අධ්‍යාපන මනෝවිද්‍යාව

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අධ්‍යාපන මනෝවිද්‍යාව වූකලී ම‍නෝවිද්‍යෘවේ එක් ශාඛාවකි. ඊට විෂය වනුයේ අධ්‍යාපනය උදෙසා මනෝවිද්‍යාව උපයෝගී කර ගැනීමයි. අධ්‍යාපන මනෝවිද්‍යාඥයන්ගේ සැලකිල්ලට ප්‍රධාන වශයෙන් භාජන වූ කරුණු සතරෙකි. එනම්: ඉගෙන ගන්නාගේ ස්වභාවය, ඉගෙනීමේ මාර්ගය, ඉගෙනීමේ ප්‍රමාණය හා සාර්ථකත්වය සමාලෝචනය කිරීම, ඉගෙනීමෙහි දුෂ්කරතා මඟ හරවාගැනීම යන මේවායි. මේ කරුණු පිළිබඳ පර්යේෂණයන්හි දී හෙළි වූ ඉතා වැදගත් දෑ සැකෙවින් මෙහි පහත දැක්වේ.

ඉගෙන ගන්නාගේ ස්වභාවය: ළමයින්ගේ හැසිරීම හා වර්ධනය පිළිබඳව කලින් කල ඉදිරිපත් කොට ඇති සිද්ධාන්ත බොහෝය. මේ සම්බන්ධයෙන් මනෝවිද්‍යාඥයන් විසින් මුලින් ම ඉදිරිපත් කරන ලද සිද්ධාන්ත සතුන්ගේ ගතිපැවතුම්වල අනුසාරයෙන්, ඩාවින්ගේ පරිණාමවාදයේ ද ආභාසය ලැබ ඇති කරගන්නා ලද ඒවායි. මෙසේ සොයා ගන්නා ලද කරුණු තරමක් ප්‍රයෝජනවත් වුව ද ප්‍රමාණවත් නොවීය; ඉතා දියුණු තිරිසනාත් ඉතා නොදියුණු මිනිසාත් අතර වුව ද මහත්පරතරයක් ඇති හෙයිනි. තිරිසනුන්ගේ හැසිරීම පිරික්සා බලා ඒ අනුසාරයෙන් මිනිසාගේ හැසිරීම පිළිබඳ පොදු නිගමනයන්ට බැසීම පමණ ඉක්මවා කාරණය සරල කිරීමක් සේ පෙනිණ. මේ බව අවබෝධ වූ විට මනෝවිද්‍යාඥයෝ තිරිසනුන්ගේ ගතිපැවතුම් පිරික්සීමෙන් පමණක් නොසෑහී මිනිසාගේ හැසිරීම ද සලකා බැලීම ප්‍රයෝජනවත් විය හැකි යයි සිතූහ. මේ අවබෝධය ඇති වූයේ ස්වාභාවික විද්‍යාවන් දියුණු වෙමින් පැවැති අවධියෙහිය. ස්වභාව විද්‍යාඥයන්ගේ ක්‍රියාමාර්ග‍යන් අනුගමනය කරමින් මනෝවිද්‍යාඥයෝ ද, පරීක්ෂණාගාරයන් පිහිටුවා මිනිසුන් ඒ කරා ගෙනවුත් ඔවුන් සිතන මතන හැටි, සිතෙහි ධාරණය කරගන්නා හැටි, අවධානය යොමු කරන හැටි යනාදිය පිළිබඳ වැඩිදුර කරුණු දැන ගැනීමේ අපේක්ෂාවෙන් පරීක්ෂණ පැවැත්වීමට පටන් ගත්හ. ඉන් හෙළි වූ කරුණු ප්‍රයෝජනවත් ද සැලකිය යුතු ද විය. එහෙත් පාසල, කාර්යාලය, කම්හල, සමාජශාලාව ආදි සාමාජික පරිසරයන්හි දී මිනිසා හැසිරෙන අන්දම ගැන නියම හැඟීමක් එබඳු සමාජ ආශ්‍රයෙන් හා සාමාජික පෙළඹීම්වලින් තොර වූ පරීක්ෂණාගාරයක දී කෙරෙන පරීක්ෂණ මගින් ලබාගත හැකි ද යන ප්‍රශ්නය එහි දී මතුවිය. එහෙයින් මිනිසා සමාජයෙන් වෙන් වූ හුදු පරීක්ෂණාගාරයක දී ම පරීක්ෂණයට යොමු නොකර ඔහු ජීවත්වන පරිසරයෙහි හෝ ඔහු නිතර ඇසුරු කරන පිරිස අතර සිටිය දී ම හෝ ඔහුගේ හැසිරීම සලකා බලා කරුණු දැන ගැනීමට මනෝවිද්‍යාඥයන් සැලකිලිමත් වූයේ විසිවැනි ශතවර්ෂයේ මධ්‍ය භාගයේ දී (1940-1959) ය. මේ ක්‍රම සියල්ලක ම සාමූහික ප්‍රතිඵලයක් වශයෙන් ශිෂ්‍යයා පිළිබඳ මනා අව‍බෝධයක් ලබාගත හැකි කරුණු රැසක් දැනට හෙළි වී තිබේ.

එයින් ඉතා වැදගත් කරුණක් නම්, කවර ළමයකු වුව ද මූලික වශයෙන් සාමාජික සත්වයකු වන බවයි. ආහාර පිරිසිදු වාතය, විවේකය ආදී අවශ්‍යක දෑ හැර ළමයාගේ ඉතාමත් වැදගත් සෙසු වුවමනා සමාජය හා සම්බන්ධව පවතී. තමා අවට සිටින අයගේ ආදරය තමහට අවශ්‍ය බව අත දරු අවස්ථාවේ දී පවා ළමයා පෙන්වයි. මේ වනාහි ජීවිත කාලය මුළුල්ලෙහි ම බල පවත්නා අවශ්‍යතාවකි. මේ හැර අනුක්‍රමයෙන් වැඩෙන ළමයා කෙරෙහි තමා ජීවත්වන සමාජයේ තැනක් දිනා ගැනීම, අන්‍යයන්ගේ සැලකිල්ල ලබාගැනීම, ස්වකාර්‍ය්‍ය සාධනයෙහි පොහොනා බව හැඟීම, ආත්මගෞරවය රැකගැනීම හා ආත්මප්‍රකාශනය වැනි දෑ නිමිති කොට ‍පහළ වන වෙනත් අවශ්‍යතා පෙනෙන්නට වේ. ඔහුගේ මේ අවශ්‍යතා ද ජීවිත කාලය මුළුල්ලෙහි ම බල පවත්වයි. ළමයාගේ ව්‍යක්තිත්වය හාත්පසින් නිරාබාධව වැඩෙන්නට නම් මෙකී අවශ්‍යතාවන් සපුරාලිය යුතු වේ. එසේ ම මෙම නිරීක්ණයන්ගෙන් හෙළි වූ තවත් කරුණක් නම්, මානසික වූත් ශාරීරික වූත් හැම ලක්ෂණයකින් ම පාහේ එක් එක් අයකු කෙරෙහි පෞද්ගලික වෙනස්කම් ඇති බවයි. අධ්‍යාපනයෙහි නියුක්ත වූවන්ට මෙයින් වඩාත් වැදගත් වනුයේ බුද්ධිය, දක්ෂතා, ප්‍රවණතා සහ අභිරුචි අතින් පවත්නා විවිධත්වයයි. එක් එක් පුද්ගලයාගේ වැඩීමේ වේගය ඔහුට ම විශේෂ වූවකි. ‍ඒ අතින් එක සමාන වූ පුද්ගලයන් දෙදෙනකු පවා සොයා ගැනීම නුපුළුවන් තරම්ය. සහජ ගතිය මෙන් ම පරිසරයේ බලපෑම ද මේ වෙනස්කම්වලට හේතු වේ. මේ එක් එක් හේතුව නිසා ඇතිවන බලපෑම් වෙන් කොට හඳුනා ගැනීම අනවශ්‍ය වන්නාක් මෙන් ම දුෂ්කර ද වෙයි. ඒ අතර ම සහජ සාධකයන් හා පරිසරගත සාධකයන් අතර අන්‍යෝන්‍ය බලපෑමක් නොකඩවා ම පවත්නා බව පිළිගත යුතු කරුණකි. සහජ සාධකයන් පාලනය කළ හැකි වෙතොත් ඒ ඉතා ස්වල්ප වශයෙනි. එහෙයින් අප සතු යුතුකම නම් අපට පාලනය කළ හැකි වූ පරිසරගත සාධකයන් ළමයාගේ නිරාබාධ සංවර්ධනයට යෝග්‍ය වන පරිදි හැකිතාක් හොඳින් සකස් කිරීමයි. ළමයකුගේ සංවර්ධනයෙහි විවිධ අංශ අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධව පවත්නා බව ද පිළිගත යුත්තකි. එහෙයින් හුදෙක් මානසික වර්ධනය සඳහා ම ශික්ෂකයාගේ සැලකිල්ල යොමුවීම ප්‍රමාණවත් නොවේ. මානසික වර්ධනය කෙරෙහි බලපාන හෙයින් ශාරීරික, සාමාජික හා භාවික වර්ධනය ද ඔහුගේ සැලකිල්ලට භාජන විය යුතුය. ශිෂ්‍යයාගේ අභිරුචි හා මනෝවෘත්ති (ආකල්ප) ද ඔහුගේ පරිසරයෙහි පවත්නා සාමාජික සාධකයන් ද ශික්ෂකයා විසින් සලකා බැලිය යුතුය. ශික්ෂකයා මේ හැම කාරණයක් කෙරෙහි සැලකිල්ල යොදවන ප්‍රමාණයට ඔහුගේ ඉගැන්වීමේ කාර්‍ය්‍යය සාර්ථක වේ.

ඉගෙනීමේ මාර්ගය: ළමයින්ගේ ඉගෙනීම වැඩිපුර ම කෙරෙන්නේ පාසලෙන් පිටත දී ය. ඉගෙනීම අතින් ළමයකුගේ මුල් අත්දැකීම් ඔහුට ලැබෙන්නේ ගෙරද දී ය. මෙම අත්දැකීම් ළමයාට ප්‍රියංකර හා තෘප්තිකර වන තරමට ඉගෙනීම කෙරෙහි ඔහු සැලකිලිමත් වන්නේය. ඉගෙනීම අතින් ළමයා මුල දී ලත් සාමර්ථ්‍යය තරම් ඔහු මතුමත්තෙහි ලබන ඉගෙනීම සාර්ථක වීමට තුඩු දෙන කරුණක් තවත් නැත. එබැවින් ඉගෙනීම අතින් ළමයාගේ මුල් අත්දැකීම් සාර්ථක වන අයුරු වගබලා ගැනීමට හැම උත්සාහයක් ම දැරිය යුතුයි. ළමයින්ගේ අධ්‍යාපනය ඕනෑවට වඩා ඉක්මන් කිරීමට යුහුසුලු වන දෙමව්පියෝ, කියවීම, ලිවීම හා අංක ගණිතය පිළිබඳ නියම අධ්‍යාපනයකින් ‍ප්‍රයෝජන ගැනීමෙහි ශක්තිය මුහුකුරා යෑමට පෙර ළමයින්ට මේ විෂයයන් ඉගැන්වීම ආරම්භ කරති. මෙහි විපාක ඉතා හානිකර විය හැකියි. ඉගෙනීම පිළිබඳ මුල් අවස්ථාවෙහි දී ළමයා නොසමත් වීම් වශයෙන් ලබන අත්දැකීම් ඔහුගේ අධ්‍යාපන ජීවිතය මුළුල්ලෙහි අහිතකර ලෙස බලපෑ හැකිය. එයින් ඔහුගේ ඉගෙනීමට ඇති ඇල්ම ද පිරිහී යා හැකිය. නියම ඉගැන්වීම, විශේෂ පුහුණුවක් මෙන් ම දැනීමක් ද ඇතිව කළයුත්තකි. දෙමව්පියන් අතින් ඉටුවිය යුත්තේ එය නොව ළමයා ප්‍රබෝධවත් කරවනසුලු පරිසරයක් ඇති කිරීම පමණකි. ළමයාට සෙල්ලම් කිරීම සඳහා ඔහුට ම අයිති ක්‍රීඩාභාණ්ඩ, ඔහුට නිදහසේ හැසිරීමට ඉඩකඩ, බැලීමට පොත්පත්, අලුත් අත්දැකීම්වලට යොමු කරවන අවස්ථා, වැඩදායක දේ කෙරේ දෙමව්පියන් දක්වන සැලකිල්ල හා ඔවුන්ගේ සාරවත් කතාබහ, පවුලේ අය අතර මෙන් ම පිටස්තර අය සමඟ ද පවත්නා එකමුතුකම යන මේවා ළමයා ප්‍රබෝධවත් කරවනසුලු පරිසරයක තිබිය යුතු ලක්ෂණවලින් සමහරකි.

නියම අධ්‍යාපනය පාසල හා ගුරුවරයා සතු කාර්‍ය්‍යයකි. එය සාර්ථක ලෙසත් තෘප්තිර ලෙසත් ඉටු කිරීමට ඉවහල් වන මූලධර්ම කීපයක් පහත දැක්වේ. එක එක ශිෂ්‍යයාගේ ඉගෙනීමෙහි සාමාර්ථ්‍යය විවිධ වේ. එහෙයින් මෙම විවිධත්වයට අනුකූල වන පරිදි, ඉගැන්වීමට උපයෝගී කරගන්නා දෑ වර්ග කොට ගළපා ගත යුතුය. ඉගැන්වීම ශිෂ්‍යයාට අර්ථවත් වන අයුරු සංවිධානය විය යුතුය. තව ද, දන්නා දෙයෙහි සිට නොදන්නා දේ කරා ද මූර්ත වූවක සිට අමූර්ත වූවක් කරා ද ශිෂ්‍යයා යොමු වන අයුරු ඉගැන්වීම සකස් විය යුතුයි. ඉගැන්වීමේ දී ශිෂ්‍යයාගේ අභිරුචි ද, ප්‍රකෘතියෙන් ම පිහිටි කුතුහලභාවය ද නොයෙක් අභියෝගාත්මක අවස්ථාවන්ට මූණ පෑමේ සමත්කම ද ප්‍රයෝජනයට ගත යුතුය. මේ මගින් ශිෂ්‍යයා සිය කැමැත්තෙන් ම ඉගෙනීමෙහි අනලස්ව හවුල් වන්නකු කරා ගත යුතුය. ඉගෙනීමේ ප්‍රමාණය අතින් මෙන් ම ඉගෙනීමෙන් ලබන ප්‍රයෝජනය අතින් ද බලන කල, ගුරුවරයා උගන්වන දෙය නිශ්ශබ්දව අසා සිටින ශිෂ්‍යයාට වඩා ගුරුවරයා හා උද්‍යෝගීව හවුල් වී ඉගෙනීම කරන ශිෂ්‍යයා මැනවි. ශිෂ්‍යයන්ගේ ශක්ති ප්‍රමාණයට තරම් වන අයුරු යම් යම් අරමුණු ඔවුන් හමුවෙහි තබා ඒවා මුදුන් පමුණුවා ගැනීමට ඔවුන් හැකි තාක් උනන්දු කර විය යුතුයි. ඉගෙනීම අතින් තමා කෙතරම් දුරට දියුණුවක් දක්වා තිබේ ද, තමාට වැරදුණු තැන් මොනවා ද යන්න පිළිබඳව අවබෝධයක් ශිෂ්‍යයා තුළ ඇතිවීම ඔහුගේ ඉගෙනීමේ කාර්‍ය්‍යය පහසු වීමට රුකුලකි. තමා ලබන සාමර්ථ්‍යය නිසා ශිෂ්‍යයා යහපත් අභිමතාර්ථයන් කෙරෙහි නැඹුරු වනු පමණක් නොව වැඩිදුර ඉගෙනීමට ද පෙළඹෙයි. අසාර්ථක ප්‍රතිඵල හා දඬුවම් නිසා ශිෂ්‍යයා ඉගෙනීමෙහි අධෛර්ය වනු පමණක් නොව අසමත් වීමෙන් හා දඬුවම් ලැබීමෙන් ඇති වන ආවේගයන් කරණකොටගෙන ඔහුගේ සිත අවුල් වී ඉගෙනීම පෙරටත් වඩා දුෂ්කර වී යා හැකිය. ගුරුවරයා හා ශිෂ්‍යයා අතර පෞද්ගලික සම්බන්ධය ද වැදගත්ය. ගුරු ශිෂ්‍ය දෙපක්ෂය අතර හිතෛෂී භාවය අධ්‍යාපනයට රුකුලක් වත් ම ඔවුන් අතර අමනාපකම් ඇතිවීම ඉගෙනීමට බාධාවක් වේ. පන්තියේ සමාජවාතාවරණය අධ්‍යාපනය කෙරෙහි බලපායි. ඒකාධිපති පරිසරයකට වඩා ප්‍රජාතන්ත්‍ර පරිසරයක් ඉගෙනීමට හිතකර වේ. ඉතා සාර්ථක ප්‍රතිඵල ලබන ගුරුවරු නම් ශිෂ්‍යයන්ට නිතර සැරවැර කරමින් බැණ වදින අය නොව ශිෂ්‍යයන් කෙරෙහි දයාව පාමින් ඔවුන්ට නොවැටහෙන දේ කරුණාවෙන් කියාදෙන අයයි. අන්‍යෝන්‍ය සහයෝගයට මංපෑදෙන අයුරු කණ්ඩායම් වශයෙන් ශිෂ්‍යයන් වැඩෙහි යෙදවීම ද ඉගෙනීමට රුකුලක් වන්නේය. කරුණු රාශියක් දැනගෙන සිටීම, තමා උගත් දෙයෙහි ඇති විවිධ සම්බන්ධකම් දැක්ක හැකි අයුරු ඒ උගත් දේ සංවිධානය කර ගැනීමටත් ඒ මූලධර්ම විවිධ අවස්ථාවන්ට ගළපා යොදා ගැනීමටත් හැකිවීම තරම් ප්‍රයෝජනවත් නොවේ. පාසලෙහි දී ඇති කරගන්නා ලද ප්‍රවීණතා හා ම‍ොන්වෘත්ති පාසලෙන් අස්වී යාමෙන් පසුවත් යමකුට වැඩ පිණිස වන්නේ තමා උගත් දේ විවිධ අවස්ථාවන්ට ගළපා යොදා ගත හැකි වුවහොත් පමණි. හොඳ ම ඉගැන්වීම නම් උගත් දේ සිතේ ගළපා යොදා ගැනීමේ සාමර්ථ්‍යය ඇති කරලන ඉගැන්වීමයි. එය ද නිරායාසයෙන් සිදුවන්නක් නොව ඉගැන්වීමේත් ඉගෙනීමේත් දක්ෂකම පිට රඳා පවත්නාවූ ද සිතාමතා අභිප්‍රාය සහගතව ම සලස්වාලිය යුතු වූ ද එකකි.

අධ්‍යාපන තත්ත්වය මනින උපකරණ: ළමයින් ගේ වැඩීමේ වේගය විවිධ හෙයින් එක එක ළමයකු කලින් ලබා ඇති ඉගෙනීමේ ප්‍රතිඵලත් වැඩිදුර ඉගෙනීම සඳහා ඔහුට ඇති ශක්ති ප්‍රමාණයත් නිතර ම සලකා බැලිය යුත්තේය. ළමයකුගේ අධ්‍යාපනයට නියම වශයෙන් මඟ පෙන්විය හැක්කේ මෙලෙසිනි. ළමයකුගේ අධ්‍යාපන තත්වය මැන බලන උපකරණ නිපදවීම හා ඒවා උපයෝගී කරගනැනීම අතින් 20 වැනි ශතවර්ෂයේ දෙවැනි අවුරුදු විසිපහ තුළ දී මහත් දියුණුවක් ඇති විය. යම් යම් කරුණු අතර ඇති සම්බන්ධය සලකා ගැනීම අතින් ළමයින්ගේ චින්තන ශක්තිය මිනීමට උපයෝගී කරගත හැකි ප්‍රමිත බුද්ධි පරීක්ෂණ තිබේ. සාමාන්‍යයෙන් පාසලේ දී හෝ ළමයා ඇති දැඩි වන සමාජයේ දී හෝ ඔහු ලබන දැනීම මිස වෙනත් දැනීමක් අපේක්ෂා නොකෙරන පරිදි මෙම පරීක්ෂණ සංවිධානය කොට තිබේ. මේ හැර පාසලේ උගන්වන විවිධ විෂයයන්හි ළමයාගේ ප්‍රවීණතාව පිළිබඳව ද ඔහුගේ ප්‍රවණතාව, අභිරුචිය, මනෝ වෘත්තිය, ව්‍යක්තිත්වය යන මේවා පිළිබඳව ද පරීක්ෂණ දැනට ප්‍රමිත කොට ඇති වෙනත් පරීක්ෂණ විශේෂය. ළමයින්ගේ තත්වය සොයා දැනගැනීමටත් ඒ අනුව ඔවුන්ගේ අනාගත දියුණුව සලසන ඉතා ම සුදුසු මාර්ගය නිශ්චය කර ගැනීමටත් මේ හැම පරීක්ෂණයක් ම බෙහෙවින් ප්‍රයෝජනවත්ය. තවද ඒ ඒ ළමයින්ගේ ඉගෙනීම පිළිබඳ විශේෂ දුර්වලතා හා දුෂ්කරතාවන්ට හේතු ද හඳුනා ගැනීමට ඉවහල් වන පරීක්ෂණ ඇත. මේ මඟින් ළමයින්ගේ එම විශේෂ දුර්‍වලකම් මඟ හරවාගැනීමට යෝග්‍ය වූ ප්‍රතිකාරාත්මක අධ්‍යාපන ක්‍රම යෙදිය හැකි වන්නේය. සමාජමිතික පරීක්ෂණයන්ගෙන් සමාජයේ අන්‍යෝන්‍ය සම්බන්ධතා ඇති වන ක්‍රමයත්, සමහර පුද්ගලයන්ට එම සමාජ සැලැස්මට ගැළපීමේ දී ඇති වන දුෂ්කරතාත් මැනගත හැකිය.

දුෂ්කරතා මඟහරවා ගැනීම: ඉගෙනීම අසාර්ථක වී යෑමට හේතු වන කරුණු බොහෝය. එක් එක් ළමයාගේ ඉගෙනීමට එසේ බාධකව පවත්නා කරුණු මොන මොනවාදැයි සොයාගත හැක්කේ සෑම ළමයකු සම්බන්ධයෙන් වෙන වෙන ම පරීක්ෂණ පැවැත්වීමෙනි. ඇතැම් විට ඒ හේතු ළමයා තුළ සහජයෙන් ම පිහිටා තිබිය හැකියි. බොහෝ විට මූලික අවශ්‍යකම් සපයාගත නොහැකි වීම හෝ මුල් අවධියේ දී ලැබූ ඉගෙනීම සඵල නොවීම් වශයෙන් ලත් අත්දැකීමක් හෝ වැනි සාමාජික හා පරිසර ගත හේතූන් තිබිය හැකිය. ඒ හේතු කුමක් වුවත්, දඬුවම් දීම හෝ ඇනුම්පද කීම හෝ බැණවැදීම හෝ අවඥා කිරීම හෝ ඊට සුදුසු වූ පිළියමක් වෙතැ යි සිතීම උගහටය. මෙහි ලා වඩා සාර්ථක වෙතැයි සිතිය හැක්කේ ළමයා සමඟ සුහද සබඳකම් ඇති කරගෙන තමාට සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි බවට ළමයා තුළ ආත්ම විශ්වාසයක් ඇති කිරීමයි. එමඟින් ඔහුගේ විශේෂ දුර්‍වලාවන් මඟහරවා ගැනීමට උදවු වන ලෙස අන්‍රක්‍රමයෙන් පිළියෙල කළ පාඩම් මාලාවක් ඔහුට දිය යුතුය. අධ්‍යාපනික දුෂ්කරතාවන් නිසා ශිෂ්‍යයාගේ භාවගත වූ හෝ ව්‍යක්තිත්වය පිළිබඳ වූ හෝ දුබලතාවන් ඇති විය හැකි බව අප විසින් නිතර ම මතක තබාගත යුතුය. අධ්‍යාපන දුෂ්කරතාවන් මඟ හැරවීමට නොහැකි වූ විට පවා ඒවායින් ළමයා තුළ සංකීර්ණ වූ භාවික ආබාධයක් ඇතිවිය නොදී වළකා ගැන්ම වුවද වටනේය.

අධ්‍යාපන මනෝවිද්‍යාව මෑතක දී වූ විද්‍යාවක් වුවද, ඒ කෙටි කාලය තුළ දී, ශිෂ්‍යයාත් අධ්‍යාපන ක්‍රමයත් පිළිබඳ කරුණු රාශියක් දැන ගැනීමට එය බෙහෙවින් ඉවහල් වී ඇත්තේය. මෙම අවබෝධයේ ප්‍රතිඵලයක් වශයෙන් ඉගැන්වීම පෙරට වඩා බුද්ධිමත් ලෙස ද ඉගෙන ගැනීම පෙරට වඩා ප්‍රියංකර ලෙස හා ඵලදායී ලෙස ද කටහැකි වී තිබේ. මේ සියල්ලට වඩා, පුද්ගලයකු ගේ ව්‍යක්තිත්වය නිරාබාධවත් හාත්පසින් සම්පූර්ණවත් වර්ධනය වීමට මඟ පෙන්වීම අධ්‍යාපන ම‍ොන්විද්‍යාවේන ඉටු වන වැදගත් ම කාර්‍ය්‍යය වෙයි.

කර්තෘ:ජේ. ඊ. ජයසූරිය

(සංස්කරණය:1963)