අනගාරික ධර්මපාල
(සමස්ථ ලෝකයේ මිනිස් වර්ගයාගේ බිහිවීම නිරන්තරයෙන් ම සිදුවුවත් පුරුෂයෝ පහළවීම දුර්ලභය. රට, දැය, සමය උද්දීප්තිමත් කරලීමට ශ්රෝෂ්ඨතර පුරුෂයෝ වරින් වර උපදිති.) ලක්දිව ඇති වූ යම් යම් අභාග්‍යසම්පන්න කාලවල දී පහල වූ ශ්‍රේෂ්ඨතර ගිහි පැවිදි ප්‍රභූවරුන්ගේ ආභාෂයෙන් දේශානුරාගය ජාතිකාභිමානය සමඟ මුසු වූ ආගමික භක්තියෙන් ඔද වැඩී තම මව්පියන් වෙත වර්ෂ 1886 දී ලිපියක් යවමින් රට දැය සමය නංවාලීමේ භාරදූර කර්තව්‍යයට තම ජීවිතය කැප කිරීමට පැතූ පැතුම පියාණන්ගේ බලවත් විරෝධය මත මෑණියන්ගේ මැදිහත් වීම අනුව සිදුවිය. දෙමව්පිය ආශිර්වාදය ලැබීමෙන් පසු ඩේවිඩ් හේවාවිතාරණ යන විදෙස් නාමය අතහැර ධර්මපාල හේවාවිතාරණ යනුවෙන් ජාතිකාභිමානයෙන් යුතුව පෙනී සිට රට දැය සමය පුබුදුවාලීමේ මහඟු සටන අරඹන ලදි. ලක්දිව ගම් දනව්හි සැරිසරමින් "සිංහලයිනි නැගිටිව්, පංචශීලය රක්ෂා කරව්, බුද්ධගයාව බේරා ගනිව්" යනුවෙන් කාහලනාදය පැතිර වූ මෙම විරෝදාර පුරුෂයා කෙනෙකුගේ නෙත ගැටෙන්නේ සුළඟින් විසිරෙන දික් වූ කෙස් කළඹිනුත් ජීවාලෝකයෙන් බැබලෙන කසාවතින් සැරසී අනුරාධපුරයේ රෝමයේ හෝ ග්‍රීසියේ දක්නට ලැබෙන ප්රතාපවත් ශෛලමය ප්‍රතිමාවක් බඳුව ය. මෙතුමාගේ කාහල නාදය සවන් ගැටෙන සිහලුන් මෙතුමා පසුපස ගමන් කළ බැවින් අද නිවහල්, නිදහස්, ස්වෛරී ජාතියක් බවට පත් වූ බව නිර්භයව ප්‍රකාශ කිරීමට හැකි ය. මෙතුමාගේ කරුණාන්විත සිත තුළින් මතු වී ආ සැරපරුෂ මුදු මොළොක් ගුණයෙන් අනූන වචනයන් සවන් වැකුණ සෑම සිංහලයෙක් ම ශාසනික හැඟීමෙන්, දේශප්‍රේමයෙන්, ජාත්‍යාලයෙන් ඔද වැඩී සිංහල බෞද්ධයෙකු වීමේ භාග්‍යයත් ගෞරවයත් සිංහල බස ඉගෙන සිංහල බෞද්ධයෙකුට ජීවත්වීමේ අගය මේ යැයි සිංහලයන් තුළ ඇති වූයේ ය. බුදුරදුන්ගේ පා පහසින් සිහිලැස් වූ රම්‍ය භූමි වැඳ ගැනීමට 1891 දී බුද්ධගයාවට මුලින් ම පැමිණි ධර්මපාල තරුණයා එකල්හි එහි සිටි හින්දු භක්තිකයන්ගේ හින්දු දෙවොලක් ව පැවති මෙම ස්ථානය දැක මහත් සිත් වේදනාවට හා සන්තාපයට පත් ව පෙරදා ගුප්ත රජ දවස ගොඩනංවන ලද බුද්ධගයා විහාරය සමීපයේ අප තථාගතයාණන් වහන්සේට බුදුවීමට උපකාරී වූ ශ්‍රී මහා බෝධි මූලයේ වැඩ සිටිමින් එම ස්ථානය ද දඹදිව සියලු ම පූජනීය ස්ථානයන් ද බෞද්ධයින් සතුකර ගැනීමට ලැබේවා'යි සිරසතබා වැඳ අදිටන් කළේ ය. පෙරළා ලක්දිවට පැමිණ ත්‍රිපිටක වාගීශ්චරාචාර්ය්ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ සභාපතිත්වයෙන් 1891 වෙසක් පුන් පොහෝ දින 'බුද්ධගයා මහාබෝධි සමාගම' ආරම්භ කර එහි ප්‍රධාන සම්පාදක ධුරයට පත් විය. දැනට ලොව නන්දෙස්හි පතලව පවතින මෙම සමාගමේ ශාඛා සමිති මදුරාසි, කල්කටාව, බුද්ධගයා, බරණැස, ලුම්බිණි, දිල්ලි, සාංචි, ලක්නව්, ලන්ඩන්, නිව්යෝක් ආදී නගරයන්හි ද ව්‍යාප්ත ව ඇත. මේසා විශාල ශාසනික සේවයක් කරලූ වෙනත් සමාගමක් ලෝකයේ නැත. 1891 දී බුද්ධගයා විහාරය අසළ මහාබෝධි ආරාමයේ භික්ෂූන් වහන්සේලා හතර නමක් ශතවර්ෂාධික කාලයකට පසු වස්වසන ලදි.
බටහිර බෙංගාලයේ ප්‍රධාන නගරය වන කල්කටාවේ නිවසක් කුලියට ගෙන මහාබෝධී සමාගමේ කටයුතු ආරම්භ කළේ ය. ශිව භක්තික මහන්තා සතුව තිබුණු බුද්ධගයා මහා විහාරය බෞද්ධ ලෝකයාට හිමිකර දීමේ පරම අධිටනින් අනේක විධ දුක් ගැහැට විදිමින් එය බෞද්ධයින් සතු කර ලීමේ මහා කර්තව්‍යය එහි දී ආරම්භ විය.
ඒ අනුව 1892 වෙසක් පුන් පෝදා ඉංග්‍රීසි මහා බෝධි සඟරාව ආරම්භ කර එදා සමස්ත ලෝකයා අතර පැවති චෛතුල්යවාදය බිඳ හෙලමින් ශ්‍රී සද්ධර්මය පැතිරවීමේ ලා මෙම සඟරාව උපයෝගී කර ගත්තේ ය. 1893 නිකිණි මස චිකාගෝ නගරයේ පවත්වන ලද ජාත්‍යන්තර දෘෂ්ටි සම්මේලනය ඇමතු ධර්මපාලතුමාගේ කථාවට සවන් දුන් මුළු සභාතොමෝ බුද්ධාගම පිළිබඳ සර්ධා සම්පන්න සංවේගයෙන් ඇළලුනි. මෙම දේශය පිළිබඳව එවකට ඇමෙරිකාවේ පුවත්පතක සඳහන් වූ පරිදි පුළුල් නලල්තලය පසුකොට පීරා හැරී කෘෂ්ණ වර්ණ කේශ කලාපය විහිදුවා ප්‍රඥා ප්‍රභවයෙන් යුක්තව දීප්තිමත් නයන යුග්මය සභාතොමෝ කෙරේ රඳවා තරංග ධාරා නික්මෙන්නාක් මෙන් නැගී එන වචන මාලාව අනුව සුරත ලෙලවා මෙම බෞද්ධ නියෝජිතයා කළ මනබන්ධණීය, මධුර, මනෝහර වාග් ශෛලීය ඇසූ කවරෙකුට වුව ද ඔහු ධර්ම ප්රචාරකයෙකුගේ විශිෂ්ඨාදර්ශයක් බැව් වැටහිණි.
1894 බක් මස ලංකා බෞද්ධ ජනතාවගේ ආධාර ඇති ව බුද්ධගයාවේ බිම් කොටසක් මිලයට ගෙන එහි කුඩා නිවසක් තනාගෙන බුද්ධගයා මහා විහාරය බෞද්ධයින් සතුකර ගැනීමේ කර්තව්‍යය ඇරඹූහ. මෙම කර්තව්‍යයේ ප්‍රතිඵලයක් වශයෙන් බුද්ධගයාවේ භාරකාරත්වය ඉසුලූ මහන්තා සහ ධර්මපාලතුමා අතර ගැටුම් ඇතිවිය. මහන්තාගේ කෲර සේවකයින්ගේ අණ කඩා බිඳ කිසිදු තැකීමකින් තොර ව ශ්‍රී මහා බෝ මැඩ කරා ගොස් බුද්ධ පර්යංකයෙන් එහි බුද්ධ ප්‍රතිමාව සමීපයේ හිඳගෙන තම ජීවිත සමය තුළ හෝ ඉන්පසුව හෝ මෙම බෞද්ධ පරම පාරිශුද්ධ ශ්‍රී මහා බෝ මැඩ සමස්ත බොදුනුවන්ගේ පරිශීලනයට අත්වේවා’යි අදිටන් කළහ.
මහන්තාගේ සේවකයින් සමඟ ඇති වූ අරගලයෙන් පසු ශ්‍රී බුද්ධගයා මහා විහාරය පිළිබඳව අධිකරණය ඉදිරියට ගියේ 1895 නවම් මාසයේ දී ය. මෙම මස ශ්‍රී මහා බෝ මැඩ බුද්ධගයා මහා විහාරය තුළ ජපන් ජාතිකයන්ගේ ආධාරයෙන් නෙළන ලද බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කර අවසන ගිහි සැප අතහැර, ධනයත්, කාලයත්, ජීවිතයත්, බුද්ධශාසනය උදෙසා කැප කර අංගසම්පූර්ණ අනගාරික ජීවිතයට පා තැබූහ. මෙතැන් පටන් අනගාරික ධර්මපාල වූහ.
දඹදිව බුද්ධාගම ප්‍රචලිත කිරීමේ අටියෙන් කල්කටා නගර මධ්‍යයේ ශිව භක්තිනයින් සහ මහම්මදික භක්තිකයින් අතර වෙසෙමින් ඉන්දීය ඉතිහාසයේ අවුරුදු 800කට පසු වර්ෂ 1895 දී ඉතා උත්කෘෂ්ඨ අන්දමින් සතියක් තුළ පවත්වන්නට යෙදුනු වෙසක් උත්සවය නිසා ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ ශ්‍රී නාමය ලෝකයේ සියලු රාජ්‍යයන්හි ජනී ජනයා අතරත් ධර්මධරයන් අතරත් නිරන්තරයෙන් ම රැඳුණි. 1896 ඇසළ මාසයේ අනාගරික ධර්මපාල තුමා දෙවන වරට ඇමෙරිකාවේ පෝල් කරේසන් මහතුන්ගේ ආරාධනය පරිදි පිටත් ව ගොස් එහි පවත්වන්නට යෙදුණු ධර්මදේශනය ගැනත් එම ගමනේ දී එතුමාගෙන් සිදු වූ විශිෂ්ට සේවය ගැනත් පෙර'පර දෙදිග දේශයන්හි බෞද්ධ අබෞද්ධ පුවත්පත්වල හා සඟරාවල ප්රශංසාත්මක ලිපි පළවිය. 1898 දී කාසි (බරණැස), කෝසල (සැවත), කුරු (දිල්ලි) පංචාල (රෝහිල් කාර්ථි) යන දේශයන්හි සද්ධර්ම ප්රචාරක පන්ති පවත්වා එතුළින් වැසියන්ගේ බුද්ධාලම්භන ප්‍රීතියෙන් උද්දාමයට පත්කරවමින් බුදුදහම විශ්ව සත්‍යයක් බව තහවුරු කළහ.
බුද්ධත්වයට ලැබ ප්‍රථම ධර්මදේශනය පැවැත්වූ අතිපාරිශුද්ධ බරණැස ඉසිපතනය හිවලුන් සහ ඌරන් ලගින ඝන කැලෑවක් බවට පරිවර්තනය වී තිබුණු ආකාරය දෙනෙතින් දැක සිත් වේදනාවට පත් ව එම වනය තුළ කොහොඹ රුකක් මුල දිවා රාත්‍රී කීපයක් ගත කර මෙම ස්ථානය චිත්තාකර්ෂණයෙන් හෙබි බෞද්ධ පූජනීය ස්ථානයක් කරලීමට අවස්ථාව එළඹේවා'යි අදිටන් කර ලක්දිවට පැමිණ මෙම ශෝචනීය පුවත තම ආදරණීය මෑණියන්ට දන්වා මුදල් ලබාගෙන වර්ෂ 1912 දී නැවත බරණැසට ගොස් එම ස්ථානයේ බිම් කැබැල්ලක් මිලයට ගෙන බරණැස ඉසිපතන භූමියේ කුඩා නිවසක් තනා එහි වෙසෙමින් කැලෑ එළිපෙහෙලිකර පූජනීයත්වය ක්‍රමානුකූලව ඇති කර ඒ සඳහා තම සොහොයුරු සී.ඒ. හේවාවිතාරණ මහතා සහ ධර්මප්‍රිය වලිසිංහ හරිස්චන්ද්‍ර මහතාත් සමඟ එවකට ඉන්දීය රජයේ ප්‍රධානීන් සමඟ එක්ව මෙම ස්ථානයේ පෞරාණිකත්වය ආරක්ෂාවන අන්දමින් අනාගත ජනතාවට මේ ශුද්ධ ස්ථානය පිළිබඳ අවබෝධය නිසි පරිදි ලැබෙන අයුරින් සකස් කරනු ලැබී ය.
1902 බක් මස විදේශීය රාජ්‍යයන්හි ධර්මදේශනය සඳහා ඉන්දියාවෙන් නික්ම, බුරුමය, ජපානය හරහා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ ධර්ම දේශනයක් පවත්වා, පසුව චිකාගෝ, නිව්යෝක් ආදී ජනපදයන්හි සැරිසරමින් පැවැත්වූ සුමධුර ධර්මදේශනයන්ට කන් යොමුකල හොනලුලු ප්‍රදේශයේ මේරි ෆොස්ටර් රොබින්සන් මැතිනිය බුද්ධ ධර්මය කෙරෙහි පැහැදී ධර්මපාලතුමාට ඉසිපතනයේ පුණ්‍ය විද්‍යාලයක් පැවැත්වීමට අවශ්‍ය මුදල් ආධාර දුන්නා ය. මහන්තාගේ ආධිපත්‍යයෙන් පැවති ශ්‍රි මහ බෝ මැඩ ධර්ම විද්‍යාලය තැනවීමට සිත් තුළ තිබූ පහන් හැඟුම් ක්‍රියාත්මක විය. ඒ සඳහා ලංකා මහා බෝධි සමාගමේ ආධාරය ලැබුණි. 1903 දී එම විද්‍යායතනය පිහිටුවා දෙවසක් දඹදිව පුනරුත්ථාපන කටයුතුවල නිරත වී සිට, 1905 මැද භාගයේ දී ශ්‍රී ලංකාවට සැපත් ව ලංකා මහා බෝධි සමාගම අනුග්‍රහයෙන් ලංකාවේ ගම් දනව්වක් පාසා ජාතික හා ශාසනික පුනරුත්ථාපන කටයුතු ඉතා බලසම්පන්න අන්දමින් ආරම්භ කළේ ය. තම සත් ව්‍යාපාරයේ ප්රචාරක මාධ්‍යයක් වශයෙන් 1906 වෙසක් පුන් පොහෝදා 'සිංහල බෞද්ධයා' පත්‍රය ආරම්භ කරමින් එමඟින් බොදු හැදියාව සහ සිංහල සදාචාරය වැපිරීමට මහත් ප්රයත්නයක් ගන්නා ලදි. එම සිංහල බෞද්ධයා අලෙවියෙන් ලැබෙන මුදල ශාසනික කටයුතු සඳහා යෙදවීමට නියම විය. මෙම වර්ෂයේ දී ම මහා බෝධි යන්ත්‍රාලය හා රාජගිරියේ බෞද්ධ පාඨශාලාව ආරම්භ කළේ ය. අනගාරික ධර්මපාලතුමාණන්ගේ පියාණන් වූ එච්. දොන් කරෝලිස් මහතා අභාවප්‍රාප්ත වූයේ ද මෙම වර්ෂයේ දී ම ය.
කල්කටාවේ ධර්මදූත ව්‍යාපාරය විධිමත් ව කරගෙන යාම සඳහා වර්ෂ 1908 දී නිවසක් මිලයට ගෙන එහි කල්කටා මහා බෝධි සමාගම ස්ථිරවම පිහිටුවී ය. 1911 දී අනගාරික ධර්මපාලතුමා නැවත ලක්දිවට පැමිණ සිංහල ජනතාව නගාසිටුවීමෙහි ලා රුවන් කුළුණක් බඳු 'දැනගත යුතු කරුණු' මැයෙන් අනර්ඝ ලිපියක් සිංහල බෞද්ධයා පත්‍රයට ලියන ලදි. ආගමික ජාතික ආත්ම ගෞරවයෙන් ද දිනෙන් දින පරිහානිය කරා ගමන් කරමින් සිටි සිංහල ජාතිය ක්‍රම ක්‍රමයෙන් උන්නති මාර්ගයට යොමු කිරීමට මේ 'දැනගත යුතු කරුණු' ලිපියේ අතිශයින් ම උපකාරී විය. ජාතික ආගමික දේශානුරාගයක් නොමැතිව බෙලහීනව දුර්මුඛව ආත්ම ගෞරවයක් නොමැති ව දීන ජාතියන්ට ය. යුරෝපීයයන්ගේ පින්තූරවලට පවා බියෙන් සිටි ජාතියක් ප්‍රෞඪත්වය හා ආගමික භක්තිය නඟා සිටුවීමෙහි ලා පුරෝගාමී වූ ශ්‍රේෂ්ඨ වීර අනගාරික ධර්මපාලතුමාගේ 'දැනගත යුතු කරුණු' මැයෙන් වූ ලිපිය ඉතා අගනා බැව් විදේශයන්හි ප්‍රකට විය. වර්ෂ 1913 දී විදේශයන්හි ධර්ම ප්‍රචාරය සඳහා පිටත්වූ ධර්මපාලතුමාණෝ හොනලුලු ජනපදයට පැමිණ එහිදී පෝස්ටර් මැතිනිය බුද්ධ ධර්මයෙහි පිහිටුවී ය. මෙතුමා 1914 දී නැවත ලක්දිවට පැමිණ කොළඹ මරදානේ සන්ථාගාර ශාලාවේ පෝස්ටර් රොබින්සන් පුණ්යානුරෝග්ය ශාලාව ආරම්භ කර බෞද්ධ අබෞද්ධ රෝගීන්ට වෙද හෙදකම් ලබා දුන්හ. මෙය ගුරු කොට ගත් ලක් රජය 1828 දී බොරැල්ලේ ආයුර්වේද ආරෝග්‍ය ශාලාව ආරම්භ කර ආයුර්වේද වෛද්‍ය ක්රමයේ ආරක්ෂිත මූලස්ථානය ආරම්භ කළහ. වර්ෂ 1914 දී ධර්මපාල තුමා මල්ලිකා සන්ථාගාරය සම්බුද්ධ ශාසනය උදෙසා පූජා කරන ලදි. 1915 දී තම බාල මළනුවන් සමඟ මහා බෝධි ඉංග්‍රීසි පාඨශාලාව ආරම්භ කරලීමෙන් පසු ලංකාවේ බොහෝ පළාත්වල මහා බෝධි පාඨශාලා පිහිටුවී ය.
බටහිර බෙංගාලයේ ප්‍රධාන නගරය වන කල්කටාවේ බිකං දැටර්ජි වීදියේ පෝස්ටර් මහත්මියගේ ආධාර ඇති ව 1915 දී ඉඩමක් මිලයට ගෙන 1915 දී එම මහත්මියගේ මුදල් යොදා ගොඩ නංවන ලද ධර්මරාජික විහාරයේ සිට ධර්ම ප්රචාරක කටයුතු ඇරඹී ය. එවකට ඉන්දීය රජය විසින් බට්ටි ලෝර් නමැති ස්ථානයෙන් ලබා ගන්නා ලද සර්වඥ ධාතූන් වහන්සේලා ධර්මරාජගිරි විහාරයේ තැන්පත් කිරීම විශේෂ සිද්ධියකි. මෙම විහාරය අජන්තා ලෙන් විහාර කර්මාන්තය අනුව සකස් කර අවසන්වෙද්දී ඉන්දීය මහා බෝධි සමාගමේ ප්‍රධාන කාර්යාලය ද එහි පිහිටුවී ය. කල්කටාවේ මහා විශ්වවිද්‍යාලයේ පාලි භාෂාව ඉගැන්වීමට කටයුතු කරන ලද්දේ මෙම සිංහල මහා වීරයා ය.
වර්ෂ 1914 දී ඇති වූ පළමු ලෝක මහා යුද්ධය සමඟ ලක්දිව අඳුරු භීෂණ යුගය ආරම්භ වීමත් සමඟ ම බ්‍රිතාන්‍ය රජය විසින් අනගාරික ධර්මපාලතුමාව කල්කටාවේ දී සිරභාරයට ගෙන සිංහල බෞද්ධයා පත්‍රය ද තහනම් කළහ. සය අවුරුද්දක් අනේක විධ දුක් ගැහැට විදිමින් සිර මැදිරියක් තුළ සිට සදාකාලික කොරවූ පාදයක් සහිත ව හැරමිටියක් ඇතැති ව ඉන් මිදී යළිඳු ලංකාවට පැමිණ 'සිංහල බෞද්ධයා පත්‍රය' 1922 දී නැවත ආරම්භ කොට ලක්දිව ගම් දනව්වක් පාසා දිවා රාත්‍රි දෙකේ ගතට විවේකක් නෙතට නින්දක් නොමැතිව හාන්සි පුටුවක හෝ මෝටර් රථයක නිදමින් සිංහල බෞද්ධයින්ගේ දේශානුරාගය, ආගමික ආලය ජාතිකාභිමානයෙන් ඔද වැඩීමට මෙතුමාණෝ ගත් වෙහෙස අපමණ ය. මෙතුමාගේ එම උදාරතර ක්‍රියාදාමය නිසා සිංහල ගිහි පැවිදි ප්‍රභූ පිරිසක් තුළින් අයෝමය ජනතාවක් සමඟ ස්වර්ණමය අනාගතයකට අඩිතාලම වැටුණි. 1925 දී ධර්මපාලතුමා විසින් වෙස්ට් ක්ලිප් නිවස මිලයට ගෙන පෝස්ටර් සාමණේර විද්‍යාලය මහනුවර වැව රවුමේ ආරම්භ කර එහි සාමණේර භික්ෂූන් වහන්සේලා ධර්ම ප්රචාරක කටයුතු සඳහා පුරුදු පුහුණු කරවූහ. 1926 දඹදිව ධර්ම ප්රචාරක කටයුතු සඳහා කුඩා සාමණේරයන් වහන්සේලා දස නමක් ජූප්ය දැව මොට්ටාවේ ශාසනසිරි, හීනටියන ධර්මාලෝක යන හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවට පිටත්කර යවා තාගෝර් තුමා බෝල්පූර්හි පිහිටුවා තිබූ ශාන්ති නිකේතනය විශ්වවිද්‍යාලයට වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇතුළත් කරන ලදි.
1928 අනගාරික ධර්මපාලතුමා මහා බ්‍රිතාන්‍යය තුළ ධර්මප්‍රචාරක කටයුතු සඳහා සී.ඒ. හේවාවිතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් භික්ෂූන් වහන්සේලා තුන් නමක් සමඟ ලන්ඩන් නුවරට යවා ධර්මප්‍රචාරක කටයුතු ඇරඹූහ. අද එම ධර්ම ප්රචාරක සේවය විශිෂ්ට සේවයක් සලසා ඇත. 1931 බුදුරජාණන් වහන්සේ ධර්මප්‍රචාරක කටයුතු ආරම්භ කළ බරණැස ඉසිපතනයට පැමිණ එහි නව මූලගන්ධිකුටි ඓතිහාසික විහාරය හා එහි පොත් ගුලකුත් සංඝාවාසයත් ජාත්‍යන්තර සාමණේර විද්‍යාලය, බෞද්ධ විද්‍යාලය, අනාථාලය ආදියත් දානපති බිර්ලාතුමා ලවා විශාල ගොඩනැගිල්ලක් ද ධර්මපාලතුමාගේ මෙහෙයවීමෙන් ඉදිකරනු ලැබිණි.
හිනිදුම ප්‍රදේශය ක්‍රිස්තියානි බලවේගයේ මිෂනාරි අධ්‍යාපනයට පසු ව මිථ්‍යාදෘෂ්ටික අදහස්වලට නැඹුරු වූ සිංහල බෞද්ධ දරුවන් දෙස අනුකම්පාවෙන් බැලූ ධර්මපාලතුමා වහාම එහි ගොස් විශාල වත්තක් මිලයට ගෙන ඉන් ලැබෙන ආදායමින් මහා බෝධි සමාගමේ පාඨශාලා නඩත්තුවටත් බෞද්ධයින්ගේ දියුණුවටත් වෙන් කළේ ය. එබැවින් හිනිදුම ප්‍රදේශයේ සිංහල දරුදැරියන් මිථ්‍යා දෘෂ්ටියෙන් වෙන්ව සම්‍යක් දෘෂ්ටිකයින් බවට පත්වූහ. අදත් හිනිදුම ප්‍රදේශවාසීහු කෘතගුණ පූර්වකව මෙතුමා සිහිපත් කරති. එමෙන්ම අනුරාධපුර ප්‍රදේශය කතෝලික බලවේගයෙන් වැසී යද්දී වහා තම ගෝලයා වූ බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍රතුමා සමඟ අනුරාධපුරයට ගොස් නොයෙක් දුෂ්කරතා මධ්‍යයේ කතෝලික බලවේගය බිඳලමින් බෞද්ධයින්ගේ පාරාදීසයක් බවට එම ප්‍රදේශය පත්කර ලීමට සමත් වූහ.
කොළඹ මාළිගාකන්දේ වික්ටර් හවුස් මන්දීරය ඇතුළු නිවාස සහිත ඉඩමක් මිළයට ගෙන ලැබෙන ආදායමින් මහා බෝධි සමාගමේ ශාසනික සේවයට යෙදවූහ. මෙම ඉඩමේ වර්තමාන ආනන්ද බාලිකා විද්‍යාලයත් සිංහල බෞද්ධයා කාර්යාලයත් ත්‍රිපිටක මුද්රණායලයත් මහාබෝධි යන්ත්රාලයත්, එමෙන් ම මහා බෝධි මන්දිරයත් එතුමාගේ පරිශ්‍රමයෙන් බිහිවිය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටිමින් ආනන්ද තෙරුන් අමතා වදාල පරිදි දඹදිව බුද්ධ භූමින් වැඳගැනීමේ සුගති මාමක බොදු ජනතාවට දඹදිව වන්දනා ගමන් සේවය ආරම්භ කළහ. ලෝක ශාසනික ධර්මප්‍රචාරක කටයුතු සඳහා අනගාරික ධර්මපාල අරමුදලක් ද පිහිටුවන ලදි.
මේසා උත්කෘෂ්ඨවත් මහඟු සේවාවන් රැසක් රටත්, දැයත්, සමයත් වෙනුවෙන් ලෝකයේ බෞද්ධ ශාසනික උන්නතියේ ව්‍යාප්තිය සඳහා ඉටුකළ මෙතුමාණෝ දඹදිව බරණැසි ඉසිපතන මූලග්‍රන්ථ කුටි විහාරයේ දී සිරි දේවමිත්ත ධර්මපාල නමින් 1932 දී පැවිදි බවට පත් ව සම්බුදු ශාසනයට ඇතුළත් ව පසුව මහා සංඝයා වෙතින් උපසම්පදා කර්මය ද ලබා ගත්හ. එදින සිට තමාගේ ශිෂ්‍ය සාමණේරයන් වහන්සේට අවවාද අනුශාසනා දෙමින් ධර්ම ප්රචාරක කටයුතු කළ යුත්තේ තම ජීවිතයේ ලාභ ප්‍රයෝජන සඳහා නොවෙයි, වෙනත් අවශ්‍යතාවන් සඳහා නොවෙයි, අප බුදු පියාණන්ගේ ශ්‍රේෂ්ඨ නිර්මල බුදු දහම ප්‍රචාරය කිරීමටයි. මෙතුමා අවසන් කාලයේ වලිසිංහ දේවප්‍රිය මහතාටත් අප කීප දෙනාටත් ප්‍රකාශ කළේ "කිසියම් දිනක අනිත්‍ය ස්වභාවය අනුව මා මිය ගිය කල්හි වටිනා දැවවලින් සාදන ලද පෙට්ටිවල බහා විශාල උත්සව පැවැත්වීමත් මගේ මෘත දේහය ලංකාවට ගෙනයාමත් අනවශ්‍යය. ඒ සඳහා වියදම් වන සෑම සතයකුදු බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා යෙදවිය යුතු බවත් මට ලැබී ඇති සිවුරුවලින් මගේ ශරීරය ඔතා මෙම මූලගන්ධකුටි විහාරය අසල ම දවාලන්න". මෙවැනි ආදර්ශමත් ප්‍රකාශ කරමින් මූලගන්ධකුටි විහාරය දෙසට නෙත් යොමා තම ශිෂ්‍යයින්ගේ පිරිත් සඣායනාවලට සවන් යොමා සිටි මෙතුමා 1933 අප්‍රේල් 23 දින අපරභාගයේ තම පුද්ගලික වෛද්‍යවරයා වූ දොස්තර නන්දි මහතා අමතමින් “ඩොක්ටර් නන්දි, මට මේ ආත්මයෙන් ඉක්මනින් නිදහසක් ලබා අළුත් අත්භවයක් ලබන්නට ඉඩ හරින්න. මෙතරම් දුක්වේදනා ඉවසීමට නොහැකි ය. මාගේ බුදු පියාණන්ගේ ශ්‍රී සද්ධර්මය මුළු ලෝ තලයේ පතුරුවා ලීමට තවත් 25 වතාවක් මිනිස් ලොව ඉපදීම මාගේ බලාපොරොත්තුව" යැයි කියමින්ම මූලගන්ධකුටි විහාරය දෙස බලා වලිසිංහ මහතාට කථා කර මෙම හිමිවරුන් ලවා මාගේ ඉතිරි ශාසනික සේවාවන් සපුරාලන්න යැයි අයදිමින් සාදු හඬ නංවමින් සදහට ම නෙත් පියා අවසන් හුස්ම හෙලූහ. මෙතුමාගේ කීර්තිනාමය සදානුස්මරණීය මානව සංහතියේ අවසානය දක්වා ම රැව්පිළිරැව් දෙනු ඇත. මෙතුමා වෙනුවෙන් ලොව පුරා ඉදි වූ ස්මාරක තුළින් අදත් පිළිඹිබු වන්නේ එතුමාගේ වීරෝදාර හැඟීම්වලියයි.
(කර්තෘ: මැටිවල සංඝරතන හිමි)
(සංස්කරණය නොකළ)