අනුශාසනා
අවවාදය ම අනුශාසනා නමි. හික්මවනු සඳහා කටයුතු නොකටයුතු දක්වමින් කරුණු කීම අවවාදයයි. නැවත නැවත කීම අනුශාසනයයි. “සකිං වචනං ඔවාදො පුනප්පුන වචනං අනුසාසනී” (මනොරථපූරණී) යනාදීන් අවවාද අනුශාසන දෙකෙහි වෙනස දක්වන ලද්දේය. එහි වරක් කියනු අවවාදයයි. පුන පුනා කියනු අනුශාසනයයි. තවද සම්මුඛයෙහි කියනු අවවාදයයි. අසම්මුඛයෙහි අනෙකකු මෙහෙයවා කියවනු අනුශාසනයයි. පැමිණි කරුණෙහි කියනු අවවාදයයි. පැමිණි කරුණෙහි හෝ නොපැමිණි කරුණෙහි හෝ පෙළදහම් පැවැසීම් වසයෙන් කියනු අනුශාසනයයි. මෙපරිද්දෙන් අවවාද අනුශාසනා දෙක්හි වෙනස දතයුතුයි.
තවද “පරමත්ථතො පන ඔවාදොති වා අනුසාසනීති වා එසෙ එකෙ එකට්ඨෙ සමෙ සමභාගෙ තජ්ජාතෙ තඤ්ඤෙවාති” (කථාවත්ථු) යනුවෙන් පරමාර්ථ වසයෙන් ඔවාද යයි ද අනුසාසනී යයි ද දන්නා මේ දෙක ම එකෙකි, එකාර්ථය, සමානය, සමභාගය, එයින් හටගත්තේය, අවවාදය යමක් නම් අනුසාසනී යනු ද එය මැ වේ යයි කියන ලදි.
(සංස්කරණය:1963)