අද්වෛතවාදය
මෙනමින් විශේෂයෙන් ම හැඳින්වෙන්නේ අද්වෛත වේදාන්ත දර්ශනයයි. භාරත දේශීය දර්ශන අතුරෙන් ප්‍රධාන තැනක් ගන්නා මේ දර්ශනය ගොඩ නඟන ලද්දේ අද්වෙත දර්ශනය පිළිබඳ "ආගමශාස්ත්ර" නමැති ප්‍රමාණ ග්‍රන්ථය සැපයූ ගෞඩපාද හා උපනිෂද්, භගවත් ගීතා, වේදාන්තසූත්‍ර යනාදීන්ට හාෂ්‍ය (අටුවා) සැපයූවා වූ ද, විවේක චූඩාමණි, උපදේශ සහස්‍රී යන ග්රන්ථ රචනා කළා වූ ද ශංකර යන උසස් චින්තකයන් දෙදෙනා විසිනි.
ක්‍රි.ව. හත්වැනි සියවසෙහි පමණ විසූ ගෞඩපාද අද්වෛත දර්ශනයෙහි ආදිම කර්තෘ වශයෙන් ගිණිය හැකි වේ. ක්‍රි. ව. අටවැනි සියවසෙහි ජීවත් වූහයි පිළිගැනෙන ශංකර මෙම දර්ශනය ඉතා පැහැදිලි ලෙස විදහා පෙන්වූ දේශකයා ලෙස හඳුන්වනු ලැබේ. ශංකරයන්ගේ කාලයෙන් පසුව විසූ පද්මපාද, විද්‍යාරණ්‍ය ආදීහු අද්වෛත දර්ශනය තවදුරටත් පොහොනිපත් කළා වූ, වැඩි දියුණු කළා වූ අය වෙත්.
"අද්වෛත" ශබ්දය ද්විප්රකාරයකින් විග්රහ කළ හැකිය. එක් අතකින් ද්වෛත භාවයක් නොමැති බව හෙවත් ද්විතයක් (දෙකක්) නොමැති බව එයින් වාච්‍ය වේ. අනික් අතින් තාදාත්ම්‍යය යන අර්ථයක් එයින් කියැවේ. ද්වෛත භාවයක් නොමැත යනුවෙන් අදහස් කැරෙන්නේ අප එක් එක් කෙනකුගේ ප්රත්යග් ආත්මයත් බ්‍රහ්මත්වයත් අතර කිසිදු වෙනසක් නොමැති බවත් අප ආත්මයන් එකිනෙකට වෙනස් නොවන බවත්, අප ආත්මයන් හා බාහිර ලෝකයත් අතර ද වෙනසක් නොමැති බවත්ය. සැකෙවින් කිවහොත් ලොවෙහි අනේකත්වයක්, විවිධභාවයක් නොමැති බවයි. තාදාත්ම්‍යය යන වාස්තවික අර්ථයෙන් අදහස් කැරෙන්නේ බ්රහ්මත්වය පමණක් එක ම සත්‍යය බවයි. එකී වූ බ්‍රහ්මභාවයෙන් පිට සත්තාවක් නොමැති බවයි. මේ තේරුම් දෙක කාසියක දෙපැත්ත මෙන් එකිනෙකට සම්බන්ධය. මේ අර්ථ දෙකම එක්කොට කිවහොත් අද්වෛත යන පදයෙන් හැඟෙන්නේ ද්වෛත භාවයෙන් බැහැර වූ බ්රහ්මත්වය පමණක් සත්‍යය බවය.
මේ අර්ථයෙහි වැටෙන අද්වෛතය ගෞඩපාදගේ හෝ ශංකරගේ නව නිර්මාණයක් නොවන බව නොකිවමනාය. අද්වෛත දර්ශනය වනාහි වේද, උපනිෂද් ආදි පැරණි ග්රන්ථයන්හි ගැබ්වන ආධ්‍යාත්මික පණිවුඩයේ විදහා පෑමක් පමණි. අද්වෛත වේදාන්තයේ ආදි කර්තෘන්ට වුවමනා වූයේත් පැරණි සාහිත්‍යයෙහි සැඟවී තිබුණු එම පණිවුඩය සුදුසු පරිද්දෙන් ලොවට පෙන්වීමය. එසේ පෙන්වීමට වෑයම් කිරීමේ දී ඔවුන්ට එක හෙළා ම අවබෝධ වූයේ ද්වෛතය අසත්‍යය ලෙසත් අද්වෛතය සත්‍යය ලෙසත් පැරණි වෛදික සාහිත්‍යයේ සඳහන් වන බවයි. "තත් ත්වම් අසි" "බ්‍රහ්මාස්මි", "සර්වං හි එතද් බ්රහ්මමයම්" යනාදි ශ්‍රේෂ්ඨ වාක්‍යයන්ගෙන් ප්‍රකාශ වන්නේ ද අද්වෛත දර්ශනය බව ගෞඩපාද, ශංකර ආදීන්ට සක්සුදක් සේ පෙනිණි. ඇත්ත වශයෙන් ම අද්වෛතය ගැන කියවෙන තැන් රාශියක් ම උපනිෂද් ග්රන්ථයන්හි දක්නට ලැබේ.
ගෞඩපාදයෝ ද අද්වෛතය පරමාර්ථ සත්‍යය බව කියත්. අද්වෛතය පරමාර්ථ සත්‍යය බව විදහා පෑමේ දී ද්වෛතය අවශ්‍යයෙන් ම ප්රතිෂේධ කළ යුතු වෙයි. ගෞඩපාද එම කාර්ය්යය ඉතා දක්ෂ ලෙස ඉටු කරයි. අප සිත් තුළ තහවුරු වී ඇති ද්වෛත භාවය මායා මාත්‍රයක් බව සනාථ කිරීමට ගෞඩපාද උපයෝගී කරගත් කදිම උපමාව සඳහන් කළ මනායි. අප අවට ඇති මහා අවකාශය එකක් වුව ද අප නිතර භාවිතයට ගන්නා විවිධ භාජනවල අවකාශය ඒවාට සීමාව පවතී. යම් භාජනයක් බිඳුණු විට ඒ සීමාවන් තුළ පැවැති අවකාශය මහා අවකාශයට එක් වෙයි. නැතහොත් මහා අවකාශය ම වෙයි. එමෙන් ම එකිනෙකට වෙනස් යයි සලකනු ලබන ආත්මයෝ ඇත්ත වශයෙන් එක ම බ්රහ්මත්වයමැයි. සෑම ආත්මයක් ම පමණක් නොව සියලු දෙය ම බ්‍රහ්මත්වයයි. මේ උපමාව අනුව බලන විට "මායාමාත්රම් ඉදම් ද්වෛතම්", "සර්වං හි එතද් බ්රහ්මමයම්" යන පාඨයන්ගේ අර්ථය පැහැදිලිව පෙනේ. ශංකරයෝ ද සියලු අනේකතාවන් වේදයට පටහැණි බවත් අද්වෛතය ම සත්‍ය බවත් ප්‍රකාශ කරති.
අද්වෛත දර්ශනය සනාථ කිරීමට ප්‍රධාන මාර්ග දෙකක් ඇත. පළමුව ද්වෛතය නිෂ්ප්‍රභ කළ යුතු වේ. දෙවනුව බ්රහ්මත්වය සත්‍ය බව ස්ඵුට කළමනායි. මේ මාර්ග දෙක ම අද්වෛත දාර්ශනිකයන් උපයෝගී කරගත් බව ඔවුන්ගේ ග්රන්ථ පරිශීලනය කිරීමෙන් වැටහේ. මේ කරුණු දෙක සනාථ කිරීමට යොදා තිබෙන ප්‍රධාන උපක්‍රම නම්-
(අ) වෛදික හා උපනිෂද් සාහිත්‍යය නොවරදිනසුලු ශ්රැතියක් ලෙස ගෙන එම වේදෝක්ති අද්වෛත වාදය තහවුරු වන අන්දමට තේරුම් කිරීමත්,
(ආ) තර්ක උපපත්ති මගින් අද්වෛත වාදයේ සත්‍යය විදහා පෑමට කරුණු ඔප්පු කිරීමත්ය.
අද්වෛත දර්ශනය පිළිබඳ වැඩි විස්තර දතැටියන් ගෞඩපාද, රාමානුජ, ශංකර යන ලිපි බැලුව මනායි.
කර්තෘ:ජී.ඩී.කේ. නානායක්කාර
(සංස්කරණය:1963)