර උද්දීපනය වීමෙන් හෙවත් බඩවැල් ඉද්දී යෑමෙන් පාචනය හටගනී. ප්‍රද්‍රහයෙන් හීදන් ද වණවලින් ලේ ද මලට එකතු වේ. පීඩා වූ ශ්ලේෂ්මලයෙන් ගිළිගෙන හැව කැබැලි ද මල සමඟ තිබෙන්ට පුළුවන. බැසිලවලින් පිටවන විෂ රුධිරයට අවශෝෂණය වී රුධිර සංසරණයට පිවිසෙයි. ඒ හේතුවෙන් ලේ විෂ වී ලෙඩාට අමාරු වෙයි.

රුධිරය මඟින් පැතිරෙන විෂ සමහර අවයව යන්හි- විශේෂයෙන් සන්ධි, ඇස්, පර්යන්ත ස්නායු යන මේ අවයවයන්හි -ප්‍රදාහය උපදවන්ට පුළුවන. සන්ධිප්‍රදාහයේ දී තරල සාරකයෙහි (fluid extract) අතීසාරය බැසිල නැත.

රෝගයේ දරුණුකම අනුව සති තුනක දී හෝ ඊට කලින් රෝගියාට සුවවේ; එකල අන්ත්‍රෙයහි සිටි ජීවින්ගේ ගණන අඩුවෙයි; තවත් සතියක් පමණ ගතවූ පසු, ජීවීහු නැත්තට ම නැති වී යති. අනතුරුව රෝගියා ඉක්මනින් ප්‍රකෘති තත්වයට පැමිණේ. නමුත් ස්වල්පදෙනකුට අන්ත්‍රෙයහි වණ තිබුණු තැන්වල කැළැල් තිබෙන්ට පුළුවන. මේ කැළැල් තුවාළවීමෙන් කලින් කල අසනීප විය හැකිය.

එක වර්ගයක බැසිලයකින් අතීසාරය සෑදෙන්නේ එක් වරක් පමණි. එහෙත් වෙනත් වර්ගවල බැසිලවලින් දෙවැනි වරටත් රෝගය වැලඳෙන්ට පුළුවන.

රෝග ලක්ෂණ: බැසිල අතීසාරයේ ප්‍රාක්ක්‍රිය (incubation) සමය කෙටිය; සාමාන්‍යයෙන් දින 1 සිට 4 දක්වාය. කුඩා ළමයින්ට නම් පැය විසිහතරටත් අඩු විය හැකිය. මේ රෝගයේ ලක්ෂණ ශීඝ්‍රව පහළ වී යයි. මුල් ලකුණු නම් උණ, බඩ රිදීම, වමනය සහ ඔක්කාරයයි. ස්වල්ප වේලාවකින් බඩේකොරය හා පාචනය ඇතිවේ. මුලින් පහවන්නේ මල පමණි. අනතුරුව මල සමඟ ලේ හීදන් පිටවේ. ඇතැම් විට මල නැතිව තනිකර ලේ හෝ හීදන් පමණක් නිතර නිතර ටික ටික පහවේ. මේ වනවිට, තද බඩේකොරය හා තැටටමීම ඇතිවේ. අමාරු ලෙඩකුට නම් පිට පිට ම මල පහවීමට පටන්ගනී. නිතර පාචනය වීමෙන් රෝගියාගේ ශරීරයේ වියළි ගතියක් හටගනී; දිව වෙව්ලුම් කා රළු වේ. රෝගියාට තද පිපාසයක් ඇතිවේ. රෝගය සුවවන තුරු ම උණ සවිරාමකව (විටින් විට) හෝ අචිරාමකව (දිගට ම) හෝ පවතී. රෝගලක්ෂණ අඩුවත් ම උණ බැස යයි. මල යළිත් ස්වාභාවික ස්වරූපය ගනී. ලේ හීදන් ක්‍රමයෙන් අඩුවේ.

අවශේෂ වර්ගවල ෂිගෙලා බැසිලවලින් රෝගය වැලඳුණවුන් වැඩිදෙනකුට අමාරු නූණත්, ෂිගෙයි බැසිලයෙන් ලෙඩ වුණු අයට අමාරුවන්ට පුළුවන. මේ රෝගීන් කෙරෙහි රෝග ලක්ෂණ බෙහෙවින් වැඩිවිය හැකිය. ලේ විෂවීම හා බෙලහීනවීම අධිකය; මල සමඟ ලේ යෑමෙන් රුධිර බලන හීන වේ. ශ්ලේෂමල පටලයෙන් ගිළිහුණු හැව කැබැලි මල ත්‍රළ තිබෙන්ට පුළුවන. මෙවැනි රෝගීන්ගේ උණ දවසින් දෙකින් නඟී. සමහරුන්ගේ උණ සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් සිටී. ඒ රෝගීහු ඉක්මනින් නසිත්. සාමාන්‍යයෙන් එසේ අමාරු වන්නේ ළමයින්ට හා මහල්ලන්ටය. කුඩා ළමයින්ට රෝගාරම්භයේ දී වලිප්පුව ඇතිවිය හැකිය.

අතුරු ආබාධ: විශේෂයෙන් ම සන්ධිවල, ඇස්වල හා පර්යන්ත ස්නායුවල හටගන්නා අතුරු ආබාධ පහළ වන්නේ රෝගය අවසානයේ දීය. මේවා අමාරු නූණත් කරදරකාරී විය හැකිය. මෙවැනි අතුරු ආබාධ සුමනායකින් දෙකකින් නිට්ටාවට ම සුව වේ.

අන්ත්‍ර රක්තපාතය, අන්ත්‍ර හිල්වීම ආදි අන්තර් අන්ත්‍ර ආබාධ හටගන්නේ කලාතුරකිනි. මේවා යටකී ආබාධවලට වඩා දරුණුය. ඉඳහිට ඇතිවන තවත් අතුරු ආබාධයක් නම් බඩවැල පහත්වීමයි. මෙය ඇතිවන්නේ කුඩා ළමයින්ට හා මහලු අයටය.

රෝග විනිශ්චය: නිසැකව ම මෙම රෝගය විනිශ්චය කළ හැකි එක ම ක්‍රමය නම් මල තුළ තිබෙන බැසිල, බැක්ටීරියාවේදය අනුව පරීක්ෂා කිරීමයි. බැසිල වවා, ඒවායේ ගණය, විශේෂය හා වර්ගය අඳුනා ගත හැකිය. එසේ පරීක්ෂා කිරීමට පහසුකම් නැතත් අණ්වීක්ෂයෙන් මල සෝදිසි කිරීමෙන් පළපුරුදු කෙනකුට රෝගය හඳුනාගැනීම දුෂ්කර නොවේ. යම්හෙයකින් මේ ක්‍රම දෙකින් එකක්වත් යොද්‍රගත නොහැකි නම් තද උණ සමඟ ලේ හීදන් ඇති පාචනය බැසිල අතීසාරයයි සැලකීම නුවණට හුරුය.

ප්‍රතිකාරය: බැසිල අතීසාර රෝගයෙන් පෙළෙන්නා අමාරු ලෙඩකු බැවින් ඔහු විශේෂ වාට්ටුවක තබා එසේ නැතහොත් වෙන් කොට තබා ප්‍රතිකාර කළ යුතුය. ඔහු පහ කරන මල ආදියෙන් රෝගය අනුන්ට බෝවිය හැකි නිසා ඒවා පරිස්සමින් එකතු කොට, මැස්සන්ගෙන් ආරක්ෂා කොට, ව්‍යාසාදක (disinfectant) බෙහෙත් දමා, පුලුස්සා දැමිය යුතුය. මල තැවරුණු රෙදිපිළී සියල්ලක් ම සෝදන්ට පෙර ව්‍යාසාදකයන්හි දැමිය යුතුවේ. ගෙදර සෙස්සන්ගේ කෑම්බිම් මැස්සන්ගෙන් පරිස්සම් කළ යුතුය. රෝගියා ඉක්මනින් නිර්ජල වී යන නිසා, ඔහුට ජලය යහමින් බීමට සැලැස්විය යුතුය. ග්ලූකෝස් ද්‍රාවණය මේ සඳහා ඉතා ප්‍රයෝජනවත්ය. දෙහි, ද්‍රෙඩම් හෝ වෙනත් පොන්ස වර්ග දීම යහපති.බැසිල අතීසාරයට විශිෂ්ට ම ඖෂධය නම් සල්පොනමයිඩ්ය. සාමාන්‍යයෙන් සල්පගුවනයිඩීන් (sulphaguanidine), සල්පසක්සිඩීන් (sulphasuxidine) හා සල්පතලිඩීන් (sulphathalidine) යන මේ තුනෙන් එකක් පාවිච්චි කරනු ලැබේ. මේ සල්පා පෙති එකක් පාවිච්චි කරනු ලැබේ. මේ සල්පා පෙති ෂිගෙයි හා fප්ලෙක්ස්නෙරී රෝගවල දී අතිශයින් සහනද්‍රයක නමුත් සොන්නෙයි රෝගයටට නම් එපමණ ප්‍ර යෝජනවත් නොවේ.

2. ඇම්බා අතීසාරය

මේ වූකලී ඇම්බා රෝගයේ (බ.) උග්‍ර අවස්ථාවයි. මීට හේතුවන පරපෝෂිතයා එන්ටැමීබා හිස්ටොලිටිකාය. ඇම්බා විශේෂ කීපයක් මනුෂ්‍ය ශරීරය ආශ්‍රය කරන නමුදු, රෝග කරවන්නේ එන්ටැමීබා හිස්ටොලිටිකා පමණය. මේ අමීබාවා ලෝකයේ සෑම රටක ම සිටින නමුත් රෝග හටගන්වන්නේ උෂ්ණ රටවල දී පමණකි.

රෝග නිද්‍රනය: එන්ටැමීබා හිස්ටොලිටිකා වනාහි මනුෂ්‍යයා තුළ ඇතිවන ඒකසෛලීය පරපෝෂිතයෙකි. රෝගය බෝවන්නේ පරපෝෂිතයන් ශරීරගතව ඇති තැනැත්තකුගේ මල සමඟ පිටවන කෝෂ්ඨ (cysts) ශරීරගත වීමෙනි. ශරීරයෙන් පහවූ අශුචියෙහි ඇත්තාවූ කෝෂ්ඨ තුළ ඇමීබාවා ජීවත් වන්නේ දින ස්වල්පයකි. තාපයෙන් හෝ වියළීමෙන් ඌ මැරී යයි. ඇඟිලි මගින් හෝ මැස්සන්ගෙන් හෝ නැතහොත් කෙළින් ම හෝ වැටුණු කෝෂ්ඨ ඇති ආහාරපාන ආදිය අනුභව කිරීමෙන් කෝෂ්ඨ ශරීරගත වේ. මෙසේ සිරුර තුළට පිවිසි කෝෂ්ඨ අන්ත්‍රය දිගේ පහතට ගොස් කුඩා අන්ත්‍රය අග දී ගැහැනු විට ඇමීබාවා පිට වේ. එතැනින් මහාන්ත්‍රයට පිවිසෙන ඇමීබාවා ඛණ්ඩනය වෙමින් බෝවෙන්ට පටන් ගනී. මහාන්ත්‍ර කුහරය තුළ සිටින තාක් ඇමීබාවාගෙන් රෝගය හට ගන්නේ නැත. නමුත් යම්කිසි හේතුවක් නිසා මේ ජීවියා මහාන්ත්‍ර බිත්තියට ඇතුළු වුණු පසු, එහි ගෙඩි සහ වණ සෑදීමෙන් රෝගය වැලඳේ. මල සමඟ පහවන ලේ හා හීදන් එන්නේ මේ ගෙඩිවලිනුත් වණවලිනුත්ය. මහාන්ත්‍ර බිත්තියට ඇතුළුවුණු ඇමීබාවා එතැන් සිට ශිරාවක් මඟින් අක්මාව ගොස් ඇමීබා රෝගය ඇතිකරයි. අක්මාවේ ඇමීබාරෝගය (ඇමීබයසියාව-Amoebiasis) ඇමීබා අතීසාරයේ දී බොහෝ විට හටගන්නා අතුරු ඇබාධයකි. මේ ඇමීබාවා අක්මාවෙන් පෙළහැල්ලට ද පෙළහැල්ලෙන් මොළයට හා වෙනත් අවයවයන්ට ද සංක්‍රමණය වී, ඒ එක් එක් අවයවයෙහි අතුරු ආබාධ ඇති කරයි. එසේ වුව ද, ඇමීබාරෝගය බෙහෙවින් ම වැලදෙන්නේ මහාන්ත්‍රය, අක්මාව, පෙණහැල්ල සහ මොළය යන අවයවයන්හිය.

රෝග ලක්ෂණ: බොහෝ දෙනකුන්ගේ අන්ත්‍ර යෙහි ඇමීබාවන් ඉපදී සිටිය හැකි නමුත්, රෝගය වැලඳෙන්නේ ටික දෙනකුට පමණි. කෝෂ්ඨ ශරීරගතවීමෙන් පසු ලෙඩ සෑදෙන්ට කලක් ගතවිය හැකිය. ඇතැම් විට අවුරුදු ගණනක් වුවත් ගතවන්ට පුළුවන. රෝගය හටගත් විට, මුලින් දවසක් දෙකක් බඩ බුරුල් වී යයි. ඊට පසු බඩ යන වාර ගණන වැඩිවේ. ක්‍රමයෙන් මල සමඟ ලේ හීදන් යන්ට පටන් ගනී. සාමාන්‍යයෙන් පැය විසිහතරක දී බඩ යන වාරගණන 12කට වැඩි නොවේ. පැ.1000ට වඩා උණ නඟින්නේ කලාතුරකිනි. බඩේ කොරය ද බඩේ කැක්කුම හා තැටමීම ද බැසීල අතීසාරයේ දී තරම් තද නැත. ඒසා බෙලහීනවීමක් හෝ කෙට්ටුවීමක් ද නැත. රෝගය සතියකින් පමණ සුව අතට හැරේ. සති දෙකකට වැඩි කලක් අසනීප නොපවතී. මේ අතරතුර, මල ස්වාභාවික පරිද්දෙන් වියළි තත්වයට පැමිණ, ලේ හීදන් යෑම නවතී. ස්වල්ප දිනක් හෝ සති ගණනක් නැතහොත් මාස ගණනක් ගත වූ පසු රෝගය යළිත් මතු වී මුල්වාරයටත් වඩා උග්‍ර විය හැකිය. එහෙත් සාමාන්‍ය යෙන් එසේ සිදු නොවේ. ටික දවසකට පසු රෝගියාට යළිත් සුව ලැබේ. මෙසේ කීප විටක් ම ලෙඩ වීමෙන් රෝගියා කෙට්ටු වී ශරීර ශක්තිය හීන වේ. මේ කාලයේ දී සුදුසු පිළිවෙළකට ප්‍රතිකාර නොලැබුණොත් රෝගය උත්සන්න වී ඇතැම්විට ලෙඩා මැරෙන්නට වුව ද පුළුවන. මරණය සිදුනූණත්, ඇමීබාවා අක්මාවට වැදගැනීමෙන් අක්මාවේ ඇමීබාරෝගය හටගත හැකිය. එවිට උණ ද අක්මාවේ වේදනාව ද ඇතිවේ. අක්මාවාවේ ඇමීබාරෝගය ඇමීබා අතීසාරයට වඩා බරපතළ ලෙඩක් බැවින්, සැලකිල්ලෙන් ප්‍රතිකාර නොකළොත් අක්මාව පැළී රෝගියා අමාරු අඩියකට පත්වනු ඇත.

රෝග විනිශ්චය: රෝගයා කරන විස්තරයෙන් හා ඔහු සෝදිසි කිරීමෙන්, ඇමීබා අතීසාරය අනුමානයෙන් අඳුනා ගත හැකිය. එහෙත් නියම විනිශ්චයකට බැස ගත හැකිවන්නේ අණ්වීක්ෂයෙන් පරීක්ෂා කොට ඇමීබාවා ඇසින් දැක ගැනීමෙනි. රෝගය උත්සන්නව පවත්නා අවස්ථාවේ දී මලෙහි සිටින ඇමීබාවා ලෙහෙසියෙන් අදුනාගත හැකිය. ඇමීබාවාට ශරීරයෙන් පිටවන මලෙහි ජීවත් විය හැක්කේ පැය ස්වල්පයක් පමණක් බැවින්, මල පහවූ වාගේ පරීක්ෂා කළයුතුයි. පරීක්ෂාවට යවන අශුචියට ව්‍යාසාදක එකතු නොකළ යුතුය.

ප්‍රතිකාරය: ඇමීබා අතීසාරයට ප්‍රතිකාර කිරීමට මේතාක් සොයාගෙන ඇති ඉතා ම ප්‍රත්‍යක්ෂ ඖෂධය වනුයේ එමටින්ය. මෙයින් දිනකට ග්‍රේන් 1 බැගින් දින 12ක් හෝ ඊට අඩු දින ගණනක් විදිය යුතුය. එමටින් බොන්ට දුන්විට එය වමනය වන හෙයින් එය මුඛ මාර්ගයෙන් ශරීරගත කිරීමක් නොකෙරේ. එමටින් විදීමෙන් පසු ටික දිනකින් රෝග ලකේෂණ ශමනය වන නමුත්, ඇමීබාවා මහාන්ත්‍රෙයන් ඉවත් වන්නේ නැත. ඇමීබාවා සහමුලින් නැති කර දැමීමට දෙන ඖෂධ දෙවර්ගයකි. එනම්: (1) අයඩීන් අඩංගු යැට්රන්, එන්ටරොවයොපොම්, ඩයොඩික්වීන් යනාදිය ද (2) පාසානම් අඩංගු කාබසොන්, මිලිබිස් යනාදිය ද වේ.

3. වෙනත් අතීසාර

වෙනත් අතීසාර අතුරෙන් එකක් වන පක්ෂ්මධර අතීසාර පමණක් මෙහි ලා හැඳින්වේ. මේ අතීසාරයට හේතුව සූකර අන්ත්‍රෙයහි ජීවත්වන බැලන්ටිඩියම් කෝලායි නමැති පක්ෂ්මධර ඒක සෛලීය පරපෝෂිතයාය. මේ පරපෝෂිතයා අන්තර්ගත සූකර මල ආහාර පානවල මිශ්‍ර වීමෙන් පක්ෂ්මධර අතීසාරය හටගනී. මේ රෝගය බහුල ලෙස පවත්නේ ඌරන් අති කරන පෙදෙස්වලය.

රෝග ලක්ෂණ: ඇමීබා අතීසාරයේ ලක්ෂණවලට සමානය. රෝග විනිශ්චය අණ්වීක්ෂයේ ආධාරයෙන් ම කළයුතුය. ප්‍රතිකාරයක් වශයෙන් පාසානම් අඩංගු කාබසොන් ඉතා ප්‍රයෝජනවත්ය.

කර්තෘ:ඊ.ඇම්. විජේරාම

ආයුර්වේද මතය:

අතීසාරය (අතීසාරය, පාචනය): ප්‍රකෘතිය ඉක්මවා ගුදමාර්ගයෙන් වැගිරෙනුයේ අතීසාරයයි. ("ප්‍රකෘතිමතික්‍රම්‍ය ගුදමාර්ගෙණ සරතීති අතීසාරඃ") දිරවීමට අපහසු වූ බර ආහාර අනුභව කිරීම, විෂ වර්ග ශරීරගත වීම, අතිශයින් ශෝකවීම, බිය වීම, අපවිත්‍ර ජලය බීම, මලමූත්‍ර වේගයෙන් වැළැක්වීම හා පණුද්‍රෙස් ආදී හේතූන් කරණකොටගෙන රසරක්තාදී ද්‍රවිධාතූන් ආශ්‍රිත වූ පාවකාග්නිය අඩු වූ කල කුපිත වූ වාතයතෙම අන්ත්‍රෙයහි පලකොටස් වගුරුවයි. මීට අතීසාරය හෙවත් පාචනය කියනු ලැබේ. මේ අතීසාර රෝගය වනාහි (1) වාතාතිසාරය (2) පිත්තාතිසාරය (3) ශ්ලේෂ්මාතිසාරය (4) සන්තිපාතාතිසාරය (5) ආමාතනිසාරය (6) රක්තාතිසාරය යයි සවැදෑරුම් වේ. ප්‍රවාහිකාව, විසූවිකාව යන මොම්හූ ද අතීසාර ගණනයට ම ඇතුළත් වෙති. ඒ සියල්ලගේ නිද්‍රන හා ලක්ෂණ සැකෙවින් මෙහි දැක්වේ. මෙයින් බැහැර වූ ශෝකාතිසාර නම් අතීසාරයෙක් ද ඇත්තේය. නොයෙක් කරුණු නිසා ශෝක වන්නවුන් විසින් අල්ප වූ ආහාර ගැනීම හේතුකොට ගෙන රසරක්ත යන ධාතූන් කෙලෙසීමෙන් එම අතීසාරය සෑදේ.

වාතාතිසාරයෙහි දී අරුණුවන් වූ පෙණ සහිත මල, ස්වල්ප වශයෙන්, ශබ්ද සහිත වැ නොපැසී නිකුත් වේ. පිත්තාතිසාරයෙහි ද්‍රහයෙන් පෙළෙන රෝගියාගේ ඇඟෙන් ඩහදිය ගලයි. නිල් හෝ රත් පැහැති දුඟඳ මල නිකුත්වෙයි.

ශ්ලේෂ්මාතිසාර රෝගියාට ආහාර අරුචිය හා ලොමුදහ ගැනුම් ඇති වෙයි. කොළපාට වූ ද බෙලසුල් වූ ද කැටි වූ ද මල පහ වෙයි. සන්නිපාත අතීසාරයෙහිදී තුන් ද්‍රෙස්හුගේ ම ලකුණු හා උපද්‍රව සහිතව අතීසාරය කෙරේ. ශෝකාතිසාරයෙහිදී ඔළිඳ ඇට පැහැයට හෝ ලේ මුසුව, මල හෝ ලෙය ම හෝ වැගිරෙයි. එය මල සහිත වූ කල දුගඳ වේ. මල රහිත වුව දුගඳ නොවෙයි. ආමාතිසාරයෙහිදී නොයෙක් පාට ඇතිව වරින් වර අධික වශයෙන් අතිසාරය වෙයි.

පිත්ත ප්‍රකෘති ඇති තැනැත්තේ පිත වඩන අපථ්‍ය ආහාර බෙහෙවින් සේවනය කිරීමෙන් බිහිසුණු වූ රක්තාතිසාරයට ගොදුරු වෙයි. මෙය දුක සේ පිළියම් කොට සුව කටයුත්තකි.

අසාධ්‍ය ලකුණු: කළු පැහැති සිනිඳු මල ඇති බව, කැවුතු කැබලි වැනිව හා ගිතෙල්, චූරුණු තෙල්, මිදුලු හෝ මස් ද්‍රෙවුන් දිය වැනිව මල නිකුත් කිරීම, පිපාසය, ප්‍රද්‍රහය, අඳුරු දැක්ම, හික්කාව, දැලවර, රුජාව, මනසෙහි මුළාබව, ගුදවලිය අග පැසීම, බෙහෙවින් බඩ පිපීම හා ඉදිමීම, අවයවයන්ගේ සීතලබව යන මේ උප ද්‍රවයන් සහිත වූ අතීසාරය අසාධ්‍යයි.

මේ දක්වන ලද්දේ සකුබසින් ලියැවුණු ආයුර්වේදීය රෝග නිද්‍රනයෙහි ප්‍රකාශිත විස්තරයයි. මෙයින් බැහැර දේශීය අතීසාර චිකිත්සාවෙහි අතීසාරයේ අන්‍යතර ප්‍රෙභ්ද කිහිපයක් ද සඳහන් වේ. කේමී අතීසාරය, නිල් අතීසාරය, ගැට අඹලා අතීසාරය, සෝප අතීසාරය, සන්නි අතීසාරය යන මොහුය. මේ දේශීය අතීසාර ප්‍රභේදයන්හි දී ද ආයුර්වේදයෙහි දැක්වෙන ඖෂධ යෝගයන් යෙදීමෙන් ලැබෙන ඵලයෙහි වෙනසක් නොමැතියි.

ප්‍රවාහිකාව: වේදනා සහිතව, මඳ මඳව, තැට මිලි සහිතව මල නිකුත් වනුයේ ප්‍රවාහිකාවයි. වාතය ප්‍රධාන වූ ප්‍රවාහිකාවෙහි උලකින් අනින්නාක් වැනි වේදනා ඇතිවේ. පිතින් උපදනේ ද්‍රහ සහිත වෙයි. සෙම් කෝපයෙන් වූයේ මල සෙමෙන් දැවටී නිකුත්වෙයි. ලේ කෝපයෙන් වන ප්‍රවාහිකාව ලේ සහිත වෙයි. මෙය අතීසාරයට ම සමාන වුවත් වෙනස නම් කුසරුජා සහිතව නිකුත් වන මල ස්වල්පය ලේ සහිත වීමයි. මීට ද පිළියම් කිරීමට නියමව ඇත්තේ ආම පක්ව ක්‍රමය විමසා අතීසාරයට සේය. මේ රෝග විෂ ජීවාණුවකින් උපදනා සංක්‍රාමක රෝගයකි. ලේ සීදන් පාචනය යයි නම් වනුයේ මීටයි. වංගදේශීය වෛද්‍යයෝ මීට රක්තාමාශ යයි කියත්. දේශීය චිකිත්සාවෙහි ගැට අඹලා අතීසාරය යයි නම් කොට ඇත්තේ මීටයි.

විසූචිකාව: මෙය අජීර්ණ නිද්‍රනයට අයත් වුවත් අතීසාර විශේෂයකි. මීට විසූචිකාව යයි නම් කොට ඇත්තේ වාතකෝපයෙන් ඉදිකටුවලින් අනින්නාක් මෙන් වේදනා උපදවන බැවිනි. කොලරා රෝගය ද මේය යනු වෛද්‍ය ශාස්ත්‍රඥයන්ගේ මතය වේ. අපවිත්‍ර ජලය පානය කිරීම මේ රෝගය වැලඳීමට ප්‍රධාන හේතුව වෙයි. මූර්ඡාව, ශූලය, භ්‍රමය, කෙණ්ඩා පෙරළීම, ප්‍රදාහය, වෙව්ලීම, හිසරදය හා ඝෙහි රුජාව ද විසූචිකාවෙහි ලකුණුය. වමනය හා පිපාසය අධිකව අතීසාරය දරුණුව පවත්නා මේ විසූචිකාව අන්‍යයන්ට ද වහා බෝවෙන මාරක රෝගයකි. ගම්බද අපවිත්‍ර ජලාශයන්හි ජලය බීමෙන් වංග දේශයෙහි දහස් ගණන් ජනයා විසූචිකා රෝගයට ගොදුරු වීමෙන් මිය යති. ලක්දිව මේ රෝගය හටගන්නේ කලාතුරකිනි. හදිසියේ සැදෙන ජලසන්නිය ද විසූචිකා රෝගයෙහි ලකුණුවලින් යුක්තය. අතීසාර ගණයෙහි හැම රෝගයකට ම සාමාන්‍ය ව්‍යවහාරය පාචනය කියායි.

පොත්පත්:

අෂ්ටාංග හෘදය

භාව ප්‍රකාශය

මාධව නිද්‍රනය

අතීසාර වට්ටෝරු පොත

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අතීසාරය_(Dysentery)&oldid=1482" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි