අනන්තය (දර්ශනය)
අහසේ තරු හෝ ගංගා නම් ගඟේ වැලි ඇට ගණන් කිරී ද මුහුදේ වතුර මැනීම ද බුදුන්වහන්සේ වැනි කෙනකුන්ගේ කරුණාමහිමය විස්තර කොට කෙළවරකට පැමිණීම ද අත්‍යන්තයෙන් දුෂ්කර කාර්ය්යයෝයි. ඒ කාර්ය්යයන් කිරීමෙහි අපේ අපොහොසත්කම හැඟවීමට ඒ ඒ දේ අනන්තයයි පවසමු. "අනන්ත" යන්නෙන් විශේෂ වශයෙන් අදහස් කරනු ලබන්නේ ගණන් කිරීමේ දී හෝ ප්‍රමාණයක් දැක්වීමේ දී හෝ සීමාවක් හෙවත් ඉමක් කොනක් නොදැක්ක හැකි බවයි. උදාහරණයක් දක්වතොත්: අපට 1, 2, 3 වශයෙන් ගණන් කරගෙන යා හැකි නමුත් සංඛ්‍යාවල පරතෙරක් දක්වන ලොකු ම ගණන යයි කිවහැකි කෙළවරක් හෙවත් කෝටියක් නොමැති බැවින් එසේ ගණන් කිරීමෙන් සීමාවකට පත්විය නොහැකියි. මෙසේ සලකන විට අන්තයක් නොමැත්තේය යනු "අනන්තය" යන වචනයේ නිර්වචනය වශයෙන් දැක්විය හැක. එහෙත් ආගමික හා දාර්ශනික විෂයයන්හි දී අනන්තය සර්වසම්පූර්ණ අස්තිත්වයක් ලෙස බෙහෙවින් සලකනු ලැබේ.
අනන්තය සමරවිට සම්මානයට පාත්‍ර විය යුතු වූ අස්තිත්වයක් ලෙසත් සමහරවිට අඳුරු නිසරු අස්ථිර අපරිපූර්ණ පදාර්ථයක් ලෙසත් පැරණි ග්‍රීක දර්ශනයෙහි හමුවේ. ආදි ග්‍රීක චින්තකයකු වූ ඇනැක්සිමැන්ඩර් පරිමිත ලෝකයේ අපරිමිත පරිසරය ප්‍රශංසනීය අනන්තය ලෙස සැලකුවේය. එහත් පෛතගොරස්ගේ මතය අනුගමනය කළ පාර්මෙනිඩීස් අනන්තය ශුන්‍යත්වයක් බැවින් සත්වය (being) අන්තවත් දෙයක් යයි තර්ක කළේය. මේ නාස්තිකවාදී මතය ප්ලේටෝගේ දර්ශනය කෙරෙහි බල පෑ බව පෙනේ. ඇරිස්ටෝටල්ගේ පිළිගැනීම පරිදි අනන්තය වර්තමානයේ පවතින දෙයක් නොවේ. එය සප්රමාණ දෙයක් බෙදීම නිසා ඇතිවන ශක්‍යතාවක් පමණි.
පැරණි ඉන්දියාවේ ඖපනිෂදික දාර්ශනිකයන්ගේ අනන්ත වූ බ්රහ්මත්වය පරිපූර්ණත්වයක් විය. අනන්තය අඳුරු අපරිපූර්ණ පදාර්ථයක් ලෙස සැලකීම ඉන්දියානු දාර්ශනිකයන් අතර දක්නට නොලැබේ. නාගාර්ජුන තථතාව ශුන්‍යතාවක් බව පවසා ඇතත් ඔහුගේ දර්ශනයේ එය චතුෂ්කෝටි විනිර්මුක්ත අත්‍යුත්කෘෂ්ට තත්ත්වයක් ලෙස සැලකිණි.
නවීන අපරදිග දර්ශනයේ බුද්ධිවාදීන් (Rationalists) බෙහෙවින් අනන්තය අස්තික පදාර්ථයක් ලෙස සලකන අතර ඉන්දියානුභූතිවාදීහු (Empiricists) එය නිෂේධාර්ථයෙන් වටහා ගත හැකි සංඥාවක් බව කියත්. අනන්තය පිළිබඳව සත්‍යය සෙවීමේ දී බුද්ධියට පරස්පර විරුද්ධ නිගමනවලට බැස ගැනීමට සිදුවන බව කාන්ට් පෙන්වා දෙයි. කේවලත්වයේ අනන්තය භවලෝකයේ අනන්තවත් දේ විනිවිද පරිණාමයට පත් කරවන ධර්මතාවක් ලෙස හේගල් පවසා තිබේ.
සංඛ්‍යා මාලාවේ මෙන් අනන්ත මාලාවක් (infinite series) ඇතිවීම පරස්පර විරෝධයක් ලෙස සලකන ලද නමුත් ගණිත ශාස්ත්රයේ සොයා ගැනීම් නිසා නවීන මතය ඊට හාත්පසින් විරුද්ධය.
කර්තෘ:කේ.ඇන්. ජයතිලක
(සංස්කරණය:1963)