අඳය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අස්වැන්නෙන් කොටසක් ලබාගැනීම උදෙසා අන්‍යයකුට අයිති කුඹුරක් වැඩ කිරීම අඳයට වැඩ කිරීම නමි. අස්වැන්නෙන් ගොවියාට හා ඉඩම්හිමියාට ලැබෙන කොටස් අඳය නමින් සාමාන්‍යයෙන් දනිත්. වැපිරීම් ආදියට කාලවේලා හෝ පහසුකම් හෝ නැති කුඹුරු හිමියන්ට වෙහෙස මහන්සියක් නොමැතිව අස්වැන්නෙන් කොටසක් ලබාගැනීමටත් සීසෑම් වැපිරීම් ආදි හැම කාර්‍ය්‍යයක් ම ඉටු කිරීමෙන් කුඹුරු නොමැති ගොවීන්ට අස්වැන්නෙන් කොටසක් ලබාගැනීමටත් ඉඩ සැලසීම නිසා අ‍ඳේට වැඩ කිරීමේ ක්‍රමය ප්‍රයෝජනවත් විය.

අඳය සාමාන්‍යයෙන් අස්වැන්නෙන් භාගයකි. භාගය යන අරුත් ඇති අර්ධ යන සංස්කෘත ශබ්දයෙන් අඳය බිඳී ආ බව ඇතැමුන්ගේ පිළිගැනීමයි. "අඳයට සීසාගෙන වප් වපුටගෙන" යනාදී ප්‍රයෝග සද්ධර්මරත්නාවලි‍ ආදි ග්‍රන්ථයන්හි දක්නට ලැබේ. අඳය යනු ඉඩම් හිමියාට දෙනු ලබන බිම් පංගුව බව 1872 නිලපංගු රෙජිස්ටරයේ ද දැක්වේ. එහෙත් අඳය යනුවෙන් සෑම විට ම අස්වැන්නෙන් භාගයක් ගැනුණු බවක් නොපෙනේ. සාමාන්‍යයෙන් අඳ ක්‍රම සතරක් විය. එනම්:-

1. දෙකෙන් අ‍‍ඳේ හෙවත් අස්වැන්න සමසමව බෙදාගනු ලබන ක්‍රමය: මෙහි දී කුඹුරු ආදිය ද, වැපිරීම, ගොයම් කොළ ගැසීම, පෑගීම ආදි අවස්ථාවල උදව්කාරයකු ද අඳකාරයාට දිය යුතුය. ඇතැම් ප්‍රදේශවල පවත්නා ක්‍රමය අනුව බිත්තර වී හෝ පොහොර සැපයීමට කුඹුරු හිමියා බැඳී නැත.

2. තුනෙන් අ‍ඳේ: කුඹුරු හිමියාට අස්වැන්නෙන් තුනෙන් පංගුවක් ලැබේ. ඔහු බිත්තර වී, මීහරක් හා නඟුල් දිය යුතුය. වැඩපළට සහාය වීමක් ඔහුගෙන් අපේක්ෂා නොකෙරේ.

3. හතරෙන් අ‍ඳේ: මෙහි දී කුඹුරු හිමියා උදව්කාරයකු මිස බිත්ති වී, මීහරක් හා නඟුල් නොසපයයි. ඔහුට ලැබෙන්නේ අස්වැන්නෙන් හතරෙන් පංගුවකි.

4. අඳහවුල: මෙහි දී කුඹුරු හිමියා අවශ්‍ය බිත්ති වී ප්‍රමාණයෙන් අඩක් ද අවශ්‍ය මීහරකුන් ගණනින් තුනෙන් පංගුවක් ද වැඩට අවශ්‍ය කම්කරු සංඛ්‍යාවෙන් අඩක් ද සපයයි. අස්වැන්න බෙදීමේ දී කුඹුරු හිමියා තමා සැපයූ බිත්තර වී ප්‍රමාණය මෙන් දෙගුණයක් ද ඉතිරි අස්වැන්නෙන් භාගයක් ද ලබයි.

සාමාන්‍ය සිරිත මෙසේ වුව ද බොහෝ විට මීට වෙනස් ක්‍රම දක්නට ලැබේ. සිරිත් පරිදි තමා සැපයිය යුතු බිත්තර වී ප්‍රමාණය, හරකුන් හා නඟුල් යනාදිය දීමට යම් විටක කුඹුරු හිමියා අපොහොසත් වුවහොත්, අස්වැන්න බෙදන විට ඔහුට හිමිවිය යුතු කොටසින් කිසියම් ප්‍රමාණයක් අඩු කරගනු ලැබේ. උතුරු මැද පළාතේ සිරිත අනුව, බිත්තර වී හා හරක් සැපයීමට කුඹුරු හිමියා අපොහොසත් වී නම්, ඔහුට ලැබෙන්නේ අස්වැන්නෙන් හතරෙන් පංගුවක් පමණි. කුඹුරු හිමියා හරකුන් සැපයීමට අපොහොසත් වුවහොත් වියකුලිය වශයෙන් එක්කෝ කුඹුරේ නියර බැඳිය යුතු යයි ද නැතහොත් බිත්තර වී සැපයිය යුතු යයි ද සිංහල සිරිත් සංග්‍රහයෙහි පැවසේ. උඩරට ඇතැම් පළාත්වල තනි අඳය, කරු අඳය හා අස්වැද්දුම් අඳය කියා අඳ ක්‍රම තුනක් පවතී. තනි අඳයට වැඩ කරන ගොවියා සීසෑමේ පටන් කොළදින් අවසානය තෙක් කුඹුරේ වැඩ සියල්ල ම සිය වියදමෙන් නිම කොට අස්වැන්නෙන් දෙකෙන් පංගුවක් කුඹුරු හිමියාට දෙයි. කරු අඳකාරයා කුඹුරේ කෙරෙන සියලු ම වැඩට කුඹුරු හිමියාගෙන් වියදම ලබාගෙන අස්වැන්නෙන් සතරෙන් පංගුවක් ගනී. "යම් කෙනෙකු වැඩ කළ කුඹුරු රැකබලා, පැහුණාම ඔහුට කපාගන්නට බැරි වුණා නම්, තව කෙනෙකු ලවා කප්පවා, කුඹුරු හිමියාට කොටස වෙන්කර අනික් කොටස දෙදෙනා සමග බෙදා ගැනීම" ද කරු අ‍ඳේ ලෙස දැක්වෙන බව සිංහල සිරිත් සංග්‍රහයෙහි පෙනේ. ගොවියකු අන් කිසිවකුගේ ඉඩමක් අස්වද්දා කුඹුරක් කර දුන් විට, එම ගොවියාට වාර ගණනක් වී වපුරා ගෙන අස්වැන්න ගන්ට ඉඩම් හිමියා ඉඩ දෙයි. වාර ගණන නියම කිරීම ඉඩම් හිමියාගේ කැමැත්ත පරිදිය. නියම කාලය ගත වූ විට, එම කුඹුර වැඩ කිරීම සඳහා යථෝක්ත ගොවියාගෙන් ලබා ගත හැකිය. ගොවීන් දෙදෙනකු කුඹුරු හිමියකුගේ කුඹුරක් වැඩ කරන කරු අඳය වැනි තවත් නොයෙක් අඳ විශේෂ ඒ ඒ අවස්ථාවල හා ප්‍රදේශවල තිබිය හැක.

ගොයම් කපා පාගා ගැනීමෙන් පසු අඳ ගිවිසුම තවදුරටත් පවත්වා ගෙන යා යුතුය කියා නියමයක් නැත්තේය. එම ගොවියාට ම නැවත වරක් ඒ කුඹුරු අ‍ඳේට දීමට කුඹුරු හිමියා කොහෙත්ම බැඳී නැත. අඳ ගිවිසුම වනාහි කුඹුරු හිමියාගෙන් ඔහුගේ කුඹුරු වැපිරීමට බාරගන්නා ගිවිසුමක් පමණි. අඳ කුඹුරේ අස්වැන්න හැම විට ම කුඹුරු හිමියාගේ අස්වැන්න ලෙස උතුරු මැද පළාතේ පුල්එළිය නම් ග්‍රාමයෙහි වැස්සන් සලකන බව ඊ.ආර්. ලීච් සඳහන් කරයි. අඳය වනාහි කුඹුරු හිමියාගේ කුඹුර වපුරා දෙන ගොවියාට කරනු ලබන ප්‍රත්‍යුපකාරයකි. එසේ වුව ද ඉඩම් හිඟකම අධික පළාත්වල අඳ ගොවියාගේ වුවමනාවට අඳයට වැඩ කිරීමට කුඹුරක් ලබා ගත් කල කුඹුරු හිමියා හා අඳගොවියා අතර පවත්නා සබඳතාව මීට වෙනස්ය. එවැනි අවස්ථාවල ගොවියා මුලින් ම මඩරන් නම් වූ දීමනාවක් රැගෙන ගොස් කුඹුරු හිමියාගෙන් කුඹුරක් ඉල්ලා සිටිය යුතුය.

අඳ ගොවිතැන ඇතැම් විට නෑදෑ මිත්‍රසම්බන්ධකම් හා බැඳී පවත්නකි. ලංකාවේ වර්ෂාධික කලාපයේ සමහර අඳ ගිවිසුම් නැදෑයන්ට උපකාර කිරීම් වශයෙන් ඇති කරගන්නා ලද ඒවා බව බී.එච්. fපාමර් සඳහන් කරයි. තම ඉඩම් කිසියම් හේතුවක් නිසා වපුරා ගත නොහැකි කුඹුරු හිමියා ද ඒවා අ‍ඳේට වැඩ කිරීමට දෙයි. යමකුට තමන් සතු කුඹුරුවල වැඩ කර ගැනීමට අමාරු නම් වෙන අයකුට වැඩකර ගැනීමටනියම කරනු ලබන්නේ යයි සිංහල සිරිත් සංග්‍රහයෙහි සඳහන්ය. එම අවස්ථාවල අඳ ක්‍රමය වූකලී වැඩ කරගත නොහැකි වූවන්ගේ කුඹුරු වපුරා ගැනීමේ මාර්ගයකි. එවැනි අවස්ථා පහක් ආචාර්ය ලීච් සඳහන් කරයි.

1. කුඹුරුහිමි වැන්දඹුවෝ සාමාන්‍යයෙන් සිය කුඹුරු අ‍‍ඳේට දෙති.

2. වයෝවෘද්ධ වූ හෝ කුඹුරු වැඩ කරන සමයේ රෝගාතුරව සිටින්නාවූ හෝ කුඹුරු හිමියෝ සිය කුඹුරු අ‍ඳේට දෙති.

3. පිටගමක වසන ඉඩම් හිමියෝ ද සිය කුඹුරු අ‍ඳේට දෙති.

4. ඉතා පොහොසත් ඉඩම් හිමියෝ ද බොහෝ විට තමන්ට අයත් කුඹුරු අ‍ඳේට දෙති.

5. උරුමක්කාරයන් කීපදෙනෙකුට අයත් නොබෙදූ කුඹුරක් ඇති කල, සමහරවිට එම උරුමක්කාරයන් අතුරින් එකෙක් කුඹුර වැඩ කරයි. එවිට ඔහු අ‍ඳේට වැඩ කරන්නා හා සමානව සැලකේ.

6. පුල්එළිය ග්‍රාමයේ අඳ ගොවීන් බොහෝ විට කුඹුරු හිමියාගේ කිට්ටු නෑයන් බව ලීච් දක්වයි. බෑනාවරු මාමණ්ඩිලාගේ ද පුත්තු පියවරුන්ගේ ද සොහොයුරෝ තම සොහොයුරන්ගේ ද කුඹුරු වපුරති. බින්න විවාහයකට ඇතුළත් වූ පුරුෂයකු තම භාර්යාවගේ කුඹුර අ‍ඳේට වැඩ කළ අරුම පුදුම අවස්ථාවක් ගැන ද සඳහන් වේ. අඳ ගොවියා හා කුඹුරු හිමියා එකම වරිගයට අයත් වූ අවස්ථාවල බොහෝවිට කුමක් හෝ නෑකමක් ඒ දෙන්නා අතර ඇති බව පෙන්වීමට අඳ ගොවියා තැත් කරන බව ද ලීච් කියයි. උකස් කරන ලද ඉඩමක් උකස් ගත්තහුට සින්න වූ විට, විශේෂයෙන් ම සින්නක්කරය ලද්දා පිටගම්කාරයකු නම්, බොහෝ විට මුල් අයිතිකාරයාට ම කුඹුර අ‍ඳේට වැඩ කිරීමට ඉඩදෙයි.

අඳ ක්‍රමය පැරණි සිංහල සමාජයේ වැදගත් අන්‍යෝන්‍ය උපකාර ක්‍රමයක් විය. එය ඉඩම් අයිතිකරුවන් හා ඒ ඉඩම්වල වැඩ කරන ගොවි ජනතාව ද අතර සම්බන්ධකම් සමගිසම්පන්නව පවත්වාගෙන යෑමේ මාර්ගයක් ද වූයේය. තමාට අයත් කුඹුරුවලින් සෑහෙන ඵලප්‍රයෝජන ලැබුණු හෙයින් සිය කුඹුරු සෝදාපාළු විය නොදී ආරක්ෂා කර ගැනීමට ඉඩම්හිමියා නිතර ම උත්සාහ කළේය. එසේ ම අස්වැන්න වැඩි වූ පමණට අඳය වශයෙන් තමාට ලැබෙන පංගුව ද වැඩි වූ බැවින් ගොවියා ද සිය ගොවිතැන සශ්‍රීක කර ගැනීමට වෑයම් කළේය. කරුණු මෙසේ පැවති නමුත් සමාජ පරිවර්තනය කරණකොටගෙන අඳ ක්‍රමය ඇතැම්විට අනිසි ප්‍රයෝජන ලබාගැනීමේ උපක්‍රමයක් බවට ද පත්වීයයි කියත්. වතු ව්‍යාපාරයේ පැතිරීම සමඟ ගොවීන්ට තමන්ගේ ඉඩකඩම් ක්‍රමයෙන් අහිමි විය. මේ හේතුකොටගෙන අඳයට වැඩ කිරීමට බලාපොරොත්තු වූවන්ගේ සංඛ්‍යාව අධික විය. මෙය වනාහි කුඹුරු හිමියන්ට වාසි තත්ත්වයකි. මුලින් බුලත් අතක් දීමේ චාරිත්‍රයකට සීමා වූ මඩරන් දීමනාව වෙළඳ ගිවිසුමක් බවට පත් විය. තව ද, අඳ ගොවීන් ඕනෑ තරම් ලබාගත හැකි වූ නිසා කුඹුරු හිමියාගේ අභිමතය පරිදි ගොවීන්ට වැඩ කිරීමට සිදු විය. ඒ සමඟම උද්ගත වූ තවත් තත්වයක් නම් කුඹුරු හිමියාගේ විවාහ මරණ ආදි අවස්ථාවල දී නොයෙක් දීමානවන් හා යම් යම් සේවයන් කිරීමට අඳ ගොවියාට සිදුවීමය. ඔහුගේ බිරිය හා දරුවන් කුඹුරු හිමියාගේ ගෙදර නොමිලයේ සේවය කළ යුතු වෙයි. සම්ප්‍රදායානුගත සමාජයේ කිසියම් දුෂ්කරතාවක් මඟහරවා ගැනීමට ගොවියා විසින් යොදාගෙන තිබූ උපක්‍රමයක් එම සමාජය බිඳී යාමත් සමඟ දූෂණයන්ට තුඩුදෙන ක්‍රියා පිළිවෙළකට පරිවර්තනය වූ බවක් වර්‍ෂ 1951 දී උඩරට ගැමි කොමිසන් සභාව ඉදිරියේ දෙන ලද ඇතැම් සාක්ෂිවලින් කියැවිණ, අඳ ක්‍රමයට විරුද්ධව දක්වනු ලබන තවත් කාරණයක් නම් ආර්ථික වශයෙන් එහි ඇතැයි කියන දුර්වලතාවයි. වැඩි වූ අස්වැන්න වෙතොත් එය අඳ ගොවියා කුඹුරු හිමියා සමඟ බෙදාගත යුතු හෙයින්, අස්වැන්න වැඩිකිරීම සඳහා මෙම ක්‍රමය අඳගොවියා අමුතුවෙන්‍ උනන්දු නොකරවතැයි කියත්.

අඳ ක්‍රමයෙන් ගොවියාට ඇතිවන යම් යම් හිරිහැර මඟහැරීම පිණීස ව්‍යවස්ථා සම්පාදනය මගින් වැඩ පිළිවෙළක් යෙදීමට 1953 දී එවක බලයට පත් වී සිටි ආණ්ඩුව උත්සාහ ගත් නමුත් එම ව්‍යවස්ථා පනත කුඹුරු හිමියන්ගේ තත්වයට කිසිදු හානියක් සිදුකිරීමට පසුබට වූයෙන්, එම පනත සම්පූර්ණයෙන් ම ව්‍යර්ථ විය. අඳ ක්‍රමයෙහි දූෂණ ක්‍රියා වළක්වා ගොවිායට ස්ථිර තත්වයක් ලබාදීම පිණිස අවංක ප්‍රයත්නයක් දරන ලද්දේ ලංකාවේ ඉඩම් බුත්තිය පිළිබඳ ඉතාමත් විප්ලවකාරී ව්‍යවස්ථා පනතක් වූ 1957 කුඹුරු පනත මගිනි. මෙම පනත අනුව පැරණි අඳ ක්‍රමයෙහි යම් යම් වෙනස්කම් නීති මගින් ඇති කළ යුතු විය. කුඹුරු පනතෙහි පරමාර්ථය වූයේ කුඹුරු වගා කරන අඳ ගොවීන්ගේ අඳය රැකදීමත් අඳ ගොවීන් විසින් කුඹුරු හිමියන්ට ගෙවිය යුතු බද්ද නියම කිරීමත්ය. මෙම පනත අනුව අ‍‍‍‍ඳේට වැඩ කරන ගොවියාට පෙරට වඩා ආණ්ඩුවෙන් ආධාර ලබාගැනීමට පිළියෙල කිරීමත්, ඔහුට ස්ථිර තත්ත්වයක් ලබා දීමත් අස්වැන්න වැඩි ප්‍රමාණයක් වෙතොත් එය ඔහුට ම ලැබෙන්නට සැලැස්වීමත් සිදුවන බව පනතෙහි නිර්මාතෘවරයා වූ එවක ඉඩම් හා කෘෂිකර්ම ඇමතිව සිටි පිලිප් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ ‍කෙළේය. මෙම පනතෙහි යෝජනා අනුව එක කන්නකින් ලැබෙන මුළු අස්වැන්න ප්‍රමාණයෙන් බුසල් 15ක් ද හතරෙන් පංගුවක් ද යන දෙකෙන් අඩු ප්‍රමාණය පමණක් ඉඩම් හිමියාට ලැබේ. අඳ ගොවීන් කුඹුරෙන් පහකිරීම ද නීති විරෝධී වෙයි. තමාගෙන් පසු අඳ කුඹුර කොට අ‍ඳේට දිය යුතු ද යන්න ද ගොවියාට නිශ්චය කළ හැකි වෙයි. (ඔතු ද බලන්න).

පොත්පත්:

වික්‍රමසිංහ, සී. ඇල්. - සිංහල සිරිත් සංග්‍රහය (අමුද්‍රිත).

Cordington, H. W. – Ancient land Tenure and Revinue in Ceylon.

Brohier, R. L. – Ancient Irrigation Works in Ceylon.

Farmer, B. H. – pioneer Peasant Colonisation in Ceylon.

Pieris, Ralph – Sinhalese Social Organisation.

D'Oyly, Sir John – A Sketch of the Constitution of the Kandyan Kingdom (Ceylon)

Leach, E. R. – Pul Eliya – A Village in Ceylon – A Study of Kinship & Land Tenure.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අඳය&oldid=1998" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි