අපාය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සසර වසන සත්වයන් මෙලොව දී රැස් කරන කුශලාකුශලකර්මයන්ට අනුරූපව ඊළඟ භවයෙහි උපදනා බව බුද්ධධර්මයෙහි ප්‍රකාශිතයි. කුශලකර්මයෙහි ඉෂ්ටවිපාකය සුගතියෙහි දී විඳිනු ලබන්නා සේ අකුශලකර්මයෙහි අනිෂ්ට විපාකය දුගතියෙහි විඳුනා ලැබෙයි. සොරකම් ඈ පව්කම් කළ මිනිසුන්ට මෙලොව දී ද සිරදඬුවම් ආදි නන් වැදෑරුම් දුක් කම්කටොළු ලැබෙනු ප්‍රත්‍යක්ෂව දක්නට ඇත. පරලොව දී විපාක සඞ්ඛ්‍යාත දඬුවම් ලැබෙන ස්ථානය අපාය නම් වෙයි.

සැපයට ද අභිවෘද්ධියට ද "අය" යයි කියනු ලැබේ. යම් තැනෙක අයසඞ්ඛ්‍යාත සැපය හෝ දියුණුව අපගත වී නම් හෙවත් පහව ගියේ නම් ඒ ස්ථානය අපායයි. දුග්ගති, විනිපාත, නිරය යනු ද අපාය හඳුන්වන වචනයෝයි. දුකට ගති හෙයින්, ආධාර වන හෙයින් දුගති යයි ද පව්කළාහු එහි අවසඟව වැටෙත්නුයි විනිපාත යයි ද, අස්වැසිලි නැති හෙයින් නිරය යයි ද කියනු ලැබේ. අපාය සතරෙකි. නිරය, තිරිසන්යෝනි, ප්‍රේතයෝනි, අසුරනිකාය වශයෙනි.

එහි දු මහානිරය අටෙක් හා ඔසුපත් නිරය එක්සිය අට විස්සෙක් දැයි නිරයයෝ එක්සියසතිසෙකි. එහි මහානිරය නම් සඤ්ජීවයැ, කාලසූත්‍රයැ, සඩ්ඝාතයැ, රෞරවයැ, මහාරෞරවයැ, තාපයැ, ප්‍රතාපයැ, මහා අවීචියැ යන මේයි. මොවුනතුරෙහි යමපලුන් විසින් දිලියෙන නන් අවි ගෙන කඩ කඩ කොට සිඳුනා ලද සත්වයන් පුනපුනා දිවි ඇතිවන නරකය "සඤ්ජීව" නම් විය. යමපලුන් විසින් දිලියෙන අවි ගෙන මහ හඬින් හඬා දිවගොස් නිරිසතුන් දිලියෙන යපොළොවැ පැහැරැ හෙළා පියා නූල් ගසා දිලියෙන පොරොවින් හඬව හඬවා අටැස් සොළසැස් කොට සස්නා නරකය කාලසූත්‍ර නම් විය. අයෝමය පර්වතයෙන් සතුන් සුන්සුන් කොට මිරිකන නරකය "සඩ්ඝාත" නම් විය. නවදොරින් වැද සකල ශරීරය හුයන ක්ෂාර ධූමයෙන් ගුගුරා පැසෙන සතුන් ඇති නරකය රෞරව නම් විය. රතු ලේවන් ගිනිදැලින් පිරුණු බලවත් දුකින් මඩනා ලද සත්වයන් ඇති නරකය මහාරෞරව නම් විය. යමපලුන් විසින් දිලියෙන යපොළොවැ දිලියෙන යහුල්හි හිඳුවන ලද සත්වයන් දිලිහි දිලිහී නිශ්චලව හිඳ පැසෙන නරකය තාප නම් විය. එසෙයින් ම ප්‍රකර්‍ෂයෙන් තවන ලද නරකය "ප්‍රතාප" නම් විය. ගිනිදැලිනුදු සත්වයන් විසිනුදු දුඃඛයෙනුදු වීචි නැති හෙවත් අතරක් නැති නරකය අවීචි නම් ‍වී.

මෙසේ වූ අටමහානිරයයෝ සිවුරැස්හ, සතර සතර දොර ඇත්තාහ, සතරදිග හා උඩ යට ද නවයොදුන් බොල් යපටින් ඇවුරුණාහ. මෙයින් නික්මෙන ගිනිදැල් බලනුවන් ඇස් සියක් යොදුන් තැන් සිට ද ඉපිලැ නික්මෙයි. මේ අටමහානිරය එකෙකි. ද්වාරයෙහි සතර සතර ඔසුපත් නිරය වෙයි. මෙලෙසින් එකෙකි මහා නිරයෙහි සොළොස් සොළොස් ඔසුපත් නිරය වන බැවින් එක්සිය අටවිස්සෙක් වෙයි. මහනිරය හා සමඟ එක්සිය සතිසෙක් වේ. මේ නරකයෝ පව් කළ සතුන්ගෙන් පිරුණාහ, ඝෝරයහ, දරුණු වූවාහ. දක්නට ද අසන්නට ද භයානක වූහු. තවද මේ මහා අවීචියෙහි අවයව වූ අර්බුදදි දසනරකයෙක් ද වේ. එම් නරකයන්හි ආයු ද සත්වයන් පැසෙන පරිදි හා එහි උපදනට නිසි කර්ම ද දේවදූත සූත්‍ර, නිමිජාතක, ධර්මප්‍රදීපිකා ආදියෙන් දන්නේයි.

තිරිසන් අපාය ප්‍රකටය. එහි උපත සිවුවැදෑරුම් වෙයි. අණ්ඩජ, ජරායුජ, (ජලාබුජ) සංසේදජ, ඕපපාතික වශයෙනි. එහි පක්ෂි සර්පාදි බිජුවටෙහි උපදනාහු අණ්ඩජයෝයැ; ගව, මුව ආදී මවුකුස දලබුයෙහි උපදනාහු ජරායුජයෝයැ; සෙවෙල් දැලි මල ආදියෙහි උපදනාහු සංසේදජයෝයැ; මෙතුන් අයුරින් වෙන්ව ප්‍රතිසන්ධි වශයෙන් තිරිසන්යොන්හි උපදනාහු ඕපපාතිකයෝයි. යළි ඔවුහු අපාද, දිපාද, චතුප්පාද, බහුප්පාද වශයෙන් ද සිවුවැදෑරුම් වෙති. සර්පමත්ස්‍යාදී පා නැත්තෝ යැ. පක්ෂී ආදී දෙපා ඇත්තෝයැ. එළු සරක් ආදී සතර පා ඇත්තෝයැ. ගෝනුසු පත්තෑ ආදී බොහෝ පා ඇත්තෝ යයි පියවි ඇසට නොපෙනෙන ඉතා කුඩා සතුන් පටන් ඇත් ආදී මහත් සිරුරු ඇති සතුන් හා මහා මත්ස්‍යයන් දක්වා ඔවුන්ගේ ප්‍රමාණ වශයෙන් ද සඞ්ඛ්‍යා වශයෙන් ද තිරිසන් අපාය මහත් වෙයි. නිතර භයින් පීඩිත වූ තිරිසන් සත්නට බෙහෙවින් සැපය යන හැඟීමෙක් නූපදී. ධර්ම සංඥාවක් කැලම නැත.

ස්වකීය කර්මවිපාකයෙන් බත්පැන් නොලැබ ආහාර පිණිස ඔබිනොබ හැසිරෙමින් මහදුක් විඳින සත්ව කොටස ප්‍රේතයෝනියයි. ප්‍රේතයෝ සතර කොටසක් වෙති: නිජ්ඣාමතණ්හිකයැ. ඛුප්පිපාසකයැ. පංසුපිසාචකයැ. පරදත්තුපජීවීයයි. බිල සහිත ගසෙක ඇතුළත හටගත් ගිනිකඳක් සෙයින් කර්මජ තේජසින් ඇතුළත දැවෙන ප්‍රේත කොටස නිජ්ඣාමතණ්හික නම් වෙයි. සෙම්සොටු පමණකුදු අහරක් නොලැබ කල්ප ගණන් සාපවසින් පෙළෙමින් දුක් විඳින ප්‍රේත කොටස ඛුප්පිපාසක නම් වෙයි. කසළගොඩ ආදි අපවිත්‍ර තැන්හි අහර සොයා හැසිරෙමින් දුක් විඳිනුයේ පංසුපිසාචක නම් වවෙයි. අනුන් දෙන පින්පෙත් බත්පැන් ආදිය බලාපොරොත්තු වන අනුන් නිසා ජීවත්වන ප්‍රේත ‍කොටස පරදත්තුපජීවී නම් වේ. ප්‍රේතයෝනියෙහි ඉපිද සාපවස් අව්සුළං ආදී දුකින් පෙළෙන සත්වයනට ද සැපයක් අභිවෘද්ධියක් නැත. එහෙයින් හෙද අපාය නම් වී.

අසුරයෝ පුබ්බදේවාසුර, විනිපාතිකාසුර, වේමානිකපේතාසුර, නේරයිකාසුර, කාලකඤ්ජාසුර යයි පස්වැදෑරුම් වෙති. මෙයින් දේවාසුරයෝ තවුතිසා දෙවියන් කෙරෙහි ද, විනිපාතික වේමානික අසුරයෝ චාතුම්මභාරාජික දෙවියන් කෙරෙහිද, නෙරයිකාසුරයෝ නිරියසතුන් කෙරෙහි ද ඇතුළත් වෙති. සතරවන අපාය භූමියෙහි ගැනෙන්නාහු කාලකඤ්ජාසුරයෝයි. මේ අසුරයෝ වනාහි ඓශ්වර්‍ය්‍ය භෝග යශස් ආදියෙන් නොබබළන හෙයින් අසුර නම් වෙති. ඔවුහු තුන්ගව් පමණ වූ සිරුරු ඇත්තාහුය, මස් ලේ නැතියහ. පරණලා වැන්නාහ, කකුළුවන්ගේ මෙන් පිටතට නෙරාගිය ඇස් හිස් මුදුනැ පිහිටියේය, මුඛය ද හිදිකටු සිදුරක් මෙන් කුඩා වූයේ හිස් මුදුනෙහි මැ වෙයි, එහෙයින් නැමී ‍ගොදුරු ගනිත්. මේ සියල්ලන්ට හීන වූ අසුර නිකායයි. ඔවුහු දිලියෙන ආයුධවලින් ඔවුනොවුන්ට පහර දෙමින් පැසෙන්නාහු යයි ද කියත්. (දිඝනිකාය - පාටිකසුත්තවණ්ණනා).

රෝගපීඩා වධබන්ධන විවිධ විපත්ති හේතුකොට ගෙන ඉවසිය නොහැකි දුඃඛවේදනා විඳින මිනිසුන් ද තිරිසනුන් මෙන් නුවණ මඳව අන්‍යයන්ගේ තාඩන පීඩනවලට භාජනව දුක් විඳින මිනිසුන් ද බත්පැන් රෙදිපිළි ගේදොර නැතිව අන්තදුකෙහි ගැලී සිටින මිනිසුන් ද එසේ ම සුරකුමරුන් සෙයින් සක්විත්තන් සෙයින් අනන්ත සුව විඳුනා මිනිසුන් ද මිනිස් ලොව දැක්ක හැකිය. දෙව්ලොව වනාහි කුශල විපාකයෙන් ඉපද ඒකාන්ත සුව විඳිනා ස්ථානයකි. අපාය වනාහි අකුශල විපාකයෙන් ඉපද හැමකල්හි ඒකාන්ත දුඃඛවිපාක විඳිනා ස්ථානයයි. මිනිස් ලොව සැපදුක් දෙකින් මිශ්‍ර හෙයින් අපායත් ස්වර්ගයත් මෙහිම ඇතැයි කියන ලදී. එහෙයින් මිනිස්ලොව කුශලාකුශල කර්මයන්ට ඉඩ ඇති හෙයින් කර්මභූමි යයි ද, දෙව්ලොව හා අපාය විපාකභූමි යයි ද කියනු ලැබේ. (නිරය ද බලන්න.)

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අපාය&oldid=2022" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි